Print this Article


මහා කරුණාවෙන් දෙසා වදාළ විමුක්ති මඟ

මහා කරුණාවෙන් දෙසා වදාළ විමුක්ති මඟ

දුකට මුල වන්නේ පුද්ගලයාගේ පුනර්භවයයි. පුනර්භවය හට ගන්නා තණ්හාව නැති කරන්නට දහමෙන් අපට මඟ පෙන්වා දේ. කුල-මල, වර්ණභේද හෝ උසස්,පහත්, උගත්, නූගත්, දුප්පත්, පොහොසත් ආදි වර්ගීකරණයක් සදහම් අවබෝධය සඳහා නොමැත්තේ ය. එය ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත යුත්තේ ය.

බුදුරජාණන් වහන්සේ නමකගේ ලොව පහළවීම අතිශය දුර්ලභය. බෝසත් උතුමකු ලෙස අප්‍රමාණ භව ගණනාවක් උප්පත්තිය ලැබ එම භවයන්හි ලත් අත්දැකීම් සම්භාරය හේතුකොට ගෙන ලෝක සත්වයාගේ හිත සුව පිණිස පෙරුම්දම් පුරා ලෝක සත්‍යය ගැන යථාර්ථය හෙළිකිරීමට සම්මා සම්බුදුවරයකු ලොව පහළවෙයි.

සත්වයා ඇලී, ගැලී, වෙලී, පැටලී, රැඳී සිටින මේ අනවරාග්‍ර සසරෙන් ගලවා ගනු වස් චතුරාර්ය සත්‍යය දහම තමන්ම අවබෝධ කරගෙන ලෝ සතුනට දෙසා වදාළ නිසා සම්මා සම්බුදු වන්නේය.

තුන්කල්හි පවතින සියලු සම්මුති, පරමාර්ථ ධර්මයන් අතෙහි තිබෙන නෙල්ලි ගෙඩියක් මෙන් දැන ලෝක සත්වයාට දේශනා කළේ මහා කරුණාවෙනි. මේ සම්මා සම්බුද්ධත්වය බුදුගුණාලංකාර කතුවරයා දුටුවේ මේ අයුරිනි.

තුන්කල්හිම                    පැවැති
පදරුත් සියල් ලොව      ඇති
අතැඹුල සේ                      දනිති
එයින් සම්මා සම්බුදුන යෙති

ලෝකයේ පවතින සියල්ල දැන ගැනීම එක භවයක දී පමණක් කළ හැක්කක් නොවේ. එය භව ගණනාවක දී ප්‍රගුණ කළ යුතු කරුණකි. මේ අනවරාග්‍ර සසරේ ගමන් කොට අවසානයේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නා බුදුපියාණන් වහන්සේ සර්වඥ වන සේක.

යළි ඉපදීමක් නොවන නිවන අවබෝධ කරන්නට ලෝක සත්වයාට මඟපෙන්වීම බුදුවරයකුගේ කාර්යභාරයයි. ඒ දහම උකහා ගන්නට කිසිවකුට බලකිරීමක් නොමැත. බුදුවරයකුගේ කාර්යභාරය වන්නේ යථාර්ථය හෙළි කිරීමයි. විමුක්තියට මඟ පෙන්වා දීමය. මිනිසත්භවය ලැබගත් අපි ඒ මඟ ගමන් කළ යුත්තෝ වෙමු.

දුකට මුල වන්නේ පුද්ගලයාගේ පුනර්භවයයි. පුනර්භවය හට ගන්නා තණ්හාව නැති කරන්නට දහමෙන් අපට මඟ පෙන්වා දේ. කුල-මල, වර්ණභේද හෝ උසස්,පහත්, උගත්, නූගත්, දුප්පත්, පොහොසත් ආදි වර්ගීකරණයක් සදහම් අවබෝධය සඳහා නොමැත්තේය.එය ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත යුත්තේය.

වසර 80 ක් ජීවත් වී වසර 45 ක් ලෝක සත්වයාගේ හිත සුව පිණිස දෙසූ දහම හේතුකොට ගෙන දෙව් මිනිසුන් සහිත ලෝකයෙහි අනන්ත සංඛ්‍යාවක් සසරෙන් එතෙර වූහ. දිවා, රෑ නොතකා, අව්ව, වැස්ස ගැන නොසිතා යොදුන් ගණන් ගමන්කොට, දුකට පත් සත්වයා එම දුකෙන් මුදවාලීම පිණිස දහම්දෙසූ සේක.

දවසෙන් පැය දෙකක් පමණක් උන්වහන්සේ සැතැපුණ සේක. ඒ පැය දෙකෙනුත් යමක් කරන්නට ඇත්නම් එය බුදුහිමියෝ නොපිරිහෙළා ඉටු කළහ. කිසාගෝතමී, පටාචාරා, අංගුලිමාල, රජ්ජුමාලා, ඛේමා වැනි අයට පිහිට වී ඒ අය දුකෙන් මුදවා ගත්තේ ් මහා කරුණාව නිසාවෙනි.

මළ දරුවා කරතබාගෙන ගිය කිසාගෝතමීට ජීවිතයේ යථාර්ථය හෙළි කළේ බුදුරදුන්ය. මළ දරුවා කර තබාගෙන අවසාන වශයෙන් කිසාගෝතමී ගියේ බුදුරදුන් ළඟටය. මළ දරුවා පණගන්වන්නට යැයි ඇය ඉල්ලා සිටියදී බුදුරදුන් විමසුයේ දරුවාට පණ ලබා දීමට අවැසි නම් නොමළ ගෙයකින් අබ ඇට ස්වල්පයක් රැගෙන එන්නට ඇයට හැකිදැයි කියාය. මළ දරුවා උරයේ හොවාගෙන ගෙයක් ගෙයක් පාසා ගියද කිසිවකු නොමළ ගෙයක් සොයා ගැනීමට කිසාගෝතමීට නොහැකි විය. අවසානයේ ඕජස් වැගිරෙන මළ සිරුර අමුසොහොනක දමා බුදුරදුන් සමීපයට ගොස් කිසිවකු නොමළ ගෙයක් සොයා ගැනීමට බැරි වූ බව දන්වා සිටියාය. මෙසේ ජීවිතය පිළිබඳ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමක් ලබන්නට කිසාගෝතමිට අවකාශ සලසා දෙන ලදී. යමකු මෙලොවට බිහිවූවා නම් මිය යන බවත්, යමක් ලොවට ඇති වූවා නම් නැසෙන බවත් පහදා දුන් බුදුරජාණන් වහන්සේ කිසාගෝතමියට විමුක්ති මාර්ගය පෙන්වා දුන්සේක. මංමුළාවී ලෝක තත්ත්වය, යථා ස්වභාව නොදැන ජීවත්වන අයගේ ප්‍රමාණය අනන්තය. කිසිදු දහමකින් විස්තර නොකෙරෙනා මේ අනිත්‍යතා ස්වභාව ලොවට පහදා දුන්නේ බුදුරදුන්ය. යායුතු මඟ කුමක් දැයි නොදැන , මංමුළාව මිසදිටු දහම් පසුපස ගිය ජනකායට එම අනර්ථකාරි මඟට යළිත් නැඹුරු නොවන්නැයි දෙසා සම්බුදු මඟට යොමු කරන්නට ගත් වෙහෙස අප්‍රමාණය.

යමක දැඩි ව එල්බගෙන සිටි අයගේ පටු පරමදර්ශ සාධනය මූලෝත්පාඨනය කරන්නට බුදුසමය අතිශයින්ම පිටිබලයක් විය.ජීවිතය හා ලෝකය නොදැන ගිය ගමනේ දී ඒ අයට නිසි මඟපෙන්වා දෙන්නට බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ වෙහෙසක් ගත්සේක. එසේම එකිනෙකා අතර පවත්නා මත ගැටුම් නිරාකරණය කරන්නට මහත් වෙහෙසක් ගත්සේක. ශරීරයට දැඩි ලෙස දුක් දීමත්, දැඩිලෙස සැපදීමත් අහිතකර කාරියක් යැයි පෙන්වා දුන් බුදුහිමියෝ මේ දෙඅන්තයට පටහැනි මඟක් හෙළි කළහ. ඒ මැඳුම්පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාවයි. මැදිහත් මාර්ගයෙහි ගොස් දුක නිවීමට උචිත මාර්ගයක් අපට පෙන්වා දුන්හ.

