Print this Article


පුනරුප්පත්ති ලිපි මාලාව 21 යහපත් කර්ම විපාකයන් පුනර්භවයට බලපාන්නේ කෙසේ ද?

පුනරුප්පත්ති ලිපි මාලාව 21

යහපත් කර්ම විපාකයන් පුනර්භවයට බලපාන්නේ කෙසේ ද?

පසුගිය දා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ නිමි ජාතකයෙන් හෙළිවන අකුසල කර්මයන්ගේ විපාකයන් කෙබඳුදැ’යි විමසා බැලීම ය. මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ එහි දෙවන කොටස වෙතයි. එනම් කුසල කර්මයන්ගේ විපාකයන් කෙබඳුදැ’යි විමසා බැලීමට යි

ප්‍රශ්නය – නිමි ජාතකයෙන් හෙළිවන යහපත් කර්මයන්ගේ යහපත් විපාකයන් පුනර්භවය සඳහා බලපා ඇත්තේ කෙසේද?

සක් දෙවිඳුගේ රියැදුරු වූ ‘මාතලී ‘ නිමි රජුට නිරයේ තතු පෙන්වීමෙන් අනතුරුව කුසල දහම් කළ අය ලබා ඇති දිව්‍ය සම්පත් පෙන්වීමට දිව්‍ය විමානය වෙත රැගෙන යයි. අපායේ තතු දැකීමෙන් කලකිරීමට පත්ව සිටි නිමි රජු දිව්‍ය විමානයන්හි ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන දිව්‍ය පිරිස දැක සතුටට පත්වෙයි.

මාතලීගේ මඟපෙන්වීමෙන් නිමි රජු මහල් පහක් ඇති දිව්‍ය විමානයක් වෙත පිවිසෙයි. එහි වූ යහන මැද ඉතා අලංකාර ආභරණ පැළඳගන මහනුභාව සම්පත්තීන් අනුභව කරන දිව්‍යාංගනාවක් දැක සතුටට පත්ව ඇය මෙබඳු දිව්‍ය සම්පත් ලැබීමට හේතු වූ කුසල් සම්පත්තීන් විමසයි. එයට පිළිතුරු වශයෙන් මාතලී මෙසේ පවසයි.

යදි තෙ සුතා බීරණි ජිවලොකෙ, ආමායදාසී අහු බ්‍රාහ්මණස්ස,
සා පත්තකාලෙ අතිථිං විදිත්වා, මාතාව පුත්තං සකිමාභිනන්දි,
සංයමා යංවිභාගාව සා විමානස්මි මොදති.

මැය මිනිස්ලොව බමුණෙකුගේ නිවසෙහි දාසියකටව ඉපිද සිටියා ය. ඇගේ නම ‘බිරණි’ නම් විය. ආගන්තුක සත්කාර පිළිබඳ මනා ලෙස ඇලුම් කළ ඇය නිවසට පැමිණි අයට, දුර සිට පැමිණි සිය පුතුට මවක විසින් යම් සැලකිල්ක් දක්වන්නේ ද එලෙස සියලු දෙනාට සතුටින් හා සිල්වත්ව පරිත්‍යාග ගුණයෙන් උපස්ථාන කළාය. මිනිස් ලොව ඉපිද ඈ කළ එපිනෙන් මේ සා විශාල දිව්‍ය සම්පත් ඇය අනුභව කරන්නීය යනුවෙන් පැවසීය.

