Print this Article


බෝසත් සිරිත හා අසිරිමත් බුදු සිරිත ලිපිමාලාවේ පළමු වන කොටස

අසිරිමත් බෝසත් සිරිත

බෝසත් සිරිත සහ අසිරිමත් සම්බුදු සිරිත පිළිබඳව විමසා බැලීමේදී මූලාශ්‍ර ලෙස අංශ කීපයක් පිළිබඳව සොයා බැලිය හැකිය.

ඉන් පළමුවැන්න නම් ත්‍රිපිටක මූලාශ්‍ර වේ. අනතුරුව අටුවා ගත මූලාශ්‍ර සහ ප්‍රකරණ සාහිත්‍ය සහ ප්‍රකරණ සාහිත්‍ය හරහා ලියැවෙන සිංහල අමාවතුර, බුත්සරණ ආදී ග්‍රන්ථ පිළිබඳව විමසා බැලිය හැකි වේ.

විශ්වසනීය වූ බුද්ධ චරිතයක් සොයා යන විට ඉතා වැදගත් වනුයේ ත්‍රිපිටකය වේ. එහිදී අපට ‘අරියපරියේසන සූත්‍රය’ ඉතා වැදගත් වේ. එම අරියපරියේසන සූත්‍රය’ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය,අභිනිෂ්ක්‍රමණයට බලපවත්වන ලද මූලික හේතු සාධක ඇතුළත් වේ.

සම්බුදු සිරිත පිළිබඳව කල්පනා කිරීමේදී චුල්ලවග්ග පාලියේ මහා කන්දකය ඉතා වැදගත් වනුයේ බුදුසිරිතේ ප්‍රාරම්භක අවස්ථාව පිළිබඳව සොයා බැලීමට ඉතා වැදගත් වේ.

එමෙන් ම එදා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විවිධ ස්ථානවලදී සඳහන් කරන ලද ප්‍රකාශ සඳහන් වේ. අරියපරියේසන සූත්‍රය පිළිබඳ විමසා බලන විට එහිදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව එක් අවස්ථාවක සඳහන් කරනුයේ ‘එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි දිනක් බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර පිණ්ඩපාතයේ වැඩම කළා. පිණ්ඩපාතයේ වැඩමවා ජේතවනාරාමයට වැඩම කළ බුදුපියාණන් වහන්සේ මට (ආනන්ද හාමුදුරුවන්ට) දේශනා කරනවා ආනන්ද, මිගාර මාතු පාසාදය පිහිටි ස්ථානයට අපි යමු යනුවෙන් උන්වහන්සේ වදාළහ . මිගාරමාතු පාසාදයට වැඩම කරවා එහිදී බුදුරජාණන් වහන්සේ සවස් භාගයේ ඵලසමවතින් නැගී සිට මිගාර මාතු පාසාදයේ (පූර්වාරාමය) විලට වැඩම කර සම්බුදු සිරුර දෝවනය කර ඒ පැන් වියැලී යන තුරු ඒකචීවරව සිට, ඊට පසුව ආනන්ද හිමියන්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා ආනන්ද,අප දැන් කුමක්ද කරන්නේද? ආනන්ද හිමියන් පවසනුයේ ස්වාමීනි අප දැන් “රම්මක” බමුණාගේ ආශ්‍රමයට වැඩම කරමු. ඒ ස්ථානයේ භික්‍ෂූන් වහන්සේ රැස් වී සිටිනවා. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසන්න. මෙවන් සිද්ධීන් පිළිබඳව විමසා බලන විට ආනන්ද හාමුදුරුවන්ගේ කථන ත්‍රිපිටකය තුළද දක්නට ලැබේ.

එසේ ත්‍රිපිටකය තුළ දක්නට ලැබෙන ආනන්ද හාමුදුරුවන්ගේ කථන තුළින්ද මුළු ත්‍රිපිටකය පිළිබඳ විචාරශීලි අධ්‍යයනයක් කළහොත් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ දින චරියාව සටහන් කර ඇතැයි කල්පනා කළ හැකිය.

ආනන්ද හාමුදුරුවෝ ලියනලද ඒ දිනපොත නැවත අපට ත්‍රිපිටකය තුළින් මතු කර ගත හැකි බවත් පෙනේ. ඒ සූත්‍ර සියල්ලම අධ්‍යයනය කිරීමෙනි.

එවගේම සුත්‍ර පිටකය විනය පිටකය මෙන්ම අටුවාවලද බෝසත් සිරිත හා බුදු සිරිත ඇතුළත් වී තිබේ.

ඉන් ප්‍රධානම එකක් වනුයේ ජාතක නිධානයයි. ජාතක නිධානය තුළ බෝසත් සිරිත ඉතා වර්ණවත්ව, ඉතා විශ්වසනීය ලෙස ත්‍රිපිටකයේ සඳහන් කරුණු භාවිතා කරමින් වසර දහස් ගණනක් ඇතුළත චිර සම්භාවිතව තිබෙන බෝසත් සිරිත තිබෙනුයේ අට්ඨකතාවල ජාතක නිධානයේ ය.

