Print this Article


පිරිහෙන මාවතෙහි නොයා යහ මඟෙහි ඉදිරියට

පිරිහෙන මාවතෙහි නොයා යහ මඟෙහි ඉදිරියට

උත්සාහවත් බව පුද්ගල දියුණුවේ පදනම බව නොදන්නා කෙනකු නැත.එහෙත් යමකු උත්සාහය බැහැර කොට, අලස බවින් යුක්තව, කළ යුතු දේ මඟ හරින්නේ ද ඔහු පිරිහීමට පත්වීම වැළැක්විය නොහැකි ය. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන, භෝග විනාශ මුඛ පැහැදිලි කිරීමේ දී අලසකම පිළිබඳ විශේෂ වශයෙන් සාකච්ඡා කර ඇත. එයින් ද පැහැදිලි වන්නේ අලසකම අප වෙතින් බැහැර කළ යුතු දුර්ගුණයක් බව නොවේ ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය අකාලික වූ, එනම් සියලු කල්හිම එක ලෙස ගැළැපෙන්නා වූ පූජනීය දහමකි. ඉන් ලොව මනුෂ්‍ය ප්‍රජාවට උකහා ගත හැකි සාරධර්ම හා ආදර්ශ බොහෝ ය. ‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ’ යන කියමන බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි ද අදාළ කරගත හැකිය. ඒ අනුව, ධර්මය හොඳින් තේරුම් ගෙන ඊට අනුකූලව කටයුතු කරන්නේ නම් යහපත් වූ ප්‍රතිඵල අත්විඳිය හැකිවනු ඇත. ධර්මය තේරුම් නොගෙන කටයුතු කරන්නේ නම් ඔහු විශාල අපහසුතාවකට පත්වනු නො අනුමානය.

සමාජයේ නොයෙක් අවස්ථාවල විවිධ මතවාද පහළ විය හැකි ය. ඒවාට සෑම සමාජ තලයක ම ප්‍රජාව කෙරේ බලපෑම් ඇති කළ හැකිය. මෙයට හොඳම නිදසුනක් හැටියට මංගල සූත්‍රය දේශනා කරන්නට හේතු වූ පසුබිම දැක්විය හැකිය. සුත මංගල, මුත මංගල හා දිට්ඨ මංගල අවස්ථා මංගල යැයි ඇති වූ සංවාදය උග්‍ර වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍ර දේශනාව සිදු කළ සේක. එම මංගල කරුණු ඇසීමෙන් ප්‍රමෝදයට පත් දෙව් බඹුන් සහ මිනිසුන්, කෙනකුගේ පිරිහීමට හේතුවන කරුණු පිළිබඳ ද විමසීමට උත්සුකවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පරාභව සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

මෙහිදී අපේක්‍ෂා කරන්නේ, පරාභව සූත්‍රයෙහි ඇතුළත් කරුණු සමාජගත ජීවිතයේ දී කෙසේ නම් බලපායි ද යන්න විමසා බැලීම යි. පුද්ගල ජීවිතය ආදර්ශවත් ව, සමාජහිතකාමී ව ගොඩනඟා ගන්නට අවශ්‍ය මඟ පෙන්වීම මෙම ඉගැන්වීම් තුළින් සංවර්ධනය කරගත හැකිය. මෙහිදී අපට ඉතා වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරාභව සූත්‍රයෙන් ගත හැකි උපදේශාත්මක ඉගැන්වීමයි.

එහි සඳහන් පරිදි ධර්මයට කැමැති තැනැත්තා දියුණුවට පත්වන අතර ධර්මයට අකැමැති තැනැත්තා පිරිහෙන බව පළමුවෙන් ම දේශනා කොට ඇත. මෙම ධර්මෝපදේශය විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ දස අකුසලයන් හි යෙදෙමින් කටයුතු කරන්නා සමාජ පරිහානියට අත වනනා බවයි. හොඳ, නරක නොවිමසා පංචේන්ද්‍රියන්ට විෂය වන අරමුණුවලට ලොල් ව සමාජ පීඩාකාරී මෙන් ම තමාට ද අහිතකර අකුසල ධර්මයන්ට ලොල් වන්නා ඒකාන්තයෙන් ම පරිහානියට පත්වන්නේ ය.

