Print this Article


සාරවත් සංස්කෘතියක උරුමය

සාරවත් සංස්කෘතියක උරුමය

මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශකත්වය නිසා නිර්මල ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ මහාවිහාරය ආරම්භ වීම ලක් බුදුසසුනේ සුවිශේෂිත ම සිද්ධියකි. මහා විහාරවාසී උගත් බහුශ්‍රැත මහතෙරුන් වහන්සේ ත්‍රිපිටකයෙහි පාරප්‍රාප්ත වූහ. ත්‍රිපිටකය මැනැවින් අධ්‍යයනය කිරීම සඳහා ලියැවුණු අටුවා, ටිකා, ටිප්පනි, බුදුදහම පිළිබඳ ලෝකයේ ඉහළම පර්යේෂණ ග්‍රන්ථ වශයෙන් හැඳින්විය හැකිය.

මහින්දාගමනය, ලක් ඉතිහාසය සාරවත් මාවතකට යොමු කළ සදානුස්මරණීය අවස්ථාවකි. ඒ උත්තම සිදුවීම සිරි බුදුවසින් 236 වැනි පොසොන් පුන් පෝ දින සිදුවිය. දීප වංසය, මහාවංසය හා සමන්තපාසාදිකා විනය අටුවාව මේ පිළිබඳ විස්තර වාර්තා කරන්නේ එය ලක් ඉතිහාසයේ වැදගත් ම ඓතිහාසික සිද්ධිය වශයෙන් සලකමිනි. ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වාදීම දේවානම්පියතිස්ස රාජ කාලයේ සිදු වූ බව වංසකතා ඒකමතිකව ප්‍රකාශ කරයි. එම කෘතීන්හි එය වාර්තා කරන්නේ දේවානම්පියතිස්ස රජු හා සමකාලීන මෞර්ය අධිරාජයා වූ දඹදිව ධර්මාශෝකයන්ගේ උනන්දුවේත්, උත්සාහයේත් ප්‍රතිඵලයක් වශයෙනි.

තුන්වැනි බෞද්ධ මහා ධර්ම සංගායනාව අවසානයේ දී ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන අනුගාමික තෙරවරුන් ද සුමන සාමණේරයන් හා භණ්ඩුක උපාසක ද විසින් පිරිවැරුණු ධර්මාශෝක මහ රජතුමාගේ ම පුත්‍ර මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට එවන ලද බව වංසකතාව වාර්තා කර සිටී. එහි ඓතිහාසික සත්‍යතාව සෙල්ලිපි ඇසුරින් ද සනාථ කර ගැනීමට හැකිව ඇත. බුදුදහම වැළැඳගත් ආදිතම සිංහල රජවරුන් අතරින් දේවානම්පියතිස්ස, උත්තිය යන රජවරුන්ට අයත් ලෙන්ලිපි මිහින්තලයෙන් ලැබී තිබේ. ‘ලක්දිව පැරණි සෙල්ලිපි’ නම් වූ කෘතියේ ආචාර්ය එඩ්වඩ් මුලර් ලක්දිව බුදුසසුන පිහිටුවීම සම්බන්ධයෙන් වැදගත් වන සෙල්ලිපි පෙළ ඉදිරිපත් කර තිබේ. එහි ‘මහිදතෙර හච භදසාල තෙරහච, ඉටිකතෙරහච උතිතෙරහච’ (13 වන පෙළ) යනුවෙන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දුන් මහින්ද, භද්දසාල, ඉට්ඨිය, උත්තිය යන තෙරවරුන් පිළිබඳ බව නිසැකය. එහි සම්බල තෙරුන් වහන්සේගේ නම දක්නට නැත්තේ එම කොටස විනාශ වී යාමකට හසුවූ බැවිනි. එකී සෙල්ලිපියේ ලක්දිවට බුදුදහම රැගෙන පැමිණි තෙරුන් වහන්සේගේ නම් කිහිපයට අනතුරුව ‘පටමහ’ යනුවෙන් පදයක් එයි. ‘පටමහ’ යනු ‘පටීමා’ යන වදනට සමකළ හැකි නම්, එම ස්වාමීන් වහන්සේගේ ප්‍රතිමා චේතියගිරි විහාර බිමේ පිහිටුවා තිබූ බව නිගමනය කළ හැකි ය. එයින්ම මහින්දාගමනයේ ඓතිහාසිකත්වය තහවුරු වෙයි.

