Print this Article


දෙව් ලොවටත් විහිදෙන යහගුණ සුගන්ධය

දෙව් ලොවටත් විහිදෙන යහගුණ සුගන්ධය

සද්පුරුෂයන් නිසාවෙන් මුළු ලොවක් අවදිවීමටත්, බැබැළීමටත්, යහපතම උදාවීමටත් ශක්‍යතාවක් ඇත්තේ ය. සද්පුරුෂ වූ ගුණ හඳුනා ගනිමින් ඒ ගුණ ඇති සද්පුරුෂයන් ඇසුරු කරමින් වාසය කරනුයේ ද තවත් සද්පුරුෂයකුමය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සිල්වතුන්ගේ ගුණ සුවඳ උඩු සුළඟට යන අතර එබඳු සද්පුරුෂයන්ගේ යහගුණ සුවඳ මුළු ලොවම සුවඳවත් කරයි.

මිහිපිට උපත ලබන සත්වයනට හුදෙකලාව වාසය කළ නොහැකිය. ජීවිතයක් සාර්ථක වන්නට නම් අර්ථයෙන් හා ධර්මයෙන් සුපෝෂිත වන්නට නම් යහමඟ පෙන්වා දෙන උත්තම ඇසුර අවැසි වේ. ඒ උත්තමයෝ සද්පුරුෂයෝ ලෙස හඳුන්වති. බුද්ධදේශනාවෙහි, සද්පුරුෂ ඇසුර දුර්ලභ ලෙස සඳහන් වේ. සෑම සාර්ථක ජීවිතයක් පිටුපසම පරමාදර්ශී චරිතයක් ඇත්තේම ය. ඒ අනුව, සත්වයනට නිවැරැදි මඟ පෙන්වා දී ඔවුන් සසර කතරෙන් එතෙර කරවාලු මිහිපිට පහළ වූ ශ්‍රේෂ්ඨතම සද්පුරුෂයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ය.

සද්භාවයෙන් යුත් පුරුෂයා සද්පුරුෂයෙකි.කිසියම් තැනැත්තකු තුළ යහපත් ගතිගුණ දක්නට ඇත්නම් එම ගුණ ඇත්තා හැඳින්වීම සඳහා ‘සද්පුරුෂ’ යන්න භාවිත කරයි. මෙම වචනය කර්ණ රසායන පදයක් වනවා සේ ම ඉතාම අභිරුචියකින් ශ්‍රවණය කිරීමට කවුරුත් කැමැත්තක් දක්වන්නා වූ පදයකි. නමුදු එම වචනය කිසියම් අයකු වෙනුවෙන් භාවිත කිරීමට හැකිවන්නේ ද එබඳු පුද්ගලයින් ප්‍රමාණය ඉතා අල්පය. මන්ද සද්පුරුෂ ගුණයන්ගෙන් පිරුණු, එමෙන්ම සද්පුරුෂයකු වන්නට උත්සුකවන්නා වූ පිරිස ඉතා සීමිත වන බැවිනි.

ශාන්ති නායකයන් වහන්සේ විසින් ‘සද්පුරුෂ’ යන්න භාවිත කළ ආකාරය ත්‍රිපිටක දේශනාව තුළ දක්නට ලැබේ. සද්පුරුෂ යන්න යෙදිය යුතු අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ ආර්ය, කල්‍යාණමිත්ත, පණ්ඩිත, සුදන, පසන්නචිත්ත, රහතන් වහන්සේ හා පරමාදර්ශි යන නාමයන් ද භාවිත කොට වදාළ සේක. ඒ අනුව, යහපත් ගති ලක්‍ෂණයන්ගෙන් හෙබියා වූ අයකු සද්පුරුෂයකු ලෙස හැඳින්වේ. ශ්‍රේෂ්ඨතම සද්පුරුෂයන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ තුළ වූ සද්පුරුෂ ධර්ම කිසිදු කලෙක පරිහානියට පත්වී නොමැත. බෝධිසම්භාර ධර්මයන් පූරණය කරන සමයේ දී පුරුදු කරන ලද්දා වූ එම සද් ගුණයන් නිසාවෙන් තුන් ලොවක් අවිදු අන්ධකාරයෙන් මුදා, කෙලෙස් ගින්නෙන් දැවෙන සත්වයන් වෙත අමාදම් වැසි වස්වමින් ඔවුන් සංසාර සාගරයෙන් එතෙර කරවීමේ උත්තරීතර කාර්යයෙහි නියැළීමට උන්වහන්සේට හැකි විය.

