පිරිනිවුනි ඒ නිකෙලෙස්
රහත් හිමිවරු
05 - 06
අජින මහරහතන් වහන්සේ
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
තරුණ වියට පත් වූ
අජින කුමරුන් අනේපිඬු සිටාණන් ජේතවනාරාමය බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක
සඟරුවනට පූජා කරන පින්කමට සහභාගී වීමට තරම් වාසනාවන්ත වුණා. ඒ අසිරිමත්
දිනයේ දී තුණුරුවනේ ආනුභාවය වටහාගත් කුමරුන් සැදැහැ සිත් උපදවාගෙන බුදු
සසුනේ උතුම් පැවිදි බව ලබා ගත්තා. සීල සමාධි, ප්‍රඥා පරිපූර්ණත්වයට
පත්කරගෙන සුළු කලකින්ම ෂඩ් අභිඤ්ඤාලාභී චතූපටිසම්භිධා ලත් රහතන් වහන්සේ
නමක්
බවට පත්වුණා
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම පැවිදි ශ්‍රාවක බව ලබා සසර කතරින්
එතෙරව අමා නිවන් පසක් කළ උතුම් රහතන් වහන්සේ නමක් ගැන අද අප සිත පහදවා
ගනිමු.
ථේර ගාථාවල මීළඟට සඳහන් වන්නේ නිකෙලෙස් සුවයෙන් සැනසුන අජින නම් උතුම්
රහතන් වහන්සේ වදාළ ගාථාව යි.
මෙයින් කල්ප අනූඑකකට පෙර උන්වහන්සේ සිටු කුමාරයෙක්ව දඹදිව ඉපිද සිටියා.
අබුද්ධෝත්පාද කාලයක් වූ ඒ යුගයේ වැඩසිටි ‘සුචිත්තික’ නම් පසේ
බුදුරජාණන් වහන්සේ දිනක් සිටු කුමරුන්ට මුණ ගැසුණා. දුටු පමණින් සිත
පැහැදි පසේ බුදුන්ට වන්දනා කළා. ඒ වන විට ‘සුචිත්තක’ පසේ බුදුරජාණන්
වහන්සේ ගිලන්ව වැඩසිටි නිසා බෙහෙත් පිණිස ගිතෙල් පූජා කොට උපස්ථාන කළා.
ඒ පිනේ ආනිශංසයෙනුත්, චිත්ත ප්‍රසාදය නිසාත් මරණින් මතු දෙව්ලොව
ඉපදුණා. තව තවත් පින බලවත් කරගෙන සුගතියේම ඉපදෙමින් වරක් සක්දෙව් පදවිය
ද, පනස් එක් වරක් සක්විති රජකම ද, බොහෝ වාර ගණනක් ප්‍රාදේශීය රජකම ද
ලබාගෙන පුණ්‍ය විපාක වින්දනය කළා. එනමුත් භවභෝග සම්පත් ලැබීමේ පින ක්ෂය
වී තිබූ නිසා ගෞතම බුදු සමිඳුන්ගේ යුගයේ දී දිළිඳු පවුලක උපදින්නට
සිදුවුණා. ආහාරපාන පවා සොයා ගැනීමට මහත් වෙහෙසක් ගන්නට සිදුවුණා.
තරුණ වියට පත් වූ අජින කුමරුන් අනේපිඬු සිටාණන් ජේතවනාරාමය බුද්ධ
ප්‍රමුඛ ශ්‍රාවක සඟරුවනට පූජා කරන පින්කමට සහභාගී වීමට තරම් වාසනාවන්ත
වුණා. ඒ අසිරිමත් දිනයේ දී තුණුරුවනේ ආනුභාවය වටහාගත් කුමරුන් සැදැහැ
සිත් උපදවාගෙන බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා ගත්තා. සීල සමාධි,
ප්‍රඥා පරිපූර්ණත්වයට පත්කරගෙන සුළු කලකින්ම ෂඩ් අභිඤ්ඤාලාභී
චතූපටිසම්භිධා ලත් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වය ලැබූ පසුවත්
අජින තෙරුන්ට සිවුපසය ලැබුණේ් අල්ප වශයෙන් නිසා ධර්මාවබෝධ නො කළ
භික්ෂූන් ද, ගිහි පිරිස් ද ‘අල්ප ලාභ ඇති අප්‍රකට භික්ෂුවක්’ යැයි
අවමන් කළා. එම භික්ෂූනට සිහි උපද්දවමින් අජින රහතන් වහන්සේ මේ ගාථාවන්
වදාළා.
අපි චේ හෝති තේවිජ්ජෝ
මච්චුභායී අනාසචෝ
අප්පඤ්ඤොතෝති නං බාලා
අච්ජානන්ති අජානතා
යමෙකුට පුළුවන් වුණොත් ත්‍රිවිද්‍යාව ලබා ගන්න. ඒ කෙනා මරණය නැති කරලා
කෙලෙස් ප්‍රහීණ කරපු කෙනෙක්. මේ කාරණය දන්නේ නැති මෝඩ මිනිස්සු ඒ
උතුමන් ‘ප්‍රසිද්ධ නැතැයි’ කියා නින්දා කරනවා.
යෝ ච ඛෝ අන්නපානස්ස
ලාභී හෝතීධ පුග්ගලෝ
පාපධම්මෝපි චේ හෝති
සෝ නේසං හෝති සක්කතෝ
‘එහෙත් කාට හරි හොඳ රසට කෑම බීම ලැබෙනවා නම් එයා කොයිතරම් පව්කාර
ජීවිතයක් ගෙව්වත් මෝඩ ජනතාවට ඔහු පෙනෙන්නේ සත්කාර කළ යුතු කෙනෙක්
හැටියටයි.
අජින රහතන් වහන්සේ මෙසේ පෙන්වා දෙන්නේ අප පැහැදිය යුත්තේ බාහිරට නොව
ගුණ ධර්මවලට බවයි.
මේලජින මහරහතන් වහන්සේ
නුවණැති වූ කුමරුන් සියලු
ශිල්ප ශාස්ත්‍ර කෙළ පැමිණ
ප්‍රසිද්ධත්වයට පත්වුණා. අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ
වැඩ සිටිමින් අමා දහම් වැසි වස්සවද් දී
සදහම් ශ්‍රවණය කළ කුමරුන් ශ්‍රද්ධා ලාභය ලබා බුදු සසුනේ පැවිදි බව ලබා
ගත්තා. මහා පින් ඇති කුමරුන් පැවිදි වූ දිනම සියලු කෙලෙසුන් ප්‍රහාණය
කොට උත්තම අරහත්වය
සාක්ෂාත් කළා
අප්‍රමාණ ශාස්තෘ ගෞරවයකින් යුක්තව, ධර්ම ගෞරවයකින් යුක්තව දහමේ
හැසිරෙමින් සසර දුක් කෙළවර කළ මේලජින නම් රහතන් වහන්සේ ගැන අප දැන්
ඉගෙන ගනිමු.
උන්වහන්සේගේ ථේර ගාථාවෙහි මෙසේ සඳහන් වෙනවා. මේලජින තෙරණුවෝ “සිද්ධත්ථ”
නම් බුදුරදුන්ගේ යුගයේ දී සිටු කුමරෙක්ව ඉපිද සිටියා. දිනක් සුමේධ බුදු
සමිඳුන් පිණ්ඩපාතයේ වඩිනු දැක බලවත් පැහැදීමෙන් යුතුව පලතුරු පූජාවක්
සිදුකළා. තුන්ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ සිත
නිසාත්, රැස්කරගත් පුණ්‍ය මහිමය නිසාත් මරණින් මතු දෙව්ලොව උපන්නා.
දෙව්මිනිස් සුගතියේ ඉපදෙමින් මේ බුද්ධෝත්පාද කාලයේ දී බරණැස් නුවර රජ
පවුලක ඉපදී මේලජින කුමරු නමින් සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩුනා.
