Print this Article


ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය

2013 වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව සහ පිළිතුරු පත්‍රයේ හතරවැන්න අද පළ වේ

1 කොටස

(i) වැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා තනි ඉරකින් කපා දමන්න.

අ) නවක භික්ෂුවක් විසින් වැඩිහිටි භික්ෂුවක් සසුනෙන් බැහැර කරන්නේ නම් එම නවක භික්ෂුවට ( සංඝාදිශේෂ/ දුකුලා ) ඇවත් වෙයි.

ආ) ආමිස දානයෙන් උපකාර කරන ගිහියාට භික්ෂුවක විසින් ( ධර්ම/ අභය ) දානයෙන් ප්‍රත්‍යුපකාර කළ යුතුය.

(ii) නිවැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා හිස්තැන් පුරවන්න.

අ) .......... ( පන්සිල් සමාදන් වූ/තෙරුවන් සරණ ගිය ) පුද්ගලයා උපාසකභාවයෙහි පිහිටයි.

ආ) .......... ( ගිහිගෙයින් නික්ම මහන දම් පුරන්නා/ සෘෂිවරයා ) මුණි නමින් හඳුන්වනු ලැබේ.

(iii) නිවැරැදි පිළිතුර යටින් ඉරක් අඳින්න.

අ) සමාජ සම්බන්ධතා අනුව පැවරෙන යුතුකම් ( ධම්මික/ සිඟාලෝවාද ) සූත්‍රයෙන් ප්‍රකට වේ.

ආ) ( සැරියුත්/ මුගලන් ) මහතෙරුන් වහන්සේ මසුරු කෝසිය සිටුතුමන් බුදු සසුනෙහි පැහැදවූහ.

(iv) වැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා තනි ඉරකින් කපා දමන්න.

අ) ( චාග/ ආරක්ඛ ) සම්පදාව මෙලොව හිත සුව පිණිස හේතු වන බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි දැක්වේ.

ආ) මංගල සූත්‍රයෙහි මංගල කරුණු (38/36) ක් සඳහන් වේ.

(v) නිවැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා හිස්තැන් පුරවන්න.

අ) සිඟාලෝවාද සූත්‍රයෙහි උඩදිශාව ලෙස දක්වා ඇත්තේ .......... ( ගුරුවරුන් ය / මහණ බමුණන්ය )

ආ) චතුර්විධ කර්මක්ලේශයන්ට අයත් නොවන්නේ ....... ( ප්‍රාණඝාතයයි / ද්වේෂයයි )

(vi) වැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා තනි ඉරකින් කපා දමන්න.

අ) තමන්ට උපකාර කරන කුල පුත්‍රයාට අනුකම්පා කරන භික්ෂුවගේ පළමු පියවර වන්නේ එම කුලපුත්‍රයා ( සසුන්ගත කිරීමයි / පවින් මුදවා ගැනීමයි )

ආ) වස් කාලය අවසානයෙහි දායකයන් විසින් පූජා කරන ( දානය / මස්ත්‍රය ) “ කඨිනය” නමින් හැඳින්වේ.

(vii) නිවැරැදි පිළිතුර යටින් ඉරක් අඳීන්න

අ) දිය ගෙන යන්නෝ කැමැති තැනකට දිය ගෙන යන්නාක් මෙන් නුවණැත්තෝ ( සතුරන්/ තමන් ) දමනය කරගනිති.

ආ) ඝන වූ පර්වතයක් සුළඟින් නොසැලෙන්නේ යම් සේද එමෙන්ම නුවණැත්තෝ ( නින්දා ප්‍රශංසාවන්හි දුක් ( වේදනාවන්හි ) කම්පා නොවෙති.

(viii) පහත දැක්වෙන ගාථා සම්පූර්ණ කර ලියන්න.

අ) යථාපි බබරෝ පුප්ඵං

.................

..................

...................

ආ) නපරේසං විලෝමානි

.................

..................

...................

(ix) (අ) කොටසේ යෙදුමට ගැළපෙන යෙදුම (ආ) කොටසින් තෝරා හිස්තැන් පුරවන්න.

(අ) (ආ)

(i) පරාභව සූත්‍රය ............ දෙලොව දියුණුවට හේතු දැක්වේ.

(ii) ව්‍යග්ඝපජ්ජ සූත්‍රය .........

පිරිහීමේ දොරටු දැක්වෙයි.

(iii) සිඟාලෝවාද සූත්‍රය ............

දුදනන්ගෙන් පැමිණෙන දුක් පිළිබඳ දැක්වේ.

