Print this Article


කර්මය තෝරා ගැනීමකි විපාකය එහි ඵලයයි

කර්මය තෝරා ගැනීමකි විපාකය එහි ඵලයයි

“මානවකය, සත්වයෝ කර්මය ස්වකීයකොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ, කර්මය බන්ධු කොට ඇත්තාහ. කර්මය මේ හීන ප්‍රණීතතාව පිණිස සත්වයන් විභාග කෙරේ.

(මජ්ක්‍ධිම නිකාය -චුල්ලකම්මවිභංග සූත්‍රය)

තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නඟන ලද ප්‍රශ්නයකට බුදුන් වහන්සේගේ පිළිතුර ඉහත දක්වන ලදී. මෙලොව උපන් සත්වයන් ආයුෂ, නිරෝගි බව, වර්ණවත් බව, මහේශාඛ්‍ය බව, භෝගවත් බව,කුලීන බව සහ ප්‍රඥාවත් බව යන සම්පත් සතෙහි අඩුවැඩිවීම පදනම් කොට බෙදා වර්ග කළ හැකි බව පෙනේ. මෙකී සම්පත්වල අඩු වැඩි බව මත සත්වයන් අතර පරතරයක් නිර්මාණය වෙයි. මෙයට හේතුව කවරේදැයි බුදුහිමියන්ගෙන් විමසයි. සුභගේ ප්‍රශ්නයට බුදුරදුන් දුන් ඉහත පිළිතුරු ඉතා සංක්‍ෂිප්ත වූවකි. එබැවින් ඔහු එය විස්තර කරදෙන ලෙස අයැදියි.ඒ අනුව බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ ස්වකීය ප්‍රකාශය විස්තර කරන සේක.

සත්ව ඝාතනය අකුසල කර්මයක් වන අතර අල්පායුෂ්කභාවය එහි විපාකයයි. සත්ව ඝාතනයෙන් වැළැකී සත්ව ජීවිත ආරක්‍ෂා කිරීම කුසල පක්ෂයේ කර්මයකි. එහිම විපාකය දීර්ඝායුෂ්ක භාවයයි. සත්ව හිංසාව අකුසල කර්මයක්. බොහෝ ආබාධ සහිත බව එහි ඵලයයි. එසේම සත්ව අවිහිංසාව කුසල කර්මයක් වන අතර අල්පාබාධා වත් වීම එම කුසල කර්මයට ලැබෙන විපාකයයි. තවදුරටත් දක්වන්නේ නම් ක්‍රෝධය අකුසල කර්මයකි. දුර්වර්ණ බව කර්ම ඵලයයි. එසේම යමකු ක්‍රෝධ නොකරන්නේ නම් එහි විපාක වශයෙන් වර්ණවත් බව හිමිවේ. අල්පේශාඛ්‍ය බවට හේතුවන්නේ ඊර්ෂ්‍යාවය. ඊර්ෂ්‍යා නොකිරීමේ කුසල කර්මයෙහි විපාක වශයෙන් මහේශාඛ්‍ය බවට හිමිකම් කියයි. තවද මසුරුකම අකුසල කර්මයකි. එහි විපාක වශයෙන් දිළිඳුවේ. දන්දීම කුසල කර්මයකි. පොහොසත් වන්නේ එසේ දන් දුන් අයයි. යමකු අධික මානයෙන් යුක්ත වේ නම් හෙතෙම හින කුලයන්හි උපත ලබන අතර නිහතමානී බවෙහි විපාක වශයෙන් උසස් කුල උපත හිමි වේ. නුවණැත්තන් ඇසුරු කොට හොඳ නරක නොවිමසීම අකුසල කර්මයකි. දුෂ්ප්‍රාඥ බව එහි ඵලයයි. නුවණැත්තන් ඇසුරු කොට හොඳ නරක උගෙනීමෙහි කුසල විපාක වශයෙන් ප්‍රාඥ බවට පත්වේ.

ඉහත සඳහන් අකුසල පක්ෂයේ කර්ම කරන්නා යම් හෙයකින් මරණෙන් මතු දුගතිගාමි නොවී මිනිසත් බව ලබාගන්නේ වුවද අකුසල විපාක ලබයි. කුසල පක්ෂයේ කර්ම කරන්නා මරණෙන් මතු සුගතිගාමී වෙමින් මිනිසත් බව ලබාගත හොත් ඉමහත් කුසල විපාක ලබයි.මේ අනුව, අපගේ පරිහාණිය හෝ දියුණුව අපේම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකි. භවගාමි සත්වයාගේ පරිහාණියේ ඉහළම තැන සතර අපායයි. භවයෙහි සරන අතර සුගතියක උපත ලැබීම විශිෂ්ට ජයග්‍රහණයකි.

