Print this Article


පූජනීය වූ අපේ උරුමය

පූජනීය වූ අපේ උරුමය

අනුරපුර තුළ නිදන්ගතව පවත්නා ජාතික, ආගමික ශ්‍රේෂ්ඨත්වය තවමත් බොහෝ අය තේරුම් ගෙන නැත. මිහිඳු මාහිමියන් මෙහි වැඩම කොට සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කිරීම මුල් කරගෙන පොසොන් පෝදාට බෞද්ධ අති බහුතරය පැමිණ ආගමානුකූලව වත් පිළිවෙත්වල යෙදෙති. ඓතිහාසික වශයෙන් ගත්කළ “අනුරාධපුරය” තුළ තවත් බොහෝ ජාතික උරුමයන් නිදන්ගතව පවතී.

සිංහල ජාතියේ මාතෘ භූ®මිය අනුරාධපුරය යි. සිංහල වෙදකම ,ගොවිතැන හා වෙනත් ශිල්ප ක්‍රම දේශීය ශිෂ්ටාචාරය හා සංස්කෘතිය ඉපදී පැතිරී ගියේ අනුරාධපුරය පාදක කරගෙනය. හෙළ රජ දරුවන් සියයකට වැඩි පිරිසකගේ රාජධානිය වූයේ අනුරාධපුරයයි. ඒ නිසාම වසර දහසකට වැඩි කාලයක් මේ රටේ අගනුවර වූයේද අනුරාධපුර ය යි.මේ නිසා ජාතික උරුමයක් ලෙස ගත් කල සිංහල ජාතියට මේ තරම් වටිනා නගරයක් ලංකාවේ කොතැනකවත් නැත. පරසතුරු උවදුරු නිසා හෙළ රජදරුවන්ට අනුරපුර අගනුවර හැරදා යාමට සිදුවූවත් අපේ ඓතිහාසික උරුමය අනුරපුර පුරාවට අදත් නටබුන් හා කෞතුක වස්තු සමඟ සැඟවී ඇත. පරසතුරු උවදුරු නිසා අපේ උරුමය අනුරාධපුරයෙන් ගිලා බැස ඇති නමුත් ජාතියක් හැටියට නිදහස ලැබීමෙන් පසු අනුරපුර තුළ සැඟවී ඇති අපේ ඓතිහාසික උරුමය යළි මතුකර ගැනීමට සිය මව් බිමට කෙරෙන සැලකීමක් වශයෙන් සෑම සිංහලයෙක්ම උනන්දු විය යුතුය.

අනුරාධපුරයට ඇත්තේ ජාතික නිර්මාතෘත්වයේ උරුමය පමණක් නොවේ. බෞද්ධ ජනතාවගේ ජන්ම භූ®මිය අනුරාධපුරයයි. දඹදිව මිහිඳු මාහිමියන් මිස්සක පව්වට වැඩමකොට “සමනාමයං මහාරාජ” කියමින් දෙවන පෑතිස් රජුට හා පිරිවරට කියනු ලැබූ ප්‍රථම බණ පදය මුල්කොට මිස්සක පව්වෙන් අනුරාධපුරයට අනුරාධපුරයෙන් මුළු රටට උතුම් බුදු දහම පැතිරී ගියේය. ඒ ඓතිහාසික පසුබිම අනුව බෞද්ධයාගේ මාතෘ භූමියද අනුරාධපුරය ලෙස සැලකීම නිවැරැදිය,මේ තරමට ජාතික හා ආගමික වශයෙන් උතුම් ‘වූ අනුරාධපුරය පොසොන් පෝදාට පමණක් සිහිපත් කිරීමෙන් ප්‍රමාණවත්ද ? ඊට වඩා වැඩි යුතුකමක් හා වගකීමක් සිංහලයන්ගෙන් බෞද්ධ ජනතාවගෙන් ද අනුරාධපුරයට ඉටුවිය යුතුව තිබේ. අනුරාධපුරය සිංහල ජාතියේ මාතෘ භූමිය වශයෙන්ද සම්බුද්ධ ශාසනයේ පුණ්‍ය භූමිය වශයෙන් ද අනුරාධපුරයට කාගේත් වැඩි අවධානයක් යොමුවීම යුග අවශ්‍යතාවයක් වී ඇත.

බෞද්ධ ජනතාවට අනුරපුර ශුද්ධ භූ®මියක් ද පුණ්‍ය භූ®මියක්ද විය යුතුය.මෙසේ උතුම් වූ අනුරාධපුර ශුද්ධ භූ®මිය තුළ අන්‍යාගමිකයන් පමණක් නොව ඇතැම් බෞද්ධයන් පවා සතුන් මරණ මස් කඩ, මත්පැන් හල්, වෙනත් සදාචාර විරෝධී ආයතන පවත්වාගෙන යයි. මෙවැනි බුදු දහමට නොගැළපෙන තැන් අනුරපුර පින් බිමෙන් ඈත් කිරීම ගැන කාගේත් අවධානය යොමුවිය යුතුය.

