Print this Article


සම්මා වායාම

සම්මා වායාම

ඒ අනුව සියලු සාර්ථකත්වයන් තම තමා වෙතට පමුණුවා ගැනීමේදී බලවත්ම හේතු සාධකය රැඳී තිබෙන්නේ පුද්ගලයා තුළම ය යන්න මැනවින් අවබෝධ විය යුතුය. සංසාරගත සත්වයා පෙළන්නාවූ ජාති ජරා ව්‍යාධි මරණාදී රෝග තත්වයෙන් අත් මිදීම නම් වූ නිර්වාණාවබෝධය සඳහා ද උපයෝගී වන්නේ එකී ක්‍රමවේදය මයි

‘වායමේතේව පුරිසො - යාව අත්ථස්ස නිප්පදා’ තම පරමාරථය ඉටුකරගන්නා තෙක්ම වෑයම් අත්නොහළ යුත්තේය යන අදහස එයින් ගම්‍යමාන ය.

උසස් අරමුණක් පරමාර්ථ කොටගෙන සිටින පුද්ගලයාට බාහිර සාධකය යනු පරිසරය,හිතමිතුරන්, ගුරූපදේශ, මිළ මුදල් ආදී දේය.අභ්‍යන්තර සාධනය යනු පුද්ගලයා තුළම පහළකරගන්නා ආත්මාධිෂ්ඨානයි. උත්සාහයයි. මෙය ව්‍යායාම , වායාම වෑයම යනු ලෙසින් ව්‍යවහාරයේ පවතින්නකි. ඒ අනුව සියලු සාර්ථකත්වයන් තම තමා වෙතට පමුණුවා ගැනීමේදී බලවත්ම හේතු සාධකය රැඳී තිබෙන්නේ පුද්ගලයා තුළම ය යන්න මැනවින් අවබෝධ විය යුතුය.

සංසාරගත සත්වයා පෙළන්නාවූ ජාති ජරා ව්‍යාධි මරණාදී රෝග තත්වයෙන් අත් මිදීම නම් වූ නිර්වාණාවබෝධය සඳහා ද උපයෝගී වන්නේ එකී ක්‍රමවේදය මයි.

එකී පරම නිෂ්ඨාව සඳහා ඍජු ලෙසම පුද්ගලයා මෙහෙයවන බල ශක්තිය හඳුන්වන්නේ ‘සම්මා වායාම’ යනුවෙනි.මාර්ග සත්‍යයේ හයවැනි අංගය ලෙසින් දැක්වෙන මේ යහපත් උත්සාහය හෙවත් මැනවින් කෙරෙන වෑයම අනිත් සෑම මාර්ගාංගයක්ම සජීවිව හා ශක්තිමත්ව තබා ගැනීමට උපකාරවත් වෙයි.

බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්මදේශනාවේදී ඉදිරිපත්කොට වදාළ අංග අටකින් යුතු මාර්ග සත්‍යය ආය¸ශ්‍රාවකයෙකු විසින් අනුගමනය කළ යුතු අනිවාර්ය ප්‍රතිපදාවයි. යහපත් උත්සාහයට සම්පූර්ණ වන්නේ සතර වැදෑරුම් ක්‍රියාමාර්ගයක් මගිනි. එනම් මෙතෙක් තමා අතින් සිදු නොවුනු වැරදි දේ ඉදිරියටත් සිදු නොකර සිටීමට ඇතිකරගන්නා උත්සාහයයි. අධිෂ්ඨානයයි. එනිසා එමගින් නීතිගරුකභාවයට ද ලැබෙන්නේ පිටුබලයකි. ඕනෑම අපරාධ කාරයෙකුට, පවුකාරයෙකුට වුවද මේ පියවර අපහසු නැත.සම්‍යක් ව්‍යායාමයේ ආරම්භය සැලසෙන්නේ එසේ ය.

මෙතෙක්, තමා අතින් සිදුවෙමින් පවත්නා නරක වැරැදි පාප ක්‍රියාවන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ඒවායේ ආදීනව හා පරලොව විපාක ද ගැන කල්පනාකර එබඳු නරක ක්‍රියාවන් තවදුරටත් නොකර සිටීමට ඇතිකරගන්නා උත්සාහය හෙවත් අධිෂ්ඨානය දෙවැනි පියවරයි. උපන් අකුසල ධර්ම ප්‍රහානය පිණිස යනුවෙන් පදාගතාර්ථය අනුව නම් අකුසල ධර්ම ප්‍රහානය පිණිස ගන්නා උත්සාහය යනු අකුසලයන්ට ප්‍රතිවිරෝධි කුසලධර්ම වර්ධනය කිරීමයි. හෙවත් කුසලච්ඡන්දය උපදවීමයි.මේ පියවරේදී පුද්ගලයා සතු ආත්මශක්තිය හා ආත්ම විශ්වාසය වඩාත් තහවුරු වෙයි.