අප කය, වචන සහ සිත යන තුන් දොරින් කරන,කියන, සිතන දෑ ලෝභයේ, ද්වේශයේ හෝ මෝහයේ බලපෑමට යටත්ව සිදුකරන කල්හි අපායගාමි වීමට හෝ නොඑසේ නම් මනුෂ්‍ය භාවයට පත් වූයේ වුවද විවිධ අඩුලුහුඬුකම්වලට මුහුණදීමට හෝ සිදුවන බව පැවසිය හැකිය. අලෝභ, අද්වේශ,අමෝහයන්ගේ බලපෑමට යටත්ව තිදොරින් ක්‍රියා සිදුකරන කල සුගතිගාමී වීමට මඟ පෑදෙයි. ලෞකික සැප සම්පත් ළඟා කරදීමට එම කුසල ක්‍රියා ආධාර වන බව ඉහත කී විස්තරයේ සාරාංශයයි.

මතුපිටින් මෙම ඉගැන්වීම දෙස බලනවිට සියල්ල කර්ම විපාකයක් ලෙස පිළිගැනීමට සිදුවන බව පෙනේ.එසේ කර්ම විපාක ලෙස සියල්ල සිදුවන්නේ නම් අපට අපගේ ජීවිතය පිළිබඳ පාලනයක් නොමැතිද? බුදුදහම ඒක හේතුවාදයක් නොවේ. කර්මය ප්‍රබල හේතුවක් වුව ද එය සියල්ල පාලනය කරයි යන කියමන සත්‍ය නොවේ. කර්මඵල ලෙස රෝගීවන අයකු හට ප්‍රතිකාරයකින් රෝග නිවාරණය කරගත නොහැකිද? පෙර කරන ලද කර්මයක ප්‍රතිඵල ලෙසද රෝග හටගන්නා අතර එය රෝගකාරක හේතු අතර එකක් පමණි. වර්තමාන කර්ම නිසා ද රෝග හටගත හැකිය. එසේ හටගත් රෝග වුවද කර්ම විපාක අවසන් වන විට සුවකරගත හැකිය. දුර්වල අකුසල කර්ම විපාකයක් ප්‍රබල කුසල කර්මයක විපාකයේ බලපෑම නිසාද, දුර්වල කුසල කර්ම විපාකයක් ප්‍රබල අකුසල කර්මයක විපාකයේ බලපෑම නිසාද වෙනස්විය හැකිය. කාලය වශයෙන් හෝ ශක්තිය වශයෙන් එක කර්මයක විපාකයක් වෙනත් කර්ම විපාකයනට බලපෑ හැකිය. එනිසා කර්මය හා එහි විපාකය පිළිබඳ විස්තරය එතරම්ම සරල ලෙස දැක්විය නොහැකිය.

බුදුරජාණන් වහන්සේ සහ සුභ මානවකයා අතර වූ මෙම සාකච්ඡාවේ වැදගත් කරුණක් වන්නේ කර්ම විපාකයක් විඳින්නාට එය වෙනස්කර ගැනීමේ මාර්ගයද එහි සඳහන් වීමයි. අකුසල කර්ම කරන්නේත් කුසල කර්ම නොකරන්නේත් ප්‍රඥාව නොමැතිකමෙනි. ප්‍රඥාව ලබාගත හැක්කේ නැණවත් සද්පුරුෂ ආශ්‍රයෙනි. නැණවත් අය ඇසුරෙන් හොඳ නරක ඉගෙන, හොඳ දේ පුරුදු කිරීමෙන් දියුණුව සලසා ගැනීමට පුළුවන. කර්ම විපාක වෙනස් කර මේ පදනම සකස් කරගත හැක්කේ එලෙසිනි. නුවණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා ගොස් වරද, නිවරද, කුසල්, අකුසල් සහ ඇසුරු කළ යුතු, ඇසුරු නොකළ යුතු දේ කවරේදැයි විමසා උගෙන තමන්ගේ කර්ම වෙනස් කිරීමේ ශක්තිය පාදාගත හැකිය. අනතුරුව ඒ දැනුමේ ශක්තියෙන් සත්ව ඝාතනය, සත්ව හිංසාව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව,මසුරුකම, අධික මානය සහ නූගත්කම ඉවත් කිරීමට කටයුතු සුදානම් කරගත හැකිය.

