Print this Article


අවංකත්වයෙන් ඔපවත්වන බෞද්ධකම

අවංකත්වයෙන් ඔපවත්වන බෞද්ධකම

කුහ, කුහක යනු පාලියෙහි මෙන් ම සංස්කෘතයෙහි ද යෙදෙන නාම පදයකි. නැති ගුණ පෙන්වන්නා, වංචාකාරයා, මායාවෙන් අනුන් රවටන්නා, ව්‍යාජ වූ ඇවැතුම් පැවැතුම් ඇත්තා යන්න ඉන් අදහස් වෙයි. ඔහුගේ ක්‍රියාව, කුහකත්වය, කුහකකම (කුහනා) ය. තමා තුළ සැබැවින්ම නැති, එසේ නැති බව ද පැහැදිලිව ම දන්නා උසස් ගුණ ධර්ම තමා තුළ ඇතැයි පෙන්වීම, එමඟින් ලෝකයා රැවැටීම, වංචාකිරීම, ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසාදිය ලබනු රිසියෙන් එසේ ව්‍යාජ ඇවැතුම් පැවැතුම් දැක්වීම කුහකයාගේ ස්වභාවයි.

එබඳු පුද්ගලයෝ සංවෘත වැසුණු චරිත ඇත්තෝය. විවෘත ගති පැවැතුම් නැත්තෝය. විවෘත කතාබස් නැත්තෝ ය. මෙබඳු මායාකාරීන් බොහෝ විට දක්නා ලැබෙන්නේ තවුසන් හෝ පැවිද්දන් අතර ය, උපාසක උපාසිකාවන් අතර ය. බාහිර වශයෙන්, පිටතින් පමණක් මවාගත්, අනුන් රවටාලීමේ අටියෙන් ම ව්‍යාජ ලෙස ආරෝපණය කරගත් තවුස් පෙනුම ඇතිව හැසිරුණු එවන් සමකාලීන රැවටිලිකාරයන් ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සමෙහි පැහැයෙන් හෝ බාහිර හැඩරුවින් මිනිසුන් නිසි ලෙස තේරුම්ගත නොහැකිය.දුටු සැණින් (හුදෙක් බාහිර පෙනුමට, පැවැත්මට මුළා වී ) යමකු විශ්වාස නොකළ යුතුය. කවර හෙයින්ද යත්, අසංයත වූ මනා හැදියාවක් නැත්තෝ සංයත වූ මනා හැදියාව ඇත්තවුන් සේ (අප රවටමින්) ලොව හැසිරෙත්. ”

“මැටියෙන් තැනූ කුණ්ඩලාභරණවල, ලෝහයෙන් තැනූ කාසිවල පිටතින් පමණක් රන් පැහැය තවරා ඒ නොවටිනා දෑ වටිනා රන් නිමැවුම් සේ වංචාවෙන් ලොව රවටන්නේ යම් සේද එසේම පිටතින් පමණක් තවුස් බව හැදියාව පෙන්වන්නෝ ලොව රවටමින් හැසිරෙත්. ඔවුහු බාහිර ශෝභනය ම ඇත්තෝ ය. ඇතුළතින් අශුද්ධ වන්නෝ ය.”

ධම්මපද පාළියෙහි එන තවත් දේශනාවක් මෙසේය.

“නිරුවත්ව හැසිරීම ය, ජටා දැරීමය , ඇග මඩ තවරාගෙන සිටීම ය. අහර නොගැන්මය, බිම වැතිරී සිටීම ය, ඇග දූවිලි දැලි ඇති බව ය. උක්කුටිකයෙන් හිඳීම ය යන මේ බාහිර තාපස ව්‍රත කිසිවකින් සැක දුරු කළ තැනැත්තකු (අධ්‍යාත්මික දියුණුව ඇත්තකු )නොවන්නේ ය.”

