නිවන මානසික
ස්පර්ෂයක්
මිස
කායික
ස්පර්ෂයක්
නොවේ
කැලණිය විශ්වවිද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය
ඉඳුරාගාරේ
ධම්මරතන හිමි
තියාගෙන අතහැරීම කියලා කියන්නෙ, නිවන් දැකීම පිළිබඳව අප තුළ, වැරැදි
අදහස් රාශියක් තියෙනවා. ඒ කියන්නේ, නිවන් දැකීම සම්බන්ධයෙන් බාධාවන්
ගණනාවක් තියෙනව කියලා අප හිතනවා. නිවන් දැකීම සඳහා පැවිදි විය යුතු
යැයි කියා සිතීම පළමු වන වැරැදි අදහසයි. පැවිදිවීම නිවන් දැකීම සඳහා
හොඳ අවස්ථාවක්. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැහැ. නමුත් පැවිදි වූ පමණටම
නිවන් ලැබෙන්නේ නැහැ. පැවිදි වූ පමණටම නිවන් දැක්කා නම්, පැවිදිභාවයට
පත් වූ සියලු දෙනා වහන්සේ නිවන් දැක්කා විය යුතුය වන්නට ඕනෑ. ගිහි වූ
කිසිවෙක් නිවන් නොදැක්කා වෙන්නට ද ඕනෑ. පැවිදිවීම අවශ්‍යයි. භික්‍ෂු
සමාජයක් ඇතිකිරීම අවශ්‍යයි. එකී භික්‍ෂු සමාජය ඇතිවීම නිසා මහා දැවැන්ත
සංස්කෘතියක්, මහා දැවැන්ත ආගමික සංයමයක් ඇතිවෙනවා.
නිවන් දැකීම සඳහා පැවිදි වීම පමණක්ම ප්‍රමාණවත්ම යැයි කියන එක
කිසිසේත්ම කියවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසන සම්ප්‍රදාය දිගට
පවත්වාගෙන යාම උදෙසා උන්වහන්සේගේ අනුගාමිකයන් පිරිසක් නිර්මාණය වීම
මිසක් නිවන් දැකීම සඳහා පහසු මාර්ගයක් බවට පැවිද්ද පත්වන්නේ නැහැ.
නිවන් දැකීම සඳහා ආරණ්‍යය ගත විය යුතුය යැයි කීම දෙවන වැරැදි අදහසයි.
බවුන් වැඩීම සඳහා ආරණ්‍යය ඉතාමත්ම ප්‍රසන්න රමණීය ස්ථානයක්. එය ඉතාමත්ම
අවශ්‍ය වුවත්, නිවන් දැකීම සඳහා ආරණ්‍යය ගත විය යුතු යැයි කියන අදහස
හෙවත් ආරණ්‍යය ගත වීමෙන් නිවන් දැකිය හැකිය කියන වැරැදි අදහසක් අපේ
සමහර බෞද්ධයන් තුළ තිබෙනවා. පැවිදිවීමෙන් නිවන් දැකිය හැකිය. ආරණ්‍ය
ගතවීමෙන් නිවන් දැකිය හැකිය. එය කවදාවත්ම එසේම නොවන්නේ ආරණ්‍යය ගතව
සිටින්නා වූ බොහෝ දෙනෙක් ඉන්නවා නිවන් නොදුටු අය. ආරණ්‍ය ගත වීමත්,
නිවන් දැකීමට හේතුවක් කරගත හැකි වුවත්, ආරණ්‍යය ගත වීමෙන් පමණක් නිවන්
දැකිය නොහැකියි.
නිවන් දැකීම සඳහා පවුල් සම්ප්‍රදායෙන් ඉවත් විය යුතුය යන්න තුන්වන
වැරැදි අදහසයි. ආදරණීය භාර්යාව, ආදරණීය ස්වාමිපුරුෂයා, ආදරණීය දරුවන්,
ආදරණීය මව්පියන් මේ සියලු දෙනාගෙන් ඉවත් වෙලා හුදෙකලා ජීවිතයක් ගත
කිරීමෙන් නිවන් දැකිය හැකිය කියලා සමහර අයෙක් අගාරික භාවයේ සිට අනගාරික
භාවය දක්වා නිවන් සොයා යනවා. අගාරික ජීවිතයත්, අනගාරික ජීවිතයත් කියන
ජීවිත දෙකම ජීවිත. ඒ ජීවිත දෙකම තුළ ඉඳගෙන නිවන් දැකීම සඳහා බාධාවක්
වන්නේ නැහැ. අනගාරික වීම පමණක්ම නිවන් දැකීමට හේතු වන්නේ නෑ.
