Print this Article


බාලයාත් පණ්ඩිතයාත් අතර ඇති වෙනස

බාලයාත් පණ්ඩිතයාත් අතර ඇති වෙනස

තිදොරින් පව්කරපු අනුවණයා මරණයෙන් පසු අනන්ත දුකට හේතුවන තමාගේ කැමැත්තට විරුද්ධ ව උපතක් ලබන තමා කරන ලද පාප කර්මයෙහි බලවත්කම හෝ දුබලකම අනුව ඔහුට නියම වූ දුගතියක උපත ලබනවා. නිරාදුක උපමාවකින් දැක්විය නොහැකි බව වදාළ බුදුරදුන් අතින් ගත හැකි කුඩා ගල් කැටයක් අතට ගෙන භික්‍ෂුන්ගෙන් ඇහුව මහණෙනි, මේ ගල්කැටයත් හිමාලය පර්වතයත් දෙක සසඳනව නම් කෙබඳු වේ ද? කියලා. එවිට භික්‍ෂූන් ස්වාමීනි. මේ ගල් කැටය හිමාලය පර්වතයෙන් සියයකින් දහසකින් හෝ සියක් දහසකින් හෝ අසමානයි. ඒ නිසා මේ දෙක සසඳවන්නක් වටින්නේ නැහැ කීව. එවිට බුදුන් වහන්සේ මහණෙනි, නිරය ගැන හෝ නිරා දුක් ගැන හෝ විස්තර කිරීම අතිශය දුෂ්කරයයි වදාළේ. මහණෙනි, මා නරක දුක් මෙබඳු මෙ බඳුයයි වසර සියයක් හෝ වසර දහසක් හෝ වසර ලක්‍ෂයක් හෝ ප්‍රකාශ කළත් අවසන් කළ නොහැකියැයි තවදුරටත් වදාළහ

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසද්දී, භික්‍ෂූන් අමතා දේශනා කරනලද බාල පණඩිත සූත්‍රය බු.ව. 236 දී පොසොන් පුර පෝ දින මහින්ද මහරහතන් වහන්සේ ලංකාවේ මිස්සක පවුවේ අඹතලා ගලමතට වැඩම කොට සිටිය දී, ලක්දිව රජතුමා වූ දෙවන පෑතිස් රජ දඩ කෙළි පිණිස එදෙසට පිරිවර සමඟ ගමන් කළා.අඹතලා ගලමත වැඩ සිටිය මිහිඳු මා හිමියන් දුටු රජතුමා ඇතුළු පිරිස උන්වහන්සේ සමඟ තොරතුරු කථා කොට දැන හැඳින ගත් පසු මිහිඳු මා හිමියෝ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් බණ දෙසූහ. රජතුමා ඇතුළු පිරිස බුදු දහම වැළඳ ගෙන පසු දින නගරයට වඩින්නට ආරාධනා කොට නගරයට ගියහ. පසු දින අනුරාධපුර නගරයට මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිස වැඩිය පසු රජගෙදරට වඩම්මා ගෙන ගොස් දහවල දානය වළදවා අවසනැ. අනුලා බිසව ඇතුළු 500ක් කාන්තාවන්ට පේතවත්ථූ, විමානවත්ථූ, සච්චසංයුක්තය යන ධර්ම දේශනා පවත්වා සෝවාන් ඵලයට පමුණූවා එදිනම සවස මඟුලැත්හලදී දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ උන්වහන්සේ අනතුරුව නන්දන උයනේදී මහජනයාට මෙම බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්මදේශනා කළහ.

