Print this Article


මහින්දාගමනයෙන් පූජනීය වූ මිහින්තලාව

මහින්දාගමනයෙන් පූජනීය වූ මිහින්තලාව

අනුරාධපුර නගරයට සැතපුම් අටක් පමණ දුරින් තැනිතලාවේ හදිසියෙන් මෙන් ඉහළට නැගෙන කඳුගැටය ක්‍රිස්තුපූර්ව 3වන සියවස තෙක්ම පැවතියේ පාලකයන් විනෝදයට සතුන් දඩයම් කරන වනයක් ලෙසිනි. මෙම කඳුගැටය අවට පිහිටි රාජගිරිලෙන කන්ද කළුදියපොකුණ ඇත්වෙහෙර කන්ද ආදිය නිසාත් මිහින්තලාවේ පහළ සිට උඩ දක්වා පිහිටි තැනිතලා භූමි නිසාත් එයට ඉතා දර්ශනීය පරිසරයක් විය.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවස මුල් භාගයේදී දේවානම්පියතිස්ස රජු මුව දඩයම සඳහා මිහින්තලාවට (එකල මිස්සක පබ්බතය) යෑම රජුගේ සිරිතක් වූයේය.එදා මුව දඩයමේ යෙදුණු රජුට නොසිතූ පරිදි “ තිස්ස තිස්ස ” කියා ආමන්ත්‍රණය කරන හඬක් ඇසුණේය.ඒ ඇසීමෙන් පසුව විශ්මයට පත් වූ රජු මුවා පසුපස ලුහුබැඳීම අත්හැර වටපිට බැලීය. කිසිදිනක නොදුටු කහසිවුරු පොරවාගත් පිරිසක් කඳුමුදුනෙහි සිටිනු දැක කවුරුන්දැයි විමසූ විට මහරජ අප දඹදිව සිට පැමිණයේ ඔබ වෙතට සෙතක් සලසනු පිණිසය.යනුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ රජු අමතා පැවසූහ.

තමන්ගේ නුදුටු මිත්‍රයකු වූ ධර්මාශෝක අධිරාජයාගේ පුත් වූ මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු පිරිසක් බව ඔහු දැන සිටියේ නැත.

තමන් වහන්සේ දේශනා කිරීමට අපේක්‍ෂිත ධර්මය වටහා ගැනීමට තරම් මේ රජු බුද්ධිමත් දැයි විමසනු පිණිස අඹ වෘක්‍ෂයක් මුල් කරගෙන ප්‍රශ්න කීපයක් ඇසීමෙන් පසුව රජු නුවණ මුහුකුරා ගිය තැනැත්තකු බව දැනගත් මිහිඳු මහරහතන් වහන්සේ රජුට ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” දේශනා කළ සේක. එතැන් සිට මිහිඳු මහරහතන් වහන්සේ ජීවිතාන්තය දක්වාම රජු හා උත්කෘෂ්ට සබැඳියාවක් ඇති කරගෙන අනුරාධපුරයෙහි බුදුසසුන පිහිටුවා වදාළ සේක.

මේ නිසාම සියලු සතුන් හට අභයභූ®මියක් වූ මහවනය “මිහිඳු” යන නාමය සම්බන්ධ කරගෙන “මිහින්තලාව“ යන නමින් ප්‍රසිද්ධ වූයේය. එවක් පටන් සිංහල රාජධානිය අවසන් වන තුරුත්, ඉන් පසුව වර්තමානය දක්වාත් රාජ රාජ මහාමාත්‍යාදින්ගේ අවධානය යොමු වූ මිහින්තලය අද දින ලෝක බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බවට පත්ව ඇත.මෙහි පවත්නා ආගමික ගොඩනැගිලි කෙරෙහි අප අවධානය යොමු කිරීම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොසොන් පොහෝ දිනය අතිශයින් උචිතයැයි අපි කල්පනා කරන්නෙමු.

