Print this Article


තම නැණ පමණින් දැක ගත යුතු දහම

තම නැණ පමණින් දැක ගත යුතු දහම

භාග්‍යවතුන් වහන්සේ විසින් උපවාණ තෙරුන්ට සඳහන් කළේ රූපය දන්නේත්, රූප රාගය දන්නේත් වෙයි. රූපයන්හි රාගය, මාගේ සන්තානයෙහි හෙවත් ආධ්‍යාත්මයෙහි රූපයන්හි රාගය ඇතැයි දන්නේය යනුවෙනි. මෙහිදී සිහිය හෙවත් සිහිනුවණ පුරුදු කරන තැනැත්තා විසින් ඇසෙන් දකින රූපය, පරමාර්ථ වශයෙන් දැකගන්නේ හෙවත් දන්නේ කෙසේද ? “චක්ඛුං ච පට්ච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා ...” යනුවෙනි

ජීවිත ගමනේ අප සියලු දෙනාම සොයාගෙන යන්නේ මානසික සුවය යි. සැනසිල්ල යි. කයට සැප දෙන්නට යැයි සිතමින් ආහාර, ගේදොර, ඇඳුම් පැළඳුම් ආදී බොහෝ ලෞකික වස්තූන් සොයාගෙන, තරගයකට මෙන් කටයුතු කළත්, අවසානයේ අප නතර වෙන්නේ සිත ළඟය. එනම් සිතේ සුවයක් හෙවත් සැනසිල්ලක් සොයමින්ය. සිතට සුවයක් නැතිනම්, අර ලැබූ හැම සම්පතක්ම නිසරු යැයි දැනෙන්නට පටන් ගනී.

බොහෝ අයෙකුට ලෞකික සම්පත් පැවැතියත් සිතට සැනසුමක් නොමැතිකමින් අපමණ වූ දුක්ඛ දෝමනස්සයන්ට පත්ව සිටිනු ඔබත් දකිනවා ඇත. යම්විටෙක ඔබටත් ජීවිතේ එම අත්දැකීම තිබෙන්නට පුළුවන. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාළ ඒ අමා දහම තරමකින් හෝ තේරුම් ගන්නට හැකිනම් අප සොයන ඒ මානසික සුවය වෙන අයෙක් කෙරේ නොව තමා කෙරේම පවතින බව අවබෝධවනු ඇත. එම උතුම් වූ සැනසුම ලබන මාර්ගය තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් ඔස්සේම පැහැදිලි කරමි.

තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසති. දිනක් ආයුෂ්මත් උපවාණ තෙරණුවන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත් පසෙක වැඩ හිඳ මෙසේ ප්‍රශ්න කරති. “භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය සන්දිට්ඨික (තමා විසින්ම අවබෝධයෙන් දැකගත යුතු ) යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්ස, ධර්මය කවර කරුණක් නිසා සන්දිට්ඨිකත්, අකාලිකත් (කල් නොයවා විපාක දෙන්නේත්) ඒහිපස්සිකත් (එන්න, පරීක්‍ෂාකොට බලන්න යයි කීමට සුදුසු) ඕපනයිකත් (සිත්හි තැන්පත් කොටගෙන පිළිපැදීිමට සුදුසු) පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි (නුවණ ඇත්තන් විසින් අවබෝධ කොට ගතයුතු ) වේද ?

උපවාණ තෙරුන් වහන්සේ විසින් මෙසේ ප්‍රශ්න කරන්නේ, පරමාර්ථ ධර්මයම අවබෝධ කර ගැනීමට ය. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දේශනා කරති. “උපවාණ මෙම ශාසනයෙහි භික්‍ෂුවක් විසින් ඇසින් රූපයක් දැක රූපය දන්නේත්, රූප රාගය දන්නේත් වෙයි. තම ආධ්‍යාත්මයෙහි ඇති රූපයන්හි රාගය, මාගේ ආධ්‍යාත්මයෙහි රූපයන්හි රාගය ඇතැයි දනියි. උපවාණ, ඒ භික්‍ෂුව යම් වූ ඒ රූප දැක රූපය දන්නේත් රූප රාගය දන්නේත් වේද, තම ආධ්‍යාත්මයෙහි ඇති, රූපයන්හි රාගය, මාගේ ආධ්‍යාත්මයෙහි රූපයන්හි රාගය ඇතැයි දනීද, ඒ නිසාම මේ උතුම් වූ ධර්මය සාන්දෘෂ්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යනුවෙන් අවබෝධ කොටගත යුතුවෙයි.