බාල පණ්ඩිත සූත්‍රයෙන් කියවෙන්නේ බාලයා සහ පණ්ඩිතයා යන දෙදෙනාගේ ලක්‍ෂණයි. බාලයා අර්ථය හා අනර්ථය නොදන්නෙකි. එමෙන්ම මොහු තමාගේ යහපතත් අන්‍යයගේ යහපතත් යන දෙකම නොදනී. අප අතර කිසියම් විපතක් සිදුවෙනවා නම් ඒ සියලු ම විපත් සිදුවන්නේ බාලයා නිසා මිස පණ්ඩිතයා නිසා නොවේ. බුදුන්වහන්සේ වදාරා තිබේ. එමෙන්ම බාලයකු යමක් දන්නවා නම් එයත් සම්පූර්ණ යෙන්ම බලයාගේ අනර්ථය පිණිස හේතුවෙනව කියලත් වදාළහ. (යාවදේව අනන්ථාය ඤත්තං බාලස්ස ජායති”යි වදාළේ ඒ බවයි. බාලයා සමහරවිට කිසියම් ශිල්ප ශාස්ත්‍රයක් දන්නේ නම් ඒ දන්නා දෙයම ඔහුගේ ප්‍රඥාව නමැති හිස පලනවාය කියා උන්වහන්සේ වදාළේ ‘සන්නි බාලස්ස සුක්කංස මුද්ධමස්ස විපාතයං” යනුවෙනි. බාලයා දන්නා ශිල්ප ශාස්ත්‍ර නිසා ඔහු උපයා ගත් යස ඉසුරු පවා විනාශ කර ගන්නා බව තවත් විටක බුදුන් වහන්සේ වදාළ සේක. අද අපේ සමාජයෙන් මෙබඳු පුද්ගලයන් කොතෙතුක් සොයා ගත හැකියි. මොවුන් යමක් උගෙන ගත්තත් මොවුනට ප්‍රඥාව නොමැති වීම ඔවුන්ගේත් රටේත් විනාශයට හේතු වී තිබෙනු ඔබ නිතරම දැන ඇතැයි සිතමි . “දන්ධා බහු” යනුවෙන් ලොව අනුවණයන් බහුල බව වදාළේ ද මේ නිසයි. ප්‍රඥාව සමඟ උගත් කමක් තිබේ නම් පමණයි.උගත්කමින් අන්‍යයන්ට යහපතක් කරන්න හැකි වන්නෙ. එ බන්දන්ටයි අර්ථය අනර්ථය තේරුම්ගෙන අනර්ථයෙන් බැහැරව අර්ථයෙන් ලොවට යහපතක් කරන්නට හැකිවන්නෙ. ඒ නිසාය එදා මිහිදු මා හිමියන් සිංහලයන් නුවණැතියන් කරන්නට ඔවුන්ට අවශ්‍ය මෙම සූත්‍රය පළමු වෙන්ම වාගේ දේශනා කළේ. බුදු දහම නුවණැතියන්ට මිස අනුවණයන්ට විෂය නොවන නිසයි. ‘පඤ්ඤාවන්තස්ස යං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස”යි වදාළේ.