බෝසත් සිරිත පිළිබඳව කථා කරන මෙම සාකච්ඡාවේදි ඉහත සඳහන් කළ පරිදි ත්‍රිපිටක මූලාශ්‍ර අට්ඨකථාගත මූලාශ්‍ර, ප්‍රකරණ මූලාශ්‍ර භාවිතා කරන අතරම මූලිකවම ජාතක අටුවාවේ ජාතක නිධානයේ සහ බෝසත් සිරිත බෝසතාණන් වහන්සේගේ බෝසත් සිරිත සොයා විමසා බලන විට එම පිරිත තෙ කොටසකට දැක්විය හැකිය. “දූරේ නිධාන”, “අවිදූරේ නිධාන” සහ සන්තිකෙ නිධාන වේ.

දූරේ නිධාන :- ඉතා දුර සිදුවූ බෝසත් සිරිත, අවිදුරේ නිධාන නුදුරෙහි සහ සන්තිකෙ:- ඉතා ළඟ සිදුවීම් එම බෝසත් සිරිතට සම්බන්ධ වේ.

“දූරේ නිධාන” පෙන්වනුයේ බෝසතාණන් වහන්සේ දීපංකර පාද මුලයේ දී කරන ලද නියත විවරණය ලබාගත් අවස්ථාවේ සිට වෙස්සන්තර ආත්ම භාවයෙන් චුතව තුසිත පුරයේ ඉපදීම දක්වා “දුරේ නිධාන” නමින් හැඳින්වේ.

තුසින භවනෙන් චුත වූ තැන් පටන් බෝ මැඩ බුද්ධත්වයට පත්වනතාක් කාලය “අවිදුරේ (සර්වඥතාඥානය ලබා ගැනීම දක්වා) නිධාන” ලෙස හඳුන්වමු. අනතුරුව බුදුරජාණන් වහන්සේ වැඩම කළ ස්ථානවලදි සිදු වූ විවිධ සිද්ධීන් හා අවස්ථා ඇතුළත් කොටස සන්තිකෙ නිධාන යනුවෙන් විස්තර වේ.

මෙයට හාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර “අමරවතී”නම් නගරයක් විය. එහි “ සුමේධ” නම් බ්‍රාහ්මණයෙක් විසීය. මවුපිය දෙපාර්ශ්වයෙන්ම උභතො සුජාත, පිරිසුදු උපතක් ඇති සත්වන කුල පරම්පරාව දක්වා කිසි ලෙසකවත් අපිරිසුදුභාවයට පත්නොවූ, ජාතිවාදයෙන් චෝදනා නොලද, අභිරූප, මනස්කාන්ත, ප්‍රසන්න චරිතයක් ඇති,පරම රූප සෞභාග්‍යයෙන් යුත් සුමේධ’ තාපසතුමා,

සුමේධ තාපස තුමා වෙනත් කිසිවක් නොකර බ්‍රාහ්මණ ශිල්ප හැදෑරීය. සුමේධ තාපසතුමා තරුණ කල මවුපිය දෙපළ මිය යන ලදී.

ඊට පසු සුමේධ තාපසතුමාගේ අයකැමි විසින් අය පොත රැගෙන විත් රන්,රුවන්, මුතු, මැණික් මෙතරම් මෙතරම් බැගින් ඇතැයි කීය.

පිතු සන්තක ධනය මෙපමණක්ද, මාතු සන්තක ධනය මෙපමණක්ද ඇතැයි අයකැමි සුමේධ තාපස තුමාට කීය.

මේවා කුලපරම්පරාවෙන් රැගෙන ආ විශාල ධනයකි. එබැවින් පරිභෝග කරන්න යැයි කීය.

සුමේධ පඬිතුමා කල්පනා කළේ මේ ධනය එකතු කළ මගේ දෙමවුපියො එක් කහවනුවක් හෝ අරගෙන පරලොව ගියේ නැත. ඒ නිසා මේවා මහා අසාරවත් දේවල් වේ. මේවායෙහි ගැනීමට සාරයක් නැත. ඒ නිසා මා මේ සියල්ලම අරගෙන යායුතු යැයි තීන්දු කළහ.

එසේ තීන්දුව අරගෙන රජතුමාට දන්වා, නගරයේ බෙර පතුරවා මහජනයා වෙත ඒ සියල්ල දන්දී තවුස් පැවිද්දෙන් පැවිදි විය.

සුමේධ තාපසයන් වහන්සේ භාවනා ආදිය වඩා ධන්‍යලාභී වෙයි. එසේ ධ්‍යානලාභී තාපසතුමා අහසෙන් යන වෙලාවේ දී “රම්ම නගරයට” දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරන දිනයක් විය.