Print this Article


තෛයිනිකායාක මහානායක හිමිපාණන්වහන්සේලාගේ පොසොන් පණිවුඩ

ත්‍රෛනිකායාක මහානායක හිමිපාණන්වහන්සේලාගේ පොසොන් පණිවුඩ

බෞද්ධ ශිෂ්ටාචාරයක උපත සිදු වූ උදාර දිනය සදා සමරමු

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236ක් ගතවූ තැන, ජෙට්ඨමූල නම් නැකත එළඹුනු පොසොන් පුන් පොහෝ දිනයෙහි සිදුවූ මහින්දාගමනය නිසා, බුදු සමයේ ආභාෂය ලැබ, සිංහල ජනතාවට ආගමික ජීවිතයක් පමණක් නොව, නව ජීවන දර්ශනයක් ද ජීවත්වීමේ පරමාර්ථයක් හා ජීවන මාර්ගයක් ද උදාවිය. එම අර්ථවත් බොදු ගමන් මඟ, චාම් වූ සරල වූ ජීවන ක්‍රමයෙකි. එමඟින් ඇති වූ සිංහලයන්ගේ අපිස් ජීවිතය උසස් සංස්කෘතියකට තෝතැන්නක් විය.

උත්තර භාරතයේ සිට අනුබුදු මිහිඳු මාහිමි වැඩම කළේ ලක්දිව අනුරපුර මිස්සක පර්වතයේ අම්බස්තලයටයි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ ශාන්ත පරිසරයක පිහිටි මේ පින්බිමෙහි, බෞද්ධ ශිෂ්ටාචාරයේ හා සංස්කෘතියේ උපත සිදුවිය. මහමෙව්නා උයනෙහි මහාවිහාරය ඇතිකරවා අරිට්ඨකුමරු ඇතුළු රාජකීයයන් සසුන්ගත කරවා, සම්බුද්ධ ශාසනය මෙහි ස්ථාපනය කරන ලදී. ඉන් අනතුරුව රාජකීය අනුග්‍රහය ලැබ බුදු දහම මුළු ලක්දිව පුරා පැතිරී ගියේ ය. මහාවිහාරයේ සඟ පරපුර මුල්කොට විහාරාරාමයන් ද, ස්ථූපයන් ද, ශ්‍රී මහාබෝධීන් වහන්සේ ඇතුළු බෝධීන් වහන්සේ ද ආදී සකලවිධ විහාරාරාංගයන්ගෙන් සමලංකෘත කරවා, මෙරට ප්‍රෞඪ බෞද්ධ ශිෂ්ටාචාරයක සමාරම්භය ඇතිකරවන ලදී. අනුරපුර දේවානම්පියතිස්ස රජුගේ පටන් ලක්දිව සියලු රජදරුවෝ සම්බුද්ධ ශාසනයේ හා සඟ පරපුරේ චිරස්ථිතිය හා සම්භාවනාව පිණිස අපමණ වූ රාජකීය අනුග්‍රහයන් දැක්වූහ.

මෙසේ බුදු සිරිතින් ආලෝකමත් වූ ජීවිතයකට සිංහල ජාතිය යොමු කළේ, අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් ඇති කළ මහාවිහාර සඟ පරපුර, දෙස් විදෙස් අපමණ සතුරු පීඩා හා රාජ දණ්ඩන විඳ දරාගෙන, රැකගත් සඟ පරපුර අදටත් පිරිසුදු ථෙරවාදී බුදුදහම සුරක්‍ෂිත කොට ජාතියේ අභිවර්ධනයට මඟ පෙන්වීම මහත් වාසනාවකි.

සිරිලකට බුදුදහම සමඟ උදාර ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් උරුමකොට දුන් මෙම උතුම් පොසොන් පුන් පොහොය දිනයේ දී දහමෙහි හැසිරී, මානව දයාවෙන් පිරි ජීවිතයක් ගතකොට, ජාතියේ, ආගමේ, සමාජයේ ප්‍රෞඪත්වය හා උදාරත්වය තවදුරටත් අභිවර්ධනය කරගැනීමට ත්‍රිවිධරත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් අදිටන් කරගන්නා ලෙස ශාසනාලයෙන් සිහිපත් කරම්හ.