”තිනිමානි භික්ඛවෙ බාලස්ස බාලලක්ඛාණානි” යි යනාදි වශයෙන් බුදු රදුන් වදාරනව මහණෙනි, බාලයා ගේ බාල ලක්‍ෂණ තුනක් තියෙනව. එනම් ලෝභ, ද්වේශ, මිද්‍යාදෘෂ්ටි යන චෛතසික අකුසලයත් මුසා, පිසුණා ඵරුෂ සම්ඵප්පලාප යන වාචසික අකුසලත් ප්‍රාණඝාත ‘අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන කායික අකුසලත් යන දශ අකුසල්වල යෙදීම බාලයාගේ අනුවණයාගේ ලක්‍ෂණ තුනකි. එනම් කයින් පරපණ නැසීම, නුදුන් දෙය ගැනීම,පරදාර සේවනය යන පව්කම් තුන කරයි. වචනයෙන්,බොරුකීම, කේලාම් කීම, ඵරුෂවචන බිණීම හිස් වචන කථා කිරීම යන අකුසල් තුනයි. මනසින් ,තද ලෝභය, ක්‍රෝධය, මිසදිටු බව යන අකුසල් තුනයි.මේ අකුසල් කිරීම බාලයාගේ ලක්‍ෂණ තුනයි. මේ අකුසල් කරන පව්කාරයා පිරිසක් අතර හෝ වීදියක හෝ සිටින අවස්ථාවක එතැන සිටින සෙසු පිරිස ඉහත කී අකුසල් පිළිබඳව අවඥා සහගතව කථාකරනව නම් එය අසා සිටින එම පව්කාරයා අනේ අර පිරිස කථාකරන පවිටු ක්‍රියා මා ළඟ තියෙනවා. ඒවා කරන කෙනෙක් මම, කියල හිතල දුකට දොම්නසට පත්වෙනව. මේ පව්කාරයා මෙලොවදීම දුකට දොම්නසට පත්වෙන පළමු වන අවස්ථාවයි. යළිත් කිසියම් අවස්ථාවක මේ අනුවණයා තමා වැනි අපරාධකරුවකු රජ අණ පරිදි රාජපුරුෂයන් විසින් අල්ලාගෙන ගොස් කසවලින් තලමින්, මුගුරුවලින් ගහමින්,අත් පා කපමින් ආදි වශයෙන් දෙතිස් වධ දෙන බව දැකල ඔහු හිතනව මාත් මේ අපරාධ කරපු, කරන කෙනෙක්. ඒ බව රජතුමා දැනගත්තොත් මාත්අල්ල ගෙන ගොස් මේ වධ මටත් පමුණුවනව කියල හිතල අනුවණයා මෙලොවදීම දෙවන වරටත් දුකට දොම්නසට පත්වෙනව.මේ අනුවණයා වයස්ගතව හෝ රෝගී වී හෝ පුටුවක හෝ සයනයක හෝ බැමි හෝ වැතිර සිටිනවිට ඔහු විසින් කරනලද පාපී ක්‍රියා ඔහු ඉදිරියෙන් එල්ලි එල්ලී තියෙනවා වගේ පෙනෙනව. නැතහොත් පර්වත ඡායාවක් වගේ පැතිරී තියෙනවා දකිනව.එවිට ඔහු ඒවා ගැන සිතා දිට්ඨ ධම්මවේදනිය වශයෙන් තෙවන වරටත් දුකට දොම්නසට පත්වෙනව. ඔහු මෙහෙමත් සිතනව. අනේ මා මෙ බඳු පව් කළ පවිටෙක්. මා යහපත් කර්ම කළේ නැහැ අකුසල් කළේ නැහැ .සසර බියෙන් එතෙර වීමට අවශ්‍ය කුසල් කළේ නැහැ. කළේම පාපකර්ම හා කුරිරු කර්මයි. මෙබඳු පාප ක්‍රියා කරපු පුද්ගලයා කිසියම් දුගතියක උපදිනව නම් මාත් මරණින් පසු උපදින්නෙ එබඳු දුගතියකැයි කියල ශෝක කරනව. ක්ලාන්ත වෙනවා. පපුවෙ අතගසාගෙන හඬනව. සිහිමුලා වෙනව,මේ පව්කාරයා තෙවන වරටත් දුකට දොම්නසට පත්වන්නෙ මෙසේයි.

තිදොරින් පව්කරපු අනුවණයා මරණයෙන් පසු අනන්ත දුකට හේතුවන තමාගේ කැමැත්තට විරුද්ධ ව උපතක් ලබන තමා කරන ලද පාප කර්මයෙහි බලවත්කම හෝ දුබලකම අනුව ඔහුට නියම වූ දුගතියක උපත ලබනවා. නිරාදුක උපමාවකින් දැක්විය නොහැකි බව වදාළ බුදුරදුන් අතින් ගත හැකි කුඩා ගල් කැටයත් අතට ගෙන භික්‍ෂුන්ගෙන් ඇහුව මහණෙනි, මේ ගල්කැටයක් හිමාලය පර්වතයත් දෙක සසඳනව නම් කෙබඳු වේ ද? කියලා. එවිට භික්‍ෂූන් ස්වාමීනි. මේ ගල් කැටය හිමාලය පර්වතයෙන් සියයකින් දහසකින් හෝ සියක් දහසකින් හෝ අසමානයි. ඒ නිසා මේ දෙක සසඳවන්නක් වටින්නේ නැහැ කීව. එවිට බුදුන් වහන්සේ මහණෙනි, නිරය ගැන හෝ නිරා දුක් ගැන හෝ විස්තර කිරීම අතිශය දුෂ්කරයයි. වදාළේ මහණෙනි, මා නරක දුක් මෙබඳු මෙ බඳුයයි වසර සියයක් හෝ වසර දහසක් හෝ වසර ලක්‍ෂයක් හෝ ප්‍රකාශ කළත් අවසන් කළ නොහැකියැයි තවදුරටත් වදාළහ.

