Print this Article


මැයි මස 24 වැනි දිනයෙන් ආරම්භ වන ශ්‍රී බුද්ධ වර්ෂ 2557 රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ යුදඟනාව රාජ මහා විහාරස්ථානයේ දී ය. එම උත්සවය කරුණු දෙකක් නිසා විශේෂත්වයක් උසුලයි. එකක් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික රාජ්‍ය වෙසක් මහෝත්සවය එය වීමයි. අනෙක ලංකාවේ වෙසක් මහෝත්සව සම්ප්‍රදායයේ සමාරම්භකයා ලෙස සැලකෙන දුටුගැමුණු මහ රජතුමාගේ චරිතාපදානය හා සම්බන්ධ විශේෂිත ස්ථානයක් ලෙස ඉතිහාස ගතව පවත්නා යුදඟනා විහාර භූ®මිය ඒ සඳහා තෝරාගෙන තිබීමයි. මේ ලිපිය සැපයෙන්නේ ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බවට පත්වන්නේ ක්‍රි. පූ. 236 දී සිදුවූ මහින්දාගමනයත් සමඟ ය. බෞද්ධ සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතිය වූ දා සිට, සිංහල බෞද්ධයන් තෙමඟුල් උළෙල සමරන්නේ ජාතික මහෝත්සවයක් ලෙසිනි. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ද නොමඳ ව හිමි විය.

රජතුමාගේ මූලිකත්වය හා අනුග්‍රාහකත්වය යටතේ වෙසක් උත්සවය සැමරීමේ සම්ප්‍රදාය ආරම්භවන්නේ දුටුගැමුණු මහරජතුමාගේ රාජ්‍ය සමයේ සිට ය. ඒ බව තහවුරු කෙරෙන ඓතිහාසික සාක්‍ෂ්‍ය අප හමුවෙහි තිබේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ චරිතය හා සම්බන්ධ විශේෂ වැදගත් කමක් උසුලන යුදඟනා රජමහා විහාරස්ථානයේ දී ය.

යුදඟනාව රජමහා විහාරය පිහිටා ඇත්තේ වැල්ලවාය, මොනරාගල මාර්ගයේ බුත්තලට නුදුරු ප්‍රදේශයකය. කලකට පෙර නටබුන් ව තිබී යළි පෞරාණික ශ්‍රී විභූතිය විදහා දැක්වෙන සේ ප්‍රතිසංස්කරණය වෙමින් පවත්නා මේ පූජා භූමියෙහි, විරල ගණයේ ස්තූපයක් ඇතුළු පූජනීය ස්මාරක රාශියක් විද්‍යමාන වෙයි. මෙහි දක්නට ලැබෙන ස්තූපය ‘ කොට වෙහෙර’ නමින් හැඳින්වෙන ස්තූප ගණයට අයත් වෙයි. මෙම ස්තූපවල විශේෂ ලක්‍ෂණය නම් සාමාන්‍ය ස්තූප මෙන් ම අත්තිවාරම, පේසා වළලු සහ ගර්භය දක්වා ගොඩනගාගෙන ගොස්, ගර්භයේ හතරැස් කොටුවට පහළින් ගර්භය බැඳීම අවසන් කොට එය සමතලා මතුපිටක් ලෙස සකසා ඒ මත කුඩා ස්තූපයක් ඉදි කිරීමය. ඒ අනුව ප්‍රධාන ස්තූපයේ ගර්භය, කුඩා ස්තූපයේ පාදම බවට පත්වෙයි. දැනට තහවුරු කිරීම් සිදුවන මෙම ස්තූපයේ උස අඩි 150 ක් පමණ ද වට ප්‍රමාණය අඩි 1900 ක් පමණ ද වෙයි. ඒ අනුව, ප්‍රධාන ස්තූපයේ සුවිශාලත්වය සිතා ගන්නට පිළිවන. මේ වර්ගයේ ස්තූප ලංකාවේ දක්නට ලැබෙන්නේ ස්ථාන හතරක පමණි. ඒ යුදඟනාව, දැදිගම, දැලිවල සහ පොළොන්නරු වේ ය. මොනරාගල දිස්ත්‍රික්කයේ විශාලතම ස්තූපය මෙම යුදඟනා මහා සෑය යි. වංස කථාවල මෙම ස්ථානය හැඳින්වෙන්නේ ‘ චුල්ලංගනී පිට්ඨි’ නමිනි. යුදඟනා පිටිය යනු එහි සිංහල නාමය යි.

