Print this Article


අසිරිමත් වූ බුදුපියාණෝ

අසිරිමත් වූ බුදුපියාණෝ

අසිරිමත් වූ තථාගත බල දහයකින් සමන්විතව වැඩසිටි මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේගේ දස වන ඤාණ බලය ආසවක්ඛය ඤාණය යි. එනම් තමන් වහන්සේ තුළ ගුරු උපදේශ රහිතව උපදවාගත් සුවිශේෂී වූ විස්මිත නුවණ මෙහෙයවීමෙන් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වී උතුම් සම්බුද්ධත්වයට පත් වී වදාළ බව ඒ අයුරින්ම අවබෝධ කර ගැනීමයි.

භාග්‍යවතුන් වහන්සේ ඒ උත්තරීතර සම්බුදු පදවිය ලබා ගත්තේ ප්‍රඥාව පෙරටු කොටගත් සිහියත්, වීරියත්, සුසංයෝගයෙන් නිර්මිත ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වැඩම කිරීමෙනි. සියලු ලෝ සතුනට සෙත සදන්නට ගිහියෙගින් නික්ම අභිනිෂ්ක්‍රමණය කොට ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වූ සේක. ඉන් අනතුරුව පුරා සය වසරක් මුළුල්ලේ සාමාන්‍ය කෙනෙකුට නම් කිසිසේත් දැරිය නොහැකි අධික දුක් සිරුරට ලබා දෙමින් ඝෝර තපස් ක්‍රම අනුගමනය කොට, එය විමුක්ති මාර්ගයට නොවන බව දැන ඒ අත්තකිලමථානුයෝගි අන්තයත් අත්හළ සේක. ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් ඒ අන්ත දෙකම අත්හැර සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සුසැදි මැදුම් පිළිවෙත් පිරූ සේක. ඒ සනාතන පාරිශ්‍රද්ධත්වය සාක්ෂාත්කර ගැනීම පිණිස වජ්‍රමය අධිෂ්ඨාන ශක්තියක් තමන් වහන්සේගේ ආධ්‍යාත්මය තුළ මෙසේ ඇතිකර ගත් සේක. ‘ඒකාන්තයෙන්ම, මේ සිරුරෙහි සම් නහර ඇට ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් මාංශයකුත් රුධිරයකුත් ඇද්ද, එය වියළි සිඳී දැවී යතොත් එසේ වේවා මෙ පමණ කලක් මුළුල්ලේ පැතූ® ඒ පරමෝත්තම අමා නිවන සාක්ෂාත් නො කොට මේ ආසනයෙන් නො නැගිටිමි අධිෂ්ඨාන කළ සේක.

මෙසේ චතුරංග වීර්යය අධිෂ්ඨානයෙන් යුතුව වැඩ සිටිද්දී සම්බුද්ධත්වයට එරෙහිව දසමාර සේනා පිරිවරාගෙන පැමිණි වසවත් මරු පළවාහැරී සිද්ධාර්ථ ගෞතමයාණන් ආනාපාන සතියේ සිහිය පිහිටුවාගෙන සිත සමාහිත කළ සේක. කාමයන්ගෙන් වෙන් වූ අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විතර්ක විචාර සහිත විවේකයෙන් උපන් පී‍්‍රතියත් සැපයත් ඇති පළමුවන ධ්‍යානය උපදවාගත් සේක. එය ඉක්මවා විතර්ක විචාර සංසිඳුණු දෙවන ධ්‍යානය ලබාගත් විට ආධ්‍යාත්මයේ ශාන්ත සුව මතු වී සිත මනාව තැන්පත් විය. කය පුරා සැපයත්, පී‍්‍රතියත් පැතිරී ගියේය. පිරීගිය පැන් පොකුණක ගිලී ගත් කැකුළු පියුමක් සේ වූ සිතටත් ගතටත් අපූරු සැනසීමක් ගෙන දෙන පී‍්‍රතියට නො ඇලුණ මනා සිහිය ඇති තෙවැනි ධ්‍යානය ද, උපදවාගත් සේක. තවත් ගැඹුරටම සිත සංසිඳෙද්දී ආශ්වාස ප්‍රශ්වාස මුළුමනින්ම සංසිඳී ගොස් පී‍්‍රතියත් සැපයත් ඉක්මවා ගිය සිහිනුවණින් යුතු ශාන්ත උපේක්ෂාවට හෙවත් හතරවෙනි ධ්‍යානයට සිත පත් විය. ප්‍රභාෂ්වර වූ ඉන්ද්‍රඛීලයක් සේ නිසංසල වූ ඒ සමාධිමත් සිතින් පෙර විසූ කඳ පිළිවෙල දැකිය හැකි ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය’ ලබාගත් සේක.