ඉන් අනතුරුව ‘මාතලී‘ විසින් නිමි රජුට මහත් ආලෝකයෙන් බබළන දිව්‍ය විමාන සතකින් සැදුම් ලත් දිව්‍ය විමානයක් වෙත කැඳවාගෙන යයි. එයි සත්වන මහලෙහි දිව්‍යාංගනාවන් පිරිවරා මහත් යස ඉසුරින් සක්මන් කරන දිව්‍ය පුත්‍රයෙක් දැක ඔහු එවැනි සම්පත් ලැබීමට හේතු කර්මයන් හෙවත් ඔහු කළ කුසල කර්මයන් විමසයි. එවිට ‘මාතලි’ පවසන්නේ,

සොචාදින්තෝ ගහපති, එය දානපති අහු,
එස පබ්බජිතුද්දිස්ස, විහාරෙ සත්ත කාරයි
සක්කචචං තෙ උපට්ඨාසි, භික්ඛවො තත්ව වාසිකෙ
අච්ඡාදඤ්ච හත්තඤ, සෙනාසං පදීපියං
අදාසි උජුභුතෙසු විප්පසන්නෙන චෙතසා
චාතුද්දසිං පඤ්චසිංයා ච පක්ඛස්ස අට්ඨමි,
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨයසුසමාහිතං

උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො,
සංයමා සංවිභාගා ව සෝ විමානස්මි මොදති.

පෙර මොහු සොණදින්න නම් ගෘහපතියෙක්ව උපන්සිටි කල භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා විහාර සතක් කරවීය. එහි වැඩ වසන භික්‍ෂූන්ට මනා ලෙස උපස්ථාන කළේ ය. සිල්වත් ගුණවත්, භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි පැහැදුණු ඔහු විශේෂයෙන් උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කළේ ය. සතර පෝයට සිල්ගෙන අංග අටකින් යුත් එම සීලය මනාව ආරක්‍ෂා කොට සීල සංවරයෙහි යෙදීම නිසා ඔහු මෙබඳු සම්පත් ලැබීය යනුුවෙන් පැවසීය.

නැවතත් මාතලී විසින් නිමි රජු පළිඟුවලින් නිමවුණු උතුම් ස්ත්‍රී සමූහයා ගැවසීගත් අලංකාර කුළු ගේවලින් යුත් දිව්‍යමය ආහාරපානයෙන් යුත් නෘත්‍යගීතාදියෙන් සමලංකෘත දිව්‍ය විමානයක් වෙත රැගෙන යයි. එම ස්ත්‍රී සමූහයා දැක සතුටුවන නිමි රජු එම ස්ත්‍රීන් මිනිස්ලොව ඉපිද සිටින කල කරන ලද කුශල කර්මයන් විමසයි. එයට පිළිතුරු දෙන මාතලී ඔවුන් කළ එම කුශල කර්මයන් මෙසේ පවසයි.

“යා කාවි නාරියො ඉධ ජීවලොකෙ, සීලවන්තියො උපාසිකා, දානෙරතානිච්ච පසන්නචිත්තා සච්චෙ ඨිතා උපොසථෙ අප්පමත්තා සංයමා සංවිභාගා වතා විමානස්මි මොදරෙ.”

පෙර මේ ස්ත්‍රීන් මිනිසත්බව ලබා සිටින කළ සිල්වත් උපාසිකාවන්ව සිට දන් දීමෙහි ඇලුණු සිත් ඇතිව නිති පහන් සිතැතිව සත්‍යයෙහි පිහිටා පෙහෙවස් සමාදන්ව පමා නොවී සිල් රැකීම හා දානාදි පුණ්‍ය කර්මයන් සිදුකළ නිසා මෙබඳු වූ දිව්‍ය සම්පත් ලැබූ බව පැවසීය.

නැවතත් නිමි රජු වෙරළුමිණියෙන් නිමවුණු සිත්කලු භූමියෙන් යුත් කොටස් වශයෙන් බෙදා දක්වන ලද දිව්‍ය විමානයක් වෙත පැමිණෙයි. එහි පසඟතුරු නාදයෙන් යුත් නෘත්‍ය ගීතාදියෙන් යුක්ත වූ සිත්කලු දිව්‍ය නාදයන් නිතර නික්මෙයි. මෙබඳු ගීතාදිය මීට පෙර නිමි රජු විසින් නොදුටු විරූ ය. මෙය දැකීමෙන් අතිශය සතුටට පත්වන නිමි රජු මෙබඳු සම්පත් ලැබීමට පෙර ඔවුන් කරන ලද කුශලකර්මයන් වීමයි.