රන්, රිදී, මුතු, මැණික්, ඉඩකඩම්, වතුපිටි, ආදී භෞතික වස්තු සම්පත්
තියාගෙන නිවන් දකින්න බැහැ කියලා තෘෂ්ණාව ඉවත් කිරීම සඳහා මේ සියල්ල
දන් දිය යුතුය කියන වැරැදි අදහස් පළකිරීම් තියෙනවා. තමන් සන්තකව
තිබෙන්නාවූ සියලු දේ අතහැරීමෙන් නිවන් දැකීම කෙසේ වෙතත් මහ මඟට වැටිය
හැකියි. ඒ නිසා මෙම යම් යම් ආකෘතික ක්‍රියාකාරකමක් ලෙස බුදුරජාණන්
වහන්සේගේ පරමාර්ථික නිර්වාණ මාර්ගය ආකෘතික ක්‍රියාකාරකමක් ලෙස පත්කරගෙන
ආපු වැරැදි අදහස් කිහිපයක් තමයි, අප අතර මෙසේ දක්නට ලැබෙන්නේ. තථාගතයන්
වහන්සේ දේශනා කරපු මානසික ස්පර්ෂයක් වූ මේ නිවන කායික ස්පර්ෂයක් සේ අප
හඳුනාගෙන තිබෙනවා. භාවනාවත් අප ඒ වගේ තත්ත්වයකට පත් කර තිබෙනවා. භාවනාව
සඳහා ඉරියව් අප හඳුනාගෙන තිබෙනවා. භාවනාව සඳහා සමාධි මුද්‍රාවෙන් සිටිය
යුතුයි. අතක් උඩ අතක් තබාගෙන සිටිය යුතුයි ආදී වශයෙනි. අප මෙතනදී එකඟ
කිරීමට උත්සාහ කරනු ලබන්නේ ශරීරයද? සිතද? ශරීරය එක් ස්ථානයක තබා
ගැනීමත් සිත එක් ස්ථානයක තබා ගැනීමත් යනු දෙකක් මිස එකක් නොවේ. ශරීරය
එක ස්ථානයක තබා නොගත යුතු යැයි එයින් ප්‍රකාශ වන්නේ නැහැ. නමුත් ශරීරය
එක ස්ථානයක තබා ගන්නා වූ ආකෘතිකමය ස්වභාවය භාවනාව නොවේ. සිත භාවනාවට
හුරු කරන විට සක්මනත්, භාවනාවත්, ආහාර ගැනීමත්, භාවනාවක්. සතිපට්ඨානය
ආරම්භ වන්නේ ක්‍රියාකාරකම නිවැරැදිව සිත මත තබා ගනිමින් කරන
ක්‍රියාකාරකමක් මත. මෙම නිවන් දැකීම කියන දෙය ආකෘතිකමය තත්ත්වයට
පත්වෙලා නිවන් දැකීම කියන දෙය තරමක ගනුදෙනුවක ස්වභාවයට පත්වී තිබෙනවා.
සිල් සමාදන් වෙනවා නිවන් දැකීම සඳහා සුදු ඇඳීම නිවනට ළඟා කරවන එකක්
වන්න ඕනෑ. පෝය දවසෙ තෝරාගත් පව් කිහිපයක් නොකිරීම නිවනට ළං කරවන්නක්
වන්න ඕනෑ. ලෝකයේ තිබෙන පව් කියලා හෝ වැරැදි කියලා හෝ කියනු ලබන කාරණා
සියයක් නම්, අප නිවන් දැකීම සඳහා එයින් පහක් කිරීමෙන් වැළකී ඉන්නවා.
මෙම ක්‍රියා පහ නොකිරීම නිවනට බාධාවක්. එම ක්‍රියා පහ නොකිරීම නිවනට
උදව්වකි හෝ නිවන් දැකිය හැකියි, කීම වැරැදි අදහසකි. සුදු ඇඳීමෙන් හෝ
සුදුවත් ඇඳ උතුරු සළුව පැළඳීමෙන් නිවන් ලබා ගැනීම වඩා පහසු වන්නේ යැයි
සිතුවහොත් සුදු පාට නිවනට ළං කරන පාටක්ය යන හැඟීමක් එයි. අවුරුද්දකට
දින දොළහක් සුදු ඇඳගෙන එක ස්ථානයකට වෙලා ඉඳලා නිවන් දකින්න පුළුවන්මය
කියනවාය කියන හැඟීමක් එනවා. පින් උදෙසා සිල් රැකීම නිදසුනක් සේ ගැනීම
වැරැදි අවබෝධයකි. තෝරාගත්ත වැරැදි පහක් සුදු හැඳගෙන නොකර සිටීම පමණයි.
එනිසා මොනම ආකාරයකින් වත් මේ කියන පැවිද්ද ආරණ්‍යගත වීම, සිල් සමාදන්
වීම වැනි ක්‍රියාවන් වචනයකින්වත් හෙළා තලා දකින්නට සාහසික නැති වුවත්
එය ඉතාමත්ම පැහැදිලි ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් මිස, නිවන සඳහා
සෘජු මාර්ග නොවේ. ඇයි? එහෙම කියන්නේ, දහසක් මිනී මැරූ අං¼ගුලිමාල ද
දුටු නිවන, සිල් සමාදන් වෙලා පමණක් දකින්නෙ කොහොමද? මිනී මරුවෙකුට
වුනත් දකින්න පුළුවන් නිවන. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ.
මෙම කියාපු කාරණා අනුව පැහැදිලි වෙන කරුණක් නම් නිවන් දැකීම සඳහා නිවන්
දැකීමට පහසු යැයි කියා හිතාගෙන ඉන්නා වූ යම් යම් දේ නිවන සඳහා පහසු
කරවන දේවල් නොවෙයි. මෙය පොදු ජනතාව නිවන පිළිබඳව දක්වන ආකල්පය මිසක්
විද්වත් උගත් චින්තනයන් සම්බන්ධව නොවේ.
‘සෝපාක’ යනු අවුරුදු හතක පුංචි දරුවෙක් නම්, අකුරු බැරි තරම් පුංචි
දරුවකු වන ‘චුල්ල පන්තකට’ නිවන් දකින්න පුළුවන් වුණා නම්, අවාසනාවන්ත
අනාථයෙක් වුණ ‘සෝපාකට’ නිවන් දකින්න පුළුවන් වුණා නම්, නගර සභා සනීප
ආරක්‍ෂක කම්කරුවකු වුණ සුනීතට නිවන් දකින්න පුළුවන් වුණා නම්, ගෘහ
සේවිකාවක් වුණ ‘පුණ්ණාට’ රජ්ජුමාලාට’ නිවන් දකින්න පුළුවන් වුණා නම්,
අංගුලිමාල වැනි මිනීමරුවන්ට ද, ‘රාධ’ වැනි හිඟන්නන්ටද, ‘කුජ්ජුත්තරා’
වැනි කුස්සි අම්මලාටද, ‘උපාලි’ වැනි කරණවෑමියන්ටද, නිවන් දකින්නට
පුළුවන් වුණා නම් මේ නිවන සමාජ තත්ත්වයන්ද විශේෂ වෘත්තීන්ද, ස්ත්‍රී
පුරුෂ භාවයන්ද වයසද, උගත්කමද වතික්ක්‍රමණය කරමින් ගමන් කරන්නා වූ දෙයක්
බව පැහැදිලියි. බුදු දහම බුදුහාමුදුරුවෝ ළඟට දැන සිටි ධර්ම භාණ්ඩාගාරික
ආනන්ද හාමුදුරුවො රහත් බවට පත්වෙන්න කලින් සෝපාක නිවන් දකිනවා නම්, එහි
තේරුම දැනුවත් කමෙන් නිවන් දකින්න පුළුවන් කියන දෙය නෙවෙයි.
බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සියල්ල දැනගැනීමෙන් බුද්ධ ධර්මය
පිළිබඳ විශේෂඥයෙක් විය හැකියි. නිවන් දැකිය නොහැකියි. බුද්ධාගම
දැනගැනීම නිවනට සාධකයක් ද බාධකයක් ද නොවේ. එසේ නම් විය යුත්තේ කුමක්ද?
සටහන: හේමමාලා රන්දුනු |