Print this Article


ධම්මපදට්ඨ කථා 13 පහන් සිතින් දන් පිදූ බන්ධුල මල්ලිකා

 ධම්මපදට්ඨ කථා 13

පහන් සිතින් දන් පිදූ බන්ධුල මල්ලිකා

සැවැත් නුවර අග රජ කොසොල් මහ රජුගේ පුතු පසේනදී නම් විය. මේ කුමාරයා ළමා වියෙහිදී ශිල්ප ලබන්නට තක්සලාවෙහි දිසාපාමොක් ඇදුරු වෙතට පිටත් කළේය. එහිදී පසේනදී කුමාරයාට තවත් යහළුවෝ දෙදෙනෙක් හමුවූහ. ඔවුන් නම් විශාලා මහ නුවර සිට පැමිණි මහාලි නම් ලිච්ඡවී රාජ කුමාරයා සහ කුසිනාරා නුවර සිට පැමිණි මල්ල රාජ පුත් බන්ධුල කුමාරයාය. තිදෙනා එක් දිනක් තක්සලාවෙන් බැහැර ගිය විටෙක අදහස් හුවමාරු කර ගනිමින් රාජ කුමාරයන් ම බව දැන මිතුරෝ වූහ. මුළු කාලය පුරාම ඉතා සෙනෙහසින් තක්සලාවේ ශිල්ප ලද මොවුහු ශිල්ප අවසන් කොට තම තමන්ගේ නගර කරා පිටත් වූහ.

මොවුන් අතරෙහි පසේනදී කුමාරයා අනෙක් දෙදෙනාට වඩා යුද ශිල්පයෙහි නිපුණයෙකු වූ සෙයින් පිය මහ රජතුමා ඉදිරියේ තම ශිල්ප පෙන්වා පියා පහදවා තුරුණු වියෙහිදීම පසේනදී කෝසල නමින් රාජ්‍යයෙහි අභිෂේක ලද්දේය. මහාලී කුමරා විශාලා මහනුවරට ගොස් වජ්ජි රජුන්ගේ දරුවන්ගේ ගුරුවරයා වෙමින් ඔවුනට ශිල්ප බෙදා දුන්නේය. කල්යාමේදී ඔහුගේ දෑස් අන්ධ වූ අතර එහෙත් ගුරු පදවියට එය බාධාවක් නොවීය. මේ අතර කුසිනාරා නුවරට ආපසු ගිය මල්ල රජ පුත් බන්ධුල කුමාරයා රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් නිර්‍මාණය කොට ගෙන රාජ්‍යයෙන් බැහැර වී තම මිත්‍ර පසේ නදි කෝසල රජු වෙත පැමිණියේ ය. රජතුමා ඔහුගේ පැමිණීම ගැන අසා මහත් සේ තුටුපහටුව පෙර ගමන් කොට හරසරින් නුවරට කැඳවා සේනාපති තනතුර ප්‍රදානය කළේය.

බන්ධුල සේනාපතියා කුසිනාරා නුවර මල්ලිකා රාජ කුමරිය සමඟ විවාහ විය. එහෙත් මල්ලිකා තොමෝ දරුවෙකු බිහි නොකළාය. මෙයින් ඇය නෙරපා හරින්නට බන්ධුල සෙන්පතියා තීරණය කළේය. ඈ බොහෝ අසරණව දුකට පත්ව මව්පියන් සොයා ආවාය. යන ගමනේදී දෙව්රම් වෙහෙරට ගොස් බුදු රජාණන් වහන්සේ හමුව යාම සුදුසු බව සිතා බුදුරදුන් හමුවීමට ගියාය. බුදුරදුන් හමුවී වැඳ එකත්පසෙක සිටි ඈ වෙතින් ඔබ කොහි යමින් සිටින්නේදැයි බුදුරදහු විමසූහ. තමන් වඳ ගැහැනියක ලෙස නින්දා කොට තම සැමියා තමන් නිවසින් පලවා හැරි බවත් බුදුරදුන් හමුවී දෙමාපියන් හමුවට යන්නට පැමිණි බවත් ඈ කීවාය. අනතුරුව බුදුහිමියන් ඇයට වදාළේ ආපසු සැමියා වෙතම යාම සුදුසු බවයි. බුදුරදුන්ගේ වදනින් මහත් සේ සොම්නසට පැමිණි ඇය ආපසු බන්ධුල සේනාපති වෙතට පැමිණියාය. තමන් බුදුහිමියන්ගේ අවවාදයෙන් පැමිණි බවද බන්ධුල සෙන්පතියාට මල්ලිකා දේවිය පැහැදිලි කර දුන්නාය. බුදුරාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් සිටි බන්ධුල සේනාපතියා තම බිරිඳ මල්ලිකාව ආපසු හරවා එවන ලද්දේ අනාගතයෙහි ඇය දරුඵල ලබන බව නියත වශයෙන්ම දැන බැවින් ඔහු මහත් සොම්නසට පැමිණියේය.

