Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ උපත සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින වකවානු පිළිබඳව දේශනා පාලියෙහි එන පරිදි සඳහන් කරන්න.

පිළිතුර - වඩාත් නිවැරැදි ලාංකේය මූලාශ්‍ර ද වංශ කථාවල එන පරිදි බුද්ධ පරිනිර්වාණය ක්‍රි. පූ. 543 දී සිදුවූ බව සම්මතව ඇත. එම සම්මතයෙහි පිහිටා සිදුහත් උපත සිදුවූ වකවානුව සලකා බලතොත් එය ක්‍රි. පූ. 623 දී සිදුවූ බව පිළිගත යුතුවෙයි. පරිනිර්වාණය සිදුවන විට බුදුරදුන් අසූවනවියෙහි විසූ බව වරෙක සැරියුත් තෙරුන් අමතා මෙසේ පැවසූ බව ම. නි. මහාසීහනාද සූත්‍රයෙහි දැක්වෙයි.

මම දැන් ජරා දුර්වල වූයෙමි. වෘද්ධයෙමි, මහලු වූයෙමි, කල් වයස් ගතවූයේ වෙමි. පැසුළු වියට පැමිණියෙමි. අසූවියට පත්වීමි.

අසූවන වියට පත් භාග්‍යවතුන් වහන්සේ එම වයසේදීම පිරිනිවන් පෑ බව සුභද්ද නම් පරිබ්‍රාජකයා හා සමඟ සංවාදයෙහිදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

සුභද්ද කිං කුසල ගවේසීව එකුන් තිස්වන වියෙහි මම පැවිදි වූයෙමි. මා පැවිදි වී හරියටම දැන් පනස් වසරකටත් ටිකක් වැඩියි.

මෙහි සඳහන් පරිදි අභිනිෂ්ක්‍රමණය එකුන් තිස්වන වියෙහි සිදුවිය.

එතැන් පටන් පිරිනිවන් අවස්ථාව වනවිට පනස් වසරක් ටිකක් කල් පසුවී තිබුණි. එවිට උන්වහන්සේ පසුවූයේ අසූවන වියෙහිය. පරිනිර්වාණය සිදුවූයේ යැයි සැලකෙන ක්‍රි. පූ. 543 සිට අසූවස ආපසු ගණනය කිරීමෙහිදී සිදුහත් උපත ක්‍රි. පූ. 623 දී සිදුවූ බව සම්මත වෙයි.

තවද දී: නි: මහාපදාන සූත්‍රයෙහි එන විස්තරය අනුවද ඉහත සඳහන් වාර්තාව සනාථ වනු ඇත.

මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම මෙකල මම අර්හත් සම්බුද්ධ වෙමි. මම ජාතියෙන් ක්‍රත්‍රියව ක්‍ෂ්ත්‍රිය කුලයෙහි උපනිමි. ගෝත්‍රයෙන් ගෝතම නම් වීමි. මෙකල මාගේ ආයු ප්‍රමාණය අල්පය, ටිකය, යමෙක් බොහෝ කල් ජීවත් වෙයි නම් ඔහු අවුරුදු සියයක් හෝ ටිකක් වැඩියෙන් හෝ අඩුවෙන් ජීවත් වෙයි. මෙහි අර්හත් සම්‍යග් සම්බුද්ධ වූ මම ඇසතු රුක්මුල්හි බුදුවීමි. මෙකල මට සාරිපුත්ත මොග්ගල්ලාන නම් අග්‍ර ශ්‍රාවක යුග්මයක් වෙති. මෙකල මට රහතන් වහන්සේලාම එක්දහස් දෙසිය පනසක් වූ එකම ශ්‍රාවක සන්නිපාතයක් විය. ආනන්ද භික්‍ෂු නම අග්‍ර උපස්ථායක විය. සුද්ධෝදන රජ පිය විය. මායාදේවිය වැදූ මව වූවාය. කපිල වත්ථුව රජාධානියයි.

( දී. නි. මහාපදාන සූත්‍ර )

මහාපදාන සූත්‍රාගත මෙම තොරතුරුවලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානයට අදාළ ප්‍රධාන පුවත් රාශියක් ගොනුවී ඇත.

ප්‍රශ්නය - මිහිමත විසූ ශාස්තෘන් වහන්සේලා අතුරින් ධෛය¸ සම්පන්නත්වයෙන් හා කාර්ය ශූරත්වයෙන් බුදුරජාණන් වහන්සේම අග්‍රගණ්‍ය වෙති. අරිය පරියේසන මහා සච්චක ආදී සූතාගත තොරතුරු අනුව සිද්ධාර්ථ ගෞතම බෝධි සත්වයන් වහන්සේ පැවිදිව කිං කුසල ගවේෂීව‘ ඒ ශාන්ති පදය සොයමින් ආලාරකාලාම තාපසයන් හමුවීමෙන් පසු බෝසතුන් කළ කී දෙයින් ඉහත සඳහන් විශිෂ්ට චරිත ලක්‍ෂණ පැහැදිලි වෙයි. පෙළදහමෙහි එන නිදසුන් ඇසුරු කරමින් විවරණය කරන්න.