අනතුරුව ලොව සිටින විවිධ ‘සත්ත්වයන් පිළිබඳව දේශනා කරමින් මෙසේ වදාළ. මහණෙනි, පෙර භවවලදී රස තෘෂ්ණාවෙන් අකුසල් කරල තෘණ අනුභව කරන සත්වයන් අසූචි අනුභව කරන සත්ත්වයන් අඳුරෙහි උපන් සත්වයන් දියෙහි උපන් සත්ත්වයන් ආදී සත්ත්වයන් මෙලොවදි පව්කොට මරණින් පසු ඒ ඒ භවවල ඉපදිල එහිම ජරාවට පත්වෙමින් එහිම මරණයට පත්වෙමින් සසර සැරිසරල පෙර කරපු සුළු පිනකින් මිනිසත් බවක් ලබන්නට හැකිවෙනව. එසේ උපන්නත් උපදින්නෙ නීච කුලයක එසේම දිළිදු වෙනව.අවලස්සන වෙනව.අංග විකල වෙනව. මෙසේ දුක්ඛිත ආත්මයක වත් මනුෂ්‍යයකු වී ඉපදීම අතිශය දුෂ්කරයි. උපමාවකින් කියනව නම් මුහුදු පතුලේ ජීවත්වන කන කැස්බෑවකු වසර සියයකට හෝ දහසකට හෝ සියක් දහසකට හෝ වරක් දියෙන් මතුපිටට අවුත් මූදේ පාවෙන විය ගසක සිදුරෙන් උගේ ගෙල රිංගවන්න සමත් වෙනව නම් එය අතිශය ආශ්චර්යජනක සිදුවීමකි. මිනිසත් බවක් ලැබීම එතරම්ම දුෂ්කරයයි කියල උන්වහන්සේ පැහැදිලි කරල දුන්න.

අනතුරුව බුදුන්වහන්සේ වදාරනව, මහණෙනි, මිනිසත් බව ලැබූ මේ කාලකන්නි පව්කාර පුද්ගලයා ඒ ආත්මයෙහිදීත් තමාගේ නීච උපත නිසා හෝ අවලක්‍ෂණ භාවය නිසා හෝ අංග විකලත්වය නිසා හෝ දිළිදුකම නිසා හෝ යළිත් පව්කම් කොට මරණින් පසු යළිත් දුගතියකම උපත ලබයි. එයින් චුතවී යළිත් උපදින්නෙ දුක්ඛිත ආත්මයක.මෙසේ දිගටම ඔහුගේ සසර උපත දුක්ඛිත වෙනව. “ දීගො බාලානං සං සාරො’ යි කීවේ බාලයාගේ සසර ගමන දුක් වන බවයි.