ගිහි හෝ පැවිදි කවරකු වුවද සිය ශ්‍රාවකයකු විවෘත චරිතයකින් තොර වංචනික ව්‍යාජ කුහකයකු වනු දැක්ම බුදුරජාණන් වහන්සේ කවර හැටියෙකින් වත් අපේක්‍ෂා නොකළ සේක. උත්තාන යනු විවෘත බව ය. සඟවාගත් අදහස්, සංවෘත අපේක්‍ෂා ඇත්තකු නොවීම ය. අව්‍යාජ බව ය.සිය ශ්‍රාවකයන් එලෙස කියා කරනු දැක්ම උන්වහන්සේගේ පරම අපේක්‍ෂාව වූයේය.

භික්‍ෂු විනය තුළ කුහකත්වයෙන් ක්‍රියා කිරීම වළක්වාලනු පිණිස වඩාත් දැඩි වූ ශික්‍ෂා ප්‍රඥප්තීන් ඔස්සේ අවශ්‍ය විධිවිධාන සලසන ලද්දේ එබැවිනි. උපසපන් භික්‍ෂුව යනු පැවිද්දෙහි වෘද්ධයා ය. හෙතෙම පහළින් ඉහළට ඔසවා තැබූ, වගකීම් සහිත භික්‍ෂුත්වය වෙත එළැඹී තැනැත්තා ය. එබැවින්ම උපසම්පදා ශීලය අධිශීලය ලෙස හැඳීන්වෙයි. එකී උපසම්පදා භික්‍ෂුභාවය නැවත පිළියම් කළ නොහැකි පරිදි අහෝසි වීම, කරටිය සිඳීගිය තල් ගසක් සේ විනාශ වීම,සෙසු උපසපන් භික්‍ෂූන් හා එක්ව වගකීම් දැරීමට නුසුදුසු බවට පත්වීම , එනම් පරාජය වීම සිදුවන්නේ ගරුකාපත්ති සංඛ්‍යාත පාරාජිකාවකට පත්වීමෙනි. පාරාජිකා සතරෙකි. පළමු වැනි, දෙවැනි හා තෙවැනි පාරාජිකයන්ට වඩා අර්ථයෙන්ම මෙන්ම ස්වරූපයෙන්ද සිව්වැන්න සුවිශේෂි වෙයි. එහි ප්‍රමුඛ අපේක්‍ෂාව වී ඇත්තේ අවශ්‍යයෙන්ම උපසපන් භික්‍ෂුව සෙසු ගිහි, පැවිද්දන් රවටමින් වංචා සහගතව, නැති ගුණ තමා වෙත ඇතැයි දැක්වීම වළක්වාලීමය. එනම් භික්‍ෂුව අවංක හා විවෘත චරිතයක් ඇත්තකු ලෙස හික්මවීමය. කුහකත්වය ඇත්තාට සසුනෙහි උසස් තත්ත්වයක් ලැබීම ඉන් වැළැකෙයි.

මැදුම් සඟිය මහා චත්තාරිසක සූත්‍රය අනුව, පැවිද්දාට අදාළ සම්මා ආජීවය නම් ශ්‍රමණ සාරුප්‍ය නොවන සේ සිවුපසය උපයා ගැනීමෙන් වැළැකීම ය. කූට වංචනික ක්‍රියා මගින් දායකාදීන් රැවටීමෙන් (කුහනා) මායාකාරීව රැවටිලි බස් කීමෙන් (ලපනා) විවිධාකාර වූ, ඉඟිපෑමෙන්, ඇඟවීම් කිරීමෙන්, රවටා ගැනීමෙන් (නෙමිත්තිකතා) මදි පුංචිකම් කිරීමෙන් (නිප්පෙසිකතා) ලාභයෙන් ලාභ සෙවීමෙන් (නිජිගිංසනතා) වැළකී සිව්පසය උපයාගැනීම භික්‍ෂුවට අදාළ සම්මා ආජීවය වේ.

කුහක භික්‍ෂුවරයන් පිළිබඳ පුවත් රැසක් විභංගට්ඨ කතාව වාර්තා කරයි. තමා තුළ රහත් ගුණ නැතිව ම රහත් යැයි උපාසකවරුන් වංචාවෙන් නොමඟ යවා ප්‍රසාදය දිනා ගත් චාටි අරහන්ත ඉන් එක් අයෙකි. හෙතෙම සිය අසපුවේ ඇතුළු කුටියෙක මහ හැලියක් තබාගෙන උපාසකවරුන් දුරින් එනු දුටු විට එහි රිංගා ගනී.මිනිස්සු තෙරුන් කොයි’දැයි අසති. ඇතුළු ගැබ සිටිති’යි කී විට එහි පිවිසිය ද තෙරුන් නොදකිති. එවිට තෙර නම සැලියෙන් නික්ම අසුනක වාඩි වී සිටී. ඒ දැක පුදුමයට පත්වන උපාසකවරු, “ස්වාමීනි අප මුලින් එන විට ඔබ වහන්සේ මෙහි නොදැක්කෙමු. කොහි සිටියේදැ”යි අසති. තෙරනම පිළිතුරු දෙමින් “ පැවිද්දෝ නම් තමන් කැමැති තැනකට යති. (ඔබට එය නොපෙනේ) යැයි” තමන් රහත් බව හගවයි. තවත් එක් කුහක භික්‍ෂුවක් පර්වත මුදුනක පිහිටි පන්සලක වසයි. එතැනට ළඟා විය යුත්තේ පර්වතය වටා රවුමක් සේ ඇති පාරකිනි.ඍජුව පිහිටි ඒ පර්වතයට කෙලින්ම ළඟා වීමට නොහැකි ය. මිනිස්සු එමගින් පන්සලට පැමිණ තෙර නම බැහැ දකිති. නැවත එමඟින් ම ගම් දොරට යති. එහෙත් ඒ තෙර නම උපාසකවරුන්ට පෙර ගම දොරට පැමිණ සිටී. උපාසකවරු, විමතියට පත්ව, හිමියනි, අපි පළමුව පිටත්ව දුර මඟකින් ආවෙමු. ඔබ වහන්සේ අපට පසුව පිටත්ව අපට පෙර මෙහි ආවේ කෙසේදැයි අසති. ඒ පන්සල පිටුපස නුග ගසක් ඇත. එහි මුල් පර්වතය පහළට ඇදීගොස් තිබේ. මිනිසුන්ට පෙර තෙර නම පව්ව පාමුලට එන්නේ ඒ මුල් අල්ලාගෙන පහළට බැසීමෙනි. හෙතෙම ඒ බව හෙළිනොකර, “ශ්‍රමණයන් ආ මඟ ඇසීම (ගිහි ඔබට) නොගැළපේ යැයි ද තමන් කැමැති පරිදි ග්‍රමණයෝ ගමන් කරති” යි ද තමා නොරහත්වම රහත් බව හඟවයි. නැති ඍද්ධියක් ඇතැයි හඟවයි. මේ හැර අලසව, කාර්යක්‍ෂම බව හඟවමින් ද නූගත් ව උගත් බව හගවමින් ද, නොදියුණු සිත්සතන් ඇතිව දියුණු බව හඟවමින් ද, මෝඩව නුවණැත්තකු යැයි හඟවමින් ද සැදැහැ නැතිව සැදැහැවත්යැයි හඟවමින් ද ක්‍රියා කරමින් නැති ගුණ පෙන්වා සමාජය රවටා සිව්පසය ලබාගත් කුහක භික්‍ෂූන් පිළිබඳ කතා පුවත් ද විභංගට්ඨ කතාවෙහි එයි.

පෙර බරණැස විසූ එක් කුහක තවුසකු පිළිබඳ අපූරු පුවතක් කුහක ජාතකයෙන් ඉදිරිපත් වේ. ඔහු ජටා ධරයෙකි. ඔහුට පැහැදුණු එක් කෙළෙඹි පුත්‍රයෙක් වනයෙහි පන්සලක් ද කරවා මිහිරි ආහාර පානාදියෙන් සංග්‍රහ කරයි. ඒ කෙළෙඹියා සතුව රන් මැණික් පොදියක් ඇත. හෙතෙම එය පන්සලට ගෙන ගොස් නිධන් කොට ස්වාමීනි, මෙය බලාගත මැනැවැ’යි තවුසාට භාරකළේය.තවුසා එහි නොකැමැත්තක් ව්‍යාජ ලෙස පළ කළ නමුදු ඔහු තුළ එය වංචාවෙන් ගැනීමේ අදහසක් උපනි. හෙතෙම දින ගණනාවක් අසපුවෙහි වැස රන් මැණික් පොදිය සොරාගෙන අන් තැනක සගවා නැවත එක් දිනක් පන්සලෙහි ම වැස දෙවන දින කෙළඹි පුත් නිවෙසට ගොස්, “උපාසකයෙනි, ඔබ නිසා අප මෙහි බොහෝ දවස් විසුවෙමු. එහෙත් තව දුරටත් විසීම තවුසෙකුට නොගැළැපෙයි. එබැවින් අන් තැනක යන්නේ මැයි දන්වා උපාසකයා වළක්වද්දී ම නික්ම ගියේය. නැවත මේ කෙළෙඹියා රවටමි” යි මද දුරක් ගොස් ආපසු පැමිණ, “මගේ ජටාවේ ඔබේ තණ පතක් රැඳී තිබේ. එය ගැනීම සොරකමක් වේ.ආපසු දීමට ආමියි” කියා කලින් ජටාවෙහි රඳවා ගත් තණ පතක් දී, නොදැන හෝ නුදුන් දේ නොගන්නා තරම් තමා සිල්වත් යැයි ව්‍යාජ ලෙස ඇගවීය. කෙළෙඹී තෙම තවුසාට තවතවත් පැහැදුණේය.

පසල් දනව්වකට යන බෝධි සත්වයන් ඒ කෙළෙඹී නිවෙසට පැමිණියේ මේ අතරම ය. තවුසාගේ පුවත ඇසූ හෙතෙම,මොහු විසින් යම් සොරකමක් කරන්නට ඇතැයි සැක කළේය. හෙතෙම කෙළෙඹියා විමසා ඔහු විසින් තවුසා බාරයේ රන් මැණික් පොදිය තබන ලද පුවත අසා, ඒවා එහි තිබේ දැයි දැන් ගොස් බලව‘ යි කෙළෙඹියා පිටත් කළේය. හෙතෙම ගොස් බලා වස්තුව එහි නැතැ’යි දැන්වීය. ‘සබඳ තවුසා හැර අනෙකෙක් මෙය නොගත්තේය. එව‘යි කැඳවා ලුහුබැඳ ගොස් ජටාධර තවුසා අල්වාගෙන ඔහු අත තිබූ සොරකම් කළ ඒ වස්තුව ආපසු ගෙන දුන්නේ ය.

විවෘත චරිතයකින් යුක්තව අව්‍යාජ ගති පැවැතුම් ඇතිව ක්‍රියාකිරීම වූ කලී බුද්ධචරිතයෙහි විශිෂ්ට ලක්ෂණයකි, ශ්‍රේෂ්ඨ ආදර්ශයකි. සිය ශ්‍රාවකයන් විසින් තමන් වහන්සේගේ කායික හා වාචසික සමාචාරයන් විමසා පිරික්සා බලනු ලැබීම උන්වහන්සේ අපේක්‍ෂා කළසේක. බුදුදහම එහි පස්සිකය. එව බලව‘යි දැක්විය හැක්කේය. මේ අනුව ද කිව යුත්තේ බෞද්ධකම යනු කවර හැටියෙකින්වත් කුහකකම නොවන බවයි.විවෘත වූ අව්‍යාජ වූ චරිතයක් ඇත්තෙකු වීම මැ නිබඳව ම බුදුදහමෙන් අගය කරන ලද බවයි. චරිත සංවර්ධනය, මානසික දියුණුව හෝ ප්‍රඥා ප්‍රතිලාභය පිළිබඳ අපේක්‍ෂාවන් නැතිවම බුදුදහම වෙත එළැඹෙන්නෝද දක්නා ලැබෙති. ඔවුන්ගේ අරමුණ පින් දහම්, ගුණ දහම් දියුණු කර ගැනීම හෝ සසර දුකින් මිදීම නොවේ. ලාභ ප්‍රයෝජන උපයා ගැනීමය. කීර්ති ප්‍රශංසා ලබා ගැනීම ය. සමාජය තුළ කැපී පෙනීමය. අන් අය අභිභවා යෑමය. එබඳු නොදියුණූ අපේක්‍ෂාවන් නිසා ම මිනිස්සු කුහක පැවැතුම් ඇත්තෝ වෙති. සුත්ත නිපාතයේ පාරායන වග්ගයද එබඳු තවුසකු ගැන සඳහන් කරයි. එදා මෙන් ම අද ද එබන්දෝ ගිහි, පැවිදි දෙපක්‍ෂය අතරම දක්නා ලැබෙති.

