Print this Article


ලෝකයා සමඟ විවාද නොකරන බුදුහිමියෝ

ලෝකයා සමඟ විවාද නොකරන බුදුහිමියෝ

නාහං භික්ඛවේ, ලෝකේන විවදාමි
මහණෙනි, මම ලෝකයා සමඟ විවාද නොකරමි
ලෝකෝ ච ඛො භික්ඛවේ මයා විවදති
මහණෙනි, ලෝකයා වූ කලී මා සමඟ විවාද කෙරේ
න භික්ඛවේ ධම්මවාදි කේනචි ලෝකස්මිං විවදති

මහණෙනි, ධර්ම වාදියෙක් ලොව කිසිවකු සමග විවාද නො කෙරේ

බෞද්ධ සාහිත්‍යය දෙස විමසා බලන විට අපේ බුදුරජාණන් වහන්සේට වාද විවාද හා සම්බන්ධ වූ තැන් දැකිය හැකි වේ. සච්චක කළ වාදය, නිගණ්ඨ ශ්‍රාවකයකු වූ උපාලි ගෘහපති සමග සිදුවූ සංවාදය, බක නම් බඹු සමඟ කළ සාකච්ඡාව ආදි කොට බ්‍රාහ්මණ, ජටිල, පරිබ්‍රාජක, නිගණ්ඨ ආජීවක මෙන්ම දේව ආදි පිරිස් සමඟ සිදුවූ වාද විවාද ගැන පෙළ දහමේ බොහෝ සුලබ ව දැකිය හැකිය. ඉහතින් සඳහන් මුල් ධර්ම පාඨයට අනුව එය පරීක්ෂා කරන විට පැහැදිලිව පෙනී යන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ඔවුන් පසුපස හඹා ගොස් විවාද නොකළ බවත්, බුදුරජාණන් වහන්සේ සොයා ගෙන පැමිණ කරන ලද විවාද බවත් ය. එදා බුදුරදුන් දවස නා නා විද චින්තාවන්, මතවාද, දෘෂ්ටිවාද වලින් පිරුණු සමාජයක් විය. බුදුරජාණන් වහන්සේ, මත සහ දෘෂ්ටි ඛණ්ඩනය කරමින් කරන ලද දේශනා හා කිපුනු නොයෙකුත් දෘෂ්ටි ව්‍රත දරන්නන් දණ්ඩෙන් පෙලූ සර්පයන් සේ නැගී සිටි බව නොරහසකි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ සිය කැමැත්තෙන් ලෝකයා සමඟ විවාදයට නොගියත් , ඔවුන් ඉදිරිපත් කරන මතවාද වලට පිළිතුරු දෙමින් විවාද ස්වරූපයකින් යුතු ධර්ම දේශනා ක්‍රමයක් උන්වහන්සේ ට ද අනුගමනය කිරීමට සිදුවු බව පැහැදිලිය.

අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, ධර්මවාදී කෙනෙකු ලොව කිසිවෙකු සමඟ විවාද නොකරන බවයි. ධර්මවාදී බව නම්, පුද්ගල දෘෂ්ටි මතවාද වල නොපිහිටා ධර්මතාවය මත පිහිටා කටයුතු කිරීමයි. ඒ ධර්මතාවය හේතු ප්‍රත්‍ය පදනම් වූ හේතු ඵල ඉගැන්වීමක් මත, නැතහොත් යුක්ති යුක්තතා පදනම් ව කටයුතු කිරීමෙන් තේරුම් ගැනීම හා තේරුම් කර දීමයි. බුද්ධ දේශනාව මගින් ලෝකයා යැයි ව්‍යවහාර කරන්නේ සලායතනය පදනම් කරගත් වූවකි. සලායතනය මත යැපෙන්නෝ ය. “ඡසුලෝකෝ සමුප්පන්නෝ” ලෝකය මේ හයේම උපදී, “ඡසු ඛුබ්බති සන්ථවං”ලෝකය හයෙහි ම ඇසුරු කරන්නේ ය, “ඡන්නමේව උපාදාය” හයම දැඩිව අල්වාගෙන, “ඡසුලෝකෝ විහඤ්ඤති” ලෝකයා මේ හයෙහි ම වෙහෙස වන්නේ ය, යනුවෙන් එය තහවුරු වේ. බුදුරජාණන් වහන්සේ ලෝකය නිරෝධ කළ උත්තමයන් වහන්සේ ය. උන්වහන්සේ ඒ බව හොඳින් දනී. තමන් වහන්සේගේ තරම ද, ලෝකයාගේ තරම ද හොඳින් දන්නා බැවින් උන්වහන්සේ ලෝකයා සමඟ විවාදයට නොයති. එහෙත් පෘතජ්ජන ලෝකයා දන්නේ කුමක් ද? මත දෘෂ්ටි ව්‍රත සියල්ලම නැතහොත් දෙසැටක් මිත්‍යා දිට්ඨි සියල්ලම සංගෘහිත වන්නේ මේ සලායතනය පදනම් කරගෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ලෞකික ධ්‍යාන මාර්ග ද, ඊට ඇතුළත්ය. අෂ්ට සමාපත්ති ලබාගත් පිරිස ද, ඊට අනුරූප දෘෂ්ටියකට යටත්ව වාසය කළ බව පැහැදිලි ය. සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ සමාපත්ති ලබා ගත්තත් එය තමන් වහන්සේ සොයන කුසලය නොවන බැවින් එය හැරදමා ගිය බව සත්‍යය ය.

