විමාන වත්ථු
කථා පුවත්
13
තම ආහාර වේලෙන් කොටසක් දන් දී
දිව්‍ය සම්පත් ලැබූ
දෙවඟන
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ
අධ්‍යනාංශ ප්‍රධාන
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
උණුවතුරබුබුලේ
මහින්ද හිමි
සැවැත්නුවර විසූ එක්තරා සැදැහැවත් කාන්තාවක් පෙරවරු කාලයේ තම නිවෙසට
පිඬු පිණිස වැඩි භික්‍ෂුන් වහන්සේ නමක් දැක මහත් සතුටට පත්වූවාය. ඒ
සමගම ඇයට ශෝකයක් ද ඇති වූවාය. සතුටට හේතු වූයේ අනාරාධනයෙන් ම තමන්ට
ක්‍ෂේත්‍රයක් බඳු ප්‍රතිග්‍රාහකයකු හමු වූ නිසාය. දැමුණු ඉඳුරන්ගෙන් ද,
නෙත් සිත් සනසන උපශාන්ත ඉරියව්වෙන් ද, නිවී සැනසුණු සංවරයෙන් ද
පිරිපුන් ඒ තෙරුන් වහන්සේ සැබවින්ම දකින්නාගේ සැදැහැ සිත් වඩවන්නේ ම ය.
ශෝකයට හේතු වූයේ තමන්ගේ දරිද්‍රතාවය නිසා උන්වහන්සේ වෙත සිත් සේ පූජා
කරන්නට තරම් ප්‍රමාණවත් ආහාරයක් තම නිවසේ ඒ මොහොතෙහි නොවූ බැවිනි. එසේ
වුවත් ඇයගේ සැදැහැ සිතම බලවත් වූයෙන් තමන් සතු සුළු දෙයකින් හෝ
උන්වහන්සේට පූජා කරන්නට කල්පනා කළ ඕ තොමෝ තම උදෑසන ආහාර වේල සඳහා සකස්
කර තිබුණු පූපයෙන් භාගයක් උන්වහන්සේගේ පාත්‍රයට පුදා මහත් වූ
ශ්‍රද්ධාවෙන් පසඟ පිහිටුවා වැන්දාය. සසර දුක් නිවූ මහරහතන් වහන්සේ නමක
වූ ඒ තෙරුන්වහන්සේ ද ඇයට පුණ්‍යානුමෝදනා කොට පෙරළා වැඩම කළහ.
කල්යාමෙන් මිය පරලොව ගිය ඇය ඉහත කී පුණ්‍ය කර්මයේ ආනිසංස වශයෙන්
තව්තිසා දෙව්ලොව මහත් පිරිවර හා සම්පත් සහිත දෙවඟනක් ව උපන්නාය. දිව්‍ය
සම්පත්තියෙන් ඔද වැඩුනු සිතින් පී‍්‍රතියෙන් කල් ගෙවන ඇයට එක්තරා
අවස්ථාවකදී මුගලන් මහ රහතන් වහන්සේ මුණ ගැසිණ. සසර පුරුදු පරිදිම මහ
තෙරුන් දැක ප්‍රසන්න වූ ඕ තොමෝ උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ
එකත් පස්ව හුන්නාය. එකී දෙවඟනගේ දෙවි සැපත් දැක උන්වහන්සේ ඇයගෙන් මෙසේ
විමසා සිටියහ.
“දුටු දුටුවන් නෙත් සිත් ඇදගන්නා රූපශ්‍රීයෙන් ද, අනිකුත් දෙවඟනන් අතර
කැපී පෙනෙන මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද ප්‍රමුදිතව සිටිනා පින්වත්
දේවතාවිය, මේ සා මා හැඟි වූ සම්පත්තියක් ලබන්නට මිනිස් ලොව දී කවර නම්
කුසල කර්මයක් කළෙහි ද” උන්වහන්සේගේ ප්‍රශ්නයෙන් උද්‍යීයෝගිමත් වූ ඇයගේ
පිළිතුර මෙසේ වූයේය.
“ස්වාමීනි, මම ඉහත ආත්මයේ මිනිස් දියණියක්ව උපත ලබා සිටියෙමි.
නිරන්තරයෙන් දාන මානාදී කුශල ක්‍රියාවන් කරන්නට තරම් වත් පොහොසත් කමක්
මට නොවූ වද, ධර්මානුකූලව ජීවත් වෙමින් ගුණධර්ම ආරක්‍ෂා කළෙමි. එසේ
ජීවත් වන අතර එක් දිනක් මගේ නිවසට පිඬුපිණිස වැඩම කළ ආර්යයන් වහන්සේ
නමකට මගේ උදෑසන ආහාර වේලෙන් අඩක් මහත් වූ ශ්‍රද්ධාවෙන් පිදිමි. මේ මහත්
දිව්‍ය සම්පත් මට ලැබුණේ ඒ කුසල කර්මයෙහි ආනිසංස වශයෙනි.”
මුගලන් මහතෙරුන් වහන්සේ සිරිත් පරිදි ඇයගේ කථා පුවත මාතෘකා කර ගනිමින්
දෙවි පිරිසට දහම් දෙසා මිනිස් ලොවට පැමිණීමෙන් පසු මේ පුවත බුදුරදුන්ට
සැළ කළහ. බුදුරජාණන් වහන්සේ ද, එයම අර්ථෝත්පත්ති කර ගනිමින් විහාරයට
රැස්ව සිටි පිරිසට දානානිසංස පෙන්වා දෙමින් ධර්ම දේශනා කළහ. ඒ දේශනාව
බොහෝ දෙනාගේ හිත සුව පිණිස ම විය.
|