UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජ‍ාච පූජනීයානං

පූජ‍ාච පූජනීයානං

මුල්ගම සද්ධානන්ද නා හිමි

මුල්ගම සද්ධානන්ද නා හිමියන් 1929 මාර්තු 21 වන දින ජන්ම ලාභය ලැබීය. උන්වහන්සේ බලංගොඩ ඉඹුල්පේ මාමල්ගහ ශ්‍රී ජිනජෝතිකාරාම විහාර ආදි කර්තෘ දික්කාපිටියේ සිරිසිලානන්ද නා හිමි හා වෙලන්හින්නේ ධීරානන්ද නා හිමිපාණන් වහන්සේලාගේ පැවිදි ශිෂ්‍යයෙකු ලෙස 1947 ජූනි මස 07 වන දින ශාසනික ප්‍රවෘජ්‍යාව ලැබීය.

දහම් අධ්‍යාපනය සඳහා කොස්ගොඩ සිරිරතන පිරිවෙනට ඇතුළු වූහ. 1950 දී ජූලි මස 20 වන දින උපසම්පදාව ලැබීමෙන් අනතුරුව අති දුෂ්කර වූ මුල්ගම මූලාරාම විහාරස්ථානයේ නායකත්වයට උන්වහන්සේ පත්වූහ. බලංගොඩ සිට මෙන්ම අතරමඟ සිට සැතපුම් පහළොවක් විස්සක් පමණ පයින්ම වැඩම කරමින් තම දායක දායිකාවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට සද්ධානන්ද නාහිමියන් සෑම විටම කටයුතු කළහ. මුල්ගම මුලාරාම විහාරය විහාරාංග වලින් සමන්විත කරමින් පෞරාණික විහාරස්ථානයක් බවට පත් කලා පමණක් නොව පා ගමනින් කඳුහෙල්, මඩවගුරු, ඇළ, දොළ, ගංගා මතින් කිසිදු පැකිලීමකින් තොරව දායකයන්ගේ දනට බණට පාංශුකූලයට ද වැඩි අවස්ථා අපමණය.

මුල්ගම හාමුදුරුවෝ ජන්ම වයසින් අවුරුදු 70 පසු කළ ද චිත්ත ශක්තියෙන් හා ධෛර්යෙන් වයසට නොගිය බැවින් පුරාණ රජදවස සිට පැවත එන බෝධීන් වහන්සේ සහිත පින්බිම ගරා වැටෙමින් පරිහානියට යන විට එහි වැඩම කොට සිය ධන පරිත්‍යාගයෙන් හා ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඇතිව සංඝාවාසය ධර්මශාලාව ඉදිකළහ. දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීම සඳහා මුල්ගම සිරි සීලානන්ද දහම් පාසල වෑගුණපට්ටිය ශ්‍රී සද්ධානන්ද දහම් පාසල ආරම්භ කළහ.

1948 සිට වසර 11 පමණ කල්තොට බුදුගල රජමහා විහාරස්ථානයේ වැඩ වසමින් 1967 දී වැලිපතයාය ගොවි ජනපදය ඇරඹීමෙන් ඔවුනගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැප වූහ. මුන් වහන්සේ සුවිශේෂිම සමාජ මෙහෙවර වනුයේ තමා සතුව පැවති ආරාමය අසල අක්කරයකට අධික භූමි භාගය රජයේ ගම නැගුම සංවර්ධන ක්‍රියාවලියට පවරාදීමයි. අද එහි ජනසභා ලේකම් කාර්යාලය, නැණසල මධ්‍යස්ථානය, සෞඛ්‍ය මධ්‍යස්ථානය ආරම්භකොට ප්‍රදේශවාසී සැමට මහත් මහජන සේවයක් සපයති.

උන්වහන්සේගේ ජාතික ආගමික සාමාජික මෙහෙවරට උපහාරයක් ලෙස 2002 දී උඩරට අමරපුර නිකාය මඟින් ‘විචිත්‍ර භාණක ශාසන සෝභන’ යන ගරු නාම සම්මුතිය සහිතව සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමනු ලැබීය. මෙලෙස උතුම් ශාසනික මෙහෙවරක් කළ මුල්ගම සද්ධානන්ද නාහිමිපාණන් වහන්සේට සසර කෙළවර නිවන් සැපත ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.


කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමි

මොනරාගල මඬුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්බොක්ක බෝධිරාජාරාම විහාරය සහ බදුලුවෙල මේධානන්දාරාම විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමියෝ මඬුල්ල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ නව ලේඛකාධිකාරී වශයෙන් පත්වූහ.

මඩුල්ල කොට්ඨාසයේ කන්දඋඩපංගුව දුෂ්කර ගම්මානයේ දී 1973.08.11 වැනි දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1983.05.14 වැනි දින කන්දඋඩපංගුව ටැංගල්මණ්ඩිය පුරාණ විහාරස්ථානයේ දී අපවත් වී වදාළ පූජ්‍ය කන්දඋඩපංගුවේ ධම්මාවාස නාහිමි සහ ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක කන්දඋඩපංගුවේ සුධම්ම යන නාහිමිවරුන්ගේ ශිෂ්‍ය භික්‍ෂුවක් වශයෙන් පැවිදි බිමට පිවිසියහ.

කන්දඋඩපංගුව මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලබා පසුව වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙනට ඇතුළු වී උසස් අධ්‍යාපනය හදාරන සුගතානන්ද හිමියෝ 1997 – 2004 යන කාල වකවානුවේ දී කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්හ.

1992 දී මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලබා ගත් අතර 1993 සිට පිරිවෙන් ගුරුවරයකු වශයෙන් ගුරු වෘත්තියට ඇතුළු වූහ. 2007 දී සිට ගුරු උපදේශකවරයෙකු වශයෙන් පත් වූ උන්වහන්සේ වසර විස්සක් අඛන්ඩව දහම් පාසල් අධීක්‍ෂකවරයෙකු වශයෙන් සේවාවේ යෙදී සිටිති.

ගල්බොක්ක, තැරෑල යන දුෂ්කර ගම්මාන නඟා සිටුවීම සඳහා සිය කාලයත්, ධනයත්, ශ්‍රමයත් මහත් සේ කැප කරන සුගතානන්ද හිමියෝ ප්‍රදේශයේ විවිධ සමිති සමාගම් රැසක ප්‍රධාන නිලතල දරමින් ගමට රටට බොදුසමයට ඉමහත් මෙහෙයක් ඉටු කරති.


ඇඹිල්මීගම දේවරක්‍ඛිත නා හිමි

යටිනුවර ඇඹීල්මීගම සුන්ඳරගම් පියසේදී වයි.ඇම්.පුංචි නිලමේ එච්.ඇම්. රන්මැණිකේ යන දම්පතීන් දෙමාපියන් වී 1922 දී උපත ලැබූහ. ධනසේකර බණ්ඩා නමින් සිට හැරමිටිගල ශ්‍රී ධීරානන්ද විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා වයස 12 දී දුම්පොල විහාරාධිපතිව වැඩ විසූ එළදැත්තේ ධම්මරතන හිමියන් වෙතින් ඇඹිල්මීගම දේවරක්ඛිත නමින් පැවිදි වූහ. ඒ 1937 ජූලි 23 දායි.

නාරංවල විද්‍යාරතන පිරිවෙනින් ශාස්ත්‍රෝද් ග්‍රහණය කොට 1948 දී උපසම්පදා වූහ. ඇඹිල්මීගම දේවරක්ඛිත හිමියෝ 1952 දී ශ්‍රී‍්‍ර දළදා වහන්සේට තේවාව සඳහා පත්වූහ. එතැන් පටන් වරින්වර 2008 දක්වාම ශ්‍රී දළදා මාලිගාවේ උඩුමහලේ, පල්ලේමහලේ හා පත්තිරිප්පුවේ තේවා කටයුතු කරමින් මහා පුණ්‍ය සම්භාරයක් අත්කර ගත්හ.