මේ ක්‍රියාදාමය අනුගමනය කිරීමෙන් නරක කර්මවල නරක ප්‍රතිඵල ඉවත්කර ගැනීමටත් හොඳ කර්මවල හොඳ ප්‍රතිඵල දියුණුකර ගැනීමටත් නුවණැත්තා සමර්ථ වෙයි.අකුසල කර්මය යන අපරාධයට වෙනත් කෙනෙකුන් විසින් දෙනු ලබන දඬුවමක් ලෙස දුක්විඳීමට සිදුවන බවත්, කුසල කර්මය යන උතුම් ක්‍රියාවට දෙනු ලබන ප්‍රතිලාභය ලෙස සැප විඳීමට සිදුවන බවත් ප්‍රකාශ කිරීම කර්මය නිවැරැදි ලෙස තේරුම් ගැනීමක් නොවේ. කර්මයක් ක්‍රියාවට නංවන කායික සහ මානසික ක්‍රියාවලියේ පවත්නේ වෙනත් කාගේ හෝ ශක්තියක් නොව එකී කර්මය කරනු ලබන තැනැත්තාගේම ශක්තියයි. කර්මය අපට අයිති වන්නේද එය අපට පිහිට වන්නේද මේ ක්‍රියාවලිය හේතුවෙනි. කර්මයේ ස්වාමියා ද සේවකයා ද මේ අනුව එක් අයෙකි. ඒ කර්මය කළ තැනැත්තාමය. අකුසල කර්ම කළ ද කුසල කර්ම කළද මීළඟ භවයේ උපත තීරණය වන්නේ මරණාසන්න මොහොතේ ඇතිවන සිතිවිලි පරම්පරාවේ බලපෑම මතය. එනිසා පෘථග්ජන පුද්ගලයාගේ මීළඟ භවයේ ගති නියතියක් නොමැත.

විපාක දෙන පිළවෙළ, ආකාරය ආදි වශයෙන් අප විසින් කරනු ලබන කර්ම වර්ග කොට දැක්විය හැකිය. කර්මයේ ප්‍රතිඵල ඒ ක්ෂණයෙන්ම හෝ ඒ ආසන්නයේදි එම භවයේම විපාක ලැබෙන කර්ම දිට්ඨධම්මවේදනීය කර්ම ලෙස හැඳින්වේ. ඊළඟ භවයේදි විපාක ලබාදෙන කර්ම උපපජ්ජවේදනීය කර්මයි. සසර ගමනේදි ඉඩහසර ලත්විට විපාක ලබාදෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම ලෙස හැඳීන්වේ. වඩා භාරධූර කර්ම යග්ගරුක කර්ම ලෙසද නිතර පුරුදු කරන ලද කර්ම යබ්බහුල කර්ම වශයෙන්ද මරණාසන්න අවස්ථාවේදී සිදුකරනු ලබන කර්ම යදාසන්න කර්ම යැයිද කරනු ලබන වර්ගීකරණයද කර්මය තේරුම් ගැනීමට උපකාරී වෙයි. අරමුණ පැහැදිලි නැතිව ඉලක්ක නොගෙන තබනු ලබන වෙඩිල්ලක් සේ සිදුකරනු ලබන කර්ම කටත්තාවපන කර්ම වන අතර එහි විපාකයද එසේ දුර්වලව ,අසාරව විපාක දෙයි. කිසියම් භවයක ප්‍රතිසන්ධියට හේතුවන කර්මය වන්නේ ජනක කර්මයි. ජනක කර්මයෙහි විපාක අඩුවැඩි කිරීමට ආධාරවන කර්ම උපත්ථම්භක කර්මයි. කිසියම් කර්මයක කල්පැවැත්ම බාධාකර වළක්වන කර්ම උපපීලක කර්ම යනුවෙන්ද වෙනත් කර්මයක විපාකය සිඳ දමනා කර්ම උපඝාතක කර්ම වශයෙන්ද කර්ම වර්ග විස්තර කෙරේ. ඉහත දක්වන ලද්දේ සූත්‍රානුසාරීව කර්මය පිළිබඳ සටහනකි.

මේ අනුව සත්වයාගේ කය, වචන හා සිත යන තුන්දොරින් සිදුවන ක්‍රියාවන්ට ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුසල මූල පාදක වීම නිසා අපි‍්‍රය, අප්‍රසන්න, දුක් සහිත විපාක හිමිවේ. අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මුල පාදකව කර්ම සිදුකිරීමෙන් පි‍්‍රය, ප්‍රසන්න, සැප සහිත විපාක ලැබේ. ඒවායේ ස්වභාව හා විපාක දෙන පිළිවෙළ අනුව කර්ම වෙන්කොට දැක්වීමට පුළුවන.

සියලු පවින් වැළැකී කුසලයේ නිරතව, සිත පිරිසුදුකර ගැනීම බුදුරදුන්ගේ නිරන්තර අනුශාසනාවට ඇතුළත් වූයේද සත්වයාට සසර ගමන නවතා නිවනින් සැනසීමට මඟ, පාදාදෙනු පිණිසමය. අපේ ජීවිතය කර්මය හා අත්‍යන්තයෙන්ම බැඳී පවතී. අප සැමදෙනාටම මේ මොහොතේදි තමන් කළ යුතු කර්මය තෝරාගත හැකිය. එහි ඵලය කර්මයට අනුගත නිසා තෝරාගැනීමක් කළ නොහැකිය. සියලුදේ අනිත්‍යය යන ශ්‍රේෂ්ඨ බුද්ධවචනය අපට උගන්වන්නේ මේ ඕනෑම කර්මයක් සදාකාලික නොවන බවය. එනිසා ඒ වෙනස් කිරීමේ බලය ද මිනිස් අප සතුය.