UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වෙසක් පණිවුඩ

ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වෙසක් පණිවුඩ

බොදු පිළිවෙත් අනුව ජීවත්වීමට අදිටන් කර ගනිමු

තිලොවට තිලක වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම සහ පිරිනිවීම යන ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධා භක්තියෙන් සමරණ උතුම් පූජෝපහාර මංගලෝත්සව දිනයකි. මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනය, දානාදී ආමිෂ පූජාවෙන් පමණක් නොව, ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙහි හැසිර පූජෝපහාර දැක්වීම වඩාත් අග්‍රගණ්‍ය වේ.

උත්තරීතර බුදුදහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංහතියටම උරුම වූවකි. බෞද්ධ අබෞද්ධ නිදහස් චින්තකයන්ගේ හා විද්වතුන්ගේ පැසසුමට පාත්‍ර වූ බුදුදහම අවබෝධයෙන් හා ප්‍රඥාවෙන් ළඟා කරගත හැකි විමුක්ති මාර්ගයකි. වෛරයෙන්, හිංසනයෙන්, භීෂණයෙන් කැළඹුණු වර්තමාන ලෝකයට සාර්ථකව මුහුණ දීමට බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය මහත් රුකුලකි. යථාර්ථවාදී සනාතන බුදුදහම නිවැරදිව අවබෝධ කරගනිමින්, ධර්මානුකූලව ජීවත්වන්නේ නම් ජීවිතය සාර්ථක කරගැනීමට, සදාචාරවත් ජීවිතයක් ඇතිකර ගැනීමට ලැබෙන පිටුවහල අපමණය. මෝහයෙන් මුලා නොවී දැහැමි ජීවිතයක් ඇති කර ගැනීමට බුදුදහමේ ඇති පරිපූර්ණ සාරධර්ම මහත්සේ උපකාරී වේ. උතුම් බුදුදහමට අනුව සුචරිතයෙහි හැසිරී, ධර්මචාරීව කටයුතු කරන තැනැත්තාට මෙලොවත් පරලොවත් සුවසේ වාසය කළ හැකිය. එබැවින් සර්වඥයන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ දැන, ශ්‍ර‍්‍රද්ධාව තහවුරු කොට ගෙන, බුද්ධ ගෞරවය ඇතිව, බුද්ධානුශාසනාවට අනුව ධර්මය නුවණින් දැන ප්‍රඥාවෙන් යුතුව බොදු දහම් පිළිවෙතෙහි හැසිරීම බෞද්ධයින් සතු පරම යුතුකමකි. අවට ලෝකය සමඟ නොගැටී, නොඇලී සදාචාරවත් ප්‍රතිපත්ති මත පදනම් වූ ජීවිතයක් ගතකර සතුටින් ජීවත්විය හැකි ධර්ම මාර්ගය බුදුදහමින් මනාව උගත හැකිය.

ඒ ශ්‍රේෂ්ඨ වූ බුදුදහම හා බොදු පිළිවෙත් අනුව ජීවිතය හැඩගසාගෙන මෙලොව පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබ සැමට හැකිවේවායි ආශිංසනය කරම්හ.


බුදුවරුන්ගේ පහළවීම සැපයකි

සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, සම්මා සම්බුද්ධත්වයත්, සම්බුද්ධ පරිනිර්වාණයත් යන මෙම ආශ්චර්යමත් තෛ‍්‍රමංගල්‍යය සිදු වූ මෙම වෙසක්පුණු පොහෝ දිනය ශ්‍රී‍්‍ර බුද්ධ වර්ෂ 2557 ආරම්භ වන අවස්ථාව වේ.

ශ්‍රී ලාංකික පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයින්ටම අතිශයින් වැදගත්වන මෙම වෙසක් පොහෝ දිනය අප අනුස්මරණය කළ යුත්තේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කිරීම මෙවන් අවස්ථාවක කාලෝචිත දෙයක් බව හැඟේ. භික්‍ෂු, භික්‍ෂුණී , උපාසක,උපාසිකා යන සිව්වණක් පිරිසට මගපෙන්වූ අසමසම ශාස්තෘවරයා ණන්ට උපහාර දැක්විය හැකි පිළිවෙත් දෙකක් පවතින බව තථාගතයන් වහන්සේම අනුදැන වදාළහ.ඒ ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව යන උභයාංශය වේ.