ගිහි, පැවිදි සිය ශ්‍රාවකයන් නිබඳව ම වංක, සටකපට ව්‍යාජ ගතිපැවැතුම්වලින් තොරව අවංකව,ඍජුව ක්‍රියා කරනු දැකීම බුදුරදුන්ගේ අපේක්‍ෂාව වූයේය. උජු ගුණය එනම් ඍජුව, අවංකව කෙළින් ක්‍රියා කිරීම, සුජු ගුණය එනම් වඩාත් ඍජුව වඩාත් අවංකව ක්‍රියා කිරීම කරණීය මෙත්ත සූත්‍රය අවධාරණය කරයි. සැබැවින්ම ශාන්තපද සංඛ්‍යාත නිවන් අවබෝධ කරනු කැමැති පුද්ගලයා තුළ තිබිය යුතු ගුණදක්වන එම සූත්‍රය එකී ඍජු බව ද අවශ්‍යයෙන්ම ප්‍රකට විය යුතු බව සඳහන් කරයි. උජුපටිපන්න බව අවංකකම,ඍජුව ම නිවන් අරමුණු කොටගත් පිළිවෙතට පිළිපන් බව සඟරුවනේද ගුණයකි. ඒ අනුව උගුරට හොරා බෙහෙත් කන්නාක් මෙන් හෘද සාක්ෂියට එකඟ නොවූ ඇතුළු හදවතින් ම මතුනොවන සංවර බවක් ශීල ගුණයක් පිටතින් පමණක් මවා පෙන්වීම වංක බවකි,රැවටිල්ලකි .එය එක්තරා සටකපට මායාවක් පමණි.

ශීලය යනු හුදෙක් බාහිර සංයම මාත්‍රයක් නොවේ. කයෙන් හා වදනෙන් පමණක් ම ප්‍රකට විය යුතු තැන්පත් කමක් ද නොවේ. එය සිත් පත්ලෙන් ම උපදවා ගත යුත්තකි. සතුන් මැරීම ආදියෙන් වළකින්නහුගේ ද,වත් පිළිවෙත් ආදිය පුරන්නහුගේ ද චේතනාදිය ශීල නම්වේ යැයි විශුද්ධි මාර්ගයද උගන්වයි. සාමාඤ්ඤ ඵල සූත්‍රාදියෙහි ද දැක්වෙනුයේ හුදෙක් පර පණ නැසීම් ආදියෙන් වැළැකීම, පර පණ නැසීම් ආදිය අත් හැරීම, පර හිංසාව පිණිස දඬු මුගුරු අවි ආයුධ භාවිත නොකිරීම ආදි බාහිර ශික්‍ෂණයද සමග සියලු සත්වයනට මෙත් කරුණා ඇතිව හිතානුකම්පි වීම,එනම් ආධ්‍යාත්මිකවද ශික්‍ෂණයක් සංවර්ධනයක් ඇති බව ශීල යන්නෙන් අර්ථවත් වන බවයි. ශීලය යනු පිටතින් පමණක් මවාගත් වංචනික කුහක පිළිවෙතක් නොවේ. එය ඇතුළු හදවතින්ම සිත් පත්ලෙන්ම උපන්නක් විය යුතුය. ආධ්‍යාත්මික සංවර්ධනය සමඟ එක් නොවූ ශීලය හුදු වතක් පමණි. ඒ වූකලී සංයීජනයකි; සසරට ම බැඳ තබන රැහැනකි.