Print this Article


සක්වළ සක්මන 42 - සම්බුද්ධත්වයේ ආශ්චර්යය

සම්බුද්ධත්වයේ ආශ්චර්යය

වෙසක් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

ලොව බැඳ තබන ලෝකාමිසය

එතකොට, සසර ගමන නතර වීම ද ‘ නිවන’ කියලා කියන්නේ ?

ඔව්, සසර ගමන නතර වී නම්, සසරෙහි වින්ද දුක් ද නැති වී යනවා. එම දුක් අතරේ විඳපු යම් ආශ්වාදයක් තිබී නම් එය ද නැති වී යනවා. එවැනි ආශ්වාදයන්ට ‘ ලෝකාමිස’ යන නම බුද්ධ දේශනාව තුළ දැක්වෙනවා. ‘ආමිස’ යනු ඇමයි. මාළුවෙකු අල්ලා ගැනීම සඳහා ඌ පොළඹවා ගැනීම සඳහා දමනු ලබන්නේත් ඇමකුයි. ලෝකය විසින් සත්වයන් මේ ලෝකයෙහි රඳවා ගැනීමට දමා ඇති දේට තමයි ‘ ලෝකාමිසය’ කියන්නේ. සත්වයන් සසර සැරි සරන්නේ, මෙම ආශ්වාදයන් නිසා ඇතිවන පෙළඹීම නිසාය.

කාම, රූප, අරූප යන තුන් ලෝකයේම කවර දෙයක් පිළිබඳව හෝ ඇතිවන ‘නන්දි’ හෙවත් අභිනන්දනය නම් ‘ තණ්හාව‘ යි. එය (තෘෂ්ණාව) නැති කිරීමෙන් භවයක් (උපතක්) නැහැ. එබැවින් ‘අභිනන්දනය’ (ඇලීම) නැති කරන මාර්ගය විවිධ ලෙසින් ඉතා දීර්ඝ වශයෙන් බුදු දහමේ විස්තර කර තිබෙනවා.

සත්‍යාවබෝධය ලැබීමට පිළිවෙත්

හොඳයි, මෙම යථාර්ථය අත් විඳීම සඳහා නොපමාව අප කළයුතු වන්නේ මොනවාද ?

ලොවෙහි ඇලීම නැතිවන පරිදි ඔබේ සිත පුරුදු පුහුණු කර ගැනීම ඔබ විසින් කළයුතු ප්‍රමුඛ කාර්යයක් වෙනවා. එය බොහෝ ජීවිත ( ආත්ම ) ගණනක් තුළ දියුණු කරගෙන යාමෙන් අවසානයට ළඟා විය හැකියි. ඊට ලොවෙහි ඇති තතු වටහා ගැනීමට බුද්ධිය තියුණු කරගත යුතුයි. එම තත්ත්වයට බුද්ධිය දියුණු වූ සත්වයකු මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කල්හි සත්‍යාවබෝධය ලබා ගැනීමට යොදාගත හැකි දේ බොහෝයි.

මළ සිරුරක් දෙස බලා සිටින භික්‍ෂුවක් මාත් මේ වගේමය කියා කල්පනාවට ගැනීමෙන් සත්‍යාවබෝධය ලබනවා. සුදු රෙදි කැබැල්ලක් ඩහදිය පිසිමින් සිට එය කිලිටි වු සැටි බලා නැතිනම් වක්කඩක වතුර බුබුලු සැදී බිඳී යන සැටි බලා සත්‍යාවබෝධය ලබාගෙන තිබෙනවා. නුවණ තියුණු කරගත් පසු මෙවැනි කවර හෝ අරමුණක් සිතට ගැනීමෙන් ‘නන්දිය’ නැතිවී සත්‍යාවබෝධය ඇති කර ගැනීමට මග පෑදෙනවා.

සම්බුදුන්ගේ උදාන වාක්‍ය

එතකොට, අපේ බුදුහාමුදුරුවන්ගේ උදාන වාක්‍ය හරහා කියා පාන්නේත් මීට සමාන පණිවුඩයක් ද ?

ඔව්, ධම්ම පදයේ - ජරා වග්ගයෙහි එන “ අනේක ජාති සංසාරං” (153) සහ “ ගහකාරක දිට්ඨෝසී” (154) යන ගාථාවලින් වැදගත් පණිවුඩයක් අපට දී තිබෙනවා. පුන් වෙසඟයෙහි බුද්ධ ගයාවේ වජ්‍රාසනයේදි කෙළෙසුන් නැසූ භාග්‍යවතුන් වහන්සේගේ එම උදාන වාක්‍ය ආනන්ද හාමුදුරුවන් විමසා සිටි අවස්ථාවේදී එය මෙසේ දේශනා කොට වදාළා තිබෙනවා.

“නැවත නැවත ඉපදීම දුකකි. ඒ නිසා ආත්ම නාමය (මමය) නමැති ගෙය සාදන වඩුවා සොයමින් ඔහු සොයා ගත නොහැකිව ඒ පිළිබඳ නුවණ නොලබා සසර නොයෙක් ආත්මභාවවල ඔබ මොබ (එහා මෙහා) ඇවිද්දෙමි.

වඩුව, මම ඔබ දැක ගත්තෙමි. ඒ නිසා ඔබට නැවතත් ගේ (නිවස) සෑදිය නොහැකි ය. ඔබගේ ගෙයි සියලුම පරාල මා විසින් බිඳ දමන ලදී. එහි කැණි මඩල ද සුනු විසුනු කරන ලදී. එහි මාගේ සිත නිවනට පිවිසියේ තණ්හාව ද කෙළවර කළෙමි. එබැවින් මසිත නැවත භවයක් සකස් කරන්නේ නැත. සිත විසංඛාරගත බැවිනි. සත්වයකු පිණිස සකස් වන හේතු ප්‍රත්‍යයන් සියල්ල විනාශ කළ බැවිනි.