අසමසම
ආලෝකය
පොල්පිතිගම, ඓතිහාසික නාගොල්ල රජ මහා විහාරාධිවාසී
කොළඹ නාලන්දා විද්‍යාලයේ
ධර්මාචාර්ය
ලැගුම්දෙණියේ සුනන්ද හිමි
ලොව සිදුවන්නා වූ අතිශය දුර්ලභ කාරණාවක් වන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ
ලොව පහළවීමයි. ඒ බව බුදුරජාණන් වහන්සේම වදාළ අයුරු ධම්මපද පාලිය අනුව
පැහැදිලි වෙයි.
“කිච්චො බුද්ධානං උප්පාදෝ ” බුදුරජාණන් වහන්සේ නමක ලොව පහළවීම දුර්ලභවන
හෙයින් සම්බුද්ධ පරිනිර්වාණය යනුද ලොව අතිශය දුලබ සිදුවීමකි. එබැවින්
සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමද ඉතා වැදගත්ය.ගෞතම
බුදුරජාණන් වහන්සේගේ චරිත කථාවෙන් ප්‍රකට වන ආකාරයට සම්බුද්ධ
පරිනිර්වාණයේ අවස්ථා සතරක් ගැන සඳහන් වේ. ඒවා මෙසේය.
* ක්ලේශ පරිනිර්වාණය
* ආයු (සංස්කාර) පරිනිර්වාණය
* ස්කන්ධ පරිනිර්වාණය
* ධාතු පරිනිර්වාණය
සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධයෙන් මෙම අවස්ථා සතරම ඉතා වැදගත් සිදුවීම්
ලෙස සැලකිය හැකිය. එම නිසා සම්බුද්ධ පරිනිර්වාණය ගැන යමකුට පැහැදිලි
අවබෝධයක් ලබාගැනීමට පරිනිර්වාණයේ මෙම අවස්ථා සතර හඳුන්වාදීම ඉතා
ප්‍රයෝජනවත්ය.
ක්ලේශ පරිනිර්වාණය
ක්ලේශ පරිනිර්වාණය නමින් හඳුන්වන්නේ බෝධි සත්වයන් වහන්සේ අනාදිමත්
කාලයක සිට සාංසාරික ජීවිතයේදී පාරමි ධර්මයන් පූර්ණය කිරීමෙන් අනතුරුව
සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ අවස්ථාවයි. මේ අවස්ථාව වන විට බෝධි
සත්වයන් වහන්සේ වයස අවුරුදු තිස්පහ සම්පූර්ණ කර සිටියහ. එනම් ක්ලේශ
පිරිනිවීම සිදු වූයේ බෝසතුන් තිස්පස් වැනි වියට පා තබා සිටියදීය.
උන්වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීණ කිරීමෙන් දස මාර සේනාව පරදවා , ගයාවෙහි
පිහිටි අස්වත්‍ථ බෝධිමූලයෙහි සම්මා සම්බෝධියට පත්වීමේ අවස්ථාව ක්ලේශ
පරිනිර්වාණයෙන් නිරූපණය කෙරේ. සියලු කෙලෙසුන් ප්‍රහීන කිරීමෙන් සංසාරික
ජීවිතයේ නැවත උපතක් සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දැමූ බැවින්
එය භව සංස්කාරය අත්හැරීමේ අවස්ථාව ලෙස ද සඳහන් වෙයි.මේ ආකාරයට සියලු
කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීම ක්ලේශ පරිනිර්වාණය මෙන්ම
සෝපාදිසේස පරිනිර්වාණය ලෙස ද හැඳින්වෙයි.
ආයු (සංස්කාර) පරිනිර්වාණය
විසාලා මහනුවර චාපාල චේතිය සමීපයේදී මාරයා විසින් බුදුරදුන්ට පිරිනිවන්
පාන ලෙස ආරාධනා කරන ලදී. එම ඇරැයුම පිළිගත් බුදුපියාණන් වහන්සේ ඒ
මොහොතේ සිට හරියටම තෙමසක් ඇවෑමෙන් පිරිනිවන් පෑමට තීරණය කළ සේක. ඒ අනුව
සම්මා සම්බුද්ධත්වයට පත්වු බුදුරජාණන්වහන්සේ ලෝක සත්වයාට සෙත සලසමින්
තමන් වහන්සේ වැඩ වාසය කළ යුතු කාලසීමාව මෙතෙකැයි තීරණය කිරීම ඉතා
වැදගත් අවස්ථාවක් ලෙස සඳහන් කළ යුතුය. උන්වහන්සේ චාපාල චේතිය සමීපයේදී
මාරයාට දුන් පොරොන්දුව අනුව, තමන් වහන්සේ ජීවත්වීමේ කාල සීමාව තීන්දු
කිරීම ආයු සංස්කාරය අත් හැරීම හෙවත් ආයු පරිනිර්වාණය යනුවෙන්
හැඳින්වෙයි.
ස්කන්ධ පරිනිර්වාණය
ස්කන්ධ පඤ්චකයේ පිරිනිවීම ‘ස්කන්ධ පරිනිර්වාණය’ යනුවෙන් සරලව
හඳුන්වාදිය හැකිය. එනම් පඤ්චස්කන්ධයේ නිරුද්ධවීමයි. .සම්බුද්ධත්වයට
පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරා ලෝ සතුන් කෙරෙහි
අනුකම්පාවෙන් ඔවුන් සසර සයුරෙන් එතෙර කරවනු පිණිස කරුණා, මෛත්‍රි
පෙරදැරිව කටයුතු කළ සේක. එම කාලය තුළ උන්වහන්සේ තම භෞතික ශරීරය දරමින්,
ජීවමානව වැඩ වෙසෙමින් ඒ ඒ තැන වැඩමකරමින් සිදු කළ සියලු කටයුතු නිමාවට
පත් කරමින් ස්කන්ධ පඤ්චකය වශයෙන් නිරුද්ධවීම ස්කන්ධ පරිනිර්වාණය නමින්
හැඳින්වේ. මෙය ‘අනුපාදිසේස පරිනිර්වාණය ‘ හෙවත් ‘මහාපරිනිර්වාණය’ ලෙසද
හැඳින්වේ.මෙම පරිනිර්වාණය සම්බන්ධ බොහෝ තොරතුරු දීඝ නිකායේ මහා
පරිනිබ්බාන සූත්‍රය තුළ අන්තර්ගත වෙයි.
ධාතු පරිනිර්වාණය
බුදුරජාණන් වහන්සේ මහාපරිනිර්වාණයට හෙවත් අනුපාදිසේස පරිනිර්වාණයට
පත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී‍්‍ර දේහයට මල්ල රජදරුවෝ සත්දිනක්
පුරා අපමණ පූපෝපහාර දක්වා සක්විති රජකුට පිළිපදින අයුරින් ගෞරවාචාර
දක්වමින් ‘මකුට බන්ධන’ නම් ස්ථානයේ සුන්දර සෑයක් ඉදිකර ආදාහන පූජෝත්සවය
අති උත්කර්ෂවත් ආකාරයෙන් සිදු කළහ.තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි
ආදාහන කෘත්‍යයෙන් අනතුරුව චිතකයෙන් ලබාගත් ධාතුන් වහන්සේ ද්‍රෝණ නම්
බමුණාගේ ප්‍රධානත්වයෙන් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් අතර බෙදා දුන්
අතර ධාතුන් වහන්සේ ලබාගත් එම පිරිස් තමන් වෙත ලැබුණු ධාතුන් වහන්සේ
ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකමින් පෙරහරෙන් සිය නගරවලට ගෙන ගොස්
ස්ථූප කරවා තැන්පත් කොට ගෞරවයට හා වන්දනාමානයට ලක් කළහ. අනාගතයේදී එක්
දිනක එම සියලු ධාතුන්වහන්සේ, බුද්ධත්වය ලබා ගැනීම පිණිස සිදුහත්
බෝසතුන් වැඩ සිට බවුන් වැඩූ ගයාවේ බෝධි මණ්ඩපයෙහි පිහිටි වජ්‍රාසනය මතට
එක්රැස්ව අසිරිමත් බුද්ධශරීරයක් නිර්මාණය වී ධර්මය දේශනාකර
පරිනිර්වාණයට පත්වන බව සඳහන් වේ.මෙම අවස්ථාව ධාතු පරිනිර්වාණය ලෙස
හැඳින්වේ. මේ ධාතු පරිනිර්වාණයෙන් පසු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය
අන්තර්ධාන වන බවක් ද කියැවේ. |