Print this Article


පුනරුප්පත්ති ලිපි මාලාව - 23

පුනර්භවය ගැන නළකපාන සූත්‍රයෙන්

පසුගිය සාකච්ඡා කිහිපයදීම අපගේ අවධානය යොමුවූයේ නිමි ජාතකයෙන් හෙළිවන කර්ම විපාක පිළිබඳ විමසා බැලීමට ය. එහි දී අපි කුශල කර්මයන්ගේ විපාකත් අකුශල කර්මයන්ගේ විපාකත් විමසා බැලුවෙමු. මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ මජ්ඣිම නිකායේ ඇතුළත් නළකපාන සූත්‍රයේ එන පුනර්භව විස්තරය විමසා බැලීමටය.

ප්‍රශ්නය – පුනර්භවය පිළිබඳ සම්බුද්ධ දේශනාවේ අරමුණ කුමක්ද?

පුනර්භවය දේශනා කිරීමේ අරමුණු පිළිබඳ බුදුරජාණන් වහන්සේ සිදු කළ වැදගත් සාකච්ඡාවක් මැදුම් සඟියෙහි ඇතුළත් ‘නළකපාන සූත්‍රයේ’ දී අපට හමුවෙයි. එය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නළකපාන ගමෙහි මහවන මැද දී සසුනෙහි ඉතා ප්‍රසිද්ධ බුද්ධ පුත්‍රයන් වහන්සේලා කිහිපනමක් උදෙසා ය. එනම් අනුරුද්ධ, භද්දිය, භගු, කිම්බිල, කුණ්ඩධාන, රේවත හා ආනන්ද යන මහා ථෙරවරුන් මුල්කොට ගෙන ය. මේ මහා ථෙරවරු සත්නම එකට පැවිදිව එකට මහණදම් පිරූ සබ්බ්‍රහ්මචාරීහු ය.

දිනක් මේ ශ්‍රාවක පිරිස ඇමතූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මහණ දම් පුරන්නේ කැමැත්තෙන් ද? එසේ නැතිනම් අකමැත්තෙන් ද? යනුවෙන් විචාළහ. උන්වහන්සේලා නිෂ්ශබ්දව හුන්හ.බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත්, තෙවැනි වරටත් එසේ විමසුවද නිෂ්ශබ්දවම හුන්හ. මේ සුශික්ෂිත ශ්‍රාවකයන් වහන්සේලාගේ නමකින් නොවිචාල හොත් කිසිසේත් පිළිතුරු නොලැබෙන බව දැනගත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් අමතා ඒ පිළිබඳ විචාළහ. එවිට උන්වහන්සේගේ පිළිතුර වූයේ ‘ස්වාමිනි අපි ඒකාන්තයෙන් මේ බඹසර දිවියෙහි ඇළෙමින් කැමැත්තෙන්ම මහණදම් පුරන්නෙමු’ යනුවෙනි. ඒ පිළිබඳ අගය කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මේ භද්‍ර යොවුන් වියෙහි ගත කරන බඹසර දිවියෙහි වටිනාකම පෙන්වා දෙයි.

අනුරුද්ධයෙනි, ඔබලා මේ භද්‍ර යෞවන වියෙහි මුල් කාලයේම කාලවර්ණාලංකෘත වූ කේශ ඇති කාමයෙහි ලොල්වන කාලසීමාවෙහිම, ඒ සියල්ලම ඔබලාට මනාව තිබිය දී කාමයන්ගෙන් වෙන් ව පැවිදිව උතුම් වූ ශාසන බ්‍රහ්මචරියාවෙහි වසන්නාහ. අනුරුද්ධයනි, ඔබලාගේ ඒ පැවිදිවීම රජුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. සොරුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. ණයෙන් මිදීම පිණිස හෝ රාජචොරාදීන්ගේ භයෙන් මිදීම පිණිස නොවූවකි. යැපීම පිණිස පැවිදි වූවෝ නොවෙති. හුදෙක් ජාති ජරා මරණ ශෝකාදියෙන් යුක්ත වූ මේ දුක්ඛ, දෝමනස්ස, උපායාසන්ගෙන් මිදීම පිණිසම පැවිදි වූවෝ වෙති. ඒ උදෙසාම බඹසර වසන්නෝ වෙති. එබැවින් ඔබලාගේ මේ පැවිදිවීමත්, බඹසර විසීමත් උතුම් ය. ඔබලාගේ අරමුණ විය යුත්තේ භාවනාභිරතව ප්‍රථමජ්ඣාන, ද්විතියජ්ඣාන, තෘතීයජ්ඣානාදිය ලැබ අභිද්‍යා, ව්‍යාපාද, කාමච්ඡන්ද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්චාදි වූ පඤ්ච නීවරණයන්ගෙන් සිත නිදහස්කොට නිරාමිස පී‍්‍රතිය හා සුවය ලබමින් නිවන ළඟාකර ගැනීම බවයි.

