Print this Article


සමගිය

සමගිය

බුදුරජාණන් වහන්සේ එදා පුද්ගලයා පිළිබඳවත්, ලෝකය පිළිබඳවත් පැහැදිලි කරනු ලැබූ දහම් කරුණුවල අවශ්‍යතාවය සහ කාලීන බව වර්තමානය වන විට වඩාත් දැඩි ලෙසින් දැනේ. සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙකුගේ අදහස් කතාබහ කියූ දේවල් කාලීන බව රැඳෙන්නේ ඒවා ප්‍රකාශ කරනු ලබන කාලය හා සමානවයි. එහෙත් බුදුරජාණන් වහන්සේ ක්‍රි.පු. 6 වන සියවසේ දේශනා කළ අදහස් අද සමාජයටද කාලීන බවින් යුක්ත වීම විශේෂත්වයකි.

දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ උන්වහන්සේ දේශනා කරනු ලැබූ කිසිදු දහම් කරුණක් නොපිට පෙරළිය නොහැකි බවය. එසේම උන්වහන්සේ ස්වකීය අදහස් සමාජයට ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ සංසාරය පුරා ඒවා පිළිබඳ නිවැරැදි අත්දැකීම් ලබාගෙනය. සංසාර ගත ආ ගමනේ බුද්ධත්වය ලබාගෙන ස්වකීය අරමුණු සාක්ෂාත් කරගනු ලැබුයේ අනෙක් සියලු සත්ත්වයන්ට ද ඒ දහම නිවැරැදිව පැහැදිලි කරදීමේ චේතනාවෙන් ය.

බුදුරජාණන් වහන්සේ සමාජයේ උත්පත්තිය ලැබීම සමාජයේ සහ පුද්ගලයාගේ යහපත පිණිස හේතුවෙයි. එයට හේතුව බුදුවරු නිවැරැදි දෙය නිවැරැදිව පැහැදිලි කරදෙන නිසා ය. ඒ පැහැදිලි කිරීම් සර්වකාලීන අගයකින් යුක්ත වේ. මෙය එතරම් පහසු ඉගැන්වීමක් නොවේ. බුදුවරු උපත ලබා හැම විටම සමාජයට යහපත් දෙය පැහැදිලි කරති. වටහාගත යුතු ප්‍රධාන කාරණය මිනිස් මනසය, වටහා ගැනීමට අමාරුවන්නේද එයමය. හඳුනාගත යුතු ප්‍රධාන කාරණය මනස හඳුනාගැනීමය. හඳුනාගැනීමට අපහසු ද එයම වේ. මිනිස් මනස නිවැරැදිව හඳුනාගත් බුදුරජාණන් වහන්සේ වැස්ස වූ සදහම් වැස්ස සමස්ත සමාජයටම අමාවැස්සක් වේ. බුදුවරුන්ගේ උපත මිනිස් වර්ගයාගේ හිතට සැනසිල්ලක් උදාකරණු ලබන්නේ එපරිදිය. ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ද සැපයක් බව දක්වා තිබේ. සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා බුද්ධත්වය ලැබූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත් දෙකක් නොව එකකි. නමුත් ඒ දෙක දෙකක් වශයෙන් දක්වා තිබේ. ඒ තුළින් පැහැදිලි වන්නේ සත්ත්වයා සංසාරයෙන් ගොඩ ගැනීමේ අදහසින් ම බුද්ධත්වය ලබා ගත්තද බුද්ධත්වය ලබාගත් පසු සත්ත්වයාට ධර්ම දේශනා කිරීම පිළිබඳ කාරණය බුදුවරුන්ට පවා නැවතද නැවත ද සිතන්නට කල්පනා කරන්නට හේතුවන බවයි. මහා වග්ග පාලියෙහි දක්වා තිබෙන කාරණාවකින් මෙය වඩාත් තේරුම් ගත හැකි ය. එහි දක්වා තිබෙන්නේ පටිසෝතගාමී වූ නිපුණාවූ ගැඹුරු වූ දැකීමට අපහසු වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළ මිනිසාට අවබෝධ කරගත හැකිවේදැයි යන සිතිවිල්ල තථාගතයන් වහන්සේගේ මනසට නැගුණු බවයි. මෙම සඳහනින් පැහැදිලි වන්නේ රාගයෙන් රත් වූ මෝහයෙන් මත් වූ ද්වේශයෙන් තෙත් වූ සිතිවිලිවලින් යුතු මිනිසාට ඒවාට ප්‍රතිවිරුද්ධ වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර දීමේ තිබෙන අපහසු බවයි.