රාජ්‍ය උරුමය පිළිබඳ අර්බුදයක් හේතුකොට ගෙන දුටුගැමුණු - සද්ධාතිස්ස දෙබෑයන් අතර යුද්ධයක් හටගත්තේ මෙම ස්ථානයේ දී ය. සද්ධාතිස්ස කුමරු සටනින් පැරදී දිවි ගලවාගත්තේ භික්‍ෂූන් වහන්සේලාගේ උපායකිනි. යුදඟනා සෑය ඉදිකර ඇත්තේ එකී සිදුවීම සිහිපත් කරන්නට යැයි ප්‍රවාදයක් පවතී. මහාචාර්ය පරණවිතාන ශූරීන්ගේ අදහස නම්, මෙම ස්තූපය ඉදිකොට ඇත්තේ මහා පරාක්‍රමබාහු රජුගේ මෑණියන් වූ රත්නාවලී දේවිය ආදාහනය කළ ස්ථානයේ බව යි. කෙසේ වෙතත් බොහෝ දෙනා අදත් පිළිගන්නේ පළමු කී මතය යි. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වෙන්නේ එවන් ඓතිහාසික පසුබිමක් සහිත යුදඟනාව රාජ මහා විහාරස්ථානයේ යි. සෑම බෞද්ධයකු ම ශ්‍රේෂ්ඨතම ආගමික දිනය ලෙස සලකන්නේ වෙසක් පොහොය දිනය යි. වර්තමානයේ දී නිර්මල ථේරවාද ධර්මය පවත්නා එකම රට ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ ජීවත්වන බෞද්ධයන් මෙන් ම ලොව පුරා විසිරී සිටින ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධයන් ද වෙසක් දිනය අතිඋත්කර්ෂවත් ලෙස සමරන්නේ එබැවිනි.

ශ්‍රී ලාංකික බෞද්ධයනට වෙසක් උළෙල ආගමික උත්සවයකට වඩා ජාතික මහෝත්සවයක් වෙයි. ඊට හේතු රැසකි. ලාංකික සමාජයේ බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. රටේ රාජ්‍ය නායකයා සිංහල බෞද්ධයෙකි. බුද්ධාගම රාජ්‍ය ආගම වෙයි. රටේ මුල් බැසගත් සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියයි. මේ සියල්ල සමස්තයක් ලෙස ගත් කල සිංහලයා සහ බෞද්ධයා යනු දෙදෙනකු නොවේ. ඒ දෙක දෙකක් ලෙස වෙන් කළ හැකිද නොවේ.

රාජ්‍ය නායකයා බෞද්ධයකු වීම නිසාම ඉතිහාසයේ හැමදාමත් බුදු දහමට විශේෂ වරප්‍රසාද හිමි වී තිබේ. බුදු දහම රක්‍ෂණය පෝෂණය කිරීමේ භාරදූර වගකීම හා සම්බන්ධ ඓතිහාසික උරුමය රාජ්‍ය නායකයා ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇත. ඒ ඔස්සේ එක අතකින් බෞද්ධ සංස්කෘතිය තහවුරු වී ඇති අතරම අනෙක් අතින් බුදු දහමේ චිර පැවැත්ම උදෙසා රාජ්‍ය අනුග්‍රහය දැක්වීම සිංහල බෞද්ධ පාලකයන් සතු ඓතිහාසික වගකීමක් බවට ද පත්ව තිබේ. බුදු දහමේත්, ජාතියේත් බැබලීම මෙන්ම පරිහානිය ද රඳා පැවතියේ රාජ්‍ය අනුග්‍රහය මත බව ඉතිහාසය අපට කියා දෙයි. මේ තත්ත්වය තහවුරු වූයේ බුදුදහම මෙහි පැමිණීමෙන් පසුව ය. බුදු සමය ලක්දිවට පැමිණි දා සිට මේ රටේ රාජ්‍ය ආගම මෙන්ම ජාතිකාගම බවට ද පත්වූයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධ නීතිය ලංකාවේ රාජ්‍ය නීතියෙහි අනුල්ලංඝනීය කොටසක් බවට පත් වූයේය. ඒ අනුව මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වන තැනැත්තා සිංහල බෞද්ධයකු විය යුතුය යන සම්මතය ගොඩනැගිනි. මේ සම්මතය කෙතරම් දැඩි ලෙස සමාජගත විනි ද යත්, බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැරගෙන රාජ්‍ය පාලකයා බවට පත් වූ අබෞද්ධයනට පවා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ මේ සම්මතයට හිස නමන්නට සිදුවු බව අපේ ඉතිහාසයෙන් පෙනේ.

