Print this Article


සුගතියට මඟ කියන බුදුදහම

සුගතියට මඟ කියන බුදුදහම

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය බුදුදහමේ විස්තර කෙරෙන ප්‍රධාන ඉගැන්වීමකි. වෙනත් කිසිදු ආගමක නොදැක්වෙන අන්දමේ, පුද්ගලයා හා ලෝකය පිළිබඳ යථාර්ථවාදී ඉගැන්වීමක් වන මෙය, ස්ථිර නැති ලෝකය අනිත්‍ය බවත් ඉන් පුද්ගලයාගේ සිතට හා කයට දුක ඇතිවන බවත් එනිසා මගේ යැයි ගතහැකි කිසිවක් මෙලොව නොමැති බවත් පෙන්වා දෙයි.

ලෝකයේ ජනතාව අදහන ආගම් අතර බුදුදහම සුවිශේෂ ආගමක් වී ඇත්තේ කුමන හේතූන් නිසාද යන්න සලකා බැලීම ඉතා වැදගත් ය. දේව කේන්ද්‍රිය ආගම් අදහන බොහෝ බැතිමත්තු ලෝකය මැවූ මැවුම්කරුවාණන් කෙනෙකු ගැන විශ්වාස කරති. එබැවින් එබඳු ආගම් දේවකේන්ද්‍රිය ආගම් ලෙස පිළිගැනේ.

එහෙත් බුදුදහම එම ඉගැන්වීම්වලට වඩා වෙනස් මඟක ගිය දර්ශනයකි. සිදුහත් බෝසතුන් යනු රජ පවුලක උපන් රාජ කුමරෙකි. කුඩා කල කෙළි සෙල්ලම් කිරීම, ඉගෙන ගැනීම ආදී සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් සිදුහත් චරිතයෙන් පිළිබිඹු වේ. සිදුහත් චරිතයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස දැක්වෙනුයේ උයන් කෙළියට යන ගමනේ දී වරින්වර දුටු මහල්ලකු, ලෙඩකු, මළමිනියක් සහ පැවිදි රුවක් යන සතර පෙර නිමිති හේතුවෙන් ජීවිතය කලකිරීමේ සිද්ධියයි. එය ගිහිගෙය අතහැර යෑමටත් පැවිදි වීමටත් හේතු විය. පැවිදි බව ලබා ලෞකික ධ්‍යාන ලබා ගත් බවද සඳහන් වේ. එනම් ආලාර කාලාම, උද්දකරාම පුත්ත යන තවුසන්ගේ ඉගැන්වීම් අනුව රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ලබා ගැනීමයි.

එහෙත් එම ලෞකික ධ්‍යාන ලබාගැනීම සංසාර විමුක්තිය සඳහා හේතු නොවේ. එනිසාම එම ගුරුවරුන් අතහැර දමායන්නට සිදුහත් බෝසතුන්ට සිදුවිය. එකල බොහෝ ආගම් පැවැති අතර ශරීරයට අධික දුක් දී විමුක්තිය ලැබිය හැකි යයි විශ්වාස කළ ආගම් ද පැවැතිණි. එය අත්හදා බැලීමට සිතූ සිදුහත් බෝසතුන් වසර හයක් දුෂ්කර ක්‍රියා කළ බව සඳහන් වේ. එය විමුක්තියට හේතු නොවන බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම අවබෝධ කරගත් බෝසතුන් වහන්සේ, කාමසුඛල්ලිකානු යෝගය (ශරීරයට අධික සැපදීම) මෙන්ම අත්තකිලමතානු යෝගය (ශරීරයට අධික දුක් දීම) ද යන ක්‍රමවේද දෙකම බැහැර කළ සේක. විමුක්ති ලාභය සඳහා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට වූහ. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අරි අටගිමඟ තුළින් විමුක්තිය සලසා ගැනීමට ක්‍රියා කිරීම සාර්ථක ක්‍රමවේදය විය. ඒ අනුව, විදර්ශනා භාවනාව තුළින් සියලු කෙලෙසුන් දුරුකළ සිදුහත් බෝසතාණන් වහන්සේ තිස්පස්වෙනි වියේ දී, පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතුපපාත ඤාණය සහ ආසවක්ඛය ඤාණය යන ත්‍රිවිධ ඤාණයන් ලබා බුද්ධගයාවේ ඇසතු බෝ මුල දී වෙසක් පුන් පෝ දා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

සිදුහත් බෝසතුන් උපන් දිනයේ සත්පියුම් පිබිදී ඒමතින් වැඩම වීම, උදාන වාක්‍ය ප්‍රකාශ කිරීම සහ දෙවියන් අහසේ සිට මල් විසිරවීම, ආදී සිදුවීම් ද බෝසත් සිරිතේ සුවිශේෂ සිදුවීම් වන අතර වප්මඟුල් දිනයේ දී ආනාපානසති භාවනාව වැඩීම ද බෝසත් සිරිතේ අසිරිමත් බව ප්‍රකට වන අවස්ථාවකි.

එදා බෝසතුන් ඇසතු බෝ මුල දී උතුම් සම්බුද්ධත්වයට පත්වීම හා බැඳුණු අසිරිමත් සිදුවීම් රැසක් ද වේ. එනම් මිහිතලය කම්පාවීම, ගොළුවන්, බිහිරන්, අන්ධයන් එම තත්ත්වයෙන් මිදීම සහ දෙව් බඹුන්ගේ පී‍්‍රති ඝෝෂා පැවැත්වීම ප්‍රධානවේ. ඒ තුළින් ප්‍රකට වන්නේ බුද්ධත්වය යනු මනුෂ්‍ය ලෝකයට සීමා වුවක් නොව මුළු මහත් විශ්වයටම බලපවත්නා උත්තරීතර තත්ත්වයක් බවයි.

බුදුවීමේ පටන් පිරිනිවන් පානා මොහොත දක්වාම බුදුසිරිත තුළ ඇත්තේ සුවිශේෂ සිදුවීම් සමුදායකි. සාම්ප්‍රදායික මිථ්‍යා මතවාද මිනිස් සිත් සතන් තුළින් ඈත් කොට සත්‍යය ලොවට හෙළි කොට සිත් සතන් සත්‍ය දහමින් පෝෂණය කරවීම බුදුරදුන්ගේ අරමුණ විය.

බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝනං මෝචයේ පරේ
තිණ්ණෝනං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා

මේ දේශනාව අනුව, පළමුව තමන් සම්බුද්ධත්වයට පත් වී අන්‍යයන්ට එම දහම අවබෝධ කර දීමත් සත්වයා සසර කතරින් එතෙර කරවීමත් මහා බෝසතාණන්ගේ අභිප්‍රාය වූ බව සඳහන් වේ. ලොවේ පහළ වූ වෙනත් ආගමික ශාස්තෘවරුන්ට වඩා බුදුරජාණන් වහන්සේගේ දහමේ සුවිශේෂ ඉගැන්වීම් රැසක් පවතී. ඒනම් පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, කර්මය, පුනර්භවය, ත්‍රිලක්‍ෂණය යනාදියයි. වත්මන් ලොවේ නවීන විද්‍යාව හා තාක්‍ෂණය දියුණුවට පත්ව ඇත. විද්‍යාඥයන් සහ දාර්ශනිකයන් සොයා ගන්නා විවිධ සොයා ගැනීම් බුදුදහමේ ඉගැන්වීම් හා සැසැදෙන බව ඔවුන්ගේ ප්‍රකාශන තුළින්ම පැහැදිලි වේ. එම නිසා විද්‍යාව හා තාක්‍ෂණය දියුණුවෙන් දියුණුවට පත්වීමත් සමඟ බෞද්ධ ඉගැන්වීම් තව තවත් ප්‍රබෝධමත් වේ.

බුදුදහමේ මූලික ඉගැන්වීමක් ලෙස පටිච්චසමුප්පාදය හැඳින්වේ. හේතුඵල දහම ලෙසද මෙය විග්‍රහ වන අතර ස්කන්ධ, ධාතු, ආයතන යන හේතු ලොවේ පැවැත්මට සහ හට ගැන්මට හේතුවන බවද දේශනාවේ සඳහන් වේ. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාව සංසාර දුකට හේතුවන අතර සසර පැවැත්ම අංග දොළසකින් බුදුරදුන් විග්‍රහ කොට ඇත. සම්බුදුරදුන් පළමු සතියේ දී පටිච්චසමුප්පාදය මුල සිට අගටත් අගසිට මුලටත් මෙනෙහි කරමින් එහි අගය හා සත්‍යතාව ප්‍රකට කොට ඇත.

බුද්ධත්වය යනු චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම බව විග්‍රහ වන අතර දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මඟ යනුවෙන් එය හැඳින්වේ. මිනිසා ඇතුළු සියලු සත්වයාට ඇති දුක වන්නේ ඉපදීම, වයසට යෑම, කැමැති දෙය නොලැබීම, අපි‍්‍රයයන් සමඟ එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම සහ මරණය ආදී දුක්, එනම් පුද්ගලයා හා ලෝකය වෙනස්වීම නිසා ඇතිවන වේදනාවන් ය. එමෙන්ම සියලු සංස්කාරයන් දුක් පිණිස හේතුවන බව බුදුදහමෙන් පෙන්වා දේ. එම දුකට හේතුව තණ්හාව බව අප වටහා ගත යුතු ය. තණ්හාව දුරු කිරීම නිර්වාණාවබෝධයට හේතුවන බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එම දුක නැති කිරීමට ඇති එකම මඟ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ අනුව ක්‍රියා කිරීම වත්මන් සමාජයේ දිවි ගෙවන කවර අයකුට වුව ද සැනසීම පිණිස හේතුවේ. එය මෙලොව සැනසීමටත් පරලොව සැනසීමටත් මහෝපකාරී වේ. අප්‍රමාදීව විමුක්තිලාභය ලැබීමට හේතු වේ.

කර්මය හා කර්මඵලයද බුදුදහමේ ඉගැන්වෙන සුවිශේෂ කරුණකි. කර්මය යනු චේතනාව බව විග්‍රහ කරන බුදුදහම සිත, කය, වචනය යන තිදොර තුළින් සිදු කරන කුසල කර්ම සහ අකුසල කර්මයන් ද විග්‍රහ කරයි. අකුසල කර්ම මෙලොව පිරිහීමටත් පරලොව දුගතියටත්, කුසල කර්ම මෙලොව දියුණුවට හා පරලොව සුගතියටත් හේතුවන බව විස්තර කෙරෙයි.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය බුදුදහමේ විස්තර කෙරෙන තවත් ප්‍රධාන ඉගැන්වීමකි. වෙනත් කිසිදු ආගමක නොදැක්වෙන අන්දමේ, පුද්ගලයා හා ලෝකය පිළිබඳ යථාර්ථවාදී ඉගැන්වීමක් වන මෙය ස්ථිර නැති ලෝකය අනිත්‍ය බවත් ඉන් පුද්ගලයාගේ සිතට හා කයට දුක ඇතිවන බවත් එනිසා මගේ යැයි ගතහැකි කිසිවක් මෙලොව නොමැති බවත් පෙන්වා දෙයි.

බුදුරදුන් දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් ලෙස පුනර්භවය හැඳින්වේ. එනම් නැවත භවයක උපත ලැබීමයි. පුද්ගලයා සිදු කළ කුසල් හා අකුසල් චුති සිතට අරමුණු වී නැවත භවයක උපතක් හෙවත් ප්‍රතිසන්ධියක් ලබයි. මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් බුදුදහමේ ඇතුළත් වන අතර පුද්ගලයාට මෙලොව දියුණුව සලසා ගැනීමටත් පරලොව දියුණුව සලසා ගැනීමටත්, දිව්‍ය මනුෂ්‍ය ආදී සම්පත් සලසා ගැනීමටත් සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයෙන් නිර්වාණාවබෝධය ලැබීමටත් බුදුරදුන්ගේ මෙම සුවිශේෂ ඉගැන්වීම් හේතු වේ.