Print this Article


දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුනට ආරක්‍ෂාව දෙන්න

දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුනට ආරක්‍ෂාව දෙන්න

කරුණානිධිට – ජයලලිතාට වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයෙන් ලිපි

දඹදිව වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණෙන බැතිමතුන් හට ආරක්‍ෂාව සලසා දෙන්න යැයි ඉල්ලා කරුණානිධි මහතාට හා ජයලලිතා මහත්මිය වෙත ලිපි යොමු කළ බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමය පවසයි.

ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇතැයි තම සංගමය බලාපොරොත්තුවෙන් සිටින බව එම සංගමයේ ජාතික සංවිධායක මහින්ද හල්ඔළුව මහතා පැවසීය.

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමය විසින් කොළඹ නිපෝන් හෝටලයේ පසුගිය 2 දා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී හල්ඔළුව මහතා එසේ ප්‍රකාශ කළේ ය.

තමිල්නාඩුවේ දී සිදුවන බලපෑම් සඳහා විරෝධයපාමින් ඉදිරි දිනයකදී විහාර මහාදේවි උද්‍යානයේ දී සත්‍යග්‍රහයක් පවත්වන බවද මහින්ද හල්ඔළුව මහතා පැවසීය.

දඹදිව වන්දනාවේ යෑම සඳහා තමිල්නාඩු හැර විකල්ප ගමන් මාර්ග භාවිතා කළ හැකි බවත් මේ වෙන තෙක් එලෙස වන්දනාවේ ගිය කිසිවකුට හිරිහැරයක් වී නොමැති බවත් හෙතෙම කීවේ ය.

බුදුරජාණන් වහන්සේ මෙරට උප්පත්තිය ලබා ඇති බවට ඇතමෙක් ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව පවසන ඒ මහතා එවැනි දේ හට හසු නොවන ලෙසද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබාදීමට හැකිදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හල්ඔළුව මහතා ඒ පිළිබඳ සියයට සියයක් සහතික වීමට නොහැකි බවත්, මේ ගැටලුව නිසා සිය කර්මාන්තවලට යම් පසුබෑමක් සිදුව ඇති බවද කීවේය.

මේ අවස්ථාවට හෑගොඩ විපස්සි හිමි, ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ සභාපති අයි.පී.එස්. ගුණසේකර, ලේකම් පී.එස්.කේ. අල්විස් මහත්වරු ද එක්ව සිටියහ.