ප්‍රථම ද්‍රවිඩ ආක්‍රමණිකයන් ලෙස සැලකෙන සේන ගුත්තික දැහැමින් ( ධම්මේන ) රට පාලනය කළ බව මහාවංශය කියයි. එළාර තෙරුවන් ගුණ නොදත් නමුත් චාරිත්‍ර ආරක්‍ෂා කරමින් ( චාරිත්තමනුපාලයං ) දැහැමි පාලනයක් ගෙන ගියේය. පාරින්ද, ඛුද්ද පාරින්ද වැනි ද්‍රවිඩ පාලකයෝ බෞද්ධ ප්‍රතිපත්ති ගරු කළහ. මිථ්‍යා දෘෂ්ටික බටහිර පාලකයෝ ‘ බුද්ධ ශාසනය හා දේවාගම කඩ කළ නොහැකිව පවත්වාගෙන යාමට හා ආරක්‍ෂා කිරීම” ලිඛිත ගිවිසුම් මගින් ප්‍රතිඥා දුන්හ. හතරවන මිහිඳු රාජ්‍ය සමය වන විට, මේ රටේ රාජ්‍යයට පත්වන තැනැත්තා සාමාන්‍ය බෞද්ධයකු නොව බෝධිසත්වයකු විය යුතු බවට ව්‍යවස්ථාපිත වූ අයුරු අභයගිරි දෙවන ශිලා ලේඛනයෙහි සඳහන්ව තිබේ. මේ පසුබිම යටතේ ලාංකික රජවරු සිරිතක් ලෙස රාජ්‍යය බුදු සසුනට පූජා කළහ. දේවානම්පියතිස්ස, දුටුගැමුණු, සිරි මේඝවර්ණාභය, දෙවන අග්ගබෝධි යන රජවරු එසේ රාජ්‍යය පිදූවන් අතර වෙති. ඒ අනුව සිරිලක් බිම සම්බුද්ධ ශාසනය සන්තක දේපළකි. රාජ්‍ය නායකයා යනු එහි භාරකරුවා වේ.

රාජ්‍ය පාලනයේ ද සිංහල බෞද්ධ රජවරුන් දස රාජ ධර්මය, සතර සංග්‍රහ වස්තු, දස පුණ්‍ය ක්‍රියා ආදී බෞද්ධ සංකල්ප අනුගමනය කරන්නට පෙළඹුණහ. ඒ බුදු දහමින් ලද ශික්‍ෂණය නිසාය. අරුණට පළමු පිබිද ත්‍රිලක්‍ෂණ භාවනාවෙහි යෙදීම, දළදා වැඳීම, සිල් ගැනීම, දන් දීම, ධර්ම දානය, ගිලානෝපස්ථානය, නින්දට පෙර නව අරහාදී ගුණ මෙනෙහි කිරීම හා තිරිසන් සතුනට පවා ආහාර පාන දීම, සිංහල බෞද්ධ රජකුගේ දෛනික චර්යාව වියයුතු බව කඳවුරු සිරිත නම් පැරණි ග්‍රන්ථයෙහි සඳහන්ව තිබේ.