මෙම අදහස අප විසින් විවරණය කරගත යුතුය. එනම් පැහැදිලි කරගත යුතුය. අප සියලු දෙනා ඉපදෙමින් සහ මරණයට පත්වෙමින් සසර ගමනෙහි සැරිසරන්නේ තෘෂ්ණාව නිසාය. මෙම තෘෂ්ණාව විවිධ ආකාරයෙන් සත්වයන් කෙරේ පවතී. මෙම තෘෂ්ණාව ප්‍රධාන වශයෙන් කාම, භව, විභව ලෙස කොටස් කොට පෙන්නූ අතර සසරට සත්වයා බැඳ තබන සංයෝජන ධර්ම දහයක් ද පෙන්වා දී තිබේ. ඒවා නම් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යනුවෙනි. වර්තමාන පැවැත්ම සමඟ මේවා ඇතිවෙමින් ගමන් කරයි. සසර පැවැත්ම යැයි හඳුන්වන්නේ ද එයයි. මෙයට අමතරව පෘථග්ජන සියලු සත්ත්වයන් කෙරේ අප්‍රකටව සැඟවී පවතින, එනමුත් අරමුණුවල ගැටීමේදී අභාවිත සිත්වල පහළ විය හැකි “අනුසය” නමින් හඳුන්වන කෙලෙස් ද පවතී. ඒවා නම් රාගානුසය, දිට්ඨානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, පටිඝානුස, අවිජ්ජානුසය හා භවරාගානුසය වශයෙනි. තෘෂ්ණාව නම් ඇලීම්, බැඳීම්, ගැටීම් සහ මුළාව හටගන්නේ මෙම ඉහත සඳහන් කෙලෙස් නිසා නම්, සසර දුකෙන් නිදහස්වීම පිණිස මෙම කෙලෙස් හටගන්නා සියලු ආකාර සහ, විධි ක්‍රම නැතිකර ගතයුතුය. ඒ අතර සසර ගමනේ පටන් පැවත අවුත් අප්‍රකටව යටපත්ව පවතින අනුසය ධර්මයන් ද මුලින්ම උපුටා දැමීම ද කළ යුතුය. ඒවා එසේ කිරීමට නම් සතිය හෙවත් සතර සතිපට්ඨානයන්ට අනුව සිහිනුවණ පවත්වන්නට “සිත” පුරුදු කළ යුතුය. පරමාර්ථ ධර්මය දැකීම ලෙසත්, විපස්සනා ඤාණය ලෙසත්, සමාධිය දියුණුකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලෙසත් ගැඹුරු අවස්ථාවට පත්වන්නේ එයයි. චතුරාර්ය ධර්ම අවබෝධයෙන් කෙළවර වන සසර ගමනේ නිමාව ඇතිකර ගැනීමට නම් සරලව නමුත් සියුම් ලෙස “සත්ත්වයා, පුද්ගලයා” පිළිබඳ අවබෝධයක් ඇතිකර ගත යුතුය. එනම් සත්ත්වයා, පුද්ගලයා ලෙස හඳුන්වන ධාතු, ස්කන්ධ, ආයතනයන් පිළිබඳවය. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදානස්කන්ධයන් පිළිබඳවය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදානස්කන්ධයන් පිළිබඳවය. එමෙන්ම චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන නම්වූ ඉන්ද්‍රියන් පිළිබඳව හා එම ඉන්ද්‍රියන්ට අරමුණුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම (සිතිවිලි) පිළිබඳවය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය, අපට තරමකින් හෝ තේරුම් ගැනීමට ඉහත කළ විස්තර උපකාර වෙනවා ඇත.