අනතුරුව බුදුරජාණන්වහන්සේ පණ්ඩිතයාගේ ලක්‍ෂණ දේශනා කරමින් මෙසේ වදාළ. තිදොරින් කරන ඉහතකී දුශ්චරිතයන්ගෙන් වෙන්ව අර්ථය අනර්ථය දැන තිදොරින් සුචරිත පුරණ නුවණැත්තා හෙවත් පණ්ඩිතයා කිසියම් ස්ථානයක සිටින විට එහි සිටින ජනතාව ශීලාදි ගුණ ධර්ම පුරන්නාට මෙලොව දී සහ පරලොවදි ලැබෙන යහපත් ප්‍රතිඵල හෙවත් ආනිසංස පිළිබඳව කරන කථා බහ අසන්නට ලැබේ. ඒවා ඇසෙනවිට ඔහු සිතනව මේ කථාකරන ප්‍රාණාඝාතාදි අකුසල කර්ම මා කරන්නේ නැහැ. මා පස්පවින් වැළැකුණු කෙනෙකි. යි කියල සිතල සතුටු වෙනව. මේ නුවණැත්තා මෙලොවදී ලබන පළමු වන සොම්නසයි. එමෙන්ම ඉහත කී වැරදි කරපු පාපී පුද්ගලයකු අල්ලාගෙන ගොස් පහර දෙමින් අතපය කපා දමමින් හිස ගසා දමමින් රාජ පුරුෂයන් දෙන දෙතිස් වද හිංසා දකින නුවණැත්තා සිතනව මා මෙවැනි අපරාධ කරල නැහැ. ඒනිසා මට මෙබඳු වද හිංසා විඳින්න සිදුවන්නේ නැහැ. කියල ම’හිතල මෙලොවදීම දෙවන සැපය ලබනව.නුවණැත්තා තවත් අවස්ථාවක පුටුවක හෝ ඇඳක හෝ බිම හෝ වැතිර සිටින විට තමා කරන ලද සුචරිත ක්‍රියා සිහිවෙනව.එවිට ඔහු හිතනවා පෙර පාප කර්ම හෝ කුරිරු ක්‍රියා හෝ වෙනත් දුශ්චරිත ක්‍රියා හෝ කරල නැහැ. මා කළේ දාන ශීලාදී කුසල ක්‍රියායි. පව් නොකළ කුසල් කළ පුද්ගලයන් උපදින්නේ සුගතියකයි. එසේ නම් මාත් උපදින්නේ සුගතියක යැයි සිතල මෙලොවදීම තෙවන වරටත් සතුටු වෙනව. මෙසේ තිදොරින් පින්කළ නුවණැත්තා මරණින් පසු සුගතියක උපත ලබයි. බුදුහාමුදුරුවෝ සුගති හෙවත් දිව්‍යලෝකේ සම්පත් පිළිබඳව වදාළේ එහි ඇති සැප, නිසා නිම කළ නොහැකි බවයි. උපමාවක් කියනවා නම් සත්රුවනින් යුක්ත වූ අතිශය රූපත්, දීර්ඝායුෂ වළඳන, නිරෝගී බමුණන් පවා පි‍්‍රය කරන සක්විති රජ සම්පත් පවා දිව්‍යා ලෝක සැපත හා සැසඳිය නොහැකි බවයි. මෙසේ වදාළ බුදුහු දෙව්ලොව ඉපිද දෙව්සැප විඳින නුවණැත්තා එයින් චුතව මිනිස්ලොව ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ ගෘහපති යන උසස් කුලයකම ඉපදිල ධන ධන්‍යාදියෙන් ආඪ්‍යව රූප සම්පත්තියෙන් හා නිරෝගී සම්පත්තියෙන් යුක්තව පින් දහම් කරමින් තව තවත් සැප විඳිනව. පින් කළ හේ ඒ භවයෙන් මරණයට පත්වූවත් යළිත් උපදින්නෙ දිව්‍යලෝකයකමයි. මෙසේ නුවණැත්තා දිව්‍ය මනුෂ්‍ය ලෝකවල මාරුවෙන් මාරුවට උපදිමින් පින්දහම් කොට සසර කෙටි කරගන්නා බව වදාළහ.

ලෝක ධර්මයෙහි ස්වභාවය මෙසේයයි වටහා ගෙන සරස දුකින් මිදීමට උපකාර වන පින් දහම තිදොරින්ම සිදු කරගෙන සසර කෙටිකරගෙන ඔබත් අපත් බලාපොරොත්තු වන නිවනින් සැනසීම ලබන්නට උත්සාහවත් වන්න.