ඉක්බිති මැදියම් රැයේදී සියලු සත්ත්වයන්ගේ චුතියත්, උපතත් දැකිය හැකි වූ චුතුපපාත ඤාණය ලබා ගන්නට උන්වහන්සේ සමත් වූ සේක. මැදියම් රැය ඉක්ම වූ ඒ රාති‍්‍රයේ දී නිසංසල විලක් සේ ශාන්ත වූ තම සිතේ ඇති අභිරහස සිදුහත් බෝසතාණන් තවදුරටත් විමසා බැලූ සේක. කඳු මුදුනක ඉතා පිරිසුදු දිය ඇති පැන් පොකුණක් වෙත යන ඇස් ඇති පුරුෂයෙක් නො කැළඹුණු දිය තුළින් පොකුණේ පත්ල තෙක්ම විනිවිද දැක දියේ නොයෙක් මසුන් ද, සක් බෙල්ලන්ද, කැට කැබැලිති, පෙන පාසි ආදි සියල්ල හඳුනාගනි. එලෙසින්ම සිද්ධාර්ථයන් වහන්සේ තම චිත්ත අභ්‍යන්තරයේ සැඟවී පැවති කාමාශ, භවාශ්‍රව, අවිජ්ජා ආශ්‍රව මැනවින් හඳුනාගත් සේක. යටි පතුලක ඇනී ඇති කටු ගලවන්නාක් සේ ඒ තුන් ආකාර වූ ආශ්‍රව තම සිතින් මුළුමණින්ම ඉවත් කළ උන්වහන්සේ “ආසවක්ඛය ඤාණය” ලබාගෙන පරිශුද්ධත්වයට පත්වී වදාළ සේක. හේතු ඵල දහම ඉක්මවා ගිය අසංඛත ධාතුව වූ ඒ අමා නිවන සාක්ෂාත් කළ ඒ ආසවක්ඛය ඤාණය උන්වහන්සේ තුළ පැවති තථාගත බලයකි. ඊට පැමිණි උන්වහන්සේ දම්සක් පතුරුවමින් සිංහනාද පැවැත් වූ සේක. සාරිපුත්ත, තවත් තථාගත බලයක් තිබෙනවා. තථාගතයන් වහන්සේ ආශ්‍රව නැති කරලා ආශ්‍රව රහිතව මේ ජීවිතයේදීම ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමන්ගේම දියුණු කළ ඤාාණයෙන් අවබෝධ කරගෙන එය සාක්ෂාත් කරගෙනයි ඉන්නේ. යම් ආකාරයකින් තථාගතයන් වහන්සේ ආශ්‍රව ක්ෂය කිරීම තුළින් අනාශ්‍රව බවට පත්වෙලා. ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළදී තමන් විසින්ම දියුණු කරගත් ඤාණයෙන්ම අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඉන්නවාද සාරිපුත්ත, ඒ ආසවක්ඛය ඤාණය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්.

ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ. පිරිස් මැද සිංහ නාද කරන්නේ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ. ගුරු උපදේශ නො මැතිවම ආසවක්ඛය ඤාණය ලබාගත් අපගේ ශාස්තෘන් වහන්සේ අද්විතීය වූ අසහාය වූ වීරෝධාර වූ පරම ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික නායකත්වයට පත් වූ සේක. එනිසාම දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් කිසිවෙකුටත් ඒ අසාවක්ඛය ඤාණයට කරුණු සහිතව අභියෝග කළ නොහැකි බව උන්වහන්සේ පෙන්වා දුන් සේක. ‘ඔබ වහන්සේ සියලු ආශ්‍රවයන් ක්ෂය කළ නිකෙලෙස් වූ රහතන් වහන්සේ නමක් වෙමි කියා ප්‍රතිඥා දෙනවා. නමුත් මේ මේ කෙලෙස් ඔබ වහන්සේ ප්‍රහාණය කර නැහැ කියා ලෝකයෙහි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා කිසිවෙකුටත් කරුණු සහිතව චෝදනා නැගිය හැකි නිමිති මාත්‍රයක්වත් මා දන්නේ නැහැ.

පින්වත් සාරිපුත්ත, මම ඒ අයුරින් ඔය කාරණය පිළිබඳව නො දකින නිසා මම සිටින්නේ පූර්ණ සුරක්ෂිත භාවයක යි. නිර්භීත භාවයකයි. විශාරද භාවයට පැමිණිලම යි. භාග්‍යවතුන් වහන්සේගේ ආසවක්‍යය ඤාණයේ ඇති තෙදවත් බව කොතරම්දැයි එයින් මනාව පිළිබිඹු වේ.

උන් වහන්සේ බරණැස ඉතිපතන මිගදායට වඩින ගමනේ දී හමු වූ උපක නම් ආජීවකයා අමතා මෙසේ වදාළා ‘’මම සියලු අකුසල් මැඩලූ කෙනෙක්. මම සියලු දෙයම අවබෝධ කරපු කෙනෙක්. මම හැම දේකටම නො ඇලුණ කෙනෙක්. හැම කෙලෙස් අත්හැරපු කෙනෙක්. තණ්හාව ක්ෂය කර විමුක්තියට පත් වූ කෙනෙක්. එනිසා අප සරණ ගිය ඒ භාග්‍යත් අරහත් සම්මා සම්බුුදුජාණන් වහන්සේගේ ගුණානුභාවය කොයිතරම් අසිරිමත් ද? උත්තම සම්බුදු තෙමඟුල සිදු වූ මේ පින්බර වෙසක් සමයේ අපත් ඒ උතුම් සම්බුදු ගුණ සිහිකරමු. පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යමු. අග්‍ර වූ පූජාවන් සිදු කරමු. මෙලොව පරලොව සැප සලසාලන උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ පිණිස පවතින පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිමු.