පුනරුප්පත්ති ලිපි මාලාව - 22
මනු ලොව කළ පිනෙන්
දිව සැප ලබමු සතුටින්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු
කථිකාචාර්ය
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ
නිමි ජාතකයෙන් හෙළිවන කුසල කර්මයන්ගේ
විපාකයන් කෙබඳුදැ’යි විමසා බැලීමට ය.
මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ
එහි දෙවන කොටස වෙතයි.
එනම් කුසල කර්මයන්ගේ විපාකයන්
කෙබඳුදැ’ යි තව දුරටත් විමසා බැලීමට ය.
ප්‍රශ්නය - නිමි ජාතකයෙන් හෙළිවන යහපත් කර්මයන්ගේ යහපත් විපාකයන්
පුනර්භවය සඳහා බලපා ඇත්තේ කෙසේ ද ?
රනින් නිමවන දල කුළු ගෙවල්වලින් හෙබි උත්තම ස්ත්‍රී සමූහයා ගැවසීගත්
මෙම විමානය අතිශයින් බබළයි. එමෙන්ම මෙම විමන දිව්‍යමය ආහාරපානාදියෙන් ද
නෘත්‍ය ගීතාදියෙන් ද පිපුණු මල්ගස්වලින් ද බබළයි. සිහිල් දිය පිරුණු
පස් පියුමින් සමලංකෘත වූ නදියක් මේ දිව්‍ය විමානය සිසාරා ගලා බසී.
කිරිපළු, යවුළු, අඹ, සල්, දඹ, තිඹිරි, පියල් යන නිති පලගත් ගස් මේ
විමානය හාත්පස සුන්දරත්වය වැඩි කරයි. ‘සාරථිය’ මෙය දැකිමෙන් මා හට මහත්
සතුටක් උපදී. මෙසේ යම් පිරිසක් අලංකාර වූ විමානයක සිට මහත් වූ දිව්‍ය
සම්පත් අනුභව කරන්නේ ද ඒ පිරිස මිනිසත් බවෙහි දී කළ කුසල කර්මය කුමක් ද
?
පභාසති මිදං බයම්හං, එලිකාසු සුනිම්මිතං
නාරිවරගණාකිණ්ණං, කූටාගාරවරොචිතං
උපෙතං අන්නපානෙහි, නච්ච ගීතෙහි චූහයං,
නජ්ජො වානුපරියාති, නානාපුප්ඵදුමායුතා
රාජායතනා කපිත්ථාච, අම්බා සාලා ච ජම්බුයො,
නින්දුකා ච පියාලා ච, දූමා නිච්චඵලා බහු
වින්නී හි මං වින්දති සූත දිස්වා
පුච්ඡාමි තං මාතලී දෙවසාරථි,
අයං නු මච්චො කිමකාසි සාධුං
යො මොදති සග්ගපත්තො විමානෙ
එවිට නිමි රජුට ‘මාතලි’ මෙසේ පවසයි. රජතුමනි, මේ ස්ත්‍රී පිරිස පෙර
මියුලු නුවර දානපතියන්ව සිට භික්ෂූන් සඳහා ආරාම ද ළිං පොකුණු ද, පැන්
හල් ද, දුර්ගස්ථානයන්හි ඒදඬු ද, පාලම් ද, කෙලෙස් ගිනි නිවූ රහතන්
වහන්සේලා උදෙසා මනා ලෙස පිළියෙළ කොට සකසා දන් දීම සිදු කළේ ද එමෙන්ම
භික්ෂූන් වහන්සේලාගේ මූලික අවශ්‍යතාවන් වන චීවර, පිණ්ඩපාත, සේනාසන,
ගිලානප්‍රත්‍ය යන සිව්පස දානයෙන් උපස්ථාන කළේ ද සතර පෝයට අෂ්ඨාංග ශීලය
සමාදන්ව ශීලය ආරක්ෂා කළේ ද, එම කුශල කර්මයන්ගේ විපාක වශයෙන් මෙම පිරිස
මෙවැනි වූ දිව්‍ය සම්පත් අනුභව කරන්නේය යනුවෙන් පැවසීය.
