Print this Article


ලෝකයා සමඟ විවාද නොකරන බුදුහිමියෝ

වෙසක් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

මිථ්‍යා දෘෂ්ටියෙන් බැසගත් තැනැත්තාහු නානා සත්‍යයක් ම කියයි. “ තස්මා න ඒකං සමණා වදන්ති” ඒ කරුණින් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්. මහණෙනි, “ දිට්ඨ” දුටු දෙය, “සුත” ඇසූ දෙය, “මුත” නාසයෙන් ආග්‍රහණය වූ දෙය, දිවට ගත් රසය සහ සමට ස්පර්ෂ වූ දෙය, “ විඤ්ඤාත” මනසට ගත් ධම්ම ආරම්මණය යන ප්‍රඥප්ති වල ලෝකයා පිහිටා සිටින බැවින් මහණෙනි, මම දුක යැයි පවසන දෙය ඔවුන් සැප යැයි පවසමින් මා සමඟ විවාදයට පැමිණෙත්. මහණෙනි, මේ රූපය ලොව ලෝක ධර්මයකි.

තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරේ. මැනවින් දැන ගනී. මැනවින් අවබෝධ කොට මැනවින් දැනගෙන දේශනා කරයි. පනවයි, පිහිටුවයි, විවරණය කෙරෙයි, බෙදයි, උඩුකුරු කෙරෙයි, මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි, දේශනා කරනු ලබන කල්හි, පනවනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවරණ කරනු ලබන කල්හි, බෙදා දක්වනු ලබන කල්හි, උඩුහුරු (යටිකුරු වූ දෙයක් උඩු අතට හැරවීම සේ) කරනු ලබන කල්හි, යමෙක් නොදනී නම්, නොදකී නම්, මහණෙනි, අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන් සත්ත්වයන් ට මම කුමක් කරම් ද?

රූපය පමණක් නොව වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේ සියල්ල මහණෙනි ලෝක ධර්මයෝය, “රූපං භික්ඛවේ අනිච්චං, දුක්ඛං. විපරිනාමධම්මං අත්ථිසම්මතං ලෝකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථිති වදාමි” මහණෙනි අනිත්‍යය වූද, දුක්ඛ වූද, විපරිණාම තත්ත්වයට පත්වන්නා වූද, රූපයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මම ද එය ඇතැයි කියමි. පණ්ඩිතයන් විසින් ඇතැයි යැ’ යි පැවසූ දෙය තමන් වහන්සේ ද ඇතැයි යැ’ යි සලකන්නේ ය. පණ්ඩිතයන් විසින් නැතැයි යැයි පවසන ලද්ද තමන් වහන්සේ විසින් නැතැයි යැයි දේශනා කරති. මෙසේ පණ්ඩිතයා යැයි සලකනු ලබන්නේ භාෂා ශාස්ත්‍ර විෂයයන් ගෙන් පරිචය දත් අය නොව මාර්ග ඵල ලද බුදු පසේබුදු මහරහතුන් ය.

අපේ බුදුරජාණන් වහන්සේ එව බලව යැයි ධර්මය දේශනා කරන අතර ඕනෑම කෙනෙකුට සන්දිට්ඨික වූ ද, අකාලික වූද, ඕපනයික වූද, පච්චත්ත වේදිතබ්බ වූ ද, ධර්මය අනුගමනය කිරීමෙන් ක්ෂාත්සාත් කර ගැනීමට අවස්ථාවක් ආරාධනයත් විවෘත කිරීමත් නොසඟවා එළි කිරීමත් මගින් දෘෂ්ටි වහලුන් බවට පත් නොවී, ධර්මය ප්‍රගුණ කිරීමෙන් වාද විවාද නැති තැනක් අවබෝධ කර ගැනීමට ඉඩ හසර ලබා දී ඇත.

අද සමාජය තුළ බෞද්ධයන් හා අන්‍යාගමිකයන් අතර පමණක් නොව බෞද්ධ ආගමිකයන් අතර වුව ද, ධර්මය සම්බන්ධයෙන්, මාර්ගය සම්බන්ධයෙන්, ආජීවය සම්බන්ධයෙන් වාද විවාද පවතින බව නොරහසකි. ඊට හේතු වී ඇත්තේ අලගද්දූපම සූත්‍රයේ සඳහන් කළාක් මෙන් සර්පයන් ඇල්ලීමට නොදත් පුරුෂයෙකු සර්පයාගේ කඳ මැදින් ඇල්ලීමෙන් කරගත් විපතක් මෙනි.

ධර්මය වැරැදි විදිහට තේරුම් ගැනීමෙන්, බාර ගැනීමෙන් දෘෂ්ටි මත අතහැරීම වෙනුවට එමගින් දෘෂ්ටි මත ආරෝපණය වී ඇති ආකාරයකි.

විවාද රහිත වූ මහා කාරුණිකයන් වහන්සේගේ මේ උතුම් ධර්මය පින්වත් ඥානවන්ත මිනිසුන් විසින් අනුගමනය කිරීමෙන් අප්‍රමාදීව ශාන්ත සැපය ළඟා කර ගත මැනවි.