අනුරුද්ධ හිමියන් අමතන බුදුරජාණන් වහන්සේ නැවත විමසන්නේ තථාගතයන් වහන්සේට පුනර්භවය ඇති කරන්නා වූ, දුක්ඛ සංඛ්‍යාත සසරෙහි විපාක ලබා දෙන්නා වූ යම් ආශ්‍රවයක් වේද, එය තථාගතයන් වහන්සේට ඇත යනුවෙන් සැකයක් තිබේද යන්නයි.

යෙ ආසවා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, අප්පහීනා තෙ තථාගතස්ස.

එවිට අනුරුද්ධ හිමියන්ගේ පිළිතුර වන්නේ තථාගත බුදුපියාණන් වහන්සේට පුනර්භවය සඳහා හේතු වන්නා වූ කෙලෙස් ඇත යන කිසිදු අදහසක් හෝ සැකයක් උන්වහන්සේලා සතුව නැති බවයි.

‘ න ඛො නො. භන්තෙ භගවති එවං හොති ‘යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛව්පාකා ආයතිං ජාතිජරාමරණියා, අප්පහීනා තෙ තථාගතස්ස.’

එය ද අගය කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පුනර්භවය සඳහා හේතුවන සියලු කෙලෙස් නැති කළ බැවින් නැවත භවයක් සිදු නොවන බවත්, එය මුලිනුපුටා දමා කරටිය සිදූ තල් ගසක් නැවත දළුලා නො එන්නා සේය යනුවෙන් වදාළහ. තථාගතයන් වහන්සේ ද නැවත උප්පත්තියක් සඳහා හේතුවන ආශ්‍රවයන් සියල්ල නැති කළ හෙයින් මතු භවයක් නොලබන බව දේශනා කරති.

“සාධු සාධු, අනුරුද්ධා! තථාගතස්ස, අනුරුද්ධා යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛ විපාකා ආයතිං ජාතිජරාමරණියා, පභීනා තෙ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප් පාදධම්මා, සෙය්යථාපි, අනුරුද්ධා, තාලො මත්තකච්ඡින්නො අභබ්බො පුනවිරුළ්හියා, එවමෙව ඛො, අනුරුද්ධා, තථාගතස්ස යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, පහීනා තෙ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා.

නැවතත් අනුරුද්ධ හිමියන් අමතන බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කලුරිය කළ පසු අසවල් තැන උපන්නේ ය. අසවල් තැන උපන්නේ ය. ආදී වශයෙන් ප්‍රකාශ කිරීමෙහි හේතු කුමක් දැයි විමසයි. ඒ සඳහා අනුරුද්ධ හිමියන්ගේ පිළිතුර වූයේ තමන් වහන්සේලා ඒ බව නොදන්නා බවත් තමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිළිසරණ කොට ඇති බැවින් ඒ තමා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලෙස ය.

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරයි.

‘නඛො, අනුරුද්ධා, තථාගතො ජනකුහනත්ථං න ජනලපනත්ථං න ලාභසක් කාරසිලොකානිසංසත්ථං න ‘ඉති මං ජනො ජානාකූ’ ති සාවකෙ අබ්භතිතෙ කාලංකතෙ උපපත්තිසු බියාකරොති – අසූ අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නො අසූ අමුත්ර උපපන්නො’ති. සන්ති ච ඛො, අනුරුද්ධා, කුලපුත්තා සද්ධා උළාරවෙදා උළාරපාමොජ්ජා. තෙ තං සුත්වා තදත්ථාය චිත්තං උපසංහරන්ති. තෙසං තං, අනුරුද්ධා, හොති දීඝරත්තං හිතාය සුඛාය’

අනුරුද්ධය, තථාගතයන් වහන්සේ මහජනයාගේ විශ්මය ඇතිකිරීම පිණිස කලුරිය කළ ශ්‍රාවකයන්ගේ පුනර්භවය දේශනා නොකරති. මහජනයා සතුටු කිරීම සඳහා කලුරිය කළ ශ්‍රාවිකයින්ගේ පුනර්භවය දේශනා නොකරති. අන්‍යයන්ගේ ලාභ, සත්කාර, ප්‍රශංසා අපේක්‍ෂාවෙන් කලුරිය කළ ශ්‍රාවකයන්ගේ පුනර්භවය දේශනා නොකරති. මෙසේ මහජනයා මා කවුරුන්දැයි දනීවා යන අදහසින් කලුරිය කළ ශ්‍රාවකයන්ගේ පුනර්භවය දේශනා නොකරති. තථාගතයන් වහන්සේ එසේ කලුරිය කළ ශ්‍රාවකයන්ගේ පුනර්භවය දේශනා කරනු ලබන්නේ එය අසන සැදැහැති කුලපුත්‍රයෝ එය ඇසීමෙන් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව කුසල් දහම්හි නිරතව එබඳු තත්ත්වයන් සඳහා උත්සුකවන නිසා ඔවුන්ගේ හිතසුව පිණිස බවයි. එබැවින් අනුරුද්ධය, මේ ශාසනයෙහි යම් භික්‍ෂුවක් අරහත් තත්ත්වයට පත්ව පිරිනිවියේ නම් නැවත භවයක් නොවන අතර එය ද තථාගතයන් වහන්සේ සැදැහැති කුල පුත්‍රයන්ට ප්‍රකාශ කරති. එයින් සතුටට පත්වන කුල පුත්‍රයන් අප්‍රමාදීව ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතිය, ත්‍යාගය හා ප්‍රඥාව දියුණු කරමින් එම තත්ත්වයන් ළඟා කරගැනීමට උත්සුක වෙති. එය ඔහුගේ හිතසුව පිණිස පවති.

එමෙන්ම අනුරුද්ධය, මේ ශාසනයෙහි යම් භික්‍ෂුවක් ඕරම්භාගිය සංයෝජන ක්ෂය කිරීමෙන් ඕපපාතික වූයේ, නැවත නොඑන සුළු වූයේ හෙවත් අනාගාමි වූයේ, එය ද තථාගතයන් වහන්සේ සැදැහැති කුල පුත්‍රයන්ට ප්‍රකාශ කරති. එයින් සතුටට පත්වන කුල පුත්‍රයන් අප්‍රමාදීව ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතිය, ත්‍යාගය හා ප්‍රඥාව දියුණු කරමින් එම තත්ත්වයන් ළඟා කරගැනීමට උත්සුක වෙති. එය ඔහුගේ හිතසුව පිණිස පවතී.

එමෙන්ම අනුරුද්ධය, මේ ශාසනයෙහි යම් භික්‍ෂුවක් මුල් සංයෝජනයන් තුන ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මොහාදියන් නැසුවේ, නැවතත් එක් වරක් පමණක් උපදින සුළු වූයේ හෙවත් සකෘදගාමී තත්ත්වයට පත්වූයේ ද එය ද තථාගතයන් වහන්සේ සැදැහැති කුල පුත්‍රයන්ට ප්‍රකාශ කරති. එයින් සතුටට පත්වන කුල පුත්‍රයන් අප්‍රමාදීව ශ්‍රද්ධාව, ශ්‍රැතිය, ත්‍යාගය හා ප්‍රඥාව දියුණු කරමින් එම තත්ත්වයන් ළඟා කරගැනීමට උත්සුක වෙති. එය ඔහුගේ හිතසුව පිණිස පවති.

එමෙන්ම අනුරුද්ධය යම් භික්‍ෂුවක් මුල් සංයෝජනයන් තුන ක්ෂය කිරීමෙන් නිරයට නොවැටෙන සුළු වූයේ, සම්බෝධිපරායන වූයේ, නැවත භව හතක් උපදින සුළු වූයේ හෙවත් සෝවාන් තත්ත්වයට පත් වූයේ, එය ද තථාගතයන් වහන්සේ සැදැහැති කුල පුත්‍රයන්ට ප්‍රකාශ කරති. එයින් සතුටට පත්වන කුල පුත්‍රයන් අප්‍රමාදීව ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතිය, ත්‍යාගය හා ප්‍රඥාව දියුණු කරමින් එම තත්ත්වයන් ළඟා කරගැනීමට උත්සුක වෙති. එය ඔහුගේ හිතසුව පිණිස පවති.

මෙසේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසේම පුනර්භව ගති ස්වභාවයන් ප්‍රකාශ කරති. තථාගතයන් වහන්සේ එසේ එය ප්‍රකාශ කරන්නේ මහජනයාගේ විශ්මය ඇතිකිරීම පිණිසවත්, මහජනයා සතුටු කිරීම සඳහාවත්, අන්‍යයන්ගේ ලාභ, සත්කාර, ප්‍රශංසා අපේක්‍ෂාවෙන් වත්, මෙසේ මහජනයා මා කවුරුන්දැයි දනීවා යන අදහසින් වත් නොව සැදැහැති කුලපුත්‍රයන්ගේ පී‍්‍රති ප්‍රමෝදයෙන් නිවන් අවබෝධය පිණිසම ය.

සටහන: බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව - 22 මනු ලොව කළ පිනෙන් දිව සැප ලබමු සතුටින්