Print this Article


රිදී විහාරය ස්වර්ණමය සිහිවටනයකි

ලංකාවේ අසහාය මහා ස්තූපය වශයෙන් විරුදාවලිය ලද ස්වර්ණමාලී මහා සෑ රදුන් නිර්මාණයේ දී අවශ්‍ය වූ රිදී ලෝහය සැපැයූ ස්ථානයට පූජෝපහාරයක් වශයෙන් එතැන දුටුගැමුණු රජතුමා විසින් (ක්‍රි.පු. 161 – 137 ) විහාරස්ථානයක් කරවූ බව ඉතිහාස ප්‍රවෘත්තිය යි.

රුවන්වැලි සෑය ගොඩනංවන අවස්ථාවේ ඒ වෙනුවෙන් රිදී ලබා ගත්තේ ‘අම්බට්ඨකෝණක’ ලෙනෙන් බවත් ඉන් අනතුරුව රජතුමා විසින් රිදී විහාරය ගොඩනංවා රනින් කළ බුදුපිළිමයක් එහි තැන්පත් කළ බවත් මහාවංශයේ සඳහන් වෙයි. මහාවංශය විහාරස්ථානය හඳුන්වා ඇත්තේ ‘රජත ලෙන’ වශයෙනි. ඓතිහාසික, බෞද්ධ ආගමික මෙන්ම පුරාවිද්‍යාත්මක අගයකින් අනූන මෙම වටිනා ස්ථානය ලක් දෙරණ වර්ණවත් කළ තවත් එක් සුවිශේෂී සිහිවටනයක් වශයෙන් හඳුනා ගැනීමට හැකි වෙයි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රිදී විහාරය වෙත පැමිණීමට කුරුණෑගල මහනුවර මාර්ගයේ කිලෝමීටර් 19ක් පමණ ගමන් කර මාවතගම හන්දියේ සිට තවත් කි.මී. 14ක් පමණ යා යුතු ය. ස්වාභාවික සුන්දරත්වයෙන් පිරිපුන් ගිරි සිකර සහිත බිමක පරිසරයේ සුන්දරත්වය නොකෙලෙසෙන සේ ගොඩ නංවා ඇති විහාරස්ථානයේ රමණීය දසුන ඔස්සේ අපව කැඳවාගෙන යන්නේ අපූරු ඉසව්වක් වෙත ය. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී ඉදිකළ බව සඳහන් වෙතත් ඊටත් එපිට ඉතිහාස ලකුණු සටහන් කර තැබීමට මෙම විහාරස්ථානය සමත් වී තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ඇතිවන මහා සංඝ සමාජයේ, භික්‍ෂූන් වහන්සේ, වැඩ වාසය කිරීම නිසා පිවිතුරු භූමියක් බවට මෙම ස්ථානය පත්ව තිබූ බව ද කියැවෙයි. මේ බිමේ අදත් නො නැසී පවතින කටාරම් ලකුණැති ක්‍රි.පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අක්‍ෂර සහිත භික්‍ෂු ආවාස වූ ස්වාභාවික ලෙන් කුටි කීපය ඒ බවට ලකුණු තබා තිබේ. එසේ මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ්‍ය යුගය තෙක් දිවෙන බව බොහෝ වියතුන්ගේ මතය වෙයි.

සමබිමක් නොවන භූමියේ එම අසම්මතිකතාවයට අනුගත වන ලෙස විහාරාරාංග ඉදිකර පරිසරය ද විකෘති නොකරමින් මෙන්ම නොනසමින් සිත් සතන් සැනසවීමට සමත් පසුබිමක් මෙහි නිර්මාණය වී තිබේ. විහාරස්ථානයට අවතීර්ණවීමේ දී ප්‍රථමයෙන් ඇස ගැසෙන වරකාවැලඳූ විහාරය ඉතා කුඩා ගොඩනැඟිල්ලකි. මෙය සාදා ඇත්තේ හුදකලා වූ ගල්කුළක් ආශ්‍රයේ ලෙන් කුටියක් උපයෝගී කරගනිමිනි.

ගලින් කළ කැටයමින් ගල් කුලටම උචිත ලෙස කළ මේ අපූරු නිර්මාණය තවත් සදාතනික සිහිවටනයක් වන්නේ රිදී සපයාගත් ලෙන තුළ වරකා වැළඳූ විහාරය කළ බව ජනප්‍රවාදයේ පැවැතෙන කතාවක් නිසා ය. මහරහතන් වහන්සේ නමකට දානයට වරකා දුන් කතාවක් ආශ්‍රයෙන් අපූරු පසුබිම් කථනයක් ද මේ වටා ගොඩනැඟී තිබේ. එතැනින් වම් පසට හැරී යන විට පැත්තකින් පෙනෙන පුරාණ බෝ සමිඳුන් දැක නැමැද තවත් ඉදිරියට පිවිසීමේ දී දිස්වන ගල්කුළ ස්වභාව ධර්මය කළ හිතුවක්කර ගොඩනැඟීමක් සේ ය.