බුදු දහමින් ශික්‍ෂණය ලැබූ සිංහල බෞද්ධ රජවරු රත්නත්‍රය කෙරෙහි දැක්වූ ශ්‍රද්ධාව, භක්තිය කෙතරම් ද යත් තමන්ගේ නාමය පවා ඊට උචිත පරිදි සකස් කර ගත්හ. බුද්ධදාස, සංඝබෝධි, අග්ගබෝධි, මුගලන්, ධාතුසේන, මහින්ද ආදිය නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැකිය. බුදු දහමේ ආභාෂයෙන් රාජ්‍ය තන්ත්‍රය සකස් වීමේදී වැදගත් ම ලක්‍ෂණය වූයේ රාජ්‍යය හා මහා සංඝයා අතර පැවැති සමීප සබඳතාවය යි. රජතුමා රාජ්‍ය පාලනයේ දී අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලද්දේ භික්‍ෂූන් වෙතිනි. රාජ්‍යය සම්බන්ධ අර්බුදකාරී අවස්ථාවල දී භික්‍ෂූහු මැදිහත්ව සාධාරණය ඉටු කළ අතර, පාලකයෝ සංඝ ගෞරවයෙන් සංඝයාගේ තීරණ සහ විනිශ්චයන් හිස් මුදුනින් පිළිගත්හ. භික්‍ෂූන්ගේ තීරණයට එරෙහිව යාමට පාලකයෝ පසුබට වූහ.

ශාසනය ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම තමන් සතු වගකීමක් ලෙස පිළිගත් පැරණි රජවරු, ඒ සඳහා සමහර අවස්ථාවල රාජ්‍ය බලය පවා යෙදවූහ. විනය විරෝධීන් සසුනෙන් පළවා හැර කතිකාවත් පවා සම්මත කළේ ඒ සඳහා ය. වෙහෙර විහාර ඉදි කිරීම, සංවර්ධනය කිරීම හා භික්‍ෂූන්ගේ සිවුපසය පූජා කිරීම රජුන් සතුවූ තවත් වගකීමක් ලෙස සැලකින. විශේෂයෙන් ම දළදා වහන්සේ මෙරටට වැඩම කරවීමෙන් පසු එය රාජකීය උරුමයේ සංකේතය ලෙස පිළිගැණුනු අතර, රාජ මාලිගයට නුදුරින් දළදා මාලිගය ඉදිවූයේ එහි ආරක්‍ෂාව රජතුමා සතුවූ හෙයිනි. රාජධානි වෙනස්වන විට දළදා මාලිගය ද ඒ ඒ අගනුවරවල ඉදිවූ අයුරු ඉතිහාසයෙන් පැහැදිලි වේ.

වර්තමානයේ වුව ද බුද්ධාගම රක්‍ෂණය පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එක්වූ අනුල්ලංඝනීය වගන්තියක් බවට පත්ව ඇත්තේ ඉහත විස්තර කරන ලද ඓතිහාසික පසුබිම යටතේ ය. රාජ්‍ය අනුග්‍රහය මත වෙසක් මහෝත්සවයක් පැවැත්වීමේ සම්ප්‍රදාය ආරම්භ වී ඇත්තේ දුටුගැමුණු රාජ්‍ය සමයේ සිටය. ඒ බව මහාවංසයෙහි සඳහන් වන ප්‍රවෘත්තියකින් සනාථ වෙයි. දුටුගැමුණු රජතුමා වෙසක් මහා පූජෝත්සව 24 ක් කළ බව කියැවේ. වෙසක් උළෙල යෙදෙන්නේ වසරකට වරකි. ඒ අනුව වසර 24 ක් තිස්සේ එය අඛණ්ඩව පවත්වාගෙන ආ බව පැහැදිලි ය. එතුමාගේ රාජ්‍ය කාලය ද වසර 24 කි.

රාජ්‍ය අනුග්‍රහයෙන් රටේ ප්‍රධාන වෙසක් උත්සවය පැවැත්වීමේ සම්ප්‍රදාය ආරම්භ වීමෙන් පසු සෑම රජ කෙනකු ම තම රාජ්‍ය කාලයේදී ඊට ප්‍රමුඛත්වයක් දී කටයුතු කළ බව පෙනේ.