සැබෑ බුදු දහම ඇත්තේ කටපාඩමින් කියන සිල් පදය තුළ නොව, ඒ සිල් පදය සැබෑ ලෙසම ප්‍රායෝගිකව අනුගමනය කරන තමන්ගේ දෛනික ජීවිතය තුළය “පානාතිපාතා වේරමණී” යැයි හැමදාමත් උදයට සමහරවිට රාත්‍රියට කියමින් සතුන් මැරීම කරති. නැතහොත් ඊට අනුබල දෙති. අප මේ ආත්ම වංචනික ඇදහිලි රටාවෙන් අත්මිදී යුතුය. පන්සිල් පද කියා බුදුරදුන්, දහම්, සඟුන්, ඉදිරියේ දිවට දුන්න සැබෑනම් ඒ ශීලයන් ප්‍රායෝගිකව අපේ දිවි පෙවෙතට නිතරම එකතු කරගත යුතුය. සමහර විට දවසට දෙතුන් වරක් මේ සිල්පද අපට කියවීමට සිදුවන්නේ මේ සිල් පද ඇඟේ සිතේ ක්‍රියාවේ නැති හෙයිනි. මේනිසා පන්සිල් පද කියමින් බුදුරදුන් දහම් ,සඟුන් ඉදිරියේ දිවට දුන්නා සැබෑනම් එතැන් පටන් ඒ සිල්පදවලින් කියැවෙන දේ අපේ දෛනික ජීවිතයට නොවරදවාම එකතු කර ගත යුතුය.මේ අයුරින් පනසිල් රකින සාමජයක් ඇතිවූ දාට, පොලිසියට,අධිකරණයට , බන්ධනාගාරවලට වැඩ අඩුවී යනු ඒකාන්ත ය. දිවි හිමියෙන් පොලීසියට,අධිකරණයට බන්ධනාගාරයට අඩිය නොතැබූ උතුම් මිනිස්සු තවමත් අප අතර සිටිති. බුදු දහමේ ආශිර්වාදයෙන් මුළු මහත් මානව සමාජයම ඒ තත්ත්වයට පත්විය යුතුය.

මුලින්ද සඳහන් කළ පරිදි අනුරාධපුරය වචනාර්ථයෙන්ම පුණ්‍ය භූමියකි. පොසොන් පෝදා අනුරපුර වැඳපුදා ගන්නට එන අය සැබැවින්ම සිල්වත් විය යුතුය. සංවර විය යුතුය.ආත්ම සංයමයකින් යුතුව කටයුතු කළ යුතුය.පොසොන් පෝය නිමිති කොට අනුරාධපුරයට ඒමට නිවසින් පිටත්වන මොහොතේම මේ පින් සිතිවිල්ල සිතට ගත යුතුය.තමන් යන්නේ ශුද්ධවන්ත පුණ්‍ය භූමියකට ය. ඒ නිසා තමන්ද සංවරයෙන්, සංයමයෙන්, ආචාරශීලිව, සැදැහැවත්ව ඒ පින්කමට සූදානම් විය යුතුය.

අනුරාධපුරය පින් පුරයට එන සමහර කාන්තාවෝ ,ඇඟපත පෙන්වාගත් ඇඳුම් ආයිත්තම වලින් සැරැසී එති. එවැනි විපරීත ඇඳුම් වලින් සැරැසී අනුරාධපුරයට එන්නේ සැබැවින්ම පිනක් දහමක් කිරීමට නම් නොවේ. එවැනි අය තුළ වෙනත් විවිධ අරමුණු පවතී. අනුරාධපුරය පින් බිමක් බව පුන පුනා කිව යුතුය. තරුණ කාන්තාවන් පමණක් නොව නව යොවුන් වියේ තරුණයන්ද අසංවර ඇඳුම් ඇ¼ඳගෙන නටන, ගයන අවස්ථා කොතෙකුත් දක්නට ලැබී ඇත. “ආගමේ ගෞරවය, පින්බිමේ උතුම් බව කෙලසන්නට එපා” යැයි අපි එවැනි අසංවර තරුණ පිරිස් වලින් ඉල්ලා සිටිමු. සුදු පාට සන්වර ඇඳුමක් ඇඳගෙන අනුරපුර පින් බිමට ඇතුළු වන්න. පින්බිමෙන් පිටවී යන තුරුම ආචාරශීලිව සුදු ඇඳුමෙන් පේවී සිටින්න. එය බුදු දහමට කෙරෙන උතුම් පූජාවකි.

පසුගිය වසර දෙක තුනේ ත්‍රස්ත උවදුරු නැති හෙයින් ලක්ෂ ගණනින් බෞද්ධ ජනතාව අනුරධපුර පින් බිමට පැමිණියහ. මේ වාරයේ ඊටත් වඩා වැඩි පිරිසක් අනුරාධපුරයට පොසොන් උළෙල නිමිති කොට පැමිණෙනු ඒකාන්තය. අහම්බෙන් ගඟක් ගලා පිටාර ගැලුවාක් මෙන් දින දෙක තුනක් අනුරාධපුර පින්පුරය පුරා ගැවසෙන ජනතාව ශුද්ධ භූ®මියේ පිරිසුදුකම ගැනද සැළකිලිමත් විය යුතුය. බොහෝ අය තමන් ගෙන එන සිලි සිලිකවර , ප්ලාස්ටික් බඳුන්, ඉඳුල් වූ කෑම පාර්සල්, බිස්කට් පෙට්ටි, ප්ලාස්ටික් බෝතල් ආදිය පරිසරය පුරා නොසැලකිලිමත් ලෙස වපුරා යති. අපේ ශුද්ධ භූමිය, අපේ පින් බිම යන මමායනයෙන් පිරුණ සැබෑ හැඟීමකින් යුතුව එවැනි අපද්‍රව්‍ය එවැනි දේ දැමීමට තැනින් තැන ඇති කසළ බඳුන් වලට දැමීමටත් එසේ නොහැකිනම් තමන් ගෙන ආ සියලු අපද්‍රව්‍ය ආපසු ගෙනයාමටත් හැම දෙනාම සැලකිලිමත් වන්නේ නම් පින් බිම පිරිසුදුව තබාගත හැකිය.

දිය පිරුණු වැව් දුටු විට දියට බැස දිය කෙළියේ යෙදීමට බොහෝ තරුණ පිරිස් උනන්දු වෙති.මේ දිනවල තිසා වැව, අභයවැව, නුවරවැව, මහ කනදරා වැව මහ වැව් ජලයෙන් පිරි පවතී. වැව්දියේ ගැඹුර ආගන්තුක පිරිස් දන්නේ නැත. එසේම සමහර වැව්වල කිඹුලන් සිටීමටද පුළුවන්. මේ නිසා ආවාට ගියාට වැව්දියට බැසීමෙන් වැළකීම සිය ආත්මරක්ෂාවට හේතුවේ. ඒ ඒ වැව් වල දියට බැසිය හැකි තැන්, නාන තොටුපොළවල් සටහන් කරමින් පොලිසියෙන් හා ස්වේච්ඡා සංවිධාන ම¼ගින් දැන්වීම් පුවරු සවිකර ඇත. ඒ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

පොසොන් සමයට දන්සල් දෙන පිරිස්ද සංවිධාන ගතවී අනුරපුරට හා මිහින්තලේට පැමිණ වන්දනාමාන කරන දෙනෝදාහක් බැතිමතුන්ට අහාරපානාදියෙන් උවටැන් කරති. එය උතුම් පින්කමකි. දුරබැහැරෙන් පැමිණ දින දෙකේ තුනේ රැඳී සිටින බැතිමතුන්ට පින් පිණිස දෙන දන්සල් ඉතාමත් ප්‍රයෝජනවත් වේ. තමන් හොඳ සිිතින් කරන දෙය පින් පිරෙන ලෙසම ඉෂ්ට සිද්ධ කළ යුතුය. බැතිමතුන්ට ආහාරපාන සැපයීමේදී ඒවායේ පිරිසුදුකම,නොපිළුනු බව, ප්‍රමාණවත් තරමට හා අවශ්‍ය අයට පමණක් කෑම බීම දීම ආදි කරුණු ගැන දන්සල් පවත්වන අය සැලකිලිමත් වීම වැඩි වැඩියෙන් පින් පිරීමට හේතුවේ.

අනුරාධපුරය නුහුරු නුපුරුදු අයට පෙරමඟ පෙන්වා දීමට පොලිසියට හා ස්වේච්ඡා සංවිධාන සැලැසුම් සහගතව සූදානම්ව සිටී. එසේම අවශ්‍ය අයට ප්‍රථමාධාර ලබාදීමටත්,අවශ්‍ය වුවහොත් රෝහල් යැවීමටත් දැනටමත් ප්‍රථමාධාර කණ්ඩායම් සහ වෛද්‍ය කණ්ඩායම් පේකර ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාගෙන් දැනගන්නට ලැබිණ. එසේම බැතිමතුන්ට අවශ්‍ය රැකවරණ සැලසීමට හා මඟ පෙන්වීමට පොලිසිය සූදානමින් සටියි.

ජීවමාන බුදුරදුන් බඳු සිරිමා බෝ සමිඳුන් වැඳ පුදාගෙන පිහිට ලබාගන්නට, සර්වඥ ධාතු වලින් පිරී ගිය ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වැඳපුදා ගන්නට,අනුරාධපුරයේ අටමස්ථාන වඳින්නට, සිංහලයාගේ අනන්‍යතාවයක් වූ අභය වැව දකින්නට පොසොන් දා අනුරපුරට පැමිණ සිල්වත්ව පවතිමින් පින් පෙත් පුරවා ගන්න.