Print this Article


ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම සන්නිවේදකයාණෝ

උපමා අනුසාරයෙන් දහම් දෙසීම ද තවත් ක්‍රමවේදයක් විය. ශ්‍රාවකයන් දහමෙහි පිහිටුවීම පහසුවනු පිණිස නොයෙක් උපමා භාවිත කොට ඇත. මජ්ඣිම නිකායේ මහා සරෝපමා සුත්‍රයේ සඳහන් පරිදි යහපත් දෙය තිබියදී නිසරු දේ පිළිගැනීම උපමා කළේ ‘ගසක අරටුව ඉවත ලා කොළ පොතු රැගෙන යෑම වැනිය’ යනුවෙනි. අලගද්දූපම සූත්‍රයේදී , ධර්මය වුව ද දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම අනුවණ ක්‍රියාවක් බව පෙන්වා දුන්නේ ‘ජලය තරණය කිරීමට යොදාගත් පහුර ජලය තරණය කළ පසු කරේ තබා ගෙන යා යුතු නැත’ යනුවෙනි.

ලෝකයෙහි සන්නිවේදනයට හිමි වන්නේ ඉතා වැදගත් තැනෙකි. විවිධ විද්වතුන් විසින් විවිධාකාරයෙන් සන්නිවේදනය යන්න අර්ථ නිරූපණය කරනු ලැබ ඇති අතර, ඉතා සරලව ගත් කල සන්නිවේදනය යනු එක් අයකුගෙන් තවත් අයකුට තොරතුරක් යැවීම හා තේරුම් කර දීමේ ක්‍රියාවලියයි. සන්නිවේදනයේ අඩංගු මූලිකාංග මෙසේ පෙන්වා දිය හැකිය. සාර්ථක සන්නිවේදනයක පහත මූලිකාංග පහම යහපත්ව සපුරා තිබිය යුතු වේ.

1. පණිවුඩය
2. පණිවුඩය යවන්නා
3. පණිවුඩය ගෙන යන මාධ්‍යය
4. පණිවුඩය ලබන්නා
5. ප්‍රතිචාරය

තමන් අවබෝධ කර ගත් දෙයක් සරලවත්, පැහැදිලිවත් තවත් අයකුට මනාව තේරම් කර දිය හැකි අය ඇත්තේ අතළොස්සකි.

ලොව පහළ වූ ආගමික නායකයන් අතර බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කථිකයකු, දේශකයකු, හා සන්නිවේදකයකු තවත් නොමැත්තේමය.

“මහණෙනි, බොහෝ දෙනාගේ සිත සුව පිණිස,ලොවට අනුකම්පා පිණිස,දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, සුව පිණිස ගම් නියම් ගම්හි හැසිරෙව්. තෙපි දෙදෙනෙක් එක්මඟ නොයව්. මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත වූ සියලු අයුරින් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරවු” යනුවෙන් තම ප්‍රථම රහත් සැට නමට අවවාද දී තමන් වහන්සේ ද උරුවෙල් දනව්වේ සේනානි ගමට වැඩම කරමින් ඇරැඹූ මෙම ධර්ම දූත සේවාව පුරා හතළිස් පස් අවුරුද්දක් මුළුල්ලේම ගම් නියම් ගම් සිසාරා වඩිමින් දහම් දෙසමින් ඉටු කළ සේක. තමන් අවබෝධ කරගත් ධර්මය දහස් ගණන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ට ඉතා ව්‍යක්ත ලෙස ඉදිරිපත් කළ සේක. දහම් ඇසීමට රැස් වූ අය ඉතා සාවධානව හා නිශ්ශබ්දව අසා සිටියහ.බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ තමන්ටම යැයි සිතා සැවොම දහම් ඇසූහ.උන්වහන්සේගේ කටහඬ මධුර ස්වර හා කුරවික භාණි යැයි පෙළ පොත්හි සඳහන්ව ඇත.

බුදුරජාණන් වහන්සේ විසින් දම් දෙසුමේදී භාවිත කරන ලද සන්නිවේදන ක්‍රමවේදය කොටස් කිහිපයක් ලෙසට අපට වටහා ගත හැකිය.

1. කථා ක්‍රමය
2. ප්‍රශ්න විසර්ජන ක්‍රමය
3. සාකච්ඡා ක්‍රමය
4. උපමානුසාරි ක්‍රමය
5. වෘතාන්ත හා ගීතිකා
6. දෘශ්‍ය මාධ්‍යය
7. මනෝවිද්‍යාත්මක ක්‍රමය
8. භෞතික වස්තු

පියවරෙන් පියවර ශ්‍රාවක සිත් සතන් තුළ දහම ස්ථාපිත කිරීම සඳහා යොදා ගත් එක් ක්‍රමවේදයකි කථා ක්‍රමය. එය උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යයයි. බුදුන්වහන්සේ පළමුව දාන කතා , ශීල කතා හා දිව්‍යලෝක සම්පත් ආදි සංසාරික කරුණුත්, දෙවැනුව සසරින් මිදීමේ අගයත් දක්වන සේක. මේ නිසා පුහුදුන් ජනයාගේ සිත සරල තැනේ සිට ගැඹුරු තැනට ගෙන යෑමට සමත් වූ සේක.

බුදුපියාණන් වහන්සේ දහම් දෙසීමේදි යොදා ගත් තවත් සන්නිවේදන ක්‍රමයක් ගැන දීඝ නිකායේ දැක්වේ. ශ්‍රාවක පිරිසේ ස්වභාව අනුව, ක්‍රම හතරක් යටතේ කරන ලද අවස්ථාවෝචිත දේශනා ක්‍රමයකි .

1.අත්තජ්ඣාසය – සිටින පිරිස ඉලක්ක කොට තමන් වහන්සේගේ සිතැඟි පරිදි දහම් දෙසීම

2. පරජ්ඣාසය - දහම් ඇසීමට පැමිණි පිරිසගේ සිත්හි අදහස් දැනගෙන එම අදහස් වලට ගැළැපෙන පරිදි දහම් දෙසීම

3. පුච්ඡාවසික - ශ්‍රාවකයන් විසින් අසන ලද ප්‍රශ්නවලට අදාළව එය මුල් කරගෙන විස්තර විවරණ සහිතව දහම්දෙසීම

4.අට්ඨුප්පත්තික – ශ්‍රාවක ජනයා අතර පැන නැඟුණු යම් කරුණක් මුල් කර ගෙන එය පැහැදිලි කිරීම සඳහා අර්ථ විවරණ සහිතව දහම් දෙසීම

නිවැරැදි හා දක්ෂ සන්නිවේදකයකු පණිවුඩය ලබන්නාගේ සිත්හි ස්වභාව දැන හැඳින අදාළ කරුණු ඉදිරිපත් කළ යුතු බව මෙයින් වැටහේ. ඒ අනුව, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසේ සිත් හා අදහස් වටහා ගෙන පිරිසේ ස්වභාව හා අදාළ මොහොත ගැන මනා අධ්‍යයනයකින් යුතුව දහම් දේශනා කර ඇති බව පෙනේ.

තථාගතයන් වහන්සේගේ සන්නිවේදන කෞශල්‍යය ගැන විමසීමේදී අංගුත්තර නිකායේ පඤ්හ ව්‍යාකරණ සූත්‍රයේ පෙන්වා දෙන පරිදි, දැක ගත හැකි සුවිශේෂි අවස්ථාවක් වන්නේ, ප්‍රශ්න විසර්ජන ක්‍රමවේදයයි. මෙයද ප්‍රධාන කොටස් සතරකි.

1. ඒකංස ව්‍යාකරණීය – එක එල්ලේ ඍජු එක් පිළිතුරක් ලබාදීම

2. විභජ්ජ ව්‍යාකරණීය - ශ්‍රාවකයන් විසින් අසනු ලැබූ ප්‍රශ්නය බෙදා වෙන්කොට සවිස්තරව පිළිතුරු සැපයීමයි. එය විස්තර විවරණ සහිත වූවකි.

3. පටිපුච්ඡා ව්‍යාකරණීය – ප්‍රශ්නකරුගෙන් ප්‍රතිප්‍රශ්න අසමින් ගැටලුව නිරාකරණය කිරීමයි. ප්‍රශ්නය ඉදිරිපත් කළ අයගෙන්ම නිවැරැදි උත්තරය ලබා ගෙන කරුණු පහදාදීම මෙයින් සිදු කෙරේ.

4. ඨපනීය ව්‍යාකරණීය – ධර්මාවබෝධයට අදාළ නොවන කරුණක් මුල් කොට අසනු ලැබූ ප්‍රශ්න එකඑල්ලේම බැහැර කෙරේ.

මෙම ක්‍රම ඉතා ජනපි‍්‍රය සන්නිවේදන උපාය මාර්ග ලෙස සැලකේ.

සාකච්ඡා මාර්ගයෙන් දහම් දෙසීම ද බුදුන් වහන්සේ අනුගමනය කළ තවත් මාර්ගයකි. ධර්ම සාකච්ඡාවක් අරඹා ඒ ඔස්සේ ශ්‍රාවක ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කොට ඇත. ශ්‍රාවකයන්ගේ චින්තක ශක්තිය හීන නොකොට ස්වාධීන නිගමනවලට පැමිණිය හැකි පරිදි සිතෙහි වර්ධනයක් ඇති කිරීම මෙයින් අපේක්ෂිතය. මේසඳහා කදිම නිදසුන් වන්නේ කාලාම සූත්‍රය, මජ්ඣිම නිකායේ චුල්ලගෝසිංග සූත්‍රය, මෙලොව දී ලැබිය හැකි ශ්‍රමණ ඵල පිළිබඳ බුදුරජුන් හා අජාසත් රජ අතර ඇති වූ සංවාදය ඇතුළත් දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රය සහ ආනන්ද හිමි හා බුදු හිමි අතර පටිච්ච සමුප්පාදය පිළිබඳ ඇති වූ සංවාදය ඇතුළත් මහා නිධාන සුත්‍ර ආදියයි.

උපමා අනුසාරයෙන් දහම් දෙසීම ද තවත් ක්‍රමවේදයක් විය. ශ්‍රාවකයන් දහමෙහි පිහිටුවීම පහසුවනු පිණිස නොයෙක් උපමා භාවිතකොට ඇත. මජ්ඣිම නිකායේ මහා සරෝපමා සුත්‍රයේ සඳහන් පරිදි යහපත් දෙය තිබියදී නිසරු දේ පිළිගැනීම උපමා කළේ ‘ගසක අරටුව ඉවත ලා කොළ පොතු රැගෙන යෑම වැනිය’ යනුවෙනි. අලගද්දූපම සූත්‍රයෙදී , ධර්මය වුවද දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම අනුවණ ක්‍රියාවක් බව පෙන්වා දුන්නේ ‘ජලය තරණය කිරීමට යොදාගත් පහුර ජලය තරණය කළ පසු කරේ තබා ගෙනයා යුතුª නැත’ යනුවෙනි.

වෘතාන්ත හා ගීතිකා යොදාගෙන ධර්ම සන්නිවේදනය කිරීම පිළිබඳ උදාහරණ බොහෝ ප්‍රමාණයක් ඇත. අග්ගඤ්ඤ සූත්‍රයේදී ලෝකයේ හට ගැනීම පැහැදිලි කරන්නේ වෘතාන්තයක් පරිද්දෙනි. සොර සතුරු උවදුරු ඉවත ලා රටේ සුරක්ෂිතබව හා ආර්ථික දියුණුව ඇති කළ යුතු අයුරු වෘතාන්තයක් ලෙස කූ®ටදත්ත සූත්‍රයේ දේශනා කර ඇත. සමස්ත සමාජයක්ම විනාශය කරා ගමන් කරන්නේ දරිද්‍රතාව නිසා බව චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් පැහැදිලි කර ඇත.

තවද හරවත් හා රසවත් උපමාවන්ගෙන් පිරි බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදය ඉතා වැදගත් පුස්තකයක් වන්නේ ගීතිකා නොඑසේනම් ගාථා ඇසුරින් දහම් පද දේශනා කළ බැවිනි. අර්ථාන්විත හා මිහිරි වූ උපමාවන්ගෙන් යුතු හා උච්චාරණයෙන් පහසු වු ගාථා සමූහයක් මෙහි අඩංගු වී ඇත.

දෘශ්‍ය මාධ්‍ය මගින් ධර්මය පැහැදිලි කිරීම බුදුරජාණන්වහන්සේ අනුගමනය කළ තවත් ක්‍රමයකි. සිතෙහි ස්වභාව හඳුනාගෙන ඊට අදාළ දේශනාව පැවැත්වීමේදී විවිධ රූප භාවිත කොට ඇත. එවන් අවස්ථා ත්‍රිපිටකයේ බෙහෙවින් දක්නට තිබේ.රූප නන්දා, නන්ද කුමරු ආදින් හට සිදු කළ දෙසුම් වැනි නිදසුන් ගණනාවක් දැක්විය හැකිය.

බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ තවත් ක්‍රමයක් වන්නේ මනෝවිද්‍යාත්මක ක්‍රමයයි. පුතාගේ මරණය නිසා කිසාගෝතමියගේ දුක තුනී කරන්නේ කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන ලෙස උපදෙස් දෙමිනි.තම දරුවන්, ස්වාමිපුරුෂයා හා මවුපියන් අහිමි ව පියවි සිහියෙන් තොරව මහ මග ආ පටාචාරාවට ජනතාව ‘පිස්සියකැ’යි ඇමතුවද බුදුරජාණන් වහන්සේ ඇය ඇමතුයේ ‘නැගෙණියෙනි’යන මෛත්‍රි සහගත වදනෙනි.

මාස කිහිපයක් තිස්සේ එක් ගාථාවක්වත් පාඩම් කර ගැනීමට නොහැකි වූ චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට ධර්මය වටහා දෙන්නේ රෙදි කැබැල්ලක් උපයෝගි කර ගනිමිනි. ඒ ආකාරයෙන් දහම දෙසීම සඳහා භෞතික වස්තු ප්‍රයෝජනයට ගත් තවත් අවස්ථාද බොහෝය.

කොසඹෑ නුවර සිංසපා වනයේ වැඩ වසන සමයෙහි ඇට්ටේරිය වනයේ කොළ ස්වල්පයක් අතටගත් උන්වහන්සේ තමන් දන්නා නමුත් දේශනා නොකරන ලද ධර්මය උපමාවක් ඇසුරින් පැහැදිලි කළ සේක. කසීභාරද්වාජ බමුණාට දහම් දෙසූයේ ඔහුගේ කෙත උපයෝගී කර ගනිමිනි.

මෙම දේශනා ජනතාව තුළ මහත් ප්‍රශංසාවට භාජන වූ අතර අන්‍ය ලබ්ධිකයන් කීවේ බුදුන් වහන්සේ තුළ මිනිසුන් වසඟයට ගත හැකි මායා බලයක් ඇති බවය. අප මුලින් සඳහන් කළ සන්නිවේදන මූලිකාංග බුදුහිමිගේ දේශනා ශෛලියට ආදේශ කළ විට මෙසේ දැක්විය හැකිය.

1. පණිවුඩය -සසර දුකින් එතෙරවීම
2. පණිවුඩය යවන්නා- බුදුපියාණන් වහන්සේ
3. පණිවුඩය ගෙන යන මාධ්‍යය- අන්තර් පුද්ගල හාසමූහ සන්නිවේදනය
4. පණිවුඩය ලබන්නා- දෙවි බඹුන් සහිත සිව්වණක් පිරිස
5. ප්‍රතිචාරය- මාර්ග ඵල අවබෝධය

බුදුදහම ජනතාව අතර ප්‍රචාරය කිරීම සඳහා බුදුපියාණන් වහන්සේ තරම් සුවිශේෂවූ සන්නිවේදන ක්‍රම අනුගමනය කළ වෙනත් කිසිම ආගමික නායකයකු ලොව බිහිව නැත. උන් වහන්සේ ලොව පහළ වු ශ්‍රේෂ්ඨතම සන්නිවේදකයාණන් වන්නේ එබැවිනි.