මේ බැව් ධම්මපදයේ ලෝක වග්ගයේ එන ‘ යස්සපාපං කතං කම්ම්කුසලේන පීඨියති.’ (173) යන ගාථාවෙන්ද පැහැදිළි කරනු ලැබ ඇත. තමා විසින් කරනු ලැබූ පාප ක්‍රියාවන්හි විපාක ශක්තිය වර්තමානයේ සිදු කෙරෙන කුසල ක්‍රියා මගින් වසා දැමිය හැකි ය. මෙයට නිදසුන් ලෙස දක්වා ඇත්තේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවන ප්‍රවෘත්තියයි.සම්‍යක් ව්‍යායාමයේ තෙවැනි පියවර වන්නේ මෙතෙක් තමා අතින් සිදුනොවුනු හෝ තමාට කරගන්නට අපහසු වූ යහපත් ක්‍රියාවන් සිදුකිරීමට ගනු ලබන උත්සාහයයි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වශයෙන් දක්නා වූද දස කුසල් වශයෙන් දක්නා වූද, යහපත් හා පුණ්‍යමය වූ ක්‍රියාකාරකම් රැසක් දේශනාවේ සඳහන්ය. හොඳ වැඩ අනන්තවත් තේරුම් බේරුම්කර ගැනීමට බුද්ධිමත් පුද්ගලයෙකුට අපහසු නොවෙයි. අවබෝධය මුල්කරගෙන අලුත් යහවැඩ කිරීමට යොමු කිරීමක් මේ මගින් සිදුවෙයි.

හතරවැනි අවස්ථාව වශයෙන් ගැනෙන්නේ උපදවාගන්නා ලද හා වර්තමානයේ උපදවා ගනිමින් සිටින කුසල ධර්මයන් පිරිහෙන්නට නොදී දිගටම පවත්වාගෙන යාම (ඨීතියා) නැසෙන්නට නොදී සජීවිව පවත්වාගැනීම (අසම්මෝසාය) තව තවත් වඩා වර්ධනය කිරීම (නය්‍යොභාවාය, වෙපුල්ලාය) සිහිය උපදවාගෙන සිටීම (භාවනාය පාරිපූරියා) යන කාරණයයි.

මෙම අවස්ථා හතර සම්පූර්ණවන්නේ යම් තැනකද ඒ අවස්ථාව සම්මා වායාමය සම්පූර්ණ කළා යනුවෙන් සැලකෙයි.එයින් පෙනී යන වැදගත් කරුණක් වන්නේ අනෙකුත් සියලු මාර්ගාංගයන් ලිහිල් වන්නට ඉඩ නොතබා ඇද බැද තහවුරු කොටගෙන පවත්වා ගැනෙන්නේ මේ සම්මා වායාමය මගින් ම ය යන්න යි.

මේ මාර්ගාංගය මගින් තහවුරු කෙරෙන කරුණුම සතර සම්‍යක් ප්‍රධන් සය්‍යය යන නමින්ද තහවුරු කොට තිබේ. (අංගුත්තර නිකාය 2.පධාන සුත්ත) එයින්ද පෙනීයන්නේ පරම නිෂ්ඨාව වශයෙන් ගැනෙන නිර්වාණ අවබෝධය සඳහා වන ආර්¸මාර්ගයේදී සම්මා වායාමය මගින් ඉටුකෙරෙන අවාරණීය වූ අර්ථයයි.

බෝධි සත්ව චර්යාවේ උපයුක්ත දසපාරමී අංගයන්හිලා හඳුනාගෙන තිබෙන වීය¸ පාරමිතා යනු ද මේ මිස වෙනකක් නොවේ.ආත්මභාව දසදහස් ගණනක් තිස්සේ නොකඩකොට වඩනාලද හා රක්නාලද වීය¸ය නමැති ඒ අසහාය බෝධ්‍යාංගය සිද්ධාර්ථ බෝසතුන්ගේ චරිතය තුළ මැනවින් ප්‍රදර්ශනය වූ බව කාහටත් මැනවින් පැහැදිළියි.

සම්මා වායාමයේ විස්තර වන සතර ප්‍රධන් වීය¸ය මගින් දක්වා ඇති ජීවන සැලැස්ම විශ්ව සම්භාවිත ක්‍රමෝපායක් වන බව ද මෙහිලා සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

පෞද්ගලික වූ හෝ සමාජමය වූ දුක්ඛවේදනාවන්ගෙන් මිදෙන තෙක්ම, ලෞකික වූ ලෝකෝත්තර වූත් නිදහස් දිනාගන්නා තෙක්ම වෑයම අත්නොහළ යුත්තේය. ‘විරියේන දුක්ඛංඅච්චේති ‘ යනු කී හෙයින් සියලු දුකින් නිදහස් වීම සඳහා වෙර වීරියේ හෝ වෑයම හැර වෙනත් මගක් නැත්තේ මය.