නිර්මල බුදු දහම හඳුන්වා දුන්නේ අද වැනි දිනකය

සමණාමයං මහා රාජ – ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය –ජම්බුදීපා ඉධාගතා

ධර්මරාජයන් වහන්සේ හෙවත් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපි ශ්‍රමණයන් වෙමු. ඔබට අනුකම්පා පිණිස ජම්බුදීපයේ සිට මෙහි පැමිණියෙමු.

මේ එදා අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ අදවන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා දේවානම්පියතිස්ස මහරජතුමාට කළ ප්‍රකාශයයි. ගස් ගල් පර්වත ආදිය දේවත්වයෙන් සළකමින් ප්‍රාථමික පුදසිරිත් වලට පුරුදු වී සිටි ශ්‍රී ලාංකිකයින් තෙරුවන් සරණගිය උසස් බෞද්ධයින් පිරිසක් බවට පත්වූයේ උන්වහන්සේ විසින් නිර්මල බුදුදහම මෙරටට හඳුන්වා දීමෙන් අනතුරුවයි. අනුරපුර මහාවිහාරය කේන්ද්‍රය කරගනිමින් ලාංකේය කුල කුමරුවන් සසුන්ගත කරමින් ද ගම් නියම්ගම් සිසාරා වෙහෙර විහාර ඉදිකරමින් ද, උන්වහන්සේ මෙරට තුළ බුද්ධාගම ස්ථාපිත කළ අතර, මේ නිසාම උසස් බෞද්ධ සංස්කෘතියක් අප රට තුළ නිර්මාණය විය.

භාෂා සාහිත්‍යයන් මෙන්ම ශිල්ප කලා ආදී ජන ජීවිතයේ සෑම අංශයක් තුළම අභිවර්ධනයක් ඇතිවූයේ ද මේ නිසාම ය. ලොව අන්කිසිඳු ජාතියකට දෙවන නොවන උසස් වාරි සංස්කෘතියක් තුළ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් මෙම ශ්‍රී ලාංකිකයෝ කරුණා මෛත්‍රිය ආදී උදාර ගුණ ධර්මයන් වඩා වර්ධනය කරගත්හ. මිනිසත් බව අගය කරන, පාපයට බය, ලැජ්ජාව ඇති, යුක්ති ගරුක පුරවැසියන් රට තුළ බිහිවූවා සේම, රට පාලනය කළ පාලකයින් ද බෞද්ධාගමේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ගරුකරන දැහැමි පාලකයෝ බවට පත්වූහ.

අහස සිප ගන්නා මහා දාගැබ්, කලුගලින් නිර්මාණය වූ දැවැන්ත බුදු පිළිම, ගල්කණු මත ඉදිවුණ ප්‍රාසාද, මෙන්ම ලොව අන් කිසිදු සාහිත්‍යයකට නො දෙවෙනි බුත්සරණ, අමාවතුර වැනි සාරවත් සාහිත්‍ය කෘති ද බිහිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එනිසාවෙන් පොසොන් පුර පසළොස්වක පොහොය යනු සිංහල බෞද්ධ සංස්කෘතියේ සමාරම්භය සිදු වූ අතිශයින්ම වැදගත් දිනයයි. එබැවින් ශ්‍රී ලාංකික බෞද්ධයන් වන අපට වෙසක් පොහොය හැරුණු කොට ඉතා සුවිශේෂි පොහොය දිනය ද මෙයයි. සියවස් ගණනාවකට පසු අපගේ මෙම ප්‍රෞඪ ඉතිහාසය දෙස හැරීබලන විට මහත් අභිමානයෙන් යුතුව සතුටුවනවා සේම වර්තමාන ලාංකීය බොදු සංස්කෘතිය දෙස බලන විට මහත් කනගාටුවක් ද ඇතිවේ.

භෞතික වශයෙන් අප කොතෙක් ඉදිරියට ගිය ද ගුණධර්ම වලින් පිරිහුන සමාජයක් තුළ සැබෑ සංවර්ධනයක් දැකිය නොහැක. එනිසා බෞද්ධාගමේ උසස් හරපද්ධතීන් ඔස්සේ තම ජීවිත හැඩගන්වා ගනිමින් ශ්‍රී ලංකාව තුළ පැවති අතීත ශ්‍රී විභූතිය යළිත් අප රට තුළ ගොඩනඟා ගැනුමට සැමදෙන අදිටන් කරගන්නා ලෙස මෙම උතුම් පොහෝ දින සිහිපත් කරන අතර, තෙරුවන් සරණින් දළදා හිමි රැකවරණයෙන් ශ්‍රී ලාංකික සැමට යහපත් අනාගතයක් උදාවේවා යි ආශිංසනය කරම්හ.


අපේ රට සරු පින් බිමක්

අපට අනුබුදු වූ මහා මහින්ද මහ රහතන් වහන්සේ මෙයට 2321 වසරකට පෙර අනුරාධපුර මිහින්තලා අම්බස්තලයට වැඩම කළේ අදවන් පොසොන් පුන් දිනයකදී ය. එයට ශතවර්ෂ දෙකහමාරකට පමණ පෙර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී තෙවරක්ම අපගේ මේ පුණ්‍ය භූමියට වැඩම කළ බව සාසන වංශ කථාවන්හි සදහන්ව තිබේ.එවන් සම්බුදු හා අනුබුදුවරයාණන් වහන්සේලාගෙන්ද ලක්‍ෂ සංඛ්‍යාත අරහත් බුදුවරයාණන් වහන්සේලාගේද පාදස්පර්ශයෙන් සරු පින්බමික් ලෙසින් අප රටේ භූමිය පත්ව තිබූ බව ඇසීම පවා මොනතරම් භාග්‍යයක් ලෙසින් අපි සිහිකළ යුතු නොවෙමුද? ඒ බව සිහි කිරීමට හොඳම දිනය අදය.

මෙවන් ප්‍රෞඩ ආගමික ඉතිහාසයකට නෑකම් කියන අපේ ශ්‍රී ලංකාව රටක් වශයෙන් බොහෝ රටවල් දැන සිටින්නේ බෞද්ධ රටක් යනුවෙනි. මෙසේ බොහෝ දුක් ගැහැට විඳිමින් අපේ අතීත මුතුන් මිත්තන් අපට රැක දී ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ මේ බුදු සසුනය. එහෙයින් මේ සම්බුද්ධශාසනය අනාගත මුනුබුරු මිණිබිරියන්ටද ආරක්‍ෂා කොට තැබීමට තම තමාට හැකි අයුරින් කොටස්කරුවන් වීම වර්තමාන අපට පැවරී ඇති යුතුකම බව අදවන් දිනක අප මැනවින් සිහියට ගත යුතුය.මේ සඳහා ආමිෂ වශයෙන් හා ප්‍රතිපත්ති වශයෙන් වූ සියලු පූජාවන්ගෙන් ඒ අතීත පුරුෂෝත්තමයන් හට උපහාර දැක්විය යුතුවෙමි. භෞතික වශයෙන් මේ තරම් දියුණු ලෝකයේ අද ද අමු අමුවේ මිනිසුන් මරාකන ගෝති‍්‍රක ජනයා වෙසෙති. එපමණක් නොව දියුණූ යයි සම්මත ලෝක බලධාරින් වක්‍රාකාරයෙන් මිනිසුන් ලක්‍ෂ ගණනික් මරා දමති. එවන් අශිෂ්ට අශීලාචාර වර්තමාන ලෝකය තුළ පවා කවර රටක හෝ බුදු දහමින් හා බෞද්ධ සංස්කෘතියෙන් පෝෂිත වූ බෞද්ධයෙක් වේ නම් ඒ බෞද්ධයා මොන තරම් ශිෂ්ටයෙක් වේද,අහිංසකයෙන් වේද මේ ගෞරවය රැක ගැනීමට අද වැනි දිනක අපි අධිෂ්ඨාන කරගනිමු.

අපි ආගම වෙනුවෙන් කවදාවත් යුධ නොකළෙමු. කවර ජාතිකයෙක් හෝ කවර ආගමිකයෙක් හෝ අපේ රටේ ‘බුද්ධශාසනය’ රැක දීමට උර දෙන්නේද, ඔවුන්ගේද රැකිය යුතු සියල්ලක්ම ආරක්‍ෂාවන බව පොසොන් පණිවිඩයක් ලෙස අවධාරණයෙන් කිව යුතුව අත.

