සම්මා ආජීවය
බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති
තිරිකුණාමලේ
ආනන්ද අනු නා හිමි
සම්මා ආජීවය ලෞකික වූ පුණ්‍යභාගි වූ උපධි විපාක සලසන ක්‍රමවේදයක්
ලෙසින් ද, ආර්ය මාර්ගය වඩන අනාස්‍රව වූ ලෝකෝත්තර කුසල මාර්ගාංගයක්
ලෙසින් ද දහමෙහි විග්‍රහ කැර ඇත.
පුද්ගලයකු තුළ ශීලය වැඩි දියුණුවට පත්වීමට සම්මා ආජීවය අතිශයින් ම
උපකාරී වේ
“ඒ ආර්ය මාර්ගයෙහි සම්‍යක් ආජීවය නම් කවරේ ද? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක
තෙමේ වැරැදි දිවි පැවැත්ම අතහැර නිවැරැදි දිවි පැවැත්මෙන් යුතු ව වාසය
කෙරේ. මෙය සම්‍යයක් ආජීව යැ” යි කියනු ලැබේ.
ඉහත සඳහන් කරන ලද්දේ සම්මා ආජීවය පිළිබඳව පෙළ දහමෙහි ඉදිරිපත් කැර ඇති
ප්‍රධාන දේශනා පාඨයෙකි.
නිවන් මඟ ගමන් කරන ගිහියා වේවා, පැවිද්දා වේවා, වැරැදි ජීවන මාර්ගවලින්
ඉවත් ව නිවැරැදි වූ ජීවිකාවක් ඇති කරගත යුතු බව මෙයින් අවධාරණය වේ.
පැවිද්දකුට නම් නැති ගුණ පෙන්වීම (කුහනා ) විස්මය ඇති කරවන වචන ප්‍රකාශ
කිරීම (ලපනා) ලාභ ඉපදවීම උදෙසා යම් යම් කායික – වාචසික ඇඟවීම් කිරීම
(නෙමිත්තකතා) අන් අයගේ ගුණය මකා ලාභය නසා කතා කිරීම (නිප්පෙසිකතා)
ලාභයෙන් ලාභය සෙවීම (ලාභෙන ලාභං නිජිගිංසනතා) මිථ්‍යා ආජීවය වේ.
ගිහියකුට නම් වහල් වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, මස් වෙළෙඳාම, මත්
ද්‍රව්‍ය හා මිනිසුන් හා සතුන් ගේ දිවියට හානි කරන වස විෂ වෙළෙඳාම
මිථ්‍යා ආජීවය වේ.
එසේ ම සතුන් මැරීම, සොරකම් කිරීම, දුසිරිත් දිවියක් ගෙවීම, බොරු කීම,
කේළාම් කීම, ඵරුෂ වචන කීම හා සම්ඵප්‍රලාප කීම යන කායික වාචසික විෂමාචාර
ඇතිව වාසය කිරීම ද මිථ්‍යා ආජීවය යි. මෙම දුසිරිත්වලින් තොර ව ඊට
පටහැනි සුසිරිත් දහම්වලින් යුතු ව දිවි පැවැත්ම සම්මා ආජීවය වේ.
මෙම සම්මා ආජීවය ලෞකික වූ පුණ්‍යභාගි වූ උපධි විපාක සලසන ක්‍රමවේදයක්
ලෙසින් ද, ආර්ය මාර්ගය වඩන අනාස්‍රව වූ ලෝකෝත්තර කුසල මාර්ගාංගයක්
ලෙසින් ද දහමෙහි විග්‍රහ කැර ඇත.
පුද්ගලයකු තුළ ශීලය වැඩි දියුණුවට පත්වීමට සම්මා ආජීවය අතිශයින් ම
උපකාරී වේ. පුද්ගලයකු තුළ වැඩෙන සම්මා ආජීව ප්‍රතිපදාව හේතු කොට
පෞද්ගලික යහපතත් සමාජීය යහපතත් ඒකාබද්ධ ව සිදුවේ. මේ බව පුළුල් ව
නුවණින් සිතා බැලීම අද්‍යතන සමාජයට ඉතා වැදගත් වේ.
යම් කෙනෙකු පංච ශීලය රකිමින් වාසය කරනවා නම් එය මුළු මහත් සමාජයටම
රැකවරණය, නිර්භය භාවය හා අවෛරය (මෛත්‍රිය) ලබා දීමක් බව බුදු දහමෙහි
අවධාරණය කර ඇත. පුද්ගලයා මිථ්‍යා ආජීවයට හැරීම නිසා සමාජයට ද එහි
දුර්විපාක විඳින්නට සිදුවීම නො වැළැක්විය හැකි ය.
තරගයට රිසි ගන්වන, ආත්මාර්ථකාමයට පොළොඹවන, ගුණයටත් නුවණටත් හැදුණු
කටමත් වඩා දැනුමට මුල් තැන දෙන වර්තමාන අධ්‍යාපන රටාව තුළ ළමයින්ට
ආගමික පසුබිම යටතේ සම්මා ආජීවයට හුරු කරවන වැඩ පිළිවෙළක් සමස්ත පාසල්
පද්ධතිය තුළ ම ඇති කළ හැකි නම් එවැනි ක්‍රියාකාරකම් අනාගත සමාජ
සදාචාරාත්මක ප්‍රබෝධයට ඒකාන්තයෙන් ම මඟ පාදනු ඇත.
අතීත සමාජය තුළ සම්මා ආජීවය පෝෂණය ලැබීම නිසා මේ රට ධර්මද්වීපයක්
ලෙසින් ද, පෙරදිග ධාන්‍යාගාරයක් ලෙසින් ද කීර්තිමත් විය. පන්සිල්
සුරකින මිනිස් කම් ඉහළ ගිය මිනිසුන්ගෙන් පිරුණු දේශයක් ලෙස විදේශිකයන්
ගේ ද ගෞරවයට පාත්‍ර විය. ඒ තතු දැන් බොහෝ දුරට වෙනසකට භාජන ව ඇත.
මත් දියර, මත් ද්‍රව්‍ය තොර අමද්‍යප රටක් බවට පත් කරලීමේ නිර්දේශ
සම්මන්ත්‍රණ තිබුණ ද ඒ හැම දෙයක ම වාර්තාගත ඉහළ යෑමක් පෙනෙන්නට ඇත.
සෞඛ්‍යයේ පරිහානිය, මිනිසුන් අතර ඔවුනොවුන් ගේ දුක අපහසුව පිළිබඳ ව
සංවේදී නොවන, බලකාමය හා තෘෂ්ණාව පෙරටු කරගත් සමාජ වාතාවරණයක්
වැඩිදියුණූවී ගෙන එන්නේ මෙම සම්මා ආජීවයට පිටුපා ක්‍රියා කිරීමේ අනිටු
විපාක වශයෙනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය මාර්ගයේ ගමන් කිරීම ගිහි පැවිදි
හැම දෙනාට ම පැවැරෙන කාර්යයකි. මෙලොව දැහැමි බවත්, සුවපත් බවත්, පරලොව
සුගති පරායණ වීමත්, අවසන ලොවුතුරු නිවන් මග සාක්ෂාත් කිරීමත් නොවරදවා
ම සිදු කරදෙන මෙම ආර්ය මාර්ගය වැඩීම ඒකාන්ත වශයෙන් ම දුක්ඛ නිරෝධය
හෙවත් දුකින් නිදහස් වීම ළඟා කර දෙන්නක් බව අප මතක තබාගත යුතු යි. ඊට
අදාළ එක් මාර්ගයක් වන “සම්මා ආජීවය” වැඩීම, දියුණු කිරීම පෞද්ගලිකවත්
පොදුවේ මුළු මහත් සමාජයටමත් විපුල සාර සන්තෘප්තියක් මෙලොව දීම අත්පත්
කර දීමට සමත් වන ප්‍රායෝගික ධර්ම මාර්ගයක් බව අප නිරතුරුව මෙනෙහි කළ
යුතු යි. |