පිළිතුර - ආලාරකාලාම තවුසා හමුවීමෙන් පසු බෝසතාණන් වහන්සේ, කළ කීදෑ මෙසේ දැක්විය හැකිය. ‘ ආයුෂ්මත් කාලාමයෙනි, මම මේ ධර්ම විනයෙහි හැසිරීමට කැමැත්තෙමි. මම කීවෙමි, ආයුෂ්මතුනි, මෙහි බඹසර හැසිරෙන්න. දැනුවත් පුරුෂයෙකුට මෙය තමන්ම වහා දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වාසය කළහැකි ධර්මයකැයි කාලාම කීය. නොබෝ දිනකින්ම මම ඒ ධර්මය ප්‍රගුණ කළෙමි. තොල ගෑ පමණින් කී දේ වරක් කී පමණින් දනිමි කායත් මම එහි ස්ථිර වෙමි කියාත් කීවෙමි.

දනිමි, දකිමි යනුවෙන් පැවසීමි. අන්‍යයෝත්, මට එසේ කීහ. කාලාම මේ ධර්ම තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වාසය කරන බව ශ්‍රද්ධා මාත්‍රයෙන් පමණක් පවසන දෙයක් නොවේ. කාලාම නිසැකයෙන්ම මේ ධර්මය දනිමින් දකිමින් වාසය කරති මට සිතිණ. ඉක්බිති මම කාලාමගෙන්, ආයුෂ්මත් කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය ලබා වාසය කරන්නෙහිදැ’ යි විමසීමි. ඔහු “ආකිඤ්චඤ්ඤායතනය සඳහන් කළේය. මට මෙසේ සිත්විය. ශ්‍රද්ධාව ඇත්තේ කාලාමට පමණක් නොවේ. මටත් ශ්‍රද්ධාව තිබේ. වීර්ය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව ඇත්තේ කාලාමට පමණක් නොවේ. මටත් තිබේ. ඒ සමාධිය ලැබීමට උත්සාහ කළොත් මැනවි කියායි. මම ටික දිනකින් ම ඒ ධර්මය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ලබා වාසය කළෙමි.

( ම: නි: අරියපරියෙසන සූත්‍ර සහ මහා සච්චක සූත්‍ර සංවගාරව සූත්‍ර)

ප්‍රශ්නය – භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයට ආසන්න තොරතුරු බොහොමයක් දී. නි. මහා පරිනිබ්බාණ සූත්‍ර දේශනාවෙහි දක්නට ලැබෙයි. උන්වහන්සේ අවසාන චාරිකාවෙහි බේලුව නම් ග්‍රාමයට වැඩ දැඩි සේ ගිලන්ව වැඩසිටි අවස්ථාවෙහිදි ආනන්ද හිමියන්ට අතිශය වැදගත් දේශනයක් කළ ;ස්ක. ශාසනික වශයෙන් ඉතාමත් වැදගත්වූ එම ප්‍රකාශන මොනවාද?

පිළිතුර - දෙසිතො ආනන්ද මයා ධම්මො අනුත්තරං අවාහිරං කත්වා තත්වානන්ද තථාගතස්ස ධම්මේසු ආචරිය මුට්ඨි

අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකට ගෙන ගුරු මුෂ්ටි වශයෙන් යමක් නොගෙන දේශනා කළෙමි.

තථාගතස්ස ඛො ආනන්ද න එවංහොති අහං භික්ඛු සංඝං පරිහරිස්සාමීති වා මමුද්දෙසිකො භික්ඛු සංඝොති’ මම මේ භික්ෂු සංඝයා සඳහා සිටින්නෙමි කියා හෝ තථාගතයන් වහන්සේගේ අදහසක් නැත.

අහං ඛො පනානන්ද එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො ආසීතිකො මෙ වයො වත්තති. සෙය-ථාපි ජජ්රසකටං වෙධ මිස්සකං” ආනන්ද මා වනාහී ජරාවට ගියේ මහලු වූයේ වෘද්ධ වූයේ වියපත් වූයේ වෙයි. මාගේ වයස අවුරුදු අසූවකි. මාගේ සිරුර තෙල් ගැන්වූ පරණ කරත්තයක් බඳුය.

අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණො ධම්ම දීපො භික්ඛවෙ ධම්ම සරණො අනඤ්ඤ සරණො

මහණෙනි, ධර්මය පහනක් කරගන්න. ධර්මය සරණය හැර වෙනත් සරණක් නැත’

ආනන්ද හිමියන්ට කරන ලද අනුශාසනාවයි.

ප්‍රශ්නය - බුදු සිරිතෙහි දැක්වෙන සුවිශේෂ වූ කරුණක් නම් ශ්‍රාවක සිව් පිරිසට අමතරව බුදුරජාණන් වහන්සේ විවිධ වූ පිරිස් අටක් හමුවූ බවත් ඒ පිරිස් අතරට වැඩම කොට ඔවුන් ගේ සිතැඟි පරිදි සංවාදශීලීව කථා බස් කොට දැහැමි දිවිපෙවෙතට ඔවුන් යොමු කළ බව බෞද්ධ මූලාශ්‍රවල දැක්වේ. බුදුරජාණන් හමුවූ ඒ පිරිස් අට මොනවාද?

පිළිතුර - සූතාගත තොරතුරු අනුව ඒ පිරිස් අට මෙසේය

(1) ක්‍ෂත්‍රිය පිරිස, (2) බ්‍රාහ්මණ පිරිස, (3) ගෘහපති පිරිස, (4) ශ්‍රමණ පිරිස, (5) චාතුර්මහා රාජික පිරිස, (6) තාවතිංස පිරිස, (7) මාර පිරිස, (8) බ්‍රහ්ම පිරිස

මේ සියලු දෙනා අතරට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ.