Print this Article


මාර විෂය පැරද වූ තථාගත සම්බුදු හිමියෝ

මාර විෂය පැරද වූ තථාගත සම්බුදු හිමියෝ

යස්ස ජිතං නාවජීයති
ජිතමස්ස නොයාති කෝචි ලෝකේ
තම්බුද්ධමන ගෝචරං
අපදං කේන පදේන නෙස්සථ
යස්ස ජාලිනී විසත්තිකා
තණ්හා නත්ථි කුහිඤ්චි නෙතවෙ
තම්බුද්ධමන්ත ගෝචරං
අපදං කේන පදේන නෙස්සථ
( ධම්මපද බුද්ධ වග්ග 1 – 2 )

යම් සම්මා සම්බුදු කෙනෙකුන් විසින් සෝවාන් ආදී මඟ ඵල පිළිවෙළින් නසන ලද කෙලෙස් නැවත කිසි කලෙකත් හට නොගන්නේ ද, දිනූ කෙලෙස් නැවත කිසි කලෙකත් පසු පස ලුහු නොබඳනේ ද, අනන්ත ගෝචර ඇති කෙලෙස් පද කිසිවෙකුත් නැති ඒ සම්බුදුරජාණන් වහන්සේ කවර පදයකින් ගෙන යන්නහු ද ?

යම් සම්මා සම්බුදු කෙනෙකුන් හට සියල්ලන් පටලවා අල්වා ගත හැකි ජාලයක් වැනි විස ඵල ඇති හෙයින් විසත්තිකා නම් වන තණ්හාව නැත්තේ ද අනන්ත ගෝචර ඇති කෙලෙස් පද කිසිවෙකුත් නැති ඒ සම්බුදුරජාණන් වහන්සේ කවර පදයකින් රැගෙන යන්නහු ද?

මේ ඉහත සඳහන් ගාථා යුග්මයෙහි කෙටි සරල අර්ථය යි. මෙය තථාගතයන් වහන්සේ විසින් එක් වරක් නොව වෙන් වෙන් අවස්ථා දෙකකදී දෙවරක්ම වදාළ ධර්මයකි. එය සරලාර්ථ වශයෙන් මෙසේ සැලකිය හැකි වුව ද එයින් අපට පැහැදිලි කොට ඇත්තේ ලෝක විෂයත් බුද්ධ විෂයත් අතර පවත්නා ගැඹුරු දුරස්ථ භාවය යි. මෙම පරතරය තේරුම් ගැනීම සඳහා එය දේශනා කිරීමට පාදක වූ අවස්ථා දෙක මඳක් සලකා බැලීම ප්‍රයෝජනවත් වෙතැයි සිතමි. එනිසා ප්‍රාසාංගික වශයෙන් ඒ ගැන කෙටි සටහනක් තබමි.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුදු බව පතා අභිනිෂ්ක්‍රමණය කළ තැන් පටන් ම ඊට එරෙහි වූ මාරයා උන්වහන්සේ එයින් වළක්වාලීම ද, උන්වහන්සේගේ අඩුපාඩු සොයමින් දිගට ම ක්‍රියා කළ සැටි ද සංයුක්ත නිකාය ‘ මාරසංයුත්තයෙන්’ අනාවරණය වේ. ඒ අනෙකක් නිසා නොව මාර විෂය, මාර පාෂ, මාර බන්‍ධන, මාර සේනා නමින් හැඳින්වෙන ලෝක විෂය වෙත ඇදී යන සත්ව ප්‍රජාව කෙලෙස් වලින් ඉවත් වන්නට පටන්ගත හොත් තම ක්‍ෂේත්‍රය දුර්වල වන නිසාය.

නමුත් මාරයාගේ උත්සාහ නිරර්ථක විය. ඔහු පරාජයට පත්විය. මේ පරාජය ඔහු විසින් පිළිගෙන ඇත්තේ දිය විලක පිහිනමින් සිටි කකුළුවකු දියෙන් ගොඩ ගෙන අඬු කඩා දැමුවහොත් නැවත දියට දැමීමත් පිහිනන්ට ආභව්‍ය වන්නාක් මෙනැයි ‘ මාර සංයුත්තයේ’ සඳහන් වේ. මාර විෂය දියවිලෙහි පිහින පිහිනා පසුවන කකුළුවන් වැනි සත්ත්වයන්ගේ කෙලෙස් අඬු නැසීමට හේතුවන බුදු දහම නිසා තම විෂය පථයට සිදුවන හානිය දකිමින් මාරයා වඩ වඩාත් දුකට දොම්නසට වේදනාවට පත් විය. වේදනා බරිත මාරයා දුටු ඔහුගේ දියණිවරුන් වූ තණ්හා, රති, රගා යන තිදෙනා ‘ පියාණෙනි, කනස්සලු වන්නට එපා අපි වල් අලියෙකු පොලඹවා ගෙන එන ඇතින්නක් මෙන් ශ්‍රමණ භවත් ගෞතමයන් පොලඹවා ඔබ වෙත ගෙන එන්නෙමු” යි කීය.