සද්පුරුෂයන් අපි‍්‍රය කොට, අසද්පුරුෂයන් පි‍්‍රය කරමින් ඔවුන්ගේ ඉගැන්වීම් හා ක්‍රියා කලාපයන් අගය කරමින් ඒවාට නතුව ක්‍රියා කරන තැනැත්තා ගේ පරිහානිය ඒකාන්ත ය. මවුපියන් ද, ගුරු මවුපියවරුන් ද, උපකාරක, අනුකම්පක, සමාන සුඛ දුක්ඛ සහ අත්තක්ඛායී යන ප්‍රාණ සමමිතුරන් ද අතැර, අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී සහ අපාය සහාය යන මිතුරු වෙසින් පෙනී සිටින අසද්පුරුෂයන් ඇසුරට පත්වීම කෙනකුගේ පින් පිරිහීමක් හැටියට හැඳින්වුව ද වරදක් නැත. වැරැදි මඟ යමින්, සමාජ සම්මතයෙන් බැහැර වූ ක්‍රියාකාරකම් හි නිරත වීම අසද් දහමට නැඹුරුවූවන්ගේ ලක්‍ෂණයකි. එබැවින් අසද් දහම් බැහැර කොට, අසද්පුරුෂ ඇසුරින් ඉවත්ව, සද්පුරුෂයන් ඇසුරට යොමුවන්නට කටයුතු කරන්නේ නම් ජීවිතය ජය ගන්නට කටයුතු කළා වේ.

නිදන සුළු වූ ද, සභාවෙහි නිරන්තර ඇලුණාවූ ද, උට්ඨාන වීර්යයෙන් බැහැර වූයේ ද, අලසකමින් යුක්ත වූ ද, ක්‍රෝධ කරන්නේ ද එම තැනැත්තා පිරිහීමට පත්වන බව බුදුවදනයි. නින්ද, පුද්ගල ජීවිතයකට අවශ්‍ය වූවකි. එහෙත් තමාගේ සියලු කටයුතු පසෙක ලා නින්දට පි‍්‍රය කරමින් නින්දේ ඇලුණු තැනැත්තා තමාගේ ලෞකික ජීවිතය අඩාල කර ගත් අයෙකි.එසේ වූ අයෙකුගේ මෙලොව දියුණුවක් කෙසේ නම් අපේක්‍ෂා කළ හැකි ද? නිතර පිරිස් හා එක්ව සභාශීලී ව කාලය කා දමමින් කටයුතු කරන්නා තමාගේ භෞතික දියුණුවට මෙන්ම අධ්‍යාත්මික දියුණුවට ද ඇති මාර්ගය වසා ගනී.

උත්සාහවත් බව පුද්ගල දියුණුවේ පදනම බව නොදන්නා කෙනෙකු නැත.එහෙත් යමකු උත්සාහය බැහැර කොට, අලස බවින් යුක්තව, කළයුතු දේ මඟ හරින්නේ ද ඔහු පිරිහීමට පත්වීම වැළැක්විය නොහැකි ය. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන, භෝග විනාශ මුඛ පැහැදිලි කිරීමේ දී අලසකම පිළිබඳ විශේෂ වශයෙන් සාකච්ඡා කර ඇත. එයින් ද පැහැදිලි වන්නේ අලසකම අප වෙතින් බැහැර කළ යුතු දුර්ගුණයක් බව නොවේ ද? තරහකරුවන් ඇතිකර ගෙන කලකෝලාහලවලට මැදිවෙමින් තම ජීවිතය අවදානමට ලක්කර ගන්නන් අප අතර නැත්තේ නොවේ.

පාසල් සිසුවාගේ පටන් සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන්නන් ඉහත සාකච්ඡා කළ දුර්ගුණයන්ගෙන් ඈත් විය යුතුම ය. සිය ජීවිතයේ තෘප්තිමත්භාවය තහවුරු කරගන්නට නම් මෙම පරාභවයට හේතුවන කරුණු මැනැවින් දැන කටයුතු කළ යුතු ය. ඒවා බැහැර කළ යුතු ය. අධ්‍යාපන කාර්යයේ දී පමණක් නොව රැකියා, සේවා කාර්යයෙහි දී පවා මෙම දුර්ගුණ අවස්ථා විද්‍යාමාන වුවහොත් එවැන්නන්ගේ පරිහානිය ඒකාන්තය.

අද සමාජයේ දකින්නට ලැබෙන තවත් දුර්ගුණයකි, හැකියාව ඇතිව තිබියදීත් මවුපියන් පෝෂණයෙන් ඇතැම් දරුවන් ඉවත්වීම. වැඩිහිටියන් සඳහා සේවා සපයන රැකවරණ මධ්‍යස්ථාන සමාජගත වන්නේ මෙවැනි සිදුවීම් හේතුකොට ගෙන බව පැහැදිලි ය. එබැවින් සියලුම දරුවන් සිය මවුපියන් වයස්ගත වීමෙන් පසු රැකවරණය හා පෝෂණය ලබා දීම සිදු කළ යුතු ය. එසේ නොවීම සමාජ පරිහානියේ මූලාරම්භයයි.