භාතිකාභය ( ක්‍රි. පූ. 21 – 07 ) රජතුමා වෙසක් උත්සව 28 ක් කළ බව මහාවංසය කියයි. එතුමාගේ රාජ්‍ය කාලය වසර 14 කි. ඒ අනුව ඔහු යුවරාජ සමයේ සිටම එය සම්ප්‍රදායක් ලෙස කරගෙන එන්නට ඇත. වෝහාරිකතිස්ස ( ක්‍රි. ව. 209 – 231 ) මේඝවණ්ණාභය ( ක්‍රි. ව. 249 – 262 ) මහා විජයබාහු ( ක්‍රි. ව. 1055 – 1110 ) මහා පරාක්‍රමබාහු ( ක්‍රි. ව. 1153 – 1186) ආදී රජවරුන් පැවැත්වූ විශේෂිත වෙසක් මහෝත්සවයන් පිළිබඳව ද මහාවංශ කතුවරයා සඳහන් කරයි. ඉතිහාසයේ අපූර්වතම පූජාවක් ලෙස සඳහන් වන මහාදාඨික මහානාග ( ක්‍රි. ව. 07 – 19 ) රජුගේ අසිරිමත් “ ගිරි භණ්ඩ පූජාව “ ද වෙසක් උත්සවයක් විය යුතු බවට මතයක් පවතී.

වෙසක් මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන ජාතික උත්සවයක් බවට පත්වීමෙන් පසු එය ජාතික සම්ප්‍රදායයක් බවට ද පත්විණ. ඓතිහාසික වාර්තා අනුව, එය අඩාලවූයේ යුරෝපීය ජාතීන්ගේ පාලන සමයේ දී ය. එහෙත්, සිංහල බෞද්ධ ප්‍රභූවරුන් සහ ජනතාව ඒ සම්ප්‍රදාය තම ශක්ති ප්‍රමාණයෙන් කඩ නොකොට පවත්වාගෙන ආ බවට සාක්‍ෂ්‍ය තිබේ. යුරෝපීය පාලකයන් නීති – රීති පැනවීමෙන් බෞද්ධ උත්සව පැවැත්වීම තහනම් කළ අවස්ථාවල දී පවා සිංහල බෞද්ධයෝ රහසිගතව හෝ ඒවා අඛණ්ඩව පවත්වාගෙන එමින් ජාතික සම්ප්‍රදායයන් යාවත්කාලීන කළහ. ඉංග්‍රීසි පාලකයන් 1815 ගිවිසුමේ දී 5 වැනි වගන්තියට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එකඟ වූයේ ද සිංහලයා තුළ පැවැති ආගමික උද්‍යෝගය ප්‍රතික්‍ෂේප කරන්නට අසමත් වූ නිසාය.

අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු මේ රටේ රාජ්‍ය පාලනයට එක්වූ සිංහල බෞද්ධ නායක කාරකාදීන් යටතේ, යටපත් වී පැවති බෞද්ධ ප්‍රබෝධය යළි ඉස්මතුවන්නට වූයේ ය. සංස්කෘතික උරුමයන් තහවුරු වන්නට වූයේ ය. ඒ අනුව අපේ සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෝ නැවතත් රාජ්‍ය අනුග්‍රහයෙන් වෙසක් උත්සව පැවැත්වීමේ සම්ප්‍රදායට අනුගත වන්නට වූහ. වර්තමානය වනවිට ගිලිහෙමින් පැවැති ඒ සංස්කෘතික සම්ප්‍රදාය ක්‍රියාත්මක ව පවතී. සමස්ත රටවාසී බෞද්ධයන් තෙමඟුල සමරා දාන ශීලාදී පින්දහම් ද සහිතව උත්සව පවත්වද්දී, රටේ තෝරාගත් ප්‍රදේශයක පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව වෙසක් උත්සවය සැමරෙන්නේ ඒ අනුවය. රාජ්‍ය නායකයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් මෙන්ම දානපති ප්‍රභූවරු ද ඊට සහභාගි වෙති. අනුග්‍රහය දක්වති. අද එය සමස්ත බෞද්ධ ලෝකයට ම ආඩම්බර විය හැකි විචිත්‍ර උළෙලකි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපේ වර්තමාන රාජ්‍ය නායකයායි. එතුමා ශ්‍රද්ධාවන්ත සිංහල බෞද්ධයකු බව මේ රටේ කොයි කවුරුත් දන්නා කරුණකි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සිට අඛණ්ඩව පැවත එන රාජකීය සම්ප්‍රදාය අනුව මෙවර මොනරාගල දිස්ත්‍රික්කයේ යුදඟනා රාජමහා විහාරයේ දී රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වෙන්නේ එතුමාගේ මූලිකත්වයෙනි. එය බුද්ධ ශාසනයට මෙන් ම මොනරාගල දිස්ත්‍රික්කයට ද මහත් ආශීර්වාදයක් වනු නිසැක ය.