(iv) ධම්මික සූත්‍රය ........... සිඟාලක ගෘහපති පුත්‍රයාට දේශනා කළහ.

(v) මහා කපි ජාතකය .........

පැවිදි ගිහි ප්‍රතිපදාව සඳහන් කරයි.

(vi) සිංහලට නගන්න.

අ) නහිවේරේන වේරානී සම්මන්තීධ කුදාචනං

ආ) සේලෝ යථා ඒකගණා වාතේන සමීරතී

පිළිතුරු

(i) අ) සංඝාදිශේෂ

ආ) අභය

(ii) අ) තෙරුවන් සරණ ගිය

ආ) ගිහිගෙයින් නික්ම මහණ දම් පුරන්නා

(iii) අ) සිඟාලෝවාද

ආ) මුගලන්

(iv) අ) චාග

ආ) 36

(v) අ) මහණ බමුණන්ය

ආ) ද්වේශයයි

(vi) අ) සසුන්ගත කිරීමයි

ආ) දානය

(vii) අ) තමන්

ආ) නින්දා ප්‍රශංසාවන්හි

(viii) අ) වණ්ණගන්ධං අහේඨයං

පලේති රසමාදාය

ඒවං ගාමේ මුනී චරේ

ආ) න පරේසං කතාකතං

අත්තනෝව අවෙක්ඛෙයං

කතානි අකතානිච

(ix) අ)

(i පිරිහීමේ දොරටු දැක්වේ

(ii) දෙලොව දියුණුවට හේතු දැක්වේ

(iii) සිඟාලක ගෘහපති පුත්‍රයාට දේශනා කළහ

(iv) පැවිදි ගිහි ප්‍රතිපදා සඳහන් කරයි

(v) දුදනන්ගෙන් පැමිණෙන දුක් පිළිබඳ දැක්වීම

(x) අ) මේ ලෝකයෙහි වෛරයෙන් වෛරය කිසි කලෙකත් නොසන්සි‍ෙඳ්.

ආ) ඝණ වූ පර්වතයක් සුළඟින් නොසැලෙන්නේ යම්සේද

ii පත්‍රය

(2) විනය නීති පැනවීමේ මූලික පරමාර්ථ ගෙනහැර දක්වන්න.

විනය නීති යනුවෙන් අදහස් කරන්නේ භික්ෂූන්ගේ කායික වාචසික සමාචාරය ක්‍රමවත්ව සකස් කිරීම සඳහා පනවා ඇති ව්‍යවස්ථා පද්ධතියකි. භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම උදෙසා මුල් කාලයේදී විනය නීති පද්ධතියක් නොතිබුණත් කාලයාගේ ඇවෑමෙන් සංඝ සමාජය තුළ ආසවට්ටනීය ධම්ම පහළවීමේ හේතුව නිසා විනය ශික්ෂාපද පැනවීමට සිදුවිය. භද්දාලි සූත්‍රයේ විනය නීති පැනවීමට මූලික කරුණු වශයෙන් දක්වා ඇත්තේ

(i) සංඝයා සංඛ්‍යා වශයෙන් විශාලත්වයට පත්වීම

(ii) සිව්පසය විශාල වශයෙන් ලැබීම

(iii) සංඝයා පිළිබඳ මහත් කීර්තියක් පැතිරයාම

(iv) බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව

(v) පැවිදිව කලක් ගතවීම නිසා වැඩිහිටියකු වශයෙන් ලබන දැනීම

මෙවැනි හේතූන් පදනම් කරගෙන බුද්ධත්වයෙන් විසිවසරක් ගිය තැන විනය නීති බුදුරදුන් විසින් පැනවූහ.

(3) උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් විසින් ආරක්ෂා කළයුතු ශික්ෂා පද මොනවාදැයි ගෙන හැර දක්වන්න.

විනය පිටකයේ පෙන්වා දෙන පරිදි උපසම්පන්න භික්ෂුවක් ආරක්ෂා කළයුතු ශික්ෂා පද 227 කි. එනම්,

(i) පාරාජිකා - 04

(ii) සංඝාධිශේෂ - 13

(iii) අනියත - 02

(iv) නිස්සග්ගිය - 30

(v) පාචිත්තිය - 92

(vi) පාටිදේශනීය - 04

(vii) සේඛියා - 75

(viii) අධිකරණ සමථ - 07

- 227

මෙයින් පාරාජිකා පත්ති බරපතළ විනය නීතියකි. පාරාජිකාවකට පත් භික්ෂුවකට එයින් මිදිය නොහැකි ය.

උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ උපෝසථ ක්‍රියා පිළිවෙළ ලියා දක්වන්න

ආරම්භයේදී භික්ෂූන්ගේ රැස්වීම් සතරක් වුවද පසුව මසකට දෙවරක් පමණක් රැස්වන ලෙස නියම විය. ඒ අමාවකට හා පසළොස්වකට ය. මෙසේ රැස්වනුයේ සම්මත සීමා ගෘහයකට ය. එහි රැස්වන සංඝයා අතර බෙදීම් ඇති නොවෙන අයුරින් උපෝසථය හෙවත් පොහොය කළ යුතුය. යම් විනය කර්මයක් සිදු කිරීමේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය සිදු කළත් ධර්මයට, විනයට විරුද්ධ නම් එය ප්‍රතික්ෂේප කිරීමට සංඝයාට බලය තිබේ. උපෝසථයට පෙර මූලික වශයෙන් සම්පූර්ණවී තිබිය යුතු කරුණු 4 කි. එනම්,

(i) සීමා මාලකය ඇමද තිබිය යුතුය

(ii) පහන් දැල්විය යුතුය

(iii) බීමට හා පා සේදීම් ආදියට අවශ්‍ය පැන් තැබිය යුතුය

(iv) ආසන පැනවිය යුතුය

මෙම කරුණු පෝසථය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදුකළ යුතු හෙයින් පුබ්බකරණ නමින් හැඳින්වේ.

සංඝයා රැස්වූ පසුව උපෝසථය කිරීමට පෙර නිමකළ යුතු කරුණු 5 ක් පුබ්බකිච්ච නමින් දැක්වේ. එනම්

(i) ඡන්දය ( කැමැත්ත )

(ii) පිරිසුදු බව

(iii) සෘතුව හා දිනය ප්‍රකාශ කිරීම

(iv) පැමිණ සිටින භික්ෂූන් ගණන් කිරීම

(v) භික්ෂූණීන්ට අවවාද දීම

උපෝසථයක් හෙවත් පොහොය කිරීමක් භික්ෂූන් වහන්සේලා සිදු කරනු ලබන්නේ කරුණු සම්පූර්ණවී ඇත්නම් පමණි.

04. බෞද්ධ පබ්බජ්ජාව (පැවිද්ද) යනු කුමක්දැයි හඳුන්වා පැවිදි කිරීමට නොගැළපෙන පුද්ගලයන් කවුරුහුදැ’යි දක්වන්න.

ප්‍රවෘජ්ජා, පබ්බජ්ජා යන්නෙහි අදහස පැවිද්ද යන්නයි. ඒ වගේම ගිහිගෙයින් පිටමන් කිරීම ද පැවිද්ද යැයි හඳුන්වා ඇත. සත්‍ය සෙවීමේ අපේක්ෂාවෙන් ගිහිගෙයින් ඉවත්ව තවුස් දම් පිරීම පැරැණි භාරතයේ එක් පිළිවෙළක් විය. බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසූ බොහෝ අය පැහැදීමට පත්ව ගිහිගෙයි වාසය කරමින් බඹසර හැසිරීම අපහසු බැවින් පස්කම් සැපතින් ඈත්ව වනගතව පැවිදි වූහ.

බුදුරජාණන් වහන්සේගෙන් පළමු පැවිද්ද හා උපසම්පදාව ලබාගන්නා ලද්දේ කොණ්ඩඤ්ඤ ආදී පස්වග තවුසන්ය. මෙම පිරිස උන්වහන්සේ විසින් පැවිදි උපසම්පදා කරන ලද්දේ “ එව මහණ” යනුවෙන් කරන ලද ප්‍රකාශයෙන්ය. සෘධියෙන් කෙස් රැවුල් කැපී පාත්‍ර සිවුරු ලැබී සැට වයස් ගිය තෙර නමක් මෙන් උන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටීම මෙහි ලක්ෂණයයි. මෙම ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව බුදුරජාණන් වහන්සේටම පමණක් සීමා වූවකි.

බුදුරදුන්ගේ ශ්‍රාවක පිරිස සැටනමක් වූ පසු ඔවුන් ධර්ම චාරිකාවෙහි පිටත් කොට යැවූ අතර ඒ ඒ දිශාවලදී පැවිදි උපසම්පදා කිරීමට ද අවසර ලබා දෙන ලදී. බුද්ධ ශාසනයට ඇතුළු වන්නන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි විය. එබැවින් පැවිදි කිරීමේදී විශේෂ සුදුසුකම් සලකා බැලීමට ද සිදුවිය. ශාසනයෙහි පැවිදි නොකළ යුතු යැයි දක්වා ඇති පිරිස් අතරට අත් පා සුන් කුෂ්ට, ගෙඩි, වණ, ඇදුම්, අපස්මාර වැනි රෝගයන්ගෙන් පෙළෙන, අඳ, ගොළු, බිහිරි, පාප රෝගයන්ගෙන් පෙළෙන අය පැවිදි නොකළ යුතු යැයි දක්වා ඇති අතර මව මැරූ, පියා මැරූ වැනි ආනන්තරිය පාපකර්ම සිදුකළ අයද පැවිදි නොකළ යුතු යයි විනයෙහි දක්වා තිබේ.

05. භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව යනු කුමක්දැයි පැහැදිලි කර බුද්ධකාලීනව පැවැති විවිධ පැවිදි උපසම්පදා ක්‍රම හඳුන්වා දෙන්න.

මුල් කාලයේ දී පැවිද්දත්, උපසම්පදාවත් එකම අවස්ථාවේදි සිදු වුවත් පසුකාලය වන විට පැවිද්ද හා උපසම්පදාව සිදුකරන ලද්දේ අවස්ථා 2 ක දීය. කපුටෙකු එළවා ගත හැකි දරුවෙක් පැවිදි කළ හැකි වුවත් පසු කාලය වන විට උපසම්පදාව ලැබීමට නම් විසිවයස් සම්පූර්ණ සාමාජිකත්වය හිමි වන්නේ උපසම්පදා ශීලය ලැබීමෙන් අනතුරුවය. උපසම්පදාව සිදු කරනු ලබන්නේ විශේෂ සීමාවක හෙවත් පොහොය ගෙයක මහත් වූ ගෞරවයෙනි. උපසම්පදාවක් සිදු කරන පොහොය ගෙවල් දෙවර්ගයකි. එනම් බද්ධ සීමාව හා උදකුක්ඛේප සීමාව යනු එම සීමා මාලක හෙවත් පොහොය ගෙවල් දෙකය. උපසම්පදාපේක්ෂකයා “නාග“ යනු නාමයෙන් හඳුන්වනු ලබන අතර උපසම්පදාව ලබාදෙන තෙරණුවන් “තිස්ස” යන නාමයෙන් හඳුන්වනු ලැබේ. මෙම කර්මාචාර තෙරණුවෝ උපසම්පදාපේක්ෂකගෙන් අන්තරායක ධර්ම විමසනු ලැබේ. ඒවාට නිවැරැදි පිළිතුරු සැපයීමෙන් අනතුරුව මහානායක තෙරුන් විසින් අනුශාසනාවක් කිරීමෙන් අනතුරුව විනය කර්ම සිදු කිරීමෙන් අනතුරුව උපසම්පදා භික්ෂුවක් යැයි එතැන් සිට සලකනු ලැබේ.

බුද්ධ කාලයේ උපසම්පදා විධි හෙවත් ක්‍රම අටක් පමණ තිබුණු බව විනය පිටකයෙහි සඳහන්ව ඇත. එනම් ‘ ඒහි භික්ඛු’ පැවිදි උපසම්පදාව, තිසරණගමන පැවිදි උපසම්පදාව, ඕවාදපටිග්ගහණ පැවිදි උපසම්පදාව, පඤ්ඤහ ව්‍යාකරණ පැවිදි උපසම්පදාව, අට්ඨ වාචික පැවිදි උපසම්පදාව, ධූතේන පැවිදි උපසම්පදාව යනුවෙනි. බුද්ධ කාලීනව භික්ෂු, භික්ෂුණී යන දෙපිරිසම පැවිදි කිරීමට හා උපසම්පදා කිරීමට මෙම ක්‍රමවේද භාවිත කළ අතර වර්තමානයේ පැවිදි උපසම්පදා හා ඤත්තිචතුත්ථ ක්‍රමය භාවිත කරනු ලැබේ. පැවිදි උපසම්පදාව යනුවෙන් බුද්ධ කාලීනව භික්ෂු, භික්ෂුණී යන දෙපිරිසම පැවිදි කිරීමට හා උපසම්පදා කිරීමට ය. වර්තමානයේ පැවිදි උපසම්පදා කිරීම සඳහා ඤත්තිචතුන්ථ ක්‍රමය භාවිත කරනු ලැබේ.

මතු සම්බන්ධයි