සමාජයට සැනසුම උදාකර දෙන තැන්න නම් පන්සලයි. පන්සලට කිසිදු වර්ගභේදයක් නොමැතිව පැමිණෙන්නේ කිසියම් සහනයක් ලබාගන්නය. පහන් සංවේග දනවා බුදුරදුන් වැඳ බෝධිය වැඳ පුදාගෙන මල් පහන් පුදා ජීවිතය ට කිසියම් සැහැල්ලුවක් සලසා ගන්නටය. එබැවින් අපගේ අධ්‍යාත්මික ප්‍රබෝධයට කේන්ද්‍රස්ථානය පන්සලයි.

විශාල බරක් සිතෙහි දරාගෙන පන්සලට පිවිසෙන සැදැහැවත් ජනයා මොහොතකට හෝ කිසියම් සුවයක් ලබන්නේ පන්සල මුල්කොටගෙනය. සමස්ත සමාජය ඒකරාශි කරන තැන පන්සලයි. පන්සල පහන් සිතුවිලිවලට තෝතැන්නයි.

ජේතවනාරාමය, ඉසිපතනාරාමය ආදි බුදුරදුන් වැඩ විසු ආරාමවලදී අතිමහත් ජනකාය ඒ වෙතට නැඹූරුවුයේද බුදුබණ අසා ජීවිතයට පහන් සිතුවිලි ඇතුළත් කොට ගෙන භවය කෙටිකර ගන්නටය.

බුදුසමය සෙසු ආගම් චින්තන දර්ශන අභිබවා යන්නේ හේතු-ඵල දහමක් ඉදිරිපත් කරන හෙයිනි. වෙනත් ආගම්වල හේතු-ඵල දහමක් නොමැත. හේතුවක් ඇත්නම් ඵලයක් ඇත. ඵලයක් ඇත්නම් හේතුවක් ඇත. මේ හේතු-ඵල දහම වෙනත් ආගම්වල, දර්ශනවල දක්නට නොමැති අතර ඒවායේ ඇත්තේ ඵලයක් පමණි. නැත්නම් හේතුවක් පමණි.

පුද්ගලයකු ධනවත් වන්නටත් බුද්ධිමතකු වන්නත් කිසියම් හේතුවක් තිබිය යුතුය. ඒබව හේතු-ඵලදහම අනුව විස්තර කෙරේ. යම් පුද්ගලයකු මහ පාරේ පදික වේදිකාවක නිදා ගන්නටත්,තවත් අයකු සුවිසල් මහාමන්දිරයක සුඛෝපභෝගී නිදි යහනක මදුරුදැල් දමා විදුලිපංකාවල සුවපහසු සිසිලස විඳීමින් සුවබර නින්දක් ලබන්නටත් කිසියම් හේතුවක් තිබිය යුතුය.හේතු-ඵල දහම මේ බවබුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

මේ භව ගමනේදී යහපත් අයුරින් ජීවත් වූවා නම් එහි ප්‍රතිඵලය වනුයේ ලැබු භවය යහපත් මාර්ගයට පිවිසීමයි. බුද්ධිය, ධනය සහිතව සුවිසල් මන්දිරවල ජීවත්වීමට අවකාශ ලැබීම සසර යහපත් පැවැත්මෙහි ඵලයකි. ඵලය හා හේතුව අතර පවත්නා සහ සම්බන්ධය අප මැනැවින් දැන දිවිගෙවන්නට යත්න දැරුවොත් ජීවිතය ජය ගත්තා වේ.

ජීවිතය ලබා නිසි පරිදි කළමනාකරණය කර නොගෙන පරාජයට පත් වෙනවා ද? එසේ නැත්නම් ජීවිතය ජයග්‍රහණය කරාගෙන යනවාද? මෙවන් තීරණයකට එළැඹිය යුත්තේ ඔබමය. ඔබ වෙනුවෙන් වෙනත් අයට නිවන් ලැබිය නොහැකිය. එමෙන්ම වෙනත් අය වෙනුවෙන් ඔබට නිවන් ලබන්නත් බැරිය. ඔබට නිවන් මාර්ගයට පිවිසෙන්නට අවශ්‍ය නම් එය ඔබම කළ යුතු කාරියක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

අවිඥානික අයුරින් බුදුසමය අවබෝධකොට නොහැකිය. සවිඥානිකව පුළුල්වූ දෘෂ්ටියක පිහිටා බුදුසමය අවබෝධ කොට ගත හොත් සසර කෙටි වීම ඒකාන්තය. ශාන්ත වු ප්‍රණීත වූ නිවන අවබෝධ කරගැනීම නිසැකය.