මෙම ස්වභාවික ආකෘතිමය වෙනස හිතට චමත්කාර නැවුම් බවක් ප්‍රදානය කරවන සෙයකි. ගල්කුළ පාමුල යටට හෑරුණු ලෙනකි. මෙම ලෙන ආශ්‍රයේ විහාරයක් ගොඩනංවා තිබේ. එය පල්ලේ විහාරය නමින් හඳුන්වනු ලබයි. පල්ලේ විහාර ලෙන තුළට පිවිසුනු විට අපව රැගෙන යන්නේ සොඳුරු බොදු කලාගාරයක් වෙතය.

ලෙනක් තුළ වන අඳුර විසින් සිත් සතන් චකිතයකට පත් කරවන සුළු වුවද ඒ තුළ නිමවා ඇති 18 රියන් සැතපෙන පිළිම වහන්සේ සහ දෙපස සමාධි පිළිම වහන්සේලාගේ දසුනින් සිත් සැනසී හද නිවන ආලෝකයක් රැගෙන එයි. ඊට මදක් ඉහළින් වන උඩ විහාරය ද ගල් කුලක් යට ඇති කුඩා චෛත්‍යය ද පුරාණ විහාරයක ඇති අයස්කාන්ත බව තව තවත් වර්ධනය කරවයි.

එහි නිමවා ඇති අඩි 10ක් පමණ උසැති සමාධි පිළිම වහන්සේ ලංකාවේ බුදු පිළිම පිළිබඳ විමර්ශනයේ දී නිබඳව අවධානය දිනාගත් නිර්මාණයකි. පිළිමයේ පසුබිමේ දිස් වන මකර තොරණ මෙතෙක් ලක්බිමේ වෙනත් තැනකදී දකින්නට නොලැබෙන ආකර්ශනීය නිර්මාණයක් බව වියතුන්ගේ මතයයි.

දුරාතීතය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයේ දී අද අප දකින්නේ මහනුවර යුගයේ දී නවකම්වලට බඳුන් වෙමින් එම යුගයේ දී කළ කලා නිර්මාණයන් ය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් (ක්‍රි.ව. 1747 – 1781 ) තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් අවරට ගොස් තිබූ රිදී විහාරය පිළිසකර කරවා එහි පිළිමාදිය සාදවා තිබේ. එවකට කලා නිර්මාණශිල්පියකු වශයෙන් කීර්තියක් ඉසිලූ ‘දෙවරගම්පල සිල්වත්’ තැන මෙහි නිර්මාණ ශිල්පියා වශයෙන් දායක වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මෙම ප්‍රතිමාදිය හොඳින් පිරීක්‍ෂීමේදී හැඟී යන්නේ ඒවා නුවර කලා සම්ප්‍රදායේ උසස් ලක්‍ෂණ මතු කරනා කලා කෘති බවකි.

තවත් පසෙකින් වන සැරසුම්ගල සෑය ද නිල්ලෙන් සපිරි ගහ කොළ අතරින් නැගී සිටින සුදු පියුමක්සේම සොඳුරු ය. එය තවත් වර්ණවත් කරලන්නේ ඒ මතට නැඟයාමට සාදා ඇති පියගැට පෙළ නිසා ය.

මෙය වෙත පිවිසෙන මඟ අසළ අමණ්ඩ ගාමිණී රජුගේ (ක්‍රි.ව. 20 – 29 ) ශිලා ලේඛන දෙකක් දකින්නට ලැබෙයි. එහි සඳහන් වන්නේ විහාරයට පිදූ ගම්වර පිළිබඳව ය. විහාරය තුළ වන ඇත්දළින් කැටයම් කළ උළුවස්ස, බිතු සිතුවම්, පිළිම, මකරතොරණ, ගල් කැට යම් නිර්මාණාදිය, ඉතා වටිනා පෞරාණික ස්මාරකයන් ය. බොදු විහාර කලාගාරයක ආකර්ශනීය අපූර්වත්වය විසින් රසකාමී සොඳුරු සිත් මෙන්ම බැතිබර සැදැහැති සිත් ද දැක පැහැද නැමදීමට සමත් පිවිතුරු පරිසරයක් මේ තුළ නිර්මාණය වී තිබෙයි.

ඒ නිසාම රිදී දුන් තැනට කෘතගුණ සැළකීමට කළ රිදී විහාරය ලාංකේය වංශකතා පොතේ පිටුවක් වර්ණවත් කරන්නේ ස්වර්ණමය සිහිවටනයක් ලෙස ය.