මේ ඓතිහාසික අසිරිමත් පොසොන් පොහොය සිහි කරමින් වසර 51 පුරා මිහින්තලා පූජා භූමිය ආලෝකමත් කරමින් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව බුදුසරණ පුවත්පතේද මාධ්‍ය සහය ලබමින් මෙවරද සිදුකරන හෙයින් එම පුණ්‍ය කටයුත්තට මේ රටේ සියලු මහා සංඝයා වහන්සේලාගේත් බොදුජනතාවගේත් ආශිර්වාදය ඔවුන් වෙනුවෙන් මෙසේ පළ කරමු.


ශ්‍රී ලංකා ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ අනුස්මරණීය දිනය

ශ්‍රී ලංකා ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ අනුස්මරණීය ශ්‍රේෂ්ඨතම දිනය ලෙස ‘පොසොන් පෝය’ දිනය සැලකිය හැකිය. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පසු පොසොන් පොහෝ දිනක දීපප්පසාදක අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීම එයට හේතුවයි. මිහිඳු මාහිමියෝ ථෙරවාද බුදුදහම සමඟ නව සංස්කෘතියක්ද මෙරටට හඳුන්වා දුන්හ.

බුදු දහමේ ආලෝකය ලද සිංහල ජනතාවගේ ජීවිතය ධාර්මික විය. තෙරුවණින් පිට අන් සරණක් නැති බව වටහාගත් සිංහලයෝ ජීවිතයේ කුදු මහත් සියලු කටයුතු වලදී තෙරුවනේ ආශිර්වාදය ලබන්නට නැඹුරු වූහ. දිවි හිමියෙන් පන්සිල් ආරක්‍ෂා කළහ. දස අකුසල් වලින් වැළකුණහ. දස කුසල්, දස පින් රැස් කළහ. මාපියන් ඇතුළු පිදිය යුත්තන් පිදීම, අසරණයන්ට පිහිට වීම, සතුනට පවා කාරුණික වීම, ආගන්තුකයන්ට ගිලනුන්ට සැලකීම, තම පරම යුතුකම ලෙස සැලකූහ. රටේ පාලක පිරිස ද ධාර්මික වූහ. බෝසත්වරුන් සේ රට පාලනය කිරීමට උත්සාහවත් වූහ. දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු, දස සක්විති වත් ආදිය රාජ්‍ය පිළිවෙත ලෙස සැලකූහ. භික්‍ෂූන් වහන්සේ පාලක පාලිත දෙපක්‍ෂයේම අනුශාසකයාණෝ වූහ. පන්සල පිරිවෙන අධ්‍යාපන කේන්ද්‍රස්ථානය විය.

කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍ය, භාෂාව ආදී සියල්ලම මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් ධර්මාලෝකයෙන් ප්‍රභාවිත විය. ‘වැවයි දාගැබයි’, ‘ගමයි පන්සලයි’, ‘සිවුරයි උදැල්ලයි’ සිංහලයාගේ දියුණුවේ සංකේත විය. මේ නිසා ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්. ධාන්‍යාගාරයක් ලෙස විශ්ව කීර්තියට පත්විය. මේ ශ්‍රේෂ්ඨ දායාදයන් අපට උරුම කර දුන් මිහිඳු මාහිමියන් වහන්සේ අනුස්මරණය කරමින් උන්වහන්සේ වැඩම කළ මිහින්තලා පින් බිම ආලෝකවත් කරමින් ලේක්හවුස් ආයතනය මඟින් වාර්ෂිකව සිදු කරන ආලෝක පූජාව 51 වැනි වරට මෙවරද සිදු කිරීම ශේ‍්‍රෂ්ඨ සත් ක්‍රියාවකි. එයට අපගේ ප්‍රසාදය ආශිර්වාදය පිරි නමමි. ලේක්හවුස් ආයතනය බෞද්ධයාගේ පත්‍රය ලෙස ‘බුදුසරණ’ පත්‍රය අඛණ්ඩව එළි දැක්වීම ද අගය කරමි. අද වැනි දිනක අපට ලැබුණු ශ්‍රේෂ්ඨ බුදුදහමට අනුව කටයුතු කරමින් නැවත මෙරට ධර්මද්වීපයක්, ධාන්‍යාගාරයක් කිරීමට අදිටන් කරගන්නා ලෙස ලක්වැසි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

සැමට තෙරුවන් සරණ ලැබේවා!