මිහිඳු මහරහතන් වහන්සේ මුල්කොට ගෙන ආරම්භ වූ ථෙරවාදී බුදුදහම ප්‍රතිෂ්ඨාපිත වූයේ පසුව මහා විහාරය බවට පත් වූ තිස්සාරාමයයි. මිහිඳු මහරහතන් වහන්සේ ගේ ගිහිකල සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණිය විසින් වැඩම කළ ශ්‍රී මහා බෝධි ශාඛාව රෝපණය කළේ තිස්සාරාමයට නුදුරින් ඊට නැගෙනහිර දෙසිනි. සඟ සසුන වැඩෙත්ම භික්‍ෂූන් අතර බුදුසමය පිළිබඳව විවිධ අදහස් ප්‍රචලිත විය.මේ හේතුව නිසාම “වට්ට ගාමිණී අභය ” (වළගම්බා) රජු (ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස) කළ පළමුවන සංඝභේදයද ඇති වී උත්තරාරාමය හෙවත් අභයගිරි විහාරය නම් නගරයට උතුරු පෙදෙසේ මහාවිහාරයට විරුද්ධව තවත් විහාරයක් ආරම්භ විය. එතැන් සිට පුද පූජා පිළිවෙත්වලට හා සමකාලීනව ඉන්දියාවේ පැමිණි මුල් බුදුදහමට පටහැනි විවිධ බෞද්ධ දර්ශනද අභයගිරි විහාරිකයන්ගේ අවධානයට යොමුවූ බැවින් වජ්ජිපුත්‍ර නිකායට අයත් ධර්මාරාමික දර්ශනය හෙවත් වෛතුල්‍යවාදය, බඳු විවිධ දෘෂ්ඨි ලක්දිව ප්‍රචලිත වුණි . ක්‍රි.ව. පස්වන සියවසේදී ලංකාවට පැමිණි ෆාහියන් භික්‍ෂුවද තම අධ්‍යයන කටයුතුවල යෙදුණේ අභයගිරි විහාරයෙහි වාසය කරමිනි. සිව්වන සියවසේදී ඔරිස්සාවේ සිට වැඩම කළ ශ්‍රී දළදා වහන්සේද අභයගිරි විහාරය මගින් පුද පූජාවලට භාජනය කෙරුණි. ක්‍රමයෙන් රජුගේද ආධාර ලබාගත් ධර්ම රුචික නිකාය තව තවත් වර්ධනය විය.

මිහින්තලේ කණ්ඨක චේතිය විවිධ වාස්තු විද්‍යාත්මක හා ආගමික ලක්‍ෂණ හේතුවෙන් වැදගත්වෙයි. මිහින්තලයට නැගෙන දර්ශනීය පඩි පෙළ මතින් නැගෙන කුඩා කඳු ගැටයක් මත පිහිටි කණ්ඨකචේතිය ඉතා වැදගත්වන්නේ එහි සිව් දෙස පිහිටුවා ඇති වාහල්කඩ සතරය. මේවා සරසා ඇති ගල් කැටයම් අතර සිව්දිසාවට මුහුණලා පිහිටා ඇත. (නැගෙනහිර) ගව (දකුණ) අශ්ව (බටහිර) සහ සිංහ (උතුර දිසාව) යන සිව් දිසාවට අධිපති ඉන්ද්‍ර යම,වරුණ සහ කුවේර යන දෙවිවරුන්ගේ වාහන වෙති. දෙවැනි සියවසට අයත් වන මෙම ගල් කැටයම් අනතුරුව 2 –3 යන කාලයන් වන විට දියුණු වූ අන්දම අනුරාධපුරයේ දක්‍ෂිණචේතිය (දකුණු දාගැබ) රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි දාගැබ්හි දක්නට ලැබෙන අපූරු ගල් කැටයම්වලින් ගම්‍යමාන වෙයි. කණ්ඨක චේතියේ නැගෙනහිර වාහල්කඩ පිරිවර සමග වූ වාමන රූපය ගණ දෙවි ලෙසින් වියත්හු හඳුනා ගනිති. කණ්ඨක චේතියට මුහුණලා ඇතුළු වන පඩිපෙළක වම්පසින් පිහිටා ඇති කඳුගැටයෙහි වූ චෛත්‍යය විශේෂිත වූවකි. මෙම චෛත්‍ය ගොඩනැගිලි පාදා ගැනීම කැණීම්කිරීමේදි මතු කරගන්නා ලද ධාතු ගර්භයෙහි බිත්ති අට වැනි සියවසක පමණ කාලයකට අයත් බිතුසිතුවම් වලින් සරසා ඇත. මේ අනුව රුවන්වැලි මහා සෑයට අයත් ධාතු ගර්භයේ දුටුගැමුණූ රජතුමා විසින් මේඝලතා, විජ්ජුලතා කුමාරි වැනි රූවලින් සැරසූ බව දැක්වෙන මහාවංස ප්‍රවෘත්තියෙන් සනාථවේ.

එකොළොස්වන සියවසට අයත් වන මහියංගණ චෛත්‍යයේ ධාතු ගර්භයෙන්ද මෙබඳු වු බෞද්ධ සිතුවම් සොයා ගෙන ඇත. මිහින්තලේ කඳුපාමුල තැනිතලා භූ®මියෙහි පිහිටි අට වැනි සියවසට අයත් ඉදිකටුසෑය මහායාන ධර්මයෙහි බලපෑම්වලට භාජනය වී ඇති අයුරු පැහැදිලිය. විශේෂ වාස්තු විද්‍යාත්මක සැලැස්මක් අනුව නිමවා ඇති මෙම චෛත්‍යයෙහි ගර්භයෙහි ආකාශ ගර්භ වැනි මහායාන පුස්තකයන් ගෙන් උපුටාගත් ධර්මපාඨ සටහන් වූ තඹ තහඩු කීපයක්ද හමුවීමෙන් මහා යානිකයන් ගරු කළ ධර්මධාතු නමස්කාරය මිහින්තලේ පැවති බව විශේෂ කරුණකි. මිහින්තලේ සෙල් ලිපියක සම්භෝග කාය නිර්මාණකාය ත්‍රිකායත්‍රය පිළිබඳ මහායාන දර්ශනයද මෙහිලා සැලකිය යුතුවෙයි. ඉහත සදහන් කළ චෛත්‍යයන් හැරුණූ විට ශිලා චෛත්‍යය නම් වූ වටදා ගෙයද මහාදාඨික මහානාග රජු විසින් නිම කළ අම්බස්තල මහාසෑයද මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන්වහන්සේලා තැන්පත් කළ රන් කඩුවක් සහිත මිහිඳු සෑයද සුවිශේෂ වූ නිර්මාණයෝය.මේ අයුරින් නිම කරන ලද චෛත්‍ය සමූහය නිසා මිහින්තලය චේතිය ගිරිය නමින්ද හඳින්වෙයි. මේ පිළිබඳව තවත් විශේෂයක් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පුරාණ දඹදිව වේදිස හි චේතියගිරි නම්වූ පුදබිමෙහි සිට ලංකාවට වැඩම කරවීමය.

මිහින්තලය කඳුපාමුල දකුණින් පිහිටියේ කලුදිය පොකුණය. ඉතා දර්ශනීය ජලාශයක් අසල පිහිටි මෙම විහාර පෙදෙස අනුරාධපුර මුල් අවදියේදී වනවාසි භික්‍ෂූන් වහන්සේලා විසූ ලෙන් විහාර සම්ප්‍රදායද පාංශු කුලික තපෝවන භික්‍ෂුන් විසූ තපෝවන නම්වූ දේශීය විහාර නිර්මාණ ගණයට අයත් විහාරද පිහිටා තිබීම මුල් කාලීන භික්‍ෂූන් වාසය කළ (විහරණය) අන්දම ගැන හැදෑරීමට උපයෝගි වේ. කණ්ඨකචේතිය අසල වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ වූ භික්‍ෂුන් වහන්සේලා විසූ අට සැට ලෙන්ද මෙහිදී වැදගත්වේ. මිහින්තලා කඳුවැටිය පාමුල බටහිර පෙදෙසෙහි පිහිටා ඇති අට වැනි සියවසට අයත් භික්‍ෂූ රෝහලද එතරම් ඈත යුගයක ලක්දිව පැවැති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හඳුන්වා දෙන විශේෂ නිර්මාණයකි. මෙහි නේවාසික භික්‍ෂූන් සඳහා අවශ්‍ය නේවාසික පහසුකම ඇතුළුව ආගමික කටයුතු සඳහා බුදුපිළිම ගෙයක්ද සහිතව එක්කොටසක්ද ජන්ඨාඝාරය නම්වූ උණුපැන් ස්නානාගාරයක්ද දාන ශාලාවක් සහිත කොටසක්ද ඇත. නේවාසික භික්‍ෂූන්වහන්සේලා හැසිරිය යුතු ආකාරය පිළිබඳ නිවේදන ඇතුළත් ශිලා පුවරු දෙකක්ද හතරවන මහින්ද රජු විසින් මිහින්තලේ පිහිටුවා ඇත.මෙම ආරෝග්‍යශාලාව අට වැනි සියවසට අයත්වූ මැදිරිගිරියේ රෝහල හා පොළොන්නරුවේ හාලාගල පිරිවෙනේ මෑතදී සොයා ගන්නා ලද සුවිශේෂ රෝහල අනුසාරයෙන් අප රටේ පුරාණ සිංහල වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් වී ඇති බවද සඳහන් කළ යුතුය.