නමුත් මාර විෂය ඉක්මවා අර්හත් සම්‍යක් සම්බුද්ධත්වයට පත් ඒ සිද්ධාර්ථ ගෞතමයන් පොලඹවා ගැනීමට සිතීම අසාර්ථක ප්‍රයත්නයක් බව මාරයා පෙන්වා දුන්නේ ය. මාර සංයුත්තයෙන් ප්‍රකාශ වන පරිදි මාරයා එය දුටුවේ මෝඩයෙක් කුමුදු නාලයකින් පර්වතයක් තල්ලු කිරීම, නියපොත්තෙන් ගලක් හෑරීම, දත්වලින් යකඩ කෑම, පර්වතයක් දෑතින් හිසට ඔසවා ප්‍රපාතයට විසි කිරීම වැනි අර්ථ ශුන්‍ය නිෂ්ඵල මෝඩ ක්‍රියාවක් ලෙසිනි. එහෙත් මාරයාගේ කීම් කිසිවෙකුත් ගණනකට නොගත් මාර දූවරු තමන්ගේ අභිරූප ලාවන්‍යයෙන් අභිමානයට පත්ව යොවුන් තරුණ ජවයෙන් උදම්ව බුදුරදුන් වසඟ කිරීම පිණිස උන්වහන්සේ වසන තැනට ගියහ.

ඒ වන විට බුද්ධත්වයට පත්ව සිටි භාග්‍යවතුන් වහන්සේ බෝමැඩ අසල සත්සති ගෙවමින් පස්වන සතිය අජපල් රුක් මුලෙහි සුවයෙන් වැඩ සිටියහ. එහි පැමිණි මාර දූවරුන් විවිධ වේෂ විලාශ දක්වමින් නානා රංගනයන්හි යෙදෙමින් හද බැඳගන්නා පෙම් බස් දොඩමින් භාග්‍යවතුන් වහන්සේ පොලඹවා වසඟයට ගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක නිරත වූහ. ඔවුන්ගේ ඒ නිසරු අසාර්ථක ව්‍යායාමයෙන් අරහත් තථාගතයන් ඇද බැඳ ගැනීමට කිසිසේත් නුපුළුවන් බව පෙන්වා දෙමින් ප්‍රථම වරට මේ ගාථා දෙක භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

දෙවැනිව ‘ මාගාදි’ නම් බමුණෙකුගේ ඉල්ලීමක් මුල් කොටගෙන මේ ගාථා යුග්මය දෙසූ බව සඳහන්ව ඇත. කුරු රට විසූ මහා ධනවත් බමුණෙකුට අතිශයින් සුරූපී මාගන්දියා නම් දියණියක් වූවාය. ඇගේ රූ සපුවට වසඟව ඇය පාවා ගැනීමට බොහෝ රජ, සිටු, ඇමැතියන් නන් දෙසින් පැමිණිය ද ඒවා ඉටු නොවුණේ ඔහුගේ දියණියට ඊට වඩා රූප සම්පන්න පුරුෂයෙකු පැතූ හෙයිනි. දිනක් බුදුරදුන් දුටු බමුණා මේ නම් තම දියණියට ගැළපෙන එකම පුරුෂයා බව සිතා බිරිඳත්, දියණියත් කැටිව බුදුරදුන් හමුවට පැමිණ සියලු සම්පත් සමඟ තම දියණිය පාවා ගන්නා ලෙස අයැද සිටියේ ය. රහතුන්ගේ ලෝකයත්, පුහුදුන් මිනිසුන්ගේ ලෝකයත් එකක් නොව දෙකක් වන අතර ඔවුනතර ඇත්තේ දෙවැදෑරුම් පැවැත්මක් බව පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ එහිදි ද මේ ගාථා දෙක වදාළහ.