ලක්දිවට සැපත් මිහිඳු හිමි ධර්ම ප්‍රචාරය සඳහා මුලින්ම එළැඹුණේ රටේ ප්‍රධාන පුරවැසියා වූ දේවානම්පියතිස්ස මහ රජතුමා වෙතටය. මුව දඩයමේ නියැළී සිටි දේවානම්පියතිස්ස රජතුමාට බුදුදහමේ පණිවිඩය ලබා දීමට සුදුසුම අවස්ථාව එය ම බව මිහිඳු හිමියෝ කල්පනා කළහ. සත්ව ඝාතනයේ නියැළී සිටි රජතුමාගේ අවධානය තමා වෙතට යොමුකරවාගෙන, අඹ පැනයෙන් හා ඥාතීන් පිළිබඳ පැනයෙන් ඔහුගේ බුද්ධිමත්භාවය වටහාගෙන රජතුමා බෞද්ධ උපාසකයකු බවට පත් කළේ තෙරුවනේ අගය මැනැවින් විවරණය කෙරෙන මැදුම් සඟියේ ‘චුල්ලහත්ථි පදෝපම’ සූත්‍රය දේශනා කිරීමෙනි.

හෙළ බසින් ධර්මය දේශනා කිරීම ලක්දිව බුදුදහම ප්‍රචාරය අතිසාර්ථක වීමට බලපෑ වැදගත් කරුණකි. මහාවංසයේ මේ බව ‘ධම්මං භාසිත්වා දීපභාසායා ඒවං’ යනුවෙන් සඳහන් වේ. ලක් ඉතිහාසයේ මුල්වරට හෙළ බසින් සිදු වූ උදාර කටයුත්ත වන්නේ ද මිහිඳු බණ දෙසුමය. පොසොන් පුන් පෝදා අප රටට ලබාදුන් මේ අමරණීය දායාදයේ මහිමය ශ්‍රී ලාංකේය කුලපුත්‍රයන්ට පවරා දීමට තරම් මිහිඳු මාහිමියෝ කාරුණික වූහ. එහි අනගිතම ප්‍රතිඵලය වූයේ ප්‍රථම වරට ථූපාරාමයේ දී පවත්වන්නට යෙදුණු විනය සංගායනාවේ ප්‍රධානත්වය දෙවන පෑතිස් රජතුමාගේ බෑණනු ‘මහා අරිට්ඨ’ තෙරුන් වහන්සේ ඉසිලීමයි.

මහා මහින්ද මහ රහතන් වහන්සේගේ ක්‍රියා කලාපය නිසා බුදුදහම ලක්වැසියාගේ ප්‍රාණ වායුව බවට නොබෝ කලකින් ම පත් විය. උන්වහන්සේ හෙළ බසට, හෙළ දැයට සිදු කළේ අමිල සේවාවකි. පාලි අටුවා සිංහල බසට නැඟීමෙන් සිංහල බසේ පෝෂණයට සිදු කළේ සුවිසල් මෙහෙයකි.

‘මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව ඇදුරෝ හෙළ බසින් තැබූහ.’ යනුවෙන් ධම්පියා අටුවා ගැටපදය කෘතියේ මේ බව සඳහන් වේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදේශකත්වයෙන් ත්‍රිපිටකාගත අටුවා සිංහලයට නැඟීමෙන් සිංහල සාහිත්‍යයේ පෝෂණය සඳහා මනා පදනමක් වැටිණි. මහින්දාගමනයෙන් වැඩිකල් නොගොස් මෙරට නිර්මාණාත්මක සාහිත්‍යයක් බිහි වූ බවට හොඳම සාධකය ‘සීගිරි ගී’ සාහිත්‍යයයි. සිඛවළඳ විනිස හා ධම්පියා අටුවා ගැටපදය යන කෘති දෙස බැලීමේ දී සිංහල සාහිත්‍යයේ පදනම ද මහින්දාගමනයත් සමඟම සකස් වූ බව තහවුරු වෙයි. මෙයින් අනාවරණය වන්නේ මහින්දාගමනය නිසා ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියක් උදා වූ බවය. මේ නව සංස්කෘතියේ උතුම් අංගවලින් ලාංකේය ජනතාවගේ ජීවිත සකස් වූ බව ආදි ලාංකේය සමාජ තොරතුරු වලින් පැහැදිලි වෙයි.

