Print this Article


සුවපත් මනස ගිලන් සිතට පිළියම යි

රූපකාය හා මනෝකාය යනුවෙන් මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවගේ ක්‍රියාකාරිත්වය මෙහෙය වන යාන්ත්‍රන දෙකක් ගැන බුදු දහමෙන් මෙන්ම මනෝ විද්‍යාඥයන්ගේ විශ්ලේෂණ තුළින් ද බොහෝ කරුණු අනාවරණය කර ගෙන ඇත.

ශරීරය හෙවත් රූපකාය නොයෙකුත් ලෙඩ රෝගයන්ට නිරතුරුවම ගොදුරු වන බවත් එයට මූලික හේතුව පෙරදිග වෛද්‍ය ක්‍රමයට අනුව තුන් දොස් කිපීම හෙවත් වා, පිත්, සෙම් සමතුලිත නොවීම හෙවත් කෝපවීම බව ඉගැන් වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයන් තුළ පවතින ප්‍රතිශක්තිකරණය හීන වීම නිසා විෂබීජවල ක්‍රියාකාරිත්වය ඉස්මතු වීමෙන් ලෙඩ රෝග ඇතිවන බැව් ප්‍රකාශ වෙයි.

මේ කුමන වෛද්‍ය ක්‍රමයකින් වුවත් සිදු කරන්නේ ශරීරය ලෙඩ වූ විට ලෙඩට හේතුව සොයාගෙන ඊට තුඩුදුන් දුර්වල වී ගිය ශක්තිය ඇති කිරීමට ඖෂධ වර්ග මගින් ප්‍රමාණවත් ප්‍රතිශක්තිය ලබාදී නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම යි. එවිට ශාරීරික ලෙඩරෝග සුවපත් වී කායිකව දැනෙන අපහසුතා වේදනාවන් පහව යයි.

මෙසේ අනාදිමත් කාලයක සිටම මිනිසා සියයට සියයක්ම උත්සාහවන්ත වී ඇත්තේ කායික වශයෙන් දැනෙන හා ප්‍රකට වන රූප කයට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දෙමින් නිරෝගිමත් සිරුරක් පවත්වාගෙන යාමට ය. බුදු පියාණන් වහන්සේ ධම්ම පදයේ චිත්ත වග්ගයේ මනෝපුබ්භං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා” යනුවෙන් සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වන්නේ මනස බැව් දේශනා කරමින් මිනිසාගේ මානසික පදනම මත හොඳ හෝ නරක ආදී සෑම ක්‍රියාවක්ම සිදුවන බැව් පෙන්වා දී ඇත. උන්වහන්සේගේ සෑම දේශනාවකම පදනම මිනිසාගේ මනෝභාවයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කර දීම හා මනසේ ප්‍රතිශක්තිකරණය ඇති කොට නොසැළෙන සුවපත් සිතක් ඇති කරගන්නා ආකාරය කියා දීමයි.

වා, පිත්, සෙම් යන තුන් දොස් ගත ලෙඩ කරනවා මෙන්ම සිත ලෙඩ කරන දෝෂ තුනක් පවතින බව ලොවට පෙන්වා දුන් ශ්‍රේෂ්ඨතම එකම මනෝ විද්‍යාඥයා බුදුපියාණන් වහන්සේම ය. රාග, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ අකුසල මූල දෝෂයන්ගේ බීජයක් සිත තුළට ඇතුළුවී සිතේ ප්‍රතිශක්තිය හීනකර සිත් ලෙඩ කරවන බවත් එසේ ලෙඩ වන සිත් වලට නැවත ප්‍රතිශක්තිය ලබා දීමට ශරීරයට හා මොළයේ අමාරුවලට ලබා දෙන ගුලි, කල්ක, ආසව, අරිෂ්ඨ, කසාය, තෙල්, පෙති එන්නත්, ක්‍රීම්, බාම් වැනි බාහිරව යොදන පෙර අපර දෙදිග ඇති ඖෂධ වලින් නොහැකි බවත් තේරුම් ගත යුතුව ඇත. රාග, දෝෂ, මෝහ යන තුන් දොස් හේතුවෙන් ලෙඩවන සිත් වලට නැවත ප්‍රතිශක්තිය ඇති කිරීමට නම් අලෝභ, අදෝෂ, අමෝහ යන ප්‍රතිශක්තිය මනෝකයට ලබා දිය යුතුය. එසේ නොකොට වෙනත් කුමන ඖෂධයන් යෙදුවත් එම රෝගයට පත්‍ය වන්නේ නැත. සිත ඉල්ලන දේවල් දීමෙන් හෝ නොදීමෙන් ද සුවයක් නොලැබී එය කාමසුඛල්ලිකානු හෝ අත්තකිලමතානු රෝගීන් බවට පත්වන බැව් දේශනා කර ඇත.

පංච ඉන්ද්‍රියන් හා මනස යන සලායතනවලට නොයෙකුත් ආකාරයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන අරමුණු ගෝචර වීම වැළැක්විය නොහැක. මාර්ග ඵලයන්ට පත්වූ අයට මෙන්ම සියලු ආශාවන් ප්‍රහීණ කළ බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් වහන්සේලාගේ පවා පංච ඉන්ද්‍රියන්ටත් එම අරමුණු හා ගැටීම් ඇතිවීම සිදුවෙයි. නමුත් ලෞකික හා ලෝකෝත්තර සිත්වල වෙනස ඇත්තේ සිතට එන අරමුණු රස විඳින ආකාරය තුළය.

රාගයෙන් දූෂිත සිතක් ඇති අයෙකුට පංච කල්‍යාණයෙන් යුක්ත නිළියක්, සුගන්ධ වත්සුණු ඇඟ ගල්වාගෙන හෝ සුවඳ මල් වරලස හෝ ගත පළඳාගෙන මියුරු හඬින් ගීතයක් ගායනා කරමින් රස මසවුලු හෝ පලතුරු බුදිමින් රංගනයක යෙදෙනවා දුටුවහොත් ඔහුගේ සලායතන පද්ධතියම රාගයෙන් මුසපත් කරවයි.

ඇස ගැටෙන ලක්‍ෂණ රූපයත්, දෙසවන් හා ගැටෙන මියුරු නාදයත්, නාසය පිනවන සුවඳත්, සියුමැලි මොළකැටි සිරුරේ පහසත්, බුදින රස මසවුලු වල රසයත් සැබෑ ලෙස නොලැබුණත් එම කාන්තාව දෙස බලා මානසිකව ලබන ආශ්වාදයට මොනතරම් වහල් වන්නේ ද යත් එවන් විටක තමා සිටින්නේ කොහිද අසළ සිටින්නේ කවුද කියාවත් නොදැනේ. පංච ඉන්ද්‍රියන් හා ගැටෙන අරමුණු රස විඳිනවා විනා මුළු ලොවම එම මොහොත තුළ අමතක වී යයි. චිත්‍රපට, ටෙලිනාට්‍ය, සංගීත ප්‍රසංග, නාට්‍ය ආදිය නරඹන විටදී සිදුවන ක්‍රියා දාමය එයයි. පංචකාමයන්ට වහල් වී මනස මුළාවට පත්වී ලෙඩ වූ විට එම රෝගයෙන් අතමිදීමට නම් විරාගික සිතිවිලි වර්ධනය කරගත යුතුම ය. රාගික සිතිවිලි මැඩපැවැත්විය හැකි සිතකට රාගික අරමුණු හා ඉඳුරන් කොතෙක් ගැටුණ ද ඒවා තුළ ඇති නිස්සාර හා ආදිනවත් ප්‍රකට වී ක්‍ෂණිකව මනසිකාරයට නැගෙන බැවින් සරාගී හාඟුම් මර්දනය කර පලවා හැරීමට සමත් ප්‍රතිශක්තිය වන විරාගික සිතිවිලි බලවත් වී නැගී සිටී.

ද්වේෂ සහගත හෝ මෝහ සහගත සිතිවිලි තනිව හෝ ඒවා මිශ්‍ර සිතිවිලි පහළ වන අවස්ථාවල දී අදෝෂ, අමෝහ, සිතිවිලි බලවත් වී රාග සිතිවිලි මර්දනය කළ ආකාරයටම එම සිතිවිලිත් පළවා හැර ඉඳුරන් සංවරශීලී කර ගනී.

මිනිසා ඇතුළු සියලුම සත්ත්වයන්ගේ සිත් ලෙඩ කරවමින් ඔවුන් භවගාමිකයන් බවට පත්කරන ඇලීම හෙවත් රාගය, ගැටීම හෙවත් ද්වේෂය, මෝහය හෙවත් මුළාව යන ධර්මයන්ගේ න්‍යාය අප ගමන් කරන විට දෙපය ක්‍රියාත්මක වීම හා සමාන ය. එක පයක් පොළොවේ ඇලෙන විට අනෙක් පය ඔසවා පොළොවේ ගැටෙයි. නැවත එම පය පොළොවේ ඇලෙන විට අනෙක් පය පොළොවේ ගැටෙයි. එම ඇලීම හා ගැටීම පවතින තුරු ගමන පවතී. ඇලීම හා ගැටීම නැවතුන පසු ගමන ද නවතී. එම විදියට අපේ සිතිවිලි ඇලීම හා ගැටීම තුළින් වේතනා පහළකර ගනිමින් භව ගමන සිදු කරන සලායතන ක්‍රියා කාරිත්වය තැන්පත් මනසකින් සිතා බලා තේරුම් ගත යුතුය.

සෑම සිතක් ඇති වීමට මත්තෙන් ප්‍රභාශ්වර චිත්තය මතුවේ. මෙහිදී ප්‍රභාශ්වර යන වචනයේ තේරුම පැහැපත් නොකිළිටි යන අදහස ගෙන දෙන්නකි. පැහැපත් ජලය තිබෙන තැනකට නැමී බැලුවොත් බලන්නාගේ හා අවට ඇති දේවල්වල ඡායාව එතුළ දක්නට ලැබේ. නමුත් බොර දියට නැමී බැලුවොත් එසේ නොපෙනේ. එසේම දීප්තිමත් මුහුණක් ඇති වීදුරුවක්, කැඩපතක්, ගෙබිමක් වැනි දෙයක් දෙස බැලුවත් එතුළින් ද ප්‍රතිබිම්බයක් දැකිය හැක. එහෙත් උළු කැටයක් ගඩොලක් ගලක් වැනි දෙයක් තුළින් එවැනි ඡායාවල් ඇති නොවේ. එයට හේතුව ඒවා තුළ දීප්තියක් නැතිනම් ප්‍රභාස්වර ගතියක් නොතිබීමය.

සියලු සත්ත්වයන්ට චේතනා පහළ කරවන ප්‍රභාෂ්වර ගතියකින් යුත් ආයතන පවතී. මිනිසා සතු සලායතන වන්නේ ඒවාය. හතර මහා භූත ශක්තියෙන් සැදුම්ලත් එම ආයතනත් එම භූත කොටස්වලින්ම සැදුම්ලත් අරමුණුත් එම අරමුණු වේදනාවන් බවට පත් කොට ඇලීම් හා ගැටීම් සිදුකරවන ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර යන සිත් හඳුනා ගැනීමෙන් සුවපත් මනසක් තුළින් සිතට දැනෙන සියලුම ලෙඩ වලින් මිදිය හැකි වෙයි.