කච්චානගොත්ත බ්‍රාහ්මණ තෙමේ බුදුරදුන් දැක සම්මා දිට්ඨි, සම්මා දිට්ඨි යැයි කියනු ලැබේ. ස්වාමීනී, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද? කච්චාන ලෝක සමුදය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නා හට ලෝකයේ යම් නාස්තිත්වයක් ඇත්ද, එය නොවේය. කච්චාන ලෝක නිරෝධය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට ලෝකයේ යම් අස්තිත්වයක් ඇත් ද, එය නොවේ, කච්චාන මේ ලෝකයා තණ්හා දිට්ඨි මාන වශයෙන් ළංවීමෙන්, අල්ලා ගැනීමෙන්, ඒවාට රිංගා ගැනීමෙන් අස්තිත්වයක් හා නාස්තිත්වයක් පවතින්නේය. තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ඒවාට ළංවීමක් හෝ අල්ලා ගැනීමක් රිංගා ගැනීමක් නොවන්නේ ද, එවිට එය නිරුද්ධ වේ. උපදින්නේ දුකම උපදී. නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ. යන්න සැක නොකොට තේරුම් ගනී. ‘ කෙනෙක් ඇත යැ’ යි පවසන්නේ ද, නැත යැ’ යි පවසන්නේ ද, දෙකම දෘෂ්ටීන් බව පැහැදිලි ය. ඇත යැයි පැවසුවේ මනසේ ම මායාවක් ම ය. නැත යැයි පැවසුවේ සැබැවින් ම ඇති දෙයක් නැති වීමක් නොව මනසේ ම මායාවේ නැති වීමයි. තථාගතයන් වහන්සේ ගේ දේශනා විලාසය ම දෘෂ්ටි අතහරින ලද මජ්ජිමා පටිපදාවයි. එය අවිජ්ජා පච්චයා යනුවෙන් පටිච්ච සමුප්පන්න ප්‍රත්‍ය පදනම් වූ දුකේ උප්පත්තිය වු පංච උපාදානස්කන්ධයේ පහළවීමත්, “ අවිජ්ජා යත්තේව අසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ” යනුවෙන් ප්‍රත්‍ය නිරෝධයෙන් දුකේ නිරෝධය හෙවත් පංච උපාදානස්කන්ධයේ ම නිරෝධය දේශනා කරන සේක.

සූත්ත නිපාතයේ ‘කලහ විවාද’ නමින් ම සූත්‍රයක්’ පවතී, ඒ සූත්‍රය පුරාම පවතින්නේ ‘කලහ විවාදයක් හටගන්නේ කුමක් පදනම් කරන්නේ ද යන කරුණු පැහැදිලි කර දීමයි. පටිච්චසමුප්පාද න්‍යායට අනුව කලහ විවාද වලට හේතුව දක්වනුයේ “පියා පහූතා කලහා විවාදා” යම් යම් ප්‍රිය වශයෙන් සැලකීම නිසා ‘කලහ විවාද’ හට ගනී. මේ කලහ විවාද සූත්‍රයේ ප්‍රිය කියන අදහස ඇති වන්නේ කොහොමදැයි ඇසූ විට එයට හේතුව හැටියට දක්වන්නේ “ඡන්ද නිදානාති පියානි ලෝකේ” ලෝකයේ ප්‍රිය කියන දේ හට ගන්නේ ඡන්දය මූලික කරගෙන ය. ඡන්දය ඇතිවන්නේ කුමක් නිසා දැ’ යි ඇසු විට සැප, දුක් වේදනා මූලික කරගෙන හට ගන්නා බවත් සැප, දුක් හට ගන්නේ කුමක් මුල් කරගෙන දැයි ඇසූ විට, ස්පර්ශය නිසා යැයි, මේ ආදී වශයෙන් දම්වැලක පුරුක් සේ එකට එක බැඳුණු ආකාරයකින් මේ කලහ විවාද සූත්‍රයේ දී අපේ බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කර ඇත. මේ සූත්‍රයේ සමස්ත සාරාංශය සැලකූ විට පැහැදිලි වන්නේ ලෝකය කලහ විවාද ඇති වන්නේ ලෝභ, ද්වේශ පදනම් කරගෙන බව ය. ලෝභ ද්වේශ දුරුවුණු තැන කලහ විවාදයෝ දුරු වෙත්. චූළවියූහ සූත්‍රයේ දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යය එකක් ම වෙයි, දෙවැනි සත්‍යයක් නැත. යම් සත්‍යයක් දන්නා පුද්ගල තෙමේ විවාද නොකෙරෙයි. මිත්‍යා දෘෂ්ටියෙන් බැසගත් තැනැත්තාහු නානා සත්‍යයක් ම කියයි.

ඉතිරි කොටස මැයි 31 වනදා පත්‍රයේ පළවේ