පුහුදුන් බවේ සිට ප්‍රධන් වීර්ය ය වඩන බෝසත්වරු මඟ ඵල පිළිවෙළින් නැසිය යුතු කෙලෙසුන් නසා අරහත්වයට පත්වෙති. අරහත්වය ලත් උතුමන්ට ඒ ඒ මාර්ගයෙන් නැසූ කෙලෙස් නැවත කිසිදා උපදින්නේ වත් පසුපස ලුහුබඳින්නේ වත් නැවත වෙහෙස ගෙන නැසිය යුතු වන්නේවත් නොවේ. මක් නිසාද ? ඒ කෙලෙස් ඒ වෙලාවට පමණක් හෝ තාවකාලිකව ටික කලකට හෝ නසා දැමීමක් හෝ නොව සහමුලින් උදුරා දැමීමක් වන හෙයිනි. එහි තත්ත්වය පැහැදිලි කරන ධර්ම විස්තර වන්නේ එය තල්ගසක කරටිය කැපීම වැනි බවය. නැවත ඒ ගස ලියැවීමක් නැත. මතු ඒ ගස ඉපදීමක් නැත. රහතුන්ගේ කෙලසක්‍ෂය එබඳුය. ලෝභ, දෝෂ, මෝහ යන ක්ලේශ මූලයන් තල් ගසේ කරටි කපන්නාක් මෙන් සිඳ දැමීමෙන් පසු ඒ උතුමන්ට ඒවා ඇති මිනිසුන් සොයනු ලබන දේ කිසිවක් සොයන්නේ හෝ ලබන්නේ නැත. තෘෂ්ණක්‍ෂයෙහිම පමණක් එනම් නිවී සැනසීමෙහිම වසති. සියලු සෙවීම් බැඳීම්වලට මුල්වන තණ්හාව නැති විට කෙලෙස් පද නැති විට ඒ වීත රාගියා කිසිවෙකුටත් තම තමන්ට ඕනෑ පරිද්දෙන් මෙහෙය වීමට, ගෙනයාමට නුපුළුවන. අර්හත් සම්මා සම්බුද්ධත්වය මෙය බැවින් පුහුදුන් ලෝක විෂය තුළ සැරි සරන කිසිවෙකුට අනන්ත බුද්ධ විෂයෙහි සැරි සරන අර්හත් සම්මා සම්බුදුරදුන් වසඟ කළ නො හැකිය. මාර පරාජය මාර දූ පරාජය, මාගන්දියා පරාජය යන හැම සිද්ධියකම අන්තර්ගතය නම් කෙලෙස් භරිත, කෙලෙස් සහිත ලොව කිසිවෙකුටත් ලෝක විෂය ඉක්මවූ බුදුරජාණන් වහන්සේ යළි කවදාවත් ඔවුන්ගේ ලොවට කැඳවිය නොහැකිය. ඔවුහු ලෞකිකයෝ ය බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සේක.

“දියෙහි හටගත් සුගන්ධවත් මනරම් පියුම දියෙහි නොඇලෙන්නාක් මෙන් ලෝකයේ උපන් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි නො ඇලෙති. ලෝකය සමඟ ඇල්මෙන් වෙන්වෙති” යන අංගුත්තර නිකායේ ඡක්ක නිපාත නාග සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මේ බව පහදා දුන් සේක.

මෙසේ හෙයින් කවරම මාර බන්ධනයකින් නමුත් ඇද බැඳගෙන යාමට උපකාර වන කෙලෙස් පද කිසිවක් තබා කෙලෙස් වසනා කිසිවක් ද නැති අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වාසනා සකල ක්ලේශයන් ප්‍රහීණ කළ හෙයින් ලෝක විෂය වෙත යළි කැඳවීම ‘ දතින් යකඩ කෑම බඳුය” යන මාරයාගේ කීම තහවුරු කරති.

සියලු පීඩනවල හේතුව වූ තණ්හාව සියල්ලන් ඇද බැඳ කොටු කරන දැලක් හා සමාන හෙයින් ජාලිනී නමින් හැඳින්වෙති. විස මලක්, විස ගෙඩියක්, විස දෙයක් මෙන් අනතුරක්ම, විපතක්ම ගෙන දෙන හෙයින් විසත්තිකා යන නමින් ද හැඳීන්වේ. මෙය ධර්මයෙහි ඉගැන්වෙන පරිදි ‘පොනොභවික ශක්තිය’ එනම් පුනබ්භවාභිනිබ්බත්ති’ නම් වූ නැවත හට ගැනීමේ, ඉපදවීමේ ශක්තියෙන් යුක්තය. එසේම එහි භවය පිළිබඳ සතුටක් ඇල්මක් යන ලක්‍ෂණ දැකිය හැකි ය. එහෙයින් භවය අභිනන්දනය කරයි. එහෙයින් සත්ත්වයන් නොසිඳෙන සන්තතියක් ලෙස සසර හසුරුවයි. ඒ ශක්තිය සිඳ දමන ‘ තල්ගසක කරටිය කපන්නාක් මෙන්’ නැති කරන උතුමන්ට පමණක් එබඳු සැරි සැරීමක් නොවන්නේය.

තෘෂ්ණා පරවශව කාම සම්පත් පසු පසම දුවමින් එහි ඇලී ගැලී කිඳා බැස ජීවත්වීමේ ව්‍යසනකාරී බව පෙන්වා දෙන බුදුදහම ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප නොකරයි. කාමයන් හී ආදීනව දකිමින් ඒ හේතුවෙන් වරදකට, පීඩාවකට හසු නොවන සේ ලෝක ජීවිතය පැවැත්වීම සඳහාම ධර්මය දේශනා කරන බව බුදුරජාණන් වහන්සේම වදාරා තිබේ. මජ්ඣිම නිකාය උදුම්බරිත සීහනාද සූත්‍රයෙහි ‘ ඉතා පැහැදිලිව මෙසේ දක්වා ඇත.

“මා දේශනා කරන ධර්මය, සිත් කෙලෙසෙන, පුනර්භවය ඇති කරන, කෙලෙස් පීඩා ඇති, දුක් විපාක ගෙනදෙන, තවමත් බැහැර වි නැති අකුශල ධර්ම බැහැර කොට මේ දහම පිළිපැදීමෙන් සිත පිරිසුදුව ප්‍රඥාව දියුණු වී විපුල බවට, උතුම් බවට පත්වීම සඳහා ය.”