වංසකතාකරුවෝ මිහිඳු මහ රහතන් වහන්සේ ‘ද්වීප ශාස්තෘ’ හා ‘ද්වීප ප්‍රසාදක’ යන විශේෂණ පදවලින් හඳුන්වති. ‘ද්වීප ශාස්තෘ’ යනු අනුබුදු මිහිඳු යන නාමයට යෝග්‍යම වූ යෙදුමකි. සිරිලක් දිවට නවාලෝකයක් උදාකළ හෙයින් උන්වහන්සේ ‘ද්වීප ප්‍රසාදක’ යන විශේෂණයට අතිශයින් ම ගැළැපෙයි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවාසීන් බෞද්ධයන් බවට පත්කරලීම සඳහා පදනම් කරගත් සූත්‍ර ධර්ම දේශනා මාලාවෙන්ම උන්වහන්සේ අතිශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ බව ද තහවුරු වෙයි. ත්‍රිපිටකාගත දහස් සංඛ්‍යාත සූත්‍ර ධර්ම අතුරෙන් ශ්‍රී ලංකාවේ දී මුල්ම වරට දේශනා කිරීම සඳහා, නැතහොත් මංගල ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ මැදුම් සඟියේ එන ‘චුල්ලහත්ථි පදෝපම’ සූත්‍රයයි. පිලෝතික හා ජාණුස්සෝණී යන දෙදෙනා අතර පැවැත්වෙන සංවාදයක් ඇසුරෙන්, නියම බෞද්ධයකු බවට පත්වන ආකාරය චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ ඉතාම සිත් ගන්නා සුළු ආකාරයට පියවරෙන් පියවර ඉදිරිපත් කර තිබේ. තෙරුවන නිසි පරිදි සරණ යෑමෙන් ද පංචශීලය මූලික නිරවද්‍ය ප්‍රතිපදානුකූල වීමෙන් ද යහපත් බෞද්ධයකු වීම මහත් සේ අගය කිරීමට ලක්විය. විමාන වත්ථු, පේත වත්ථු, සච්ච සංයුක්ත, සමචිත්ත පරියාය සහ දේවදූත ආදී වශයෙන් ශ්‍රී ලාංකේය ජනතාවට බුදුදහමේ පණිවිඩය ලබාදීමට ඉවහල් කරගත් සූත්‍ර ධර්ම සොළස බෞද්ධ ජීවිත සකස් කර ගැනීමට මනාසේ ඉවහල් වන ධර්මදේශනා මාලාවකි. මේ මිහිඳු බණ නිසා සිංහල ජාතිය හා ආගම ඒකාබද්ධ වූයේ ගසට පොත්තත්, පොත්තට ගසත් මෙනි. බුදුදහම නිසා සිංහල දේශයත්, සිංහල දේශය නිසා බුදුදහමත් මෙහි සදා සුරැකි අයුරු ශ්‍රී ලංකා ශාසනවංසයෙන් තහවුරු වෙයි.

මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් අධ්‍යාපනයේ ප්‍රතිඵල සමකාලයේදීම දක්නට ලැබුණේ පැවිදි උතුමන් අරහත්වයට පත්වීමෙනි. ඒ හැර දේවානම්පියතිස්ස මහරජතුමාගේ වකවානුවේ දී ම ත්‍රිපිටකධර, වියත්, බහුශ්‍රැත මහ තෙරුන් වහන්සේ ද වැඩ විසූ බව ශාසන ඉතිහාසගත කතා පුවත්වලින් ස්ඵුට වෙයි.

මෙරට ක්‍රමවත් සමාජ සංවිධානයක් ස්ථාපිත කිරීමට ද කාන්තා පරපුර සමාජානුයෝගී කිරීමට ද මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත මෙරටට වැඩම වූ සඟමිත් තෙරණිය ප්‍රමුඛ තෙරණියන් වහන්සේගෙන් සැලසුණේ අමිල මෙහෙයකි. ඒ යටතේ සිදු වූ දුමින්දාගමනය මහින්දාගමනයෙන් උදා වූ ආලෝකය වඩාත් තීව්‍ර කරන්නකි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවාව සඳහා හා සෙසු කාර්යයන් සඳහා මෙහි පැමිණ විවිධ මාහැඟි කටයුතුවල නියුතු වූ පිරිස නිසා ශ්‍රී ලංකාවේ නව සමාජ සංවිධානයක් ආරම්භ විය. එසේම ජය ශ්‍රී මහා බෝධිය සිංහල දේශයේ වැදගත් ම පූජනීය වස්තුවක් බවට පත් විය. පසු කලෙක ඒ ඇසුරෙන් ගොඩනැඟුණු භාෂා සාහිත්‍යමය සංවර්ධනය ද මෙහිලා අගය කළ යුතු වේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශකත්වය නිසා නිර්මල ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ මහාවිහාරය ආරම්භ වීම ලක් බුදුසසුනේ සුවිශේෂිත ම සිද්ධියකි. මහා විහාරවාසී උගත් බහුශ්‍රැත මහතෙරුන් වහන්සේ ත්‍රිපිටකයෙහි පාරප්‍රාප්ත වූහ. ත්‍රිපිටකය මැනැවින් අධ්‍යයනය කිරීම සඳහා ලියැවුණු අටුවාටිකා, ටිප්පනි, බුදුදහම පිළිබඳ ලෝකයේ ඉහළම පර්යේෂණ ග්‍රන්ථ වශයෙන් හැඳින්විය හැකිය. මනෝරථපුරණී, පරමත්ථජෝතිකා, විශුද්ධි මාර්ගය වැනි අටුවා, ටීකා ග්‍රන්ථ සඳහා යෙදූ ග්‍රන්ථ නාමාදියෙන්ම මේ කෘතිවල ගැබ්ව ඇති නිර්මාණශීලීත්වයත්, හරවත්භාවයත් පසක් කර ගත හැකි වේ.