දෙදෙනාගේම ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් කල්යාමේදී මල්ලිකා දේවිය ගැබිනියක වූවාය. එසමයෙහි ඇති වන්නාවූ දොළ දුකින් පෙළුණු ඇය තමන්ට උපන් දොළ සැමියාට පළ කළාය. එනම් විශාලා මහනුවර ලිච්ඡවි රජුන් හා ඔවුන්ගේ බිසෝවරුන් බැස ජල ක්‍රීඩා කරන්නා වූ ද, ඔවුන් ගේ අභිෂේකයන්ට ජලය ගන්නා වූද, රාජකීය පොකුණෙහි බැස දිය නාන්නටත් පැන් බොන්නටත් දොළක් උපන් බව මල්ලිකා දේවිය සැමියාට කියා සිටියාය. ආදරණීය සැමියෝ සැම කල්හිම තම බිරින්දෑවරුන්ගේ මෙවැනි ආශාවන් කෙසේ හෝ සන්සිඳුවති.

එසේ හෙයින් තම බිරිඳගේ දොළ සන්සිඳුවන්නට බන්ධුල සේනාපති ඉටා ගත්තේය. ඊට සූදානම් වූ ඔහු තමන්ගේ සුවිසල් දුනු හී සකසා මල්ලිකාව ද කරත්තයක තබා වේගයෙන් ගොස් විශාලා මහනුවර ලිච්ඡවීන්ගේ මගුල් පොකුණ වෙතට පිවිසුණේය. එහි ඇතුළත ද පිටත ද ආරක්‍ෂකයන් රැසක් යොදවා තිබූ අතර ඉහළින් ලෝහමය දැළක් එළා තිබූ හෙයින් ඉතා කුඩා කුරුල්ලෙකුට හෝ ඇතුළු විය නොහැකි විය. බන්ධුල සෙන්පතියා ඒ කිසිවක් බැරෑරුම් නොකොට තම බස්තමින් සියලු ආරක්‍ෂකයන්ට පහර දී පලවා හැර ලෝහ දැලද කඩා මඟුල් පොකුණට බැස මල්ලිකාව නහවා තමන් ද දිය නා අවසන කරත්තයට නැගී වේගයෙන් ආපසු පිටත්ව ගියේය.

පහර කෑ ආරක්‍ෂකයෝ වහාම ගොස් ලිච්ඡවි රජවරුන්ට ඒබව සැල කළහ. එවිට කෝපවූ රජවරු පන්සියයක් කරත්තවල නැගී බන්ධුලයා අල්වා ගනිමු’ යි පසුපස එළවන්නට වූහ. ඒ බව දුටු මල්ලිකා දේවිය බන්ධුල සෙන්පතියාට ඒ බව කීවාය. එසේ නම් ඒ එන කරත්ත පන්සියය යම්කිසි තැනෙකින් එක් කරත්තයක්ව පෙනෙන්නේ නම් තමාට කියන්නැයි බන්ධුල තම බිරිඳට කීවේය. එවන් අවස්ථාවක් පැමිණි විට ඒ බව මල්ලිකා තෙමේ තම සැමියාට කීවාය. එවිට කරත්තයෙහි රැහැන මල්ලිකා අතට දුන් බන්ධුල තම දුන්න අතට ගෙන හෙණ හඬ නංවමින් ඊතල විදින්නට විය. එම ඊ පහර කෑ ලිච්ඡවි රජවරු පන්සියයම ජීවිතක්‍ෂයට පත් වූහ. බන්ධුල ජයග්‍රාහීව බිරිඳ ද රැගෙන ආපසු නගරයට සේන්දු වූයේය. අනතුරුව මල්ලිකාවෝ සොළොස් වරකට නිවුන් දරුවන් දෙතිසක් වැදූහ. එම දරුවෝ සියල්ලෝම ඉතා ශූර ශක්තිමත්, කඩිසර දරුවෝ වූහ. සියලු ශිල්පයන්හි පාරප්‍රාප්ත වූහ. එක් පුතෙකුට පිරිවර දහසක් විය. බන්ධුල සෙන්පති දරුවන් සමග මාලිගාවට පිවිසි කල්හි ඔවුන්ගේ පිරිසෙන්ම රාජාංගණය පිරෙන්නේය.

එක් දිනක් අධිකරණ ශාලාවේ සිදුවූ අසාධාරණ තීන්දුවකින් කම්පාවට පත් ජනයා කෑ කෝ ගසමින් ඒ බව බන්ධුල සෙන්පතියාට කියන්නට වූහ. සෙන්පතියා අධිකරණ ශාලාවට ගොස් නැවත නඩුව විභාග කොට දඬුවම් ලැබිය යුත්තාට දඬුවම් දී සාධාරණ විනිශ්චයක් කළේය. එතැන් සිට බන්ධුල සෙන්පති අධිකරණයේ ද ප්‍රධානියා වෙමින් යුක්තිය පසිඳලීය. පැරැණි විනිශ්චයකරුවන්ට ලැබුණු අල්ලස් නැතිව යාමෙන් කෝපව සියලු දෙනා එක්ව රජුට ගතු කියන්නට වූහ. එනම් බන්ධුල රජු ද මරා රජකම ගන්නට උපක්‍රම කරති’ යි කියා රජු හා සෙන්පති බිඳවූහ.