අද හුදෙක් ගිහි පැවිදි සියලු දෙනාම ආමිස පූජාවට ප්‍රමුඛත්වයක් දී කටයුතු කළත් බුදුපියාණන් වහන්සේ වඩාත් අගයකොට සැලකුයේ ප්‍රතිපත්ති පූජාවමය. එබැවින් මෙම උතුම් තෙමඟුල සිහිපත් කර ආමිසයට වඩා ප්‍රතිපත්තියට නැඹුරු වන්නේ නම් එය උත්තම බුද්ධ පූජාවක්ද වන්නේය. සියවස් ගණනාවක් තිස්සේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නද අකාලික දහමක් වූ බුදුදහමේ සර්වකාලීන වටිනාකමෙහි කිසිදු අඩුවක් නොවූයේ එහි ඇති දාර්ශනික හා ප්‍රායෝගික වැදගත්කම නිසාවෙනි. බුදුදහම, මෙලොව පරලොව සාර්ථක කරගනු කැමති සියලු දෙනාටම කිසිදු භේදයකින් තොරව පොදුවේ අනුගමනය කළ හැකි ප්‍රායෝගික පිළිවෙතක් ඉදිරිපත් කළ දර්ශනයක් වීම නිසා වර්තමානය වන විට ලොව පෙරදිග මෙන්ම අපරදිග ජනතාවද බුදුදහම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.අන්‍යයන්ගේ මතයන්ටද සවන්දීම, සැහැල්ලු දිවි පැවැත්ම අගය කිරීම, නිදහස් චින්තනයට ගරු කිරීම, චිත්තේකාග්‍රතාවයට ප්‍රමුඛත්වයක් ලැබීම, පටු ආගමික දෘෂ්ටි ග්‍රහණයෙන් තොරවීම, මැදුම්පිළිවෙතක් ප්‍රධානකොට ගෙන සමස්ත බෞද්ධ දර්ශනයම ගොඩනැගී තිබීම යනාදි බෞද්ධාගමික සංකල්පනා ඒ සඳහා හේතු වූවාට කිසිදු සැකයක් නැත. බුද්ධ චරිතය තරම් පරමාදර්ශි, උත්කෘෂ්ඨ චරිතාපදානයක් මානව ඉතිහාසයේ මෙතෙක් පහළ වී නැති තරම්ය.

2557 වැනි වෙසක් පුණු පොහෝ දිනය සමරන මෙම වැදගත් අවස්ථාවේ ප්‍රතිපත්ති ගරුක බවට ප්‍රමුඛත්වය ලබාදෙමින් අනාගත පරපුර සදාචාර සම්පන්න බෞද්ධ පරපුරක් බවට පත්කරලීමට ක්‍රියා කිරීම ගිහි පැවිදි සැම දෙනාගේම වගකීම වෙයි. මෙරට ධර්මද්වීපය යන අන්වර්ථ නාමය ලැබුයේද බුදු දහමින් ලද හික්මීම හා බෞද්ධ සංස්කෘතිය තුළින් ලද ආචාර සම්පන්න මිත්‍රශීලි භාවයද චරිත සංවර්ධනයද නිසාවෙන් බව අප සිත්හි දරාගත යුතු වේ. එවන් වාතාවරණයක් යළිත් ගොඩනැගීම බුදුරජාණන් වහන්සේට කළ හැකි උතුම් උපහාරයද වෙයි. නිරර්ථක ආත්මාර්ථකාමි සිතිවිලිවලින් බැහැර වී එක්සත්ව එක්සිත්ව එම පරමාර්ථය සාධනය කරගන්නට අප්‍රමාදිව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂාවෙන් යුතුව සෑම දෙනාටම තෙරුවනෙහි සූවිසි මහා ගුණ බලයෙන් දැහැමි සංකල්පනා පිරි සුබ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරම්හ.


අනුත්තර බුද්ධ පිළිවෙතෙහි පෙළ ගැසෙමු

“රාජා හමස්මි සෙලා’ති ධම්මරාජා අනුත්තරො ධම්මෙන චක්කං වත්තෙමි චක්කං අප්පතිවත්තියං”

“සේලයෙනි, මම රජෙක් වෙමි. අනුත්තර ධර්ම රාජ වෙමි. වෙනත් කිසිවකු විසින් නො පැවැත්විය හැකි (කිසිවෙකුටත් යටත් කළ නොහැකි) අණසක දැහැමින් පවත්වන්නෙක් වෙමි.”

(ම.නි. 2 පිටුව 604 - සේල සූත්‍රය)

මහ සයුරු වටකොට වූ සක්විති රාජ්‍යක නොව, භවාග්‍රයේ පටන් අවීචි මහා නරකය දක්වා මම රජවෙමි. විශ්වයේ වූ අප්‍රමාණ ලෝක ධාතූන්ට මම රජවෙමි’යි ප්‍රමාණාතික්‍රාන්ත වශයෙන් වදාළ බවක් මෙයින් අර්ථ ගන්වා තිබේ. ඉතිහාසය පස්වෙනි කොටගත් ත්‍රිවේදයෙහි පදප්‍රාප්ත, මහත් ශිෂ්‍ය පිරිසකට ගුරුවූ සේල බ්‍රහ්මයාහට තථාගත බුදුරජාණන් වහන්සේ අංගුත්තරාප ජනපදයෙහි ආපණ නම් නියම්ගමෙහිදි මුණගැසුණු අවස්ථාවේ සේල බ්‍රාහ්මණයා කළ විමසීමකට භාග්‍යවතුන් වහන්සේ ගාථාවකින් පිළිතුරු වදාළ අයුරු ඉහත දැක්වේ.

මේ අයුරින් විශ්ව සාධාරණ වූ මානුෂිය දහමක් දෙවියන් – බඹුන් – මරුන් සහිත වූ ද මිනිසුන් සහිත වූ ද සමස්ත සත්ත්ව ප්‍රජාවට දේශනා කොට එමඟින් සත්ත්වයා හට මෙලොව සම්මත යම් සැපයක් වේද එය දිට්ඨධම්ම වශයෙන් ද, මරණින් මතු යම් සැපයක් සත්ත්වයා අපේක්‍ෂිතද එය සම්පරායන වශයෙන් ලබා ගන්නා අයුරු ද, සමස්ත සත්ත්වයා වෙත සියලු දුක් නසා ලැබිය හැකි තණ්හක්‍ෂය නම් වූ උත්තම ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ද ලබාගන්නා අයුරු මුල, මැද, අග යහපත් කොට වදාළ අතිශ්‍රේෂ්ඨ අනුත්තර මිනිසා මවුකුසින් බිහිවූ, සම්බෝධිපරායන උතුම් බුද්ධත්වයට පත්වූ, පුනර්භවයක් නොමැති පිරිනිවීම ලැබුවාවූ ත්‍රිවිධ වෛශාක්‍ය මංගල්‍ය අපි අද 2557 වෙනි වරටද සිහිකරන්නෙමු ය.

පවට භය ඇති, පවට ලජ්ජා ඇති කරවන මෙවන් ධර්මයක් මෙයින් 2602 වසරකට පෙර මේ ශාස්තෘන් වහන්සේ දේශනා නොකළේ නම් මේ මවය. මේ සහෝදරියය, මේ ලේ ඥාතියායි, යන හැඟීමක් නැති තිරශ්චීන සමාජයකින් ලොව වැසී යන්නේමය. මෙසේ සත්ත්වයා පළමුව පවෙන් මුදවාගෙන අනතුරුව යහපතෙහි යොදවමින්, කිසිවකු හට මෙය අසත්‍යයයි එක් අක්ෂරයකුදු වෙනස් කළ නොහැකි පරිදි අනුත්තර ධර්ම චක්‍රයක් පතුරුවා හළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ සිහිපත් කරමින් අපි තවදුරටත් බුද්ධ උපහාරයක් ලෙසින් අනුත්තර බුද්ධ පිළිවෙතෙහි පෙළගැසීමට අදවන් දිනක අදිටන් කර ගනිමු.

 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක,
අග්ගමහා පණ්ඩිත
දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි


ශ්‍රී ලාංකේය අපි කෙතරම් වාසනාවන්ත වෙමුද ?

මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගේ මිනිස් ලොව උපත, සම්මා සම්බෝධියට පත්වීම හා අනුපාදිසේස මහා පරිනිර්වාණයට පත්වීම යන වැදගත් සිදුවීම් සිදුවූ වෙසක් දිනය ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට මෙන්ම ලෝකවාසී බෞද්ධයනට ද අතිශයින්ම වැදගත් ශ්‍රේෂ්ඨතම දිනය වේ.

ශ්‍රී ලාංකික සිංහල අපට ආගමික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද වැදගත්ම දිනය වෙසක් දිනයයි. හේතුව සිංහල ජාතියේ ආදිතමයා ලෙස සැලකෙන විජය කුමරුන් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට ගොඩ බට දිනය බුද්ධ පරිනිර්වාණය සිදුවූ වෙසක් දිනය බැවිනි.

වෙසක් දිනය අර්ථවත් ලෙස අනුස්මරණය කිරීමට නම් බොදුනුවන් බුදුන් සරණ යෑමෙන් බලාපොරොත්තු වන සගමොක් සුව සලසා ගැනීමට උපකාර වන පිළිවෙතෙහි යෙදිය යුතුවේ. දීපංකර සම්මා සම්බුද්ධ පාද මූලයේදී සියලු කෙලෙසුන් ප්‍රහීණ කොට උතුම් නිවනට පත්වීමට තරම් වාසනාව තිබුණත් එය අතහැර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පැරුම් සපුරා අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අද වැනි දිනයක සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළේ සකල සත්වයන් වෙත අපරිමිත කරුණාවෙන් ඔවුනට සග මොක් සුව සලසාදීම සඳහාමයි.

බුදුරජාණන් වහන්සේගේ මූලික පරමාර්ථය වූයේ ජාති ජරා මරණ ආදී සංසාර දුක්ඛයන්ගෙන් සත්වයා මුදාගෙන අමා නිවන් සුව අත් කර දීමයි. උන් වහන්සේ වදාළ දහම් අසා පැහැද නිවන් අපේක්‍ෂාවෙන්ම පැවිදිව නිවන් පසක් කර ගත් උතුමෝ අපමණ වෙති. පැවිදි බව නොලබා සම්බාධ සහිත ගිහි ගෙයි වසමින් නිත්‍ය පංච ශීලය සුරකිමින් කටයුතු කළ ගිහි අය බොහෝ පිරිසක් සෝවාන් ආදී මග ඵල ලබා අපායට යන මග වසා උපත් සතකින් මෙහාදී නිවන් ලැබීමට තරම් බුදුමග පිළිවෙත් පිරූහ. මග ඵල ලැබීමට තරම් පින් නොමේරූ තෙරුවන් සරණ ගත අය මරණින් මතු අපා දුකෙන් මිදී සුගතියක ඉපදීමට අවශ්‍ය පිළිවෙතක හෝ යෙදීමට ක්‍රියා කළ වග ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ. තෙරුවන් සරණ ගිය බෞද්ධයන් නිවන් සුව මෙලොවදී ලබා ගැනීමට කටයුතු කිරීමට ඉඩක් නොමැති නම් අවම වශයෙන් මරණින් මතු දුගති ගාමී නොවී සුගති ගාමී වීමට අවශ්‍ය තරමින් පිළිවෙතක හෝ යෙදීමට මේ උතුම් දිනයෙහි අදිටන් කරගත යුතුවේ.

ශ්‍රී ලාංකික අපි කොතරම් වාසනාවන්තයෝ වෙමුද ? බුදු රදුන් තෙවරක්ම වැඩිය රට, සොළොස්මස්ථානයක බුදු සිරිපා පහස ලද රට, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින රට, දළඳා සමිඳුන් වැඩ සිටින රට, නැලි ගණනක සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කරන ලද මහ වෙහෙර වලින් පිරුණු රට, නිර්මල බුදු දහම හා සඟ සසුන පවතින රට, අපේ මේ ශ්‍රී ලංකාද්වීපයයි. මේ නිසා අපේ මාතෘ භූ®මිය ලෝකයේම පූජ්‍ය භූමිය වේ. මෙහි ඉපදීමට ලැබීම හා විශේෂයෙන්ම බෞද්ධයෙකු වීමට ලැබීම අපේ පරම වාසනාවකි.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]