“යො කෙචි මච්චා ඉධ ජීවලොකෙ, සීලවන්තා උපාසකා,
ආරාමෙ උදපානෙච පපා සඞකමනානිච,
අරහන්තෙ සීතිභූතෙ සක්කච්චං පටිපාදයුං”
“එවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං
අදංසු උපුගුතෙසු, විප්පසන්නෙන වෙතසා.”
“චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමි,
පාටිහාරියපක්බඤ්ච අට්ඨඩ්ගසුසමාහිතං,”
“උපොසථං උපවදෙන සදා සිලෙසු සංවුතා,
සංයමා සංවිභාගා තෙ විමානස්මි මොදරෙ”

මොවුන් මිනිස් ලොව ඉපිද සිටින සිල්වත් උපාසකයන් බවට පත්ව කෙලෙස් ගිනි නිවීමෙන් සිහිල් වූ රහතන් වහන්සේලා උදෙසා ආරාම, ළිං, පොකුණු, පැන්හල්, පාලම් ආදිය සකසා දීමෙන් ද, සෘජු ප්‍රතිපත්ති ඇති රහතන් වහන්සේලා උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව් පසයෙන් උපස්ථාන කිරීමෙන් ද, පොහෝ දිනයන්හි පිරිසුදු සීලයෙහි පිහිටා එම සීලය ආරක්‍ෂා කිරීමෙන් ද, ඉන්ද්‍රිය සංවරයෙහි යුක්තවීමෙන් ද මෙබඳු වූ මහත් දිව්‍ය යසඉසුරු ලද බව පැවසීය.

නැවතත් නිමි රජුව රනින් කළ නොයෙක් කුළුගේ වලින් බබළන මනෝඥ දිව්‍යාංගනාවන්ගෙන් පිරිවරන ලදුව අලංකාර විමානයක සිටින එක් දෙවියෙක් දකී. එම විමානය හාත්පසින් අලංකාර නදියක් ගලා බසී. එමෙන්ම එම නදිය පස්පියුමෙන් බබළන අතර දිව්‍ය විමානය වටා පිපිණු මල්වලින් යුත් රුක්වලින් බබළයි. මේවා දැකීමෙන් සතුටුවන නිමිරජු මෙහි වෙසෙන එම දිව්‍ය රාජයා මෙබඳු සම්පත් ලැබීමට හේතු වූ කරුණු මොනවාදැයි මාතලිගෙන් විමසයි. එවිට මාතලී පවසනුයේ

“මිථිලායං ගහපති, ඵස දානපතී අහු, ආරාමෙ උදපානෙ ව, පො සඞකම්නානි ව, අරහන්තෙ සිතිභූතෙ, සක්කච්චං පටිපාදයි,

“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං,
අදාසි උජුතුතෙසු විජාපසන්නෙන චෙතයා,”
“චතුද්දසීං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී,
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨගසුසමාහිතං”
“උපොසථං උපවසී, සදා සිලෙසු සංවුතො,
සංයමා සංවිභාගා ව, පසා විමානස්මි මොදති”

එනම් මොහු පෙර මිනිසත්බව ලැබ සිටිය දී මිථිලාවෙහි දානපතියෙක්ව සිට ආරාම, ළිං, පොකුණු, පැන්හල්, පාලම් ආදිය සකසා දීමෙන් ද, සෘජු ප්‍රතිපත්ති ඇති රහතන් වහන්සේලා උදෙසා චීවර, පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය යන සිව් පසයෙන් උපස්ථාන කිරීමෙන් ද, පොහෝ දිනයන්හි පිරිසුදු ශීලයෙහි පිහිටා මේ ශීලය ආරක්‍ෂා කිරීමෙන් ද, ඉන්ද්‍රිය සංවරයෙහි යුක්තවීමෙන්ද මෙබඳු වූ මහත් දිව්‍ය යසඉසුරු ලද බව පැවසීය.