කුපිත වූ රජතුමා සෙන්පති මරා දමන්නට කුමන්ත්‍රණයක් සංවිධානය කළේය. එනම් රජුගේම පිරිසක් යවා ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් ඇති කොට එහිදි සෙන්පති හා දරුවන් දෙතිස කොටු කොට ගෙල සිඳ මරා දැමීමයි. ඒ අනුව සියලු සැලැසුම් යොදා විශාල කැරැල්ලක් ඇති කරවා සෙන්පති කැඳවා ඒ බව දන්වා වහාම එය සංසිඳුවා එන ලෙස නියෝග කළේය. එහිදී සෙන්පති මෙම උගුලට හසු විය. රජුගේ යෝධයන් ද මෙහි සැ¼ගවී සිට බන්ධුල සෙන්පති හා දරුවන් අල්වා ගෙල සිඳ ඒ හිස් රැගෙන විත් රජුට පෑහ.

මේ අතර බන්ධුල මල්ලිකාවෝ මේ කිසිවක් නොදන්නේ භික්‍ෂු මහා සංඝයා මැදුරට රැස් කරවා මහා දානයක් පැවැත්වූහ. ඉතා සැදැහැ සිතින් දන් පිළිගන්වමින් සිටි ඇයට රාජපුරුෂයෙකු විත් හසුනක් පිළිගැන්වීය. එහි සඳහන් වූයේ සැමියාගේ හා දෙතිසක් පුතුන්ගේ හිස් සිඳලන ලද බවයි. එපුවත කියවූ ඇය කම්පාවක් නොපෙන්වා කිසිවකුට ද නොකියා හසුන ඉණෙහි ගසා දෑගසව්වන් ප්‍රධාන භික්‍ෂූන් වෙත හොඳින් එළඹ දන් පිරිනැමුවාය. ඒ අතරෙහි ඇයගේ පිරිවර ස්ත්‍රියක් භික්‍ෂූන්ට පිළිගන්වන්නට ගෙනෙන ලද ගිතෙල් කළයක් භික්‍ෂූන් ඉදිරියේ බිම වැටී කැඩී බිඳී ගියේය. එය දුටු අනඳ තෙරණුවෝ මල්ලිකාවගේ සිත බිෙඳ්දෝයි සිතා බිෙඳන සුළු දේ බිඳීණි ඒ ගැන යළි නොසිතන්නැයි ඉල්ලූහ.

ය ඇසූ මල්ලිකාවෝ ඉණෙහි තිබූ හසුන ගෙන සංඝයාට පෙන්වා තමන්ට මේ සා විපතක්ව තිබියදීත් ඒ ගැන නොසිතා දන් පිළිගැන්වූ බවත්, ගිතෙල් හැලියක් බිඳී යාම තම සිතෙහි කවර කම්පනයක් ඇති කරන්නේදැයි කීහ. භික්‍ෂූන් වළඳා අරමට නික්ම ගිය කල තම පුතුන් දෙතිසගේ බිරින්දෑවරුන් කැඳවා, නුඹලාගේ සැමියන් අපරාධයක් නොකළ බවත්, පෙර කළ පාප, කර්‍මයකින් මෙසේ මිය ගොස් ඇති බවත් අවබෝධ කරදී එම සතුරු රජු කෙරෙහි කිසිදු වෛරයක් සිතා සිත් දූෂ්‍ය කර නොගන්නැ’ යි ද අවවාද කළාය.

මල්ලිකාවගේ එම කථාව රජුගේ චර පුරුෂයෝ රජුට කීහ. ඒ අනුව ඔවුන් නිර්දෝෂී බව තේරුම් ගත් රජතුමා මල්ලිකාව ඇතුළු බිරින්දෑවරුන් වෙතින් සමාව යැද්දේය. දෙතිසක් තම ලේලිවරුන් ඒ ඒ නිවෙස්වලට යැවූ මල්ලිකාවෝ අවසන තමන්ගේ උපන් ගම වූ කුසිනාරාවට පිටත්ව ගියාය. රජතුමා බන්ධුල සෙන්පතිගේ බෑනා වූ දීඝකාරායණට සේනාපති පදවිය පිරිනැමූ අතර සුදුසු අවස්ථාවක් එනතුරු ඉවසීමෙන් බලා සිටි සෙන්පති රජුගේ රජ පදවිය රජුගේ පුත් විසුඪභ කුමරාට ලබා දී පසේනදී කෝසල අසරණයෙකු බවට පත් කළේය. ඔහු කළ අපරාධය දිට්ඨ ධම්මවේදනීය කර්මය ලෙසින් ජීවිතයේ අවසානය දක්වා ම වින්දේය. කර්ම විපාකයෙන් මිදෙන්නට චක්‍රවර්ති මහ රජෙකුට හෝ නොහැකි බව මේ අනුව ප්‍රත්‍යක්‍ෂ වෙයි.

තෙරුවන් සරණයි


ධම්මපදට්ඨ කතාවෙන් 12 ගං දියට විෂ දැමූ පාපය