අද අපට බහුලව දකින්නට ඇති දුර්ගුණයකි, බොරුව. සමාජයේ අන්‍යෝන්‍ය සබැඳියාව බිඳ දමන, විශ්වාසය පළුදු කරන, එකිනෙකා අතර සැකය හා විමතිය ඇති කරන්නට බොරුව හේතුකාරක වේ. පරාභව සූත්‍රය දක්වන පරිදි බමුණන්, ශ්‍රමණ පිරිස් මෙන්ම යදියන් ද බොරුවෙන් රැවැටීම පරිහානියට කාරණයක් වේ. අද සමාජයේ වුව ද මෙවැනි තත්ත්වයක් නැත්තේ නොවේ. බෞද්ධ ගිහියාගේ නිත්‍ය ශීලය වන පංච ශීලයේ සිව්වැනි ශික්ෂාපදය සමාදන් වීමෙන් සිදු කෙරෙන්නේ ද මුසාව හෙවත් බොරු කීමෙන් වැළැකීමට එකඟතාව පළකිරීමයි. එබැවින් බොරුව බැහැර කොට සත්‍යවාදී වීම, සමාජයේ සන්හිඳියාව සඳහා අපගේ වගකීම ඉටුකිරීමකි. එය සමාජයේ යහ පැවැත්මට ද රුකුලක් වනු ඇත.

සම්පත් කළමනාකරණය පුද්ගල සංවර්ධනයට මෙන්ම, සමාජ සංවර්ධනයට ද හේතුවේ. එහෙත් සම්පත් තනිව පරිහරණය කරන පුද්ගලයන් සමාජයේ දකින්නට නොලැබෙනවා ම නොවේ. තමා සතු ධනය, ආහාර පාන තමන් පමණක් භුක්ති විඳින්නට පෙළැඹෙන අය අන්‍යයන්ගේ අපහසුතා පිළිබඳ නොදනී. එය පරිහානියට හේතුවන්නක් බවට පරාභව සූත්‍රය දක්වයි. මේ නිසා තමන් සතු සම්පත්වල ප්‍රමාණය දැන ඒ ක්‍රමවත්ව, වැඩදායක ලෙස පරිහරණය කරන්නේ නම් සමාජ සද්කාර්යයකි.

ජාතිකත්වය, ධනවත් භාවය, කුලවත් භාවය නිසා සිතෙහි අධිමානය ඇතිකර ගනිමින් ඥාතීන්, ස්වකීයයන් අවමානයට ලක් කරන්නේ ද හෙතෙම පිරිහීමට මාර්ගය තමා විසින් ම සකස් කර ගනී. දියුණුවන පුද්ගලයා අධිමානය බැහැර කොට අනතිමානී ව ක්‍රියා කරන්නකුම වේ. මානය සිය සිතුවිලි පවා දූෂණය කරයි. එබැවින්, මානාධික සිතුවිලි, ක්‍රියාකාරකම් බැහැර කොට සම්‍යක් සිතුවිලිවලින් යුතුව කටයුතු කරන්නට වග බලා ගැනීම ඉතා වැදගත් වේ.

අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන අවාසනාවන්ත සිදුවීම් රාශියකට බලපාන කරුණු අතර ස්ත්‍රීන් කෙරෙහි අධික ලොල් වීම, සුරාව කෙරෙහි ලොල්වීම, දූ කෙළියෙහි ඇබ්බැහිවීම දැක්විය හැකිය. මේ නිසා ඇතිවන ධන හානිය පුද්ගලයා දැඩි ලෙස පරිහානියට පත් කරයි. අනවශ්‍ය අයුරින් ධන හානි කරගන්නා සිය ජීවිතය ඕනෑකමින් ම විනාශ කරගන්නා පුද්ගලයෙකි. ධනය නොමැත්තාට සමාජමය පිළිගැනීමක් ඇති නොවේ. සමාජ පිළිගැනීමක් නැත්තාට සිය කටයුතු කරගෙන යෑමේ දී බලවත් අපහසුතාවකට පත්වීමට සිදුවේ.

ආවාහ විවාහ ජීවිතයේ දී නිවැරැදි ව කටයුතු නොකිරීම, පසුතැවීමට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිය විවාහ දිවිය දෙදරා යන්නට පසුබිම සකස්වන පරිදි අන්‍ය කාන්තාවන් කෙරෙහි ලොබ බඳින්නා විවාහ දිවිය අපායක් කරගනී. ධනය, බලය, සෞඛ්‍යය පිරිහීමට මේ සිදුවීම් මුල් වේ. එබැවින් වඩාත් යහගුණයෙන් යුතු විවාහක දිවිපෙවෙතක් ගත කිරීමට ඒ සඳහා යොමු වන්නන් අදිටන් කරගත යුතු වේ. එමඟින් පරිහානියට පිටුපා යහගුණ සපිරි ජීවිතයකට ඇතුළත් විය හැකි ය.