භාග්‍යවතුන් වහන්සේ විසින් උපවාණ තෙරුන්ට සඳහන් කළේ රූපය දන්නේත්, රූප රාගය දන්නේත් වෙයි. රූපයන්හි රාගය, මාගේ සන්තානයෙහි හෙවත් ආධ්‍යාත්මයෙහි රූපයන්හි රාගය ඇතැයි දන්නේය යනුවෙනි. මෙහිදී සිහිය හෙවත් සිහිනුවණ පුරුදු කරන තැනැත්තා විසින් ඇසෙන් දකින රූපය, පරමාර්ථ වශයෙන් දැකගන්නේ හෙවත් දන්නේ කෙසේද ? “චක්ඛුං ච පට්ච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා ...” යනුවෙනි. ඇසෙහි රූපය හටගැනීමේදී චක්ඛු විඤ්ඤාණය පහළවෙයි. මෙම ඇස, රූපය සහ විඤ්ඤාණය නම් තුනෙහි එකතුවෙන් ස්පර්ශය හට ගනී. ස්පර්ශය නිසා විඳීම් (සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ) පහළ වෙයි. එම විඳීම් අනුව තෘෂ්ණාව හටගනී. රූපය, මෙසේ සසර පවත්වමින්, දුකට අල්ලා බැඳ තබන තෘෂ්ණාව දක්වා ගමන් කළේ කෙසේද ? එම රූපය කෙරේ මනාවූ අවබෝධයක් සමගින් පරමාර්ථ ධර්මයෙන් යුතු සිහිය හෙවත් සතිය නොපැවත්වූ නිසායි. සවිඤ්ඤාණ හෝ අවිඤ්ඤාණක (පණ ඇති හෝ නැති) මෙම රූපය නිර්මාණය වී ඇත්තේ පඨවි (තද බව) ආපෝ (වැගිරෙන බව) තේජෝ (උෂ්ණය) වායෝ (සුළඟ) නම් වූ ධාතු කොටස්වලිනි. මෙසේ නිර්මාණය වන සියලුම දෙය හඳුන්වන්නේ සංඛත, සංස්කාර නම් වූ වචනවලිනි. මෙම සංස්කාර වස්තූන්වල ස්වභාවය නම් හටගෙන, වෙනස්වෙමින්, විනාශ ස්වභාවයට පත්වීමය. උප්පාද, ඨිති, භංග යනුවෙන් පැහැදිලි කළේ එම අවස්ථාවන්ය. මෙහිදී පරමාර්ථ වශයෙන් ඇතිකරගන්නා වූ අවබෝධය නම්, එම උප්පාද – භංග නම් වූ හටගෙන – විනාශවීම, අනිච්ච, දුක්ඛ, අනත්ත ඔස්සේ මෙනෙහි කිරීමය. එසේ මෙනෙහි කරන්නේ කෙසේද? යමක් අනිත්‍යයද එය දුකකි. එසේ යමක් දුක් සහගත වන්නේ නම් එය ස්ථිර ආත්මයක් හෝ පුද්ගලයෙක් හෝ ස්ථිර යමක් නොවේ. එසේ නම්, පණ ඇති පුද්ගලයෙකුගේ රූපයක් දකින්නේ නම් ඇතිකරගත යුතු දැක්ම කුමක් ද? මේ පුද්ගලයෙක් ලෙස දකින පඤ්ච උපාදානස්කන්ධයම අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත්ය. පණ නැති වස්තුවක් වූ ගේ දොර, ඉඩකඩම්, යානවාහන, ඇඳුම් පැළඳුම් ආදී දෙය වුවද ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් ය. පරමාර්ථ වශයෙන් දකින, භාවිත සිතක් ඇති, සති සම්පජඤ්ඤයෙන් යුතු අයෙකුට එම පණ ඇති හෝ පණ නැති වස්තූන් කෙරේ මෙවැනි අවබෝධයක් ඇතිවෙයි. එනම් මේ කිසිවක් “ මගේ නොවේ” (නේතං මම) මම නොවෙමි. (නේසෝ හමස්මි) මගේ ආත්මය හෝ ස්ථිර යමක් නොවේ. (නමේසෝ අත්තා) යනුවෙනි. තමාගේ මෙන්ම බාහිර රූපය කෙරේ ද පරමාර්ථ වශයෙන් දකින්නේ එසේය.

මෙම අවබෝධය නැති, අභාවික සිතක් ඇති පුද්ගලයාගේ සිතෙහි එම රූපය කෙරේ රාගය හෙවත් ඇල්ම ඇතිවෙයි. එනමුත් ධර්මය දකින්නට කැමැති පුද්ගලයා විසින් සිහිය පිහිටුවා ගෙන, තමාගේ සිතේ එම රූපය කෙරේ රාගය හෙවත් ඇලීම ඇතැයි දැන ගනු ලබයි. සන්දෘෂ්ටිකය, අකාලිකය ආදී වශයෙන් පැහැදිලි කළේ එම ගුණයන් ය.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ පැහැදිලි කර දේශනා කරති. උපවාණ, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ඇසින් රූපයක් දැක, රූපය දක්නේත්, රූප රාග නැති බව දන්නේත් වෙයි. තමාගේ සිතේ නැති රූප රාගයන් නිසා, තම සන්තානයෙහි හෙවත් ආධ්‍යාත්මයෙහි රූප රාගය නැතැයි දැනගනී. මේ ආකාරයෙන් ධර්මය සන්දිට්ඨිකයි. අකාලිකයි. ඒහි පස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ගුණයට අයත්ය.”

මේ ලෙසින් කනින් ශබ්දය ඇසීමේදී ද නාසයෙන් ආඝ්‍රහණය ලැබීමේ දී ද, දිවෙන් රස ලැබීමේදී ද කයින් ස්පර්ශය ලැබීමේදී ද මනසින් ධර්ම හෙවත් සිතිවිලි ඇතිවීමේදී ද පරමාර්ථ ධර්මයෙහිම පිහිටා මනාවූ සතිය පුරුදු කරමින් අවබෝධය ලැබීම කළ යුතුය. එය විපස්සනාවයි. එයම දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මාර්ගය වන්නේය. ඔබ සැම සුවපත් වේවා! උතුම් වූ ඒ ධර්මාවබෝධයම වේවා!