සංඝයාගේ සමගියද මිනිස් සමාජයට සැපයකි යනුවෙන් දක්වා තිබේ. සංඝ සමාජය යනු බුදුරජාණන් වහන්සේගේ ඖරස වුණු පිරිසයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සත්ත්ව ප්‍රජාවට දේශනා කළ ධර්ම විනය සමාජයට පැහැදිලි කරදීම සඳහා සකස් කළ සංවිධානයයි. එම සංවිධානය ශක්තිමත්ව පවතින්නේ සමගිය නමැති රැහැන මතයි. ඒ රැහැන්පට ගිලිහීම සමස්ත සමාජයේම දුකට හේතුවෙයි. සංඝයා සමගිව සිටිනතාක් මිනිස් සමාජයේ දියුණුවට හේතු භූත වන කරුණු කාරණා සිදුවේ. සංඝයාගෙන් මිනිස් සමාජය බලාපොරොත්තු වන්නේ ද නිවැරැදි මඟ පෙන්වීමයි. සංඝයා භේද භින්න වී ගිය විට පොදු සමාජයට මඟ පෙන්වීමට වඩා උන්වහන්සේලා තම තමන්ගේ ආර්ථික ලාභ සත්කාරවලට ගිජු වී කටයුතු කරන්නට යති. එය සමාජයේ මිනිසාට දෙන නිවැරැදි බුද්ධි දානය නොවේ.

සාමාන්‍යයෙන් මිනිසාගේ ස්වභාවය වන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය පසුපස හඹායාමයි. ඒවාට ලොල් වීමයි. එසේ වූ විට එම පුද්ගලයාට තමා විසින් සමාජයට කළයුතු නිවැරැදි මෙහෙය කුමක්දැයි යන්න පවා අමතක වී යයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනු ලැබ ඇත්තේ තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සුඛාස්වාදී මනසින් පිළිගන්නට එපාය කියාය. එබඳු දේ පිළිබඳ උන්වහන්සේ පැහැදිලි කළේ එබඳු පැසසුම් ලාභ සත්කාර ලැබෙන විට ඒවා තමන්ගේ පපුව සිසාරා ඇනෙන බරපතල උලක් ලෙස සිතන්නට කියා ය.

සමගි වූ පිරිසට තපස සැපතකි. තපස යනු ශීලයයි. ශීලය කෙලෙස් තැවීම, නිවැරැදි දේ දැකීම යනාදී තේරුම් සහිත පදයකි. සමඟි වූ පිරිස සහිත සමාජය ලස්සනය. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ අසමඟි වූ පිරිස ජීවත්වන ප්‍රදේශය ගැන කල්පනා කිරීමට පවා තමන් වහන්සේ අකැමැති බවය. ඉන් පැහැදිලි වන්නේ පුද්ගල සමගියේ පවතින වැදගත්කමයි. සමගිය යැයි කියා කිව්වද එය පුළුල් පදයක් නිසා අර්ථ විග්‍රහ ඇති කරගත යුතු ය. මෙහිදී දක්වා තිබෙන්නේ පුද්ගල සමඟිය ඇතිවිය යුත්තේ පොදු සමාජයේ අර්ථය පිණිස බවයි. හොර සතුරු කණ්ඩායම් අතර පවා ඇතැම් විට සමගිය දක්නට ලැබේ. ඔවුන් සතුව පවතින එම සමගිය සැපයක් ලෙස සමාජයට නොදැනෙන්නේ ද නොපිළිගන්නේ ද එම සමගිය පොදු සමාජ යහපත පිණිස හේතු නොවන නිසාය. ඇතැම් අය මූණිච්චාවට සිනාසී අප සමගියෙන් ඉන්නවා යැයි සමාජයට අඟවති. එයින්ද සමාජයට සිදුවන යහපතක් නැත. ගෘහ පරිසරය තුළ වුවද සමඟිය තිබිය යුත්තේ පවුලේ මෙන්ම සමාජයේ අර්ථය පිණිසයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති සමඟිය පිළිබඳ අදහස පුළුල් අර්ථයකින් ගත යුතු වේ. ඒ පුළුල් අර්ථය පොදු සමාජයේ හිත සුව සඳහා යන අදහස පැවතිය යුතු ය. එබඳු වූ සමඟි පිරිසට තපස එනම් ශීලය සැපතකි බව දන්වා තිබේ. සිත කය වචනය යන තුන් දොරෙහි සංවරය තුළ ගොඩනැගෙන සමඟිය පුද්ගල මෙන්ම සමාජ හිත සුව පිණිස ද හේතු භූත වේ.

අදින් උදාවන වෙසක් පොහොය දවසින් ආයෙත් වතාවක් ඇරැඹිය යුත්තේ පොදු සමාජයට යහපත සිද්ධවන මේ කරුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමයි. සාමාන්‍ය මිනිසාගේ සමාජ ස්වභාවය වන්නේ මෙය නොවෙයි. සමාජ ස්වභාවය වන්නේ තමන්ගේ ලාභය පිණිස සමඟි වීමත් නොඑසේ නම් කුලල් කෑමත් ය.

බුදුරජාණන් වහන්සේ මෙහිලා දක්වන්නේ මිනිස් සමාජ ස්වභාවයට වඩා ඉදිරියට ගිය නිවැරැදි අගයක් මිනිසා තුළ සමාජය පිණිස හිතාදර බව පවසිය යුතුයි. බුදුවරු පහළවෙන්නේත් උන්වහන්සේලා ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලබන්නේත් සංඝයා සමගිව ඉන්නේත් ඒ සඳහා ය. ලෝවැඩ සඟරාවේ මේ බණ පදය පැහැදිලි කරනු ලැබුවේ අත්වැඩ, පරවැඩ සමව සිතන්නේ මෙත් සිත සව්සත කෙරෙහි කරන්නේ යනුවෙන් ය.