මිථිලායං ගහපති, එස දානපති අහු,
ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච,
අරහන්තෙ සීතිභූ®තෙ, සක්කච්චං පටිපාදයි
චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං,
අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා
චාතුද්දසිං පඤ්චදසිං, යාච පක්ඛස්ස අට්ඨමි,
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාහිතං,
උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො,
සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදති,
‘මාතලී’ විසින් ඊළඟට නිමි රජුව කැඳවාගෙන යන්නේ අලංකාර රන් විමනක ආතත,
විතත, විතතාතත, ගණ, සුසිරාදි පංචතූර්ය නාදයෙන් දෙසවනට මිහිරක් ගෙන
දෙමින් දිව්‍යාංගනාවන් පිරිවරා සතුටුවන දිව්‍ය පුත්‍රයෙකුගේ විමනක්
වෙතය. එය දැකීමෙන් පුදුමයට පත්වන නිමි රජු ‘මාතලීට’ පවසන්නේ තමා
කෙදිනකවත් මිහිපිට මෙබඳු ඓශ්චර්යයක් නොදුටු විරූ බවයි. එයින් අතිශය
සතුටට පත්වන නිමි රජු ඔහු මිනිසත් බව ලබා සිටි කල කරන ලද කුශල කර්මයන්
විමසයි. එයට පිළිතුරු වශයෙන් ‘මාතලී’ පවසන්නේ
මෙම දිව්‍ය පුත්‍රයා පෙර බරණැස ගෘහපතියෙක්ව ඉපිද සිට නිති දන් දෙන
දානපතියෙක්ව කෙලෙස් ගිනි නිවූ රහතන් වහන්සේලාට ආරාම ආදිය ඉදිකොට
පූජාකොට ළිං, පැන්හල් ඉදි කර මහජනතාවගේ සුවසෙත සැලසූ බවයි. එපමණක් නොව
භික්‍ෂූන් වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පස
දානයෙන් උපස්ථාන කරමින් කළේ ද සතර පෝයට අෂ්ඨාංග සීලය සමාදන්ව සීලය
ආරක්ෂා කරමින් කටයුතු කළ නිසා මෙවැනි මහත් වූ දිව්‍ය ඓශ්චර්යයන් අනුභව
කරන බවයි.
ඛාරාණසියං ගහපති, එස දානපතී අහු,
ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච,
අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි
චීවරං පිණ්ඩපාතඤ්ඤ, පච්චයං සයනාසනං.
අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා
චාතුද්දසිං පඤ්ඤදසිං, යා ච පක්ඛස්ස අට්ඨමි,
පාටිහාරියපක්ඛඤ්ඤ, අට්ඨඞ්ගසුසමාහිතං
උපොසථං උපවසී, සදාසීලෙසු සංවුතො,
සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදති
‘නිමි රජු’ දිව්‍ය ලෝකයේ සංචාරය කරන අතරතුර බොහෝ දිව්‍ය විමානයන්හි ඇති
සම්පත් දැක සතුටට පත්වෙයි. ඒ සෑම අවස්ථාවකම ‘මාතලී’ ඒ සඳහා පිළිතුරු
ලබා දෙයි. එම පිළිතුරු වලින් අපට පැහැදිලිව පෙනෙන කරුණක් වනුයේ දිව්‍ය
සම්පත් අනුභව කරන බොහෝමයක් දෙවියන් හා දිව්‍යාංගනාවන් කළ කුශල කර්මයන්
එක සමාන බවයි. ඔවුන් බොහෝමයක් සිදුකර ඇති පොදු කුශල කර්මයන් වනුයේ
රහතන් වහන්සේලා උදෙසා දන්දීම උන්වහන්සේලාට වැඩ සිටීමට අවශ්‍ය කරන ආරාම
ඉදිකරදීම මෙන්ම භික්‍ෂූන් වහන්සේලාගේ දෛනික යැපීම සඳහා අවශ්‍ය කරන චීවර
පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පසයෙන් උපස්ථාන කිරීමත් ය.
එමෙන් දිවා රෑ පින් වැඩෙන මිනිසුන්ගේ පොදු අවශ්‍යතාවන් වන පානීය
පරිභෝජනීය අවශ්‍යතාවන් සඳහා ළිං හා පොකුණු ද, එමෙන්ම මගීන්ගේ පිපාසය
සංසිඳවීම සඳහා අවශ්‍ය කරන පැන් හල් ද, යෑමට අපහසු වූ දුර්ගස්ථානයන්ගෙන්
එතෙර වීමට අවශ්‍ය කරන ඒදඬු ද, පාලම් ආදිය ද ඉදිකර මහජනතාවගේ සුවසෙත
සැලසීම තුළිනි.
මතු සම්බන්ධයි
සටහන: බණ්ඩාර පිළවල
පුනරුප්පත්ති ලිපි මාලාව 21 - යහපත් කර්ම විපාකයන් පුනර්භවයට බලපාන්නේ
කෙසේ ද? |