වසර 2320ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 260ක්
සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලී
මහා නිකායේ උපසම්පදාව
සහ
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී
පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි
ඉන් අනතුරුව බිලක රජතෙමේ සිංහල වංශික භික්‍ෂූන් වෙතින් බෝධීන් වහන්සේලා
සිටුවීමේ ධර්ම කොටස අසා ලක්දිවින් මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාවෙන් බීජ
ගෙනවුත් රෝපණය කරවීමේ පටන් බෝධින්වහන්සේද සියම් රටේ ප්‍රසිද්ධියට
පත්වීය.අනතුරුව අනුරුද්ධ රජුද ලක්දිවට පැමිණ තුන් පිටකයත්, නිරුත්ති
පිටකයත් ලියාගෙන මැණික් පිළිමයක්ද ඒ සමඟම ගෙන නැව් දෙකකින් පැමිණි
අයුරු සඳහන් වේ.මේ අයුරින් සිංහල වංශික භික්‍ෂූන් සිදු කළ උපසම්පදා
විනය කර්මය,ප්‍රතිමාවහන්සේලා හා බෝධීන් වහන්සේලා මෙන්ම ත්‍රිපිටකයද
ලක්දිවින් ගෙන යාමෙන් පසු දියුණූ වු නිර්මල සම්බුද්ධ ශාසනය ස්‍යාමදේශයේ
පවත්නා බව අසා මාහැඟි පඩුරු ශ්‍රී සන්නස් හා පූජා භාණ්ඩද සකස් කොට
පට්ටපොල, ඇල්ලේපොල,යටිනුවර, ඊරියගම, විල්බාගෙදර,ආයිත්තාලියද්දේ යන
නිලමේවරු පස්දෙනා ඕලන්ද නැවකින් සියමෙට පැමිණ අයෝඨ්‍යා පුරයෙහි
පරමධාර්මික රජතුමාට පඬුරු සන්නස් සහිතව පුද කළ මොහොතේ කරුණු විචාළ
රජතෙම අපමණ සතුටට පත්ව සංඝරාජ මාහිමියන් සමග සාකච්ඡා කරනුයේ ලංකා
ශාසනාභිවෘද්ධි වර්ධනයම ප්‍රාර්ථනය කරමින් ධර්ම විනයානුකූලව ශාසන
කෘත්‍යය සාධන සාමාර්ථය, අප්‍රමාණ ධෘති, ස්මෘති, වීර්ය සම්පන්න ප්‍රවර
උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන වූ විනය කර්මාදියෙහි අති දක්‍ෂ 18
නමක් උපසම්පදා භික්‍ෂූන්වහන්සේ සහ 7නමක් සාමණේරයන් වහන්සේලා ද ඇමතිවරු
3 ක් සමග ස්වර්ණමය, බුද්ධරූපයක් ද රන් පත්ඉරුවල ලියන ලද කර්මවාක්‍ය පොත
ද, ප්‍රාතිමෝක්‍ෂය ද ලක්දිව අවිද්‍යාමාන ධර්මප්‍රකරණද ශ්‍රී පාදස්ථානය
ආදි ස්ථාන සඳහා පුදපඬුරුද කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාට පඬුරු සහිත
සන්දේශයක් රාජ්‍ය වර්ෂ 1753 දී සියම් නැවකින් සියම් පිරිස හා
විල්බාගෙදර රාළ ත්‍රිකුණාමලයටද සෙසු පිරිස ඕලන්ද නැවෙන් කොළඹට ද එවීය.
කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත්ව පළමුව මහපෙරහරක්
පෙරමගට යවා ගොඩපල දී වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති
මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි භික්‍ෂූන් හා මැති ඇමැතිවරු
උන්වහන්සේලා පිළිගෙන එහි නැවතී උපසම්පදා විනයකර්මය සඳහා අදාළ
පෙරපුහුණූ කටයුතු සිදු කෙරිණි. ඉන් පසුව ඒ ගොඩපොල නුවරින් ඒ
උන්නාන්සේලා වැඩමවාගෙන ඇවිත් අලුත් ගංතොටින් මෙගොඩ වන අවස්ථාවට මහත් වූ
රාජානුභාවයෙන් ඇමති සේනා පිරිවරා ඒ අලුත්ගංතොට කරණලද පරණ ශාලාවට කීර්ති
ශ්‍රී රාජසිංහ මහා රාජෝත්මයාණෝ වැඩමවා ශක්විති රුවණක් සම්භ වුනාක් මෙන්
හේ සඟරුවන් කෙරෙහි මහත් වු ගෞරව උපදවා දැක වැඳ සුවදුක් විචාරීමෙන්
පිළිසඳර කථාකොට නිමවා අපමණ රාජෝත්සවයෙන් ඒ වැඩිය උපාලි මහා ස්ථවිරාධි
වූ උපසම්පන්න සෑමදෙනා වහන්සේලාම යානාවලින්ම මල්වත්තේ විහාරයට වැඩමවාගෙන
ඇවිත් ලැඟුම්ගෙවල් පිළිගන්වා වදාළාය”යනුවෙන් සංඝරාජ සාධූ චරියාවෙහි හා
ස්‍යාමෝපසම්පදා වතෙහි සඳහන් පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ
සතුටට පත් වූයේ තමාගේ මල්වත්ත භික්‍ෂූන් වහන්සේ උදෙසා පූජා කරමින්
භික්‍ෂූන් වහන්සේ උදෙසා ලැඟුම්ගෙවල්ද සාදවා උන්වහන්සේලාට මල්වතු
විහාරයෙහි පෝයමළු විහාරයෙහි වැඩ විසීමට සැලැස්වීය.
රා.ව. 1753 ජූලි 15 දින ඇසළ පුර පුන්පොහෝදා මල්වත්තෙහි පිහිටුවා තිබූ
රාජකීය ශාලාව පොහොය සීමාවක් බවට පත්කොට උපාලි මහා ස්වාමීන්ද්‍රයන්
ප්‍රධාන වංශත් වර්ගික භික්‍ෂූන්වහන්සේ එකී පෝය සීමාවට වැඩමවා කීර්ති
ශ්‍රී රාජසිංහ මහරජතුමන් ප්‍රධාන ඇමති මණ්ඩලය සහිත සැදැහවතුන් මධ්‍යයේ
පෝයමළු විහාරයෙහි නායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ සාමණේරයන් පළමු කොට ද ඒ
සමගම වැලිවිට, හුලංගමුවේ ,බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේරයන්
වහන්සේලා පස් නම හා අස්ගිරි විහාරයේ නායක පදවිය දැරූ නාවින්නේ
සාමණේරයන්ද උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදා විනය
කර්මය සිදු කරලීමෙන් ශ්‍රී ලංකා ධරණිතලයම අපමණ සතුටට පත්කරලමින්
මහෝත්සව පැවැත්වීය.
කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා විසින් වස් විසීම සඳහා කරණ ලද ආරාධනා
අනුව,එකී 06 නම උපාලි හිමියන් ප්‍රධාන සෙසු භික්‍ෂූන් සමගම විනය කර්ම
ආදිය සිදු කරමින් පෙරවස් විසීම සිදු කළහ. විමලධර්මසූරිය රජු විසින්
සාදා තිබූ එකී රාජකීය ශාලාව අභිනවයෙන් සීමාමාලකයක් බවට සම්මත කරගත්
නමුත් එය දිරාපත් වෙමින් පැවති හෙයින් බද්ධ සීමාවක් ලෙස වර්තමානයෙහි
දක්නට ලැබෙන පොහොය සීමාව කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා විසින් උපාලි
මාහිමියන්ගේ උපදෙස් අනුව සාදවන ලද්දකි. ඒ බව ස්‍යාමෝප සම්පදාවතෙහි 39
වන පිටෙහි සඳහන් වන අයුරින් ‘ හැම දෙනා වහන්සේම සීමා මාලකය මැදට පැමිණ
අත්පස නොවිහිද පළමු පරිද්දෙන් රන්පොත බලාගෙන සම්මත කර්මවාක්‍ය නොහොත්
බුද්ධ කර්මවාක්‍ය දෙක කියා සමාප්ත කළ කල්හි එය ඇසූ ලංකේශ්වර ප්‍රමුඛ
රාජාරාජ මහාමාත්‍යාදීන් ඇතුළුව දහස් ගණන් සේනාව අහසපොළාව දෙක
ගුගුරන්නාක් මෙන් එකපැහැර සාධුකාර දුන්හ.මේ අයුරින් කීර්ති ශ්‍රී
රාජසිංහ රජතුමා අපමණ සතුටට පත්ව කුසල රාශී වර්ධනය කළ ආකාරය සඳහන් වේ.
උපසම්පදාව පිහිටුවීමට පොහොය සීමාවක් අත්‍යවශ්‍ය වූ හෙයින් එදා මිහිඳු
මා හිමියන් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන පොහොය සීමාවක්
සම්මත කළාක් මෙන්ම උපාලි මාහිමියන් ද කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ
අනුග්‍රහය ලබාගෙන සම්මත කරණ ලද උපෝෂිතාගාරයෙහි අද දක්වාම වසර 260ක්
මුළුල්ලෙහි මහා විහාරවංශික ස්‍යාමනිකායික භික්‍ෂූන්වහන්සේගේ උපසම්පදාව
සිදු කරලමින් භික්‍ෂූන්වහන්සේ සහිත රාජාරාජ මහාමාත්‍යාදි සැදැහැවතුන්ගේ
නොමද ගෞරවයට පාත්‍රව පවතී. මේ අයුරින් ආරම්භ වූ උපසම්පදාව ආරක්‍ෂා කර
ගැනීම සම්බුද්ධ ශාසනයේ ද ආරක්‍ෂාවයි.
ස්‍යාම දේශාගත භීක්‍ෂූන් එදා පටන් වසර 3ක් මුළුල්ලෙහි මල්වතු අස්ගිරි
උභය විහාරය ඇතුළු ලක්දිව නොයෙකුත් විහාරස්ථානවල වැඩවිසූ සාමණේරයන්
වහන්සේලා 700 ක් උපසම්පදා කරවා 3000 ක් පැවිදි කරවා සෙංකඩගල,දඹදෙණිය,
මඩවල, ගිනිගත්පිටිය, රිදීවිහාරය,මුතුගල, ඇත්නෝරුව,බඩගමුව, කළුන්දාව ආදි
ස්ථානවල බද්ධසීමාවන් සම්මත කරමින් බොහෝ ශාසන උපකාර සපයා සියම් දේශයට
වැඩියහ.
ශ්‍රී බු.ව.2473 හෙවත් රා.ව. 1930 වර්ෂයේ දී භයගිරි විජයසුන්දරාරාම
විහාරද්වයාධිපති අතිගෞරවාර්හ ගුන්නෑපාල ධම්මසිද්ධි ශ්‍රී සරණංකරාභිධාන
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සභාපතිත්වයෙන් අස්ගිරි මහා විහාරයෙහි ගරුතර
කාරක සභාවේ 5 නමක් ද අතිගෞරවාර්හ පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර
සුමංගලාභිධාන මහ විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ
අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මල්වතු මහා විහාරයේ ගරුතර කාරක
මහා සංඝ සභාවේ 5 නමක්ද විද්‍යාලංකාර පරිවේණාධිපති ලුණුපොකුනේ
ධර්මකීර්ති ශ්‍රී ධම්මානන්දාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ලක්දිව නොයෙකුත් ප්‍රදේශවලින් වැඩම වූ
වියත් ධර්මධර 17 නමක් එකතුවී කරණලද සම්මේලනය හා විද්‍යෝදය පරිවේණාධිපති
කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සභාපතිත්වයෙන් විද්‍යෝදය පිරිවෙණේ දී ලක්දිව
නොයෙක් ප්‍රදේශවලින් වැඩමවූ වියත්, ධර්මධර භික්‍ෂූන් වහන්සේලා 300 නමක්
පමණ එකතු වී පවත්වන ලද සංඝ සම්මේලනයේ වාර්තාව මහනුවර උපෝෂිත පුෂ්පාරාම
විහාරද්වයාධිපති පහමුණේ ධර්මකීර්ති ශි‍්‍ර සරණංකර සුමංගලාභිධාන මහා
නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා
සංඝ සභාව මගින් සියම් රටේ බැංකොක් නුවර පවරනිවේසාරාමාධිපති සංඝරාජ
මාහිමියන්ට පාලි භාෂාවෙන් යවන ලද දැනට අප සමීපයෙහි ඇති සංදේශයෙහි මෙසේ
සඳහන් වේ.
‘රාජ්‍ය වර්ෂ 1756 දී දෙවන වර වැඩම වූ සියම් භික්‍ෂූහු වසර 4 ක් ලක්දිව
වාසය කරමින් විදර්ශනා භාවනා ආදි නොයෙක් ශාසනික කටයුතු උගන්වා 300 ක්
සාමණේරවරුන් උපසම්පදා කරවා සිය ගණන් කුලදරුවන් පැවිදි කරවා ග්‍රන්ථ
විදර්ශනා ධූරයෙහි පිහිටුවා අභිනව කතිකාවතක්ද කොට පෙර මෙන්ම ඉමහත් ශාසන
සංග්‍රහයක් කළහ.උන්වහන්සේලා ද වසර 4 කින් පසු ස්වකීය රටට යාමට කැමතිවූ
විට කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා සියම් රටේ පරමධාර්මික රජතුමාගේ
අදහස් ද සලකා මෙවන් ශාසනික කටයුත්තකට මුල්වූ වැලිවිට සරණංකර හිමියන්ට
සංඝරාජ ධූරය රාජ්‍යවර්ෂ 1760 දී පත්කොට සියම් දේශයෙන් පැමිණි සංඝයා
වහන්සේ ඒ රටට යැවීය. “
අනතුරුව සරණංකර සංඝරාජ හිමියන්ට වස් 12ක් සම්පූර්ණ වූ විට බු.ව. 2307
දී හෙවත් රාජ්‍ය වර්ෂ 1765 දී ලාංකීය භික්‍ෂූන් වහන්සේලාගේ
ප්‍රධානත්වයෙන් ප්‍රථම උපසම්පදා විනය කර්මය කරණ ලදී. බු.ව.2003දී හෙවත්
රා. ව. 1762 දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට
මහානායක ධූරය කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා විසින් ම පත් කළ අතර,එම
කාලයේ දීම අස්ගිරි මහා විහාරයෙහි උපසම්පදා කර්මය පටන් ගන්නා
ලදී. අස්ගිරි මහා විහාරයේ මහානායක පදවිය උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි
හිමියන්ට පත්කළ අතර, එතැන් පටන් ඉංගී‍්‍රසි රාජ්‍ය තෙක්ම මල්වතු
අස්ගිරි මහානායක පදවි දෙක සිංහල රජු විසින්ම පත් කරගෙන එන ලදී.
මේ අයුරින් ලක්දිව සියලුම භික්‍ෂූන් වහන්සේගේ නායකත්වය වැලිවිට සංඝරාජ
හිමියන්ට පත් කළ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා දිවයිනේ සියලුම වෙහෙර
විහාර හා ඒවාට අයත් පූජනීය ස්ථානවල පරිපාලනය හා ආයතන දෙකෙහි ප්‍රයෝජනය
සඳහා වර්තමාන මහනුවර වැව තිබෙන එදා රජතුමාගේ කෙත්යාය වන ටිගුලේවෙල
(වර්තමාන නුවර වැව පිහිටි භූමිය) නැමැති කුඹුරුයාය ඇතුළු ගොඩමඩ ඉඩම්
ශ්‍රී දළදා මාළිගාවටත්,මල්වතු අස්ගිරි විහාර දෙකටත් පූජා කරන ලදී. ඒ
අනුව ලක්දිව සියලු විහාරස්ථානවල පාලනය රජතුමාගේ සහායෙන් උභය විහාරයීය
මහානායක මාහිමිවරුන්ගේ අනුශාසනා හා මගපෙන්වීම අනුව සිදු කරගෙන එන ලදී.
මුල් කාලයේදී මෙවන් පාලන ව්‍යුහයක් දක්නට ලැබෙන නමුත් පසුකාලීන වශයෙන්
ඇති වූ දේශපාලන හා සාමාජික නොයෙක් බලපෑම් හේතුකොට ගෙන පාලන ස්වරූපය
වෙනස් විය.මල්වතු අස්ගිරි විහාර දෙකට ලක්දිව සියලුම විහාරයන් වෙන්වූ
අතර වර්තමානය වන විට මල්වතු මහා විහාරයට අයත් සියලු විහාරාරාම මහා නා
හිමියන් ප්‍රධාන අනුනා හිමිවරු දෙනමකින් ලැදුම්ලත් විසි නමකින් යුක්ත
කාරක සභාවක් මගින් එකී පාලනය කරණු ලැබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
විසින් 1762 දී වටාපත පිළිගන්වමින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රථම
මහානායක පදවිය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහා නා
හිමියන් වහන්සේට පත් කිරීමේ පටන් මහනුවර රාජධානිය ඉංගී‍්‍රසි බලයට
නතුවීම දක්වාම සිංහල රජවරුන් විසින්ම මහානායක පදවියට සුදුසු තෙරනමක්
පත්කරන ලදී.
එතැන් පටන් 1853 දක්වාම ඉංගී‍්‍රසි රාජ්‍යයේ ආණ්ඩුකාරතුමා විසින් ද
පෞරාණික චාරිත්‍රවලට අනුගතවම පදවියට නියමිත වටාපත පිළිගන්වන ලදී. 1853
අපේ‍්‍රල් 7 වෙනි දින නිකුත් කර ඇති 152 දරණ රාජාඥාලිපිය අනුව
බුද්ධාගමේ හා දළදා වහන්සේගේ ආරක්‍ෂාව මල්වතු අස්ගිරි දෙවෙහෙරේ සංඝයාටත්
දියවඩන නිළමේටත් පවරා දුන් 5/63/153 ල,රා,ලේඛනාරාගරයේ සඳහන් වේ. එතැන්
පටන් විහාර පාර්ශ්වයේ සංඝයාටම මහානායක පදවියට සුදුස්සෙකු පත් කර
ගැනීමටත් එසේ පත්කරගත් භික්‍ෂුව පිළිබඳ වාර්තාවක් රජයට ඉදිරිපත්
කිරීමෙන් පසු රජය මගින් අක්තපත්‍රයක් පිරිනමන ලදී.
පෙර රජදවස පටන් පුද කළ වටාපත වෙනුවට අක්තපත්‍රයක් පිරිනැමීමේ සිරිත
මෙතැන් සිට ආරම්භ වූ අතර, විහාර සන්තක දේපල පිළිබඳ ප්‍රශ්න හා සංඝයා
සම්බන්ධ නිලතල පත්කිරීම පිළිබඳ වගකීම මහා නා හිමියන් ප්‍රධාන එකී කාරක
සභාවට පවරා දුන් ආකාරය මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාව
මගින් මහානායක, අනුනායක හා නායක පදවි ආදිය සඳහා පිරිනමන අක්තපත්‍රයෙහි
රාජ්‍ය වර්ෂ 1815 ක් වූ මාර්තු මස 02 දින දී උතුම් වූ බුද්ධාගමත්
භාරවන්නට යෙදී පුරාණ සිරිත් චාරිත්‍රාදි සියල්ලම නොකඩ කොට මෙම බුද්ධ
ශාසනය ඉංගී‍්‍රසි ආණ්ඩුව විසිනුත් හොඳාකාරව පවත්වාගෙන අවුත් රාජ්‍ය
වර්ෂයෙන් 1847 ක් වූ ජූලිමස 22 දින දී බුද්ධාගමේ පුරාණ පටන් පැවතගෙන
ආවා වු සෑම බලපුළුවන් කම්ම හරියාකාරව පවත්වා ගැනීමට ආණ්ඩුවෙන් කිසිම
තහනමක් නැතැයි කියා ආණ්ඩුවට බැඳී තිබුන ආගම සම්බන්ධ බලය නොහොත් ඒ
වෙනුවට තිබුන මැදහත්කම නෛකශ්‍රීන් විරාජමාන වික්ටෝරියා මහා රාජිනියගේ
නියෝගය ලෙස මෙම සෙංකඩගල මහනුවර රජවාසලදි ගරුතර ලංකාණ්ඩුකාර උතුමාණන්
විසින් අපට භාරදෙන ලදින්”යන පාඨයෙන් මැනවින් පැහැදිලි වේ.
ඉතිරි කොටස
මැයි 31 වන දා පත්‍රයේ පළ වේ
|