Print this Article


මිහින්තලා පුදබිම

මිහින්තලාව ඉතා රමණීය වූ පරිසරයක පිහිටි බෞද්ධ ඉතිහාස කතාවේ විශිෂ්ට සදානුස්මරණීය ස්වර්ණමය සටහනක් තබාඇති පූජනීය වූ පුණ්‍යභූමියකි.

බෞද්ධ ජනතාවගේ හදපත්ලේ පරම පූජනීය පුදසුනක් ලෙස සටහන්ව ඇති මිහින්තලය ලාංකේය බෞද්ධයාට මිහිමවගේ ළය මඬලට සමානය.

මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුදු දහම රැගෙන වැඩම කළ බිම ඒ නිසාම පූජනීයත්වයට පත් වුවා සේම සෞන්දර්යවාදියකුට මෙයම පරිසරයේ චමත්කාරය සිත්සේ වින්දනයට අවැසි කදිම පරිසරයක් සොභාව සෞන්දර්යය විසින් නිර්මාණය කර දී තිබෙයි.

ගිරි ශිඛර, වනවදුලු, දියපොකුණු, ලෙන්කුටි, තෝ තැනි උස් වූ කඳු මුදුන් වලින් ගහණ පියකරු ස්වභාවික පරිසරය අපූර්වත්වයට පත්කළ භූමියේ , මැදමළුව, උඩමළුව, දක්වා දිවෙන ඒ අසිරිමත් පිය ගැට පෙළ ලෝකය පුරා ඇවිද යන සංචාරකයන්ගේ පායුග්මයට කවදා හෝ දිනෙක පෑගී නොතිබුණා නම් එය පුදුමයකි. ඒ තරමට මෙම ඓතිහාසික පිය ගැට පෙළෙහි පිහිටීම විශ්ව කීර්තියට පත් අසිරිමත් ඉදිකිරීමකි. එය ස්වභාවික නිර්මාණයක් වන තරමට පරිසරයට අනුගත ලෙස සකසා තිබේ. මලින් පිරී ගිය විසල්වනේ පිය ගැටපෙළ දෑලේ තුමුල අරලිය ගස් ගොමුවෙන් ගිලිහෙන මල් පෙළ උදේ සවස සිඹ වැළඳ ගන්නේ ඒ පිවිතුරු පුදබිම නැමැදීමට යනෙන දන හට මේ ආසිරිමත් පිය ගැට පෙළ මඟ පහසුව සළසා දෙන බැවින් එයට කෘත ගුණ දැක්වීමට මෙන් යැයි සිතෙයි.

ඔබගේ පයට පාවාඩයක් වූ 1840 ක් පමණ වූ මේ ගල් පඩිපෙළ මතින් එදා එහි වැඩ සිටි අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේද පිය එසවූ වා විය හැකිය.ඒ වන විට එහි පිය ගැට ලකුණූ කර නොතිබුණාද විය හැකිය.අටසැටලෙන්හි වැඩ සිටි මහරහතන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේගේ පා පහස විඳින්නට මේ පියගැට පෙළ භාග්‍යවත් වූවාද විය හැකිය.රාජ රාජ්‍ය මහා මාත්‍යාදීන්ට මෙන්ම සැදැහැවත් බැතිබර දනන්ටත් දුගී මගී යාචකයන්ගේ පා යුග්මයේ බරද මේ පියගැට පෙළ එකසේ දරාගෙන සිටියහ. එය උස්පහත් භේදයක් නොතකා කුදු මහත් ජනතාවට සමානව සැළකීමේ ගුණය සන්නිවේදනය කළ අදත් ඒ යහපත් කාර්යයට මේ පිය ගැට තම උර දරමින් හිඳියි. එය හෙටත් එසේමය. අහස්කුසට විවර වූ ගල්කුළු මත ස්තූපයන් ගොඩ නැගී ඇත්වෙහෙර, කණ්ටක චෛත්‍ය, මහාසෑය, ගිරිඛණ්ඨක චෛත්‍යාදියෙන් සුසැදි සොභාව සෞන්දර්යය තවත් රමණීය කළ මෙම අසහාය වූ පිවිතුරු භූමි දර්ශනය කුදු මහත් හද ගැඹරේ ඇඳි පූජනීය සිතුවම දකින්නට මඟ කියා දුන්නේ මේ අසිරිමත් පිය ගැට පෙළයි.

එළඹෙන පොසොන් සමයේදී ලක්‍ෂ සංඛ්‍යාත ජන ගඟ ගලන්නේ දම්අමා ගඟ අප මව්බිම පුරා සතර දිගන්තය පුරා විහිදුවා අධ්‍යාත්මික සශ්‍රීකත්වය උදාකළ අමා ගඟට උල්පත සැපැයූ ඒ අසිරිමත් මිහින්තලාවේ වරක් හෝ වැඳ සිත සනසවා ගන්නටය. අධ්‍යාත්මික සුවය පතා ඒ සුවයෙන් වියවුලට පත් සිත් සනසා ගැනීමට අවැසි මනා පසුබිමක් මේ මහා සෑගිරිය තුළ ගොඩ නැගී තිබේ. මෙය බුදුන් වහන්සේට දෙවැනි වූ අනුබුදු මහරහතන් වහන්සේ වැඩිය නිසාම පූජනීය භූමියයි. උන්වහන්සේ වාසය කරමින් අවසන් හුස්ම පොද හෙලමින් පිරිනිවන් මංගල්‍යයද සිදුවූයේ මේපුද බිමෙහිදීය. මිහිඳු මහ රහතන්වහන්සේ ආවාස කුටිය වූ මිහිඳු ගුහාව මෙන්ම පූජනීය වූ ධාතුන් වහන්සේ නිධන් කර සැදූ මිහිඳු මහා සෑය ඇත්තේද මේ පුද බිමෙහිය. මුල්ම මහ රහතන් වහන්සේගේ පිවිතුරු පහසින් පිදුම්ලද අට සැට ලෙන් ඇත්තේද මෙහිමය. බුදුන්ගේ සර්වඥ ධාතුන්වහන්සේ නිධන් කළ මහසෑය ඇත්තේද මෙහිය. එමෙන්ම අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ ද මේ බිමෙහිය.

එපමණක්ද නොව කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම ආදි සියලු බුදුවරුන්ගේ පරම පිවිතුරු පහස විඳීමට තරම් වාසනාවන්ත වූ ස්වර්ණභූමියක් ලෙස වංශකතාවන්හි සඳහන් මේ බිම මොනතරම් නම් උත්තරීතරද, දණ්ඩෙන් පහරදී හීයෙන් විඳ මරණයට පත්වන වනේ වන සතාගේ මරණ භය පහ කළ නිදහස වෙනුවෙන් එදා වෙන්වුණු අභයභූමියද මෙයමය. සතා සිවුපාවුන්ට වූ ඒ මරණ භය දුරු කෙරුවාසේම මිනිස් සිත් සන්තානයේ පවතින භය තුරන් කිරීම අවැසි වූ අධ්‍යාත්මික සුවසෙත රැගෙන එම කෙම්බිම මෙයය. හාත්පස සිසාරා හමන සුළඟේ පවා දැනෙන අපමණ සුවය විඳින්නට මේ පින් කෙතේදි ඔබට හැකියාව ඇත. දහම් අමා වැසි වැස්සවූ මිහින්තලා පිවිතුරු බිමෙහි සුවහසක් සිත් සතන් වින්දනයට සුවයට සැනසුමට මඟ හසර විවර කළ මහා නිදහස් භූ®මියක පොසොන් සඳ පායා ඔබගේ ගෙපැළ එළිය කරන්නේ ඒ මඟ ඔස්සේ ඔබ අනුබුදු හිමි දකින්නට මිස්සක පව්වට කැඳවාගෙන යාමට ආරාධාන කරන්නටය.

ඒ තරමට මිහින්තලාවයි දහම් අමාවයි පොසොන් සඳයි, සැදැහැති මේ දම්දිවේ ජනී ජන හදවතෙහි මස් නහර හා කාවැදී හදවත කරා ඇදෙන ලේ ධාතුව හා මිශ්‍රව පවතී.