මිනිස් සමාජය තුළ සැබෑ සද්පුරුෂයෝ කවරහුද, සද්පුරුෂයාගේ ලක්‍ෂණ මොනවාද යන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය තුළ අඩංගු වේ. සමාජය තුළ දී එම ගුණයන්ගෙන් යුතු උතුමන් හඳුනාගෙන, ඔවුන්ගේ ආශීර්වාදය ලබමින් ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව ඇත. සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ සද්පුරුෂ ධර්ම සතක් පෙන්වාදී ඇත. එම සූත්‍රයෙහි දක්වන ආකාරයට, සක්දෙව් රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණුවන්නේ ද සද්පුරුෂාදීන්ට හිරිහැර කරදර වන විටයි. එසේ දෙවියන් විසින් මිනිස් ලොව සද්පුරුෂයා හඳුනාගනුයේ එම කරුණු සත පදනම්කොට ගෙනයි.

මාතාපෙත්තිහරංජන්තුං
කුලෙ ජෙට්ඨාපවිචායිනං
සණ්හංසඛිල සම්භාසං
පෙසුනෙය්‍යප්පහායිනං
මච්ඡෙරවිනයේයුත්තං
සච්චං කොධාභිභුං නරං
තංවෙදෙවා තාවතිංසා
ආහුසප්පුරිසොඉති

මවුපියන් පෝෂණය කිරීම, වැඩිහිටියන්ට සැලකීම, මෘදු කතා ඇති බව, කේලාම් නොකීම, මසුරු නොවීම, සත්‍යයට ගරු කිරීම, ක්‍රෝධ හා වෛර නොකිරීම යන ගුණාංගවලින් හෙබි මිනිසා සද්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ කීහ. එම ගුණාංග මිනිසකු තුළ ඇත්තේ වී නම් දෙවියෝ සලකති. ඔවුන් වෙතින් සද්පුරුෂ ගුණ සුවඳ විහිදෙයි. ඒ සුවඳ උඩු සුළඟට මෙන්ම දෙව්ලොවට ද හමායයි. සද්පුරුෂයෝ තමන්ට වරදක් නොවන ලෙසට මෙන්ම හැමවිටකම අන් අයට යහපතක් වන ලෙසින්ම දිවි ගෙවති.

සක්ක සංයුත්තයට අමතරව භාග්‍යවතුන් වහන්සේ විසින් සද්පුරුෂ ගුණ පිළිබඳ මජ්ඣිම නිකායේ අනුපද වග්ගයේ සප්පුරිස සූත්‍රයේ දී ද දේශනා කොට වදාළ සේක. ශාන්ති නායකයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ දී භික්‍ෂු සංඝයා අමතා සද්පුරුෂ ධර්ම දහ අටක් දේශනා කොට වදාළ සේක.

“මහණෙනි, මම තොපට සද්පුරුෂ ධර්මය ද අසද්පුරුෂ ධර්මය ද දේශනා කරමි. මැනැවින් මෙනෙහි කරව්” යැයි දේශනා කොට වදාළ සේක. භික්‍ෂූන් වහන්සේ අමතා මෙම සූත්‍ර දේශනාව සිදු කළ ද ගිහි සමාජයට ආරෝපණය කර ගනිමින්, ගිහි පිරිස තුළ ඇති දුර්ගුණ දුරු කරමින් අසද්පුරුෂ ගුණ මැඬලමින් සද්පුරුෂ ගුණ දියුණුකර ගැනීමේ හැකියාව ඇත. එහිදී දක්වනු ලබන පළමුවැනි කාරණය වන්නේ, උසස් කුලයකින් නික්ම පැවිදි වූ භික්‍ෂුවක් තමා උසස් කුලවත් අයකු ලෙස සිතා තමන් උසස් කොට සලකමින් අනුන් පහත්කොට සැලකීමයි. එය අසද්පුරුෂ ධර්මයකි. උසස් කුලවන්තයා උසස් කුලයක උපත ලද ද එම උසස් කුලවත් බව නිසා ලෝභ, ද්වේෂ, මෝහ අඩු නොවෙයි. උසස් කුලයකට අයත් නොවූවත් ධර්මානුකූලව පිළිපැද ප්‍රතිපත්ති රකින්නේ නම් එයම උසස් බවට පත්වීමට හේතු වෙයි. මෙසේ කල්පනා කරමින් තමා උසස් කොට නොසිතන අතර අනුන් පහත් කොට ද නොසිතයි. මෙය සද්පුරුෂ ධර්මයකි. එනම් උසස් කුලය හේතු කොට ගෙන උඩඟු නොවී වාසය කරයි.

එමෙන්ම මහත් වූ සම්පත් ඇති පවුