Print this Article


අධ්‍යාත්මික සංහිඳියාව

අධ්‍යාත්මික සංහිඳියාව

බු දුරජාණන් වහන්සේ කියන්නේ කවරෙකුටදැයි සොයන්නෙකුට ත්‍රිපිටකාගත සූත්‍ර දේශනාවලින් ඒ සඳහා අවශ්‍ය කරුණු රැසක් සොයා ගත හැකියි. විවිධ සූත්‍ර දේශනා බුදුපියාණන් වහන්සේ යනු මෙබඳු කෙනෙක් ය යන කාරණාව විවිධ දෘෂ්ඨි කෝණවලින් පෙන්වා දී තිබෙනවා. අප මෙහිදී බලාපොරොත්තු වන්නේ මජ්ජිම නිකායේ මූලපණ්ණාසකයට අයත් ‘මධුපිණ්ඩික සූත්‍රය’ ඇසුරෙන් බුදුන්වහන්සේ යනු කවරෙක් ද? කුමක් කරන්නෙක් ද? කියා විමසීමයි.

දිනක් උන්වහන්සේ කිඹුල්වත් නුවර මහාවනය නම් ස්ථානයේ විවේකයෙන් වැඩ සිටියා. ‘දණ්ඩපාණී’ නම් ශාඛ්‍ය වංශිකයෙක් එතැනින් ඇවිද ගෙන ගියා. තථාගතයන් වහන්සේ දුටු ‘දණ්ඩපාණී’ උන්වහන්සේ වෙත පැමිණි අදාළ ගරු සැලකිළි නො දක්වා ශ්‍රමණ භවද් ගෞතමයාණන් වහන්සේ කුමක් කියමින් තැන තැන ඇවිදින්නේ දැයි විමසුවා. ඔහුට දුන් පිළිතුරු වලින් බුදුපියාණන් වහන්සේ යනු කවරෙක් ද? කුමක් කරන්නෙක් දැයි අපට වටහා ගත හැකි වෙනවා.

මෙහිදී බුදුපියාණන් වහන්සේ තමන් කවරෙක්දැයි කාරණා පහකින් විස්තර කර දෙනවා. තමන් වහන්සේ ලෝකයෙහි කිසිවෙකුත් හා සමඟින් පැටළෙන්නේ නැති බවත්, විචිකිච්ඡා සහගත ව කුතුහලයෙන් යුක්ත ව කටයුතු නො කරන බවත්, සිඳ දමන ලද කුකුස් ඇති ව කටයුතු කරන බවත්, තණ්හාව නැති කළ බවත්, හඳුනා ගන්නා අරමුණු නිසා සිතෙහි කෙලෙස් තැන්පත් කර ගන්නේ නැති බවත්, ඒ අරමුණු නිසා කෙලෙස් අවුස්සා ගන්නේ නැති බවත් පැහැදිළි කර තිබෙනවා.

මේ අනුව බුදුපියාණන් වහන්සේ කිසිවෙකුත් සමගින් ගැටෙන්නේ නැති, අවිහිංසාවාදී උත්තමයෙකි. යමෙක් යමෙකු සමඟ ගැටීමක් ඇති කර ගන්නේනම් ඒ තැනැත්තා සිතෙහි ද්වේශය ඇතිව කටයුතු කරන්නෙකි. ද්වේශය නමැති අකුසල මූලය ගැටෙන, පැටෙලන, අයගේ සිතෙහි ඇතිවන සිතිවිල්ලකි. ද්වේශය ප්‍රහාණය කළ උන්වහන්සේ අපට ද්වේශය නැති කර ගන්නා ලෙස වදාළා.

සත්ත්වයා බාහිර සමාජයට ප්‍රචණ්ඩත්වය හෝ දුරාචාරය මුදා හරින්නේ ආධ්‍යාත්මිකව අසරණ වූ විටයි. තමන්ගේ සිතිවිලි පාලනය කර ගැනීමට තමන්ට ම නොහැකි වූ විටයි. සත්ත්වයා කයින් සහ වචනයෙන් සමාජගත කරන දුරාචාරය පාලනය කර ගැනීමට නම් පළමු ව සිත පාලනය කරගත යුතු බව වටහා ගත් බුදුපියාණන් වහන්සේ අපට ද ඒ සඳහා උපදෙස් දුන්නා. උන්වහන්සේ එසේ කළේ තමන් වහන්සේ ද ද්වේශය සහමුලින්ම ප්‍රහාණය කර අවසන් වූවාට පසුවයි.

උන් වහන්සේ කුතුහලයෙන් යුක්තව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු කළ හැකි වන්නේ කාමයන්ගෙන් විසංයුක්තව කටයුතු කරන අයට යි. සාමාන්‍යයෙන් මිනිසා අනුන්ගේ තොරතුරු දැන ගැනීමේ ආශාවකින් යුක්තවයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අනුන්ගේ වැරැදි ගැන සෙවීමට මිනිසාට ඇත්තේ නොතිත් ආශාවක්. ඒ ආශාව නිසා ම බොහෝ දෙනා විවිධ අර්බුදවලට පැටළෙනවා. තමන් තුළ අපමණ වැරැදි තබාගෙන අනුන්ගේ වැරැදි සොයන්නට යාම නුවණැති ක්‍රියාවක් නො වෙයි.

ඇතැමෙක් බොහෝ ආශාවෙන් කරන දෙයක් තමයි අනුන්ගේ වැරැදි අඩුපාඩු සෙවීම. මෙයට කියන්නේ ‘ඕපාදූප’ සෙවීම කියලයි. අනුනගේ ඕපාදූප සොයමින් වෙනත් අයට කියමින් රණ්ඩු සරුවල් ඇතිකොට ඒවායෙන් තෘප්තියක් ලබන අවාසනාවන්ත පිරිසක් සමාජයේ සිටිනවා. බුදුපියාණන් වහන්සේ අපට නිරන්තරයෙන් මතක් කර දුන්නේ තමා ගැන සොයන්න කියායි. (අත්තානං ගවේසෙය්‍යාථ) තමන් සෙවීමෙන් තමන්ගේ තරම තමාට ම වටහාගත හැකියි.

චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගත් බුදුපියාණන් වහන්සේ ඒ ආර්ය සත්‍ය ධර්මයන් ගැන නිසැක භාවයෙන් කටයුතු කළා. එසේ කළේ ඒ ආර්ය සත්‍යයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් බැවිනුයි. ඒ නිසා ම උන් වහන්සේට එම සත්‍යයන් පිළිබඳව කිසිදු සැකයක් ඇතිවූයේ නැහැ. ප්‍රත්‍යක්ෂය තුළ සැක ඇති වන්නේ නැහැ. බුදුපියාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ නමක් ලෙසින් අපට මේ ආර්ය සත්‍යය ගැන වදාළා. උන්වහන්සේ ධර්මය ලෙස වදාළේ එන්න බලන්න (ඒහිපස්සිකෝ) මේ ධර්මය තමා තුළට ම ගෙන ක්‍රියාත්මක කරන්න (ඕපනයිකෝ) යනුවෙනු යි. ධර්මය පිළිබඳ ව නිසැක භාවය උපදින්නේ එසේ ක්‍රියා කිරීමෙන් පමණයි.

සැකය සිත තුළ ඇතිවන්නේ නො දැනුවත්කම නිසා යි. නො දැනුවත්කමට වගකිව යුත්තේ තමාම යි. දැනුවත්වීම තමාගේ වගකීමකි. අන්අයට කළ හැක්කේ ඒ සඳහා මඟ පෙන්වීමක් පමණි. බුදුපියාණන් වහන්සේ නිවන් මඟ නො දන්නා අයට මඟ පෙන්වීම සිදු කළා. ශ්‍රාවකයාගේ වගකීම වන්නේ ඒ මඟ ගමන් කිරීමයි. නිවන පිළිබඳ සැකය නැතිකර ගත හැක්කේ ඒ නිවන් මෙගහි ගමන් කිරීමෙන් පමණි. බුදුපියාණන් වහන්සේ අපට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගන්න යැයි දේශනා කළේ ඒ තුළ අපේ සිතේ සැකය දුරුවන නිසාවෙනි. ඕනෑම තැනක විවෘත විය හැක්කේ තමන්ගේ අවංකකම නිසායි. තමන්ගේ නිවැරැදි භාවය නිසයි.

තණ්හාව නම් වූ චෛතසිකය බුදු දහමෙහි බොහෝ ගැඹුරින් විග්‍රහවෙන දෙයක්. ලෝකය ම දුක මත පිහිටා තිබේ නම් ඒ දුකට හේතුව තණ්හාව යි. තණ්හාව සිතෙහි ඇති වන එක් සිතිවිල්ලක් පමණක් වුවත් එය මුළු ලෝකයම දුකට පත් කරවන්නට ද හේතු වන්නක්. පුනර්භවය ඇති කරවන, තැන තැන ඇලීමට මුල් වන්නක්. ඒ තණ්හාව උන් වහන්සේ විසින් ක්ෂය කළා. ප්‍රහාණය කළා. ඒ තණ්හාව සිඳ දැමූ නිසා උන්වහන්සේට පුනර්භවයක් නැහැ. බුදු කෙනෙකු ලොව පහළ වන්නේ දුකෙන් පෙළෙන සත්ත්වයා ඉන් මුදවාලනු පිණස යි.

බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දී අපට උපදෙස් දී තිබෙන්නේ ඇස, කණ, නාසය, දිව ශාරීරය යන ඉන්ද්‍රියන්ට ගොදුරු වන රූපාදී අරමුණු ගොදුරු වද්දී ඒ තුළ කෙලෙස් අවුස්සා නො ගන්නා ලෙසයි. සිතෙහි කෙලෙස් තැන්පත් කර නො ගන්නා ලෙසයි. දුටු දේ දුටුවා පමණයි. ඒ තුළ කෙලෙස් ඇතිකර ගන්නේ නැහැ යන අදහසින් යුතුව අරමුණු පරිහරණය කරන්නේ නම් සිතෙහි කෙලෙස් තැන්පත් වන්නේ හෝ තැන්පත්ව තිබෙන කෙලෙස් ඇවිස්සී එන්නේ හෝ නැහැ. එසේ සිතෙහි කෙලෙස් ඇවිලී නො එන්නේ නම් ආධ්‍යාත්මක ව ඇති වන්නේ මහත් සන්සිඳීමකි. ඒ ආධ්‍යාත්මික සංහිඳියාවෙන් යුතු තැනැත්තා ලොවට ඇති කරන්නේ මහත් සැනසිල්ලකි.

බුදුපියාණන් වහන්සේ ලොවට මහත් සැනසිල්ලක් උදාකළ ශාන්ති නායකයාණන් වූයේ ද ශාන්ති දායකයාණන් වූයේද ඒ ආධ්‍යාත්මික සහිංඳීයාව නිසයි.