නුවණැති වූ කුමරුන් සියලු ශිල්ප ශාස්ත්‍ර කෙළ පැමිණ ප්‍රසිද්ධත්වයට
පත්වුණා. අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩ සිටිමින්
අමා දහම් වැසි වස්සවද් දී සදහම් ශ්‍රවණය කළ කුමරුන් ශ්‍රද්ධා ලාභය ලබා
බුදු සසුනේ පැවිදි බව ලබා ගත්තා. මහා පින් ඇති කුමරුන් පැවිදි වූ දිනම
සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට උත්තම අරහත්වය සාක්ෂාත් කළා. ඒ බව නොදත්
ඇතැම් භික්ෂූන් දිනක් ‘’ඔබ වහන්සේ කිසියම් උත්තර මනුෂ්‍ය ධර්මයන්
ලබාගෙන ඇද්දැ’යි විමසූ විට මේලජින තෙරුන් මෙසේ සිංහනාද කළා.
යදාහං ධම්මං මක්කේසිං
භාසමානස්ස සත්ථුනෝ
න කංඛමහිජානාමි
සබ්බඤ්ඤු අපරාජිතෝ
ශාස්තෘන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී මට අසන්න
ලැබුණේ යම් දවසක ද එදා ඉඳලා ඒ අපරාජිත මුනිඳුන් වන සර්වඥයන් වහන්සේ
පිළිබඳව මා තුළ සැකයක් ඇති වූ බවක් මා දන්නේ නැහැ’.
සත්ථවාහේ මහාවීරේ
සාරාථිනං වරුත්තමේ
මග්ගේ පටිපදායං වා
කංඛා මය්හං න විජ්ජති
‘උන්වහන්සේ වනාහී සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන මහා ගැල්කරුවාණන් වන
සේක. ඒ මහාවීර වූ පුරිසදම්මදසාරථින් අතර අති උතුම් වූ බුදු සමිඳාණන්
පිළිබඳව හෝ මේ උතුම් නිවන් මඟ පිළිබඳව හෝ මා තුළ කිසියම්ම සැකයක් නැහැ.
පැවිදි වූ දිනම නිකෙලෙස්ව එලෙසින් සිංහනාද පැවැත්වූ මේලජින තෙරණුවෝ
පිරිනිවන් පෑමට පෙරාතුව මෙලෙසින් පැවසුවා.
‘තමාම අවබෝධ කරගත් සත්‍ය ඇති අපරාජිත වූ දහසක් රැස් දරන්නා වූ සිද්ධත්ථ
නම් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් නැගී සිටිසේක. පිඬුසේක පිඬුපිණිස
නික්මුණ සේක. අතෙහි ඵල දරාගත් මම එලක්හි උන්වහන්සේ වෙත පැමිණියෙමි.
පැහැදුණු සිතින් හා සතුටු සිතින් උන්වහන්සේට ආමෝද ඵලයක් පූජා කළෙමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙරදී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක
වශයෙන් මේ දක්වා සුගතියෙහි නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙ බඳුය. දැන්
මම සියළු කෙලෙස් දැවුයෙමි. සියළු භව නසා දැමුවෙමි. ඇත් රජකු මෙන්
බැඳුම් සිඳ දමා ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරජාණන් වහන්සේ වෙතට මාගේ
පැමිණීම ඒකාන්තයෙන්ම යහපත් වූයේම ය. ත්‍රිවිද්‍යාව අවබෝධ කළෙමි.
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කෙළෙමි. සිවුපිළිසිඹියාවෝද අෂ්ඨ
විමෝක්‍ෂයන්ද ෂඩ් අභිඥ්ඥාවෝද සාක්ෂාත් කළෙමි. බුද්ධ ශාසනය සම්පූර්ණ
කළෙමි.
අප සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය අසිරිමත් ගුණ සිහි කරමින් ඔබත්
උන්වහන්සේලා කෙරෙහි වඩ වඩාත් සිත පහදවා ගන්න.
සටහන : නයනා නිල්මිණි
පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 03 - 04 වල්ලිය රහතන් වහන්සේ /
ගංගාතීරිය මහ රහතන් වහන්සේ |