1975 මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය පදවිලත් නා හිමියෝ ඓතිහාසික හිඳගල රාජ මහා විහාරස්ථානයේ භාරකාරත්වයට පත්ව එය දියුණු කළහ. 1950 පමණ උඩුනුවර දුම්පළ විහාරයේ ආධිපත්‍යය ලැබී එහි දියුණුවට කටයුතු කළ දේවරක්‍ඛිත හිමියෝ 1986 දී වල්ගම ශ්‍රී චේතිය රුක්ඛාරාමයේ විහාරාධිපතිත්වයට පත්ව එය දියුණු කළහ.

ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නාහිමිවරුන් හය නමක් යටතේ ශ්‍රී දළදා සමිඳුන් හට තේවාව කළ මහා තෙර නමක් හැටියට ප්‍රකට ඇඹිල්මීගම දේවරක්‍ඛිත මාහිමියන් කළ උදාර ශාසනික සේවාව නිසාම මල්වතු පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ධුරය ලැබ පසුව උඩුනුවර උඩපළාත උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

උපතින් 93 වෙනි විය පසු කරත්ම තපෝවෘධ, වයෝවෘධ සංඝ පීතෘන් වහන්සේ නමක් වූ මහ පින් ඇති හිඳගල රාජ මහා විහාරාධිකාරීව වැඩ සිට දුම්පළ පුරාණ විහාරය, වල්ගම චේතිය රුක්ඛාරාමය යන විහාරද්වයාධිපති, මල්වතු මහා විහාරීය මහෝපාධ්‍යාය,උඩුනුවර හා උඩපළාත උපප්‍රධාන සංඝනායක ඇඹීල්මීගම දේවරක්ඛිත නාහිමියෝ ඉකුත්දා (2003 / 05/06 ) අපවත් වූ හ.

අපවත් වී වදාළ නාහිමියන්ට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු.


උඩකැන්දවල චන්දවිමල හිමි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක, ඉබ්බාගමුව පෙරියකඩුනැලව, පුරාණ පොත්ගුල් විහාරාධිපති උඩකැන්දවල චන්දවිමල හිමියෝ ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමකි.

ඉබ්බාගමුව ගොකරැල්ල ගම්පියසේ පදිංචි ඩී.එම්. බී.එම්. සේනාරත්න නිලමේ ආර්.එම්. නන්දාවතී යන දෙපළගේ පුත්‍රයෙකුව 1963 ජුනි මස 07 වෙනි දින ෂෙල්ටන් සේනාරත්න නමින් උපත ලැබූහ. උඩකැන්දවල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූහ.

උඩකැන්දවල පුරාණ විහාරාධිපති මහව සරණංකර හිමියන් හා හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පෙරියකඩුනැලව පොත්ගුල් විහාරාධිපති තලහේන්ගොඩ චන්දානන්ද නාහිමියන් 1973 ඔක්තෝබර් මස 31 වෙනි දින එම විහාරස්ථානයේදි උඩකැන්දවල චන්දවිමල නමින් සසුන් ගත වූහ.

පැවිදිවීමෙන් පසුව කොබෙයිගනේ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනෙන් ගම්පහ, පහළගම විද්‍යාරවින්ද පිරිවෙනෙන්ද අධ්‍යාපනය ලැබූහ. චන්දවිමල හිමියන් උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටක වේදී උපාධිය ලබාගත්හ.

1985 ජුනි මස 29 වෙනි දින මහනුවර, මල්වතු මහාවිහාරයේදී උපසම්පදා වූහ. චන්දවිමල හිමියෝ කොළඹ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති පශ්චාත් උපාධියද ලබාගත්හ.

තම අධ්‍යාපනික සේවාව අරඹමින් ගලේවෙල ඇවරියපත ශ්‍රී ජිනරතන පිරිවෙණ හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිරිවෙන් තුනක ආචාර්යවරයකු වශයෙන් සේවය කළ උන්වහන්සේ දැනට ගලේවෙල ඇවරියපත ශ්‍රී ජිනරතන පිරිවෙනෙහි පරිවේනාධිපතිධුරය හොබවති.

ගොවි සංවිධාන තරුණ බෞද්ධ සමිති අවමංගල්‍යාධාර සමිති. කුලඟන සමිති, දහම්පාසල් මංමාවත් පාසල් ජල ව්‍යාපෘති, රෝහල්, ආදිය ගම්මානයන්හි ආරම්භ කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරති.

මිහින්තලේ කටුපොත ගම්පියසේ බෝධිරාජාරාමය අනුරාධපුර , ඉලුප්පුකුලම ගම්පියසේ ශ්‍රී සුදර්ශනාරාමය යන විහාරස්ථාන ආරම්භ කර උක්ත සේවාවන් එම ස්ථානවලටද ලබා දුන්හ.

ගලේවෙල වෙත්තියාය ශ්‍රී ජයබෝධි විහාරස්ථානයත්,අනුරාධපුර පණ්ඩුකාභයපුර රජමහා විහාරයත්, දොඩම්ගස්ලන්ද උඩකැන්දවල පුරාණ විහාරයත්, ප්‍රතිසංස්කරණය කරමින් මහජනතාවගේ සියලු ආගමික කටයුතු ඉටුකරගැනීමට ප්‍රමාණවත් විහාරස්ථාන බවට පත්කළේය.

පෙරියන්කඩුනැලව පොත්ගුල් විහාරයද උඩකැන්දවල රත්මල්ගොඩ අභිනවාරාමයද සංවර්ධනය කරමින් එම ගම්මානවලට ඉමහත් සේවයක් ඉටු කරති.

පනස් වැනි විය සම්පූර්ණ කරන උන්වහන්සේට දිගාසිරි පතමු!.


වේඬරුවේ ශ්‍රී සීලානන්ද හිමි

මාතලේ උඩුපිහිල්ලේ හලංගොඩ ශ්‍රී රජමහා කොහොන් විහාරාධිපතින් වහන්සේ පිළිබඳ ගුණ සැමරුම මෙම ජුනි 8,9 දෙදින තුළ සිදු කෙරිණි.

මහනුවර උඩදුම්බර වේඬරුව නම් ගමේ හේරත් ඒකනායක මුදියන්සේලාගේ උක්කුබණ්ඩා හා උඩුරාවන දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේගේ පුතණු කෙනෙකු ලෙස රන්බණ්ඩා නමින් උපත ලද්දේ 1920 මාර්තු 22 වන දිනය.

1930 දී මාතලේ ඕවිලිකන්දරාජ මහා විහාරස්ථානයේ වැඩ සිටි දේශීය වෛද්‍යවරයකු වූ කළුවැල්ගොඩ ශ්‍රී සෝභිත විහාරාධිපති හිමි ළඟ පැවිදි බව ලබා ඇත. කොහොන් රාජ මහා විහාරාධිපති හලංගොඩ ශ්‍රී සරණංකර හිමි සෙවනේ හැදි වැඩී අවශ්‍ය බණ දහම් හදාරා ඇත.

1939 දී ඉහත සඳහන් දෙනමගේ නමින් උතුම් උපසම්දාවෙහි පිහිටීම මහනුවර මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේදී සිදුවිය. මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙණින් අධ්‍යාපනය ලැබීය.උන්වහන්සේ යටතේ තිබූ විහාරස්ථාන වූ කිතුල්වත්ත රාජ මහා විහාර ප්‍රතිසංස්කරණය කළහ.

මැයි 29 ගොඩපොළ රාජමහා විහාරස්ථානයේ දී විශේෂ ගිලන්පස මල් පහන් පූජාවක්ද පවත්වා 30 වන දින දක්‍ෂිණාවක්ද සිදුකොට සීලානන්ද හිමි ඇතුලු සංඝ පරම්පරාවේ අපවත් වූ සියලු දෙනා වහන්සේට පිං පැමිණ වීමක්ද සිදුකළ අතර ජුනි 08 වන දින ධර්මදේශනාවක්ද 09 වන දින 80 නමක් විශයෙහි සංඝගත දක්ෂිණාවක් ද කොහොන් රාජ මහා විහාරස්ථානයේදි සිදුකෙරිණි.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]