Print this Article


ධම්මපදට්ඨ කතාවෙන් 12 ගං දියට විෂ දැමූ පාපය

ධම්මපදට්ඨ කතාවෙන් 12

ගං දියට විෂ දැමූ පාපය

වෙසක් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

පසුව කුමරා ආපසු මාලිගාවට නික්මුණි. එවිට එක් දාසියක් ඔහු වාඩි වී සිටි ආසනය දාසියකගේ පුතෙකු හිඳගත් අසුනය’යි කිය කියා බැණ බැණ කිරි දියෙන් සෝදන්නට විය. අවියක් අතපසුව ආපසු පැමිණි සෙබළෙකු දාසියගේ එම කථාව අසා සියලු විස්තර ඇයගෙන් දැන ඒ බව විඩූඪහ කුමාරයාට සැළ කෙළේය. යෞවන මදයෙන් හා ඉසුරු මදයෙන් මත්ව සිටි කුමරා තමා රජ වු කල සියලු ශාක්‍යයන් සමූල ඝාතනය කරන බවට සපථ කළේය.

විඩූඪහ කුමරා කුමන්ත්‍රණයකින් රාජ්‍යයට පත් වූ කල්හි පසේනදි කෝසල අනාථයෙකු සේ සන්ථාගාරයක මියැදුණේය. ඔහුගේ අවසන් කටයුතු කළ විඩූඪභ කුමාරයා අනතුරුව තම ඥාතීන් කෙරෙහි හටගත් පුරාණ වෛරය සිහි කොට සියලු ශාක්‍යයන් මරමි’යි සේනාව සමඟ පිටත්ව ගියේය. එහෙත් බුදුරජාණන් වහන්සේ තම ඥාතීන්ට අත්වන මෙම ඉරණම කරුණාවෙන් දැක කුමාරයා වැළකීම පිණිස අතරම¼ග ගසක් මුලට වැඩම කොට වැඩ සිටියහ. විඩූඪභ කුමරා බුදුරදුන් දැක වැඳ යාම සුදුසු ය’යි සිතා එතැනට පැමිණ මේ කටුක මඟෙහි දුෂ්කරව වැඩ ඉන්නේ ඇයිදැයි විමසීය. බුදුරදුන් වදාළේ මා උපන් ගමින් හමා එන සුළගත් මගේ නෑයන්ගේ සෙවණත් ආස්වාදනීය බවයි. එම ප්‍රකාශයෙන් සලිත වූ රජු ශාක්‍යයන්ගෙන් පළිගැනීම නවතා ආපසු පැමිණියේය.

එහෙත්, නැවත නැවතද නොබෝ දිනකින් ශාක්‍ය වංශිකයන් මරන්නට යාමට පිටත් විය. බුදුරදුන් තම ඥාතීන්ගේ පූර්ව අකුසල කර්මයකින් මෙය සිදුවන අයුරු සිහිපත් කළේය. එනම් මේ පිරිස පෙර භවයක විනෝදය සඳහා ගංගාවක ගලා බසින්නා වූ ජලයට විෂ මිශ්‍ර කොට ග¼ඟ දියෙහි සියලු ජීවින් මරණයට පත් කරවා එයින් සතුටු වූ පිරිසක් බවත් ඔවුන්ට ඒ අකුසලය ගෙවීමට කාලය එළඹ ඇති බවත් දුටු බුදුහිමියෝ නැවත මාර්ගයට නොවැඩි යහ. විඩූඪහ බලසේනා ගෙන ශාක්‍යයන් වනසන්නට පිටත් විය.

බුදුරදුන්ගේ ඥාතිත්වය ලද ශාක්‍යයෝ පෙර කළ මේ බරපතළ අකුසලයෙහි විපාක ලෙසින් සමූලඝාතනය වූහ, විඩූඪභ ගේ මුත්තා වු මහානාම ශාක්‍ය යා හා පිරිවර පමණක් ඉතිරි වූහ, විඩූඪභ තමසේනාව සමඟ ආපසු එන ගමනේදි රාත්‍රිය ගත කිරීමට අචිරවති ගඟෙහි වැලි තලාවෙහි සැතපුණේය. ඇතැමුන් නිදද්දි කඩියන් මතුව ඔවුහු ගඟෙන් ගොඩට පැමිණ නිදන්ට වන්හ.රාත්‍රියේ එක්වරම ගඟ ගලා වැලිතලාවෙහි සැතපී උන් රජු ඇතුළු සේනාව සියල්ලෝම මහ මුහුදට ගසා ගෙන ගියහ. පව්නොකළ අය කඩියන් නිසා ගොඩට පැමිණ බේරුණහ. විඩූඪභ කළ කර්මය දිට්ඨධම්මවේදනීය ලෙස විපාක ලැබීය. ශාක්‍යවංශිකයෝ පෙර කළ කර්මය විපාක ලදහ. මල්කරුවෙකු කෙතෙක් මල් කඩා ගත්තද සතුටු නොවන්නා සේ ලද දෙයින් නොසතුටුව පංචකාම සොයා සොයා යන මිනිසුනට අත්වන ඉරණම නිදා සිටි ගමක් මහමුහුදට ගසා ගෙන ගොස් වැනසෙන්නාක් ලෙස වැනසීමට පත්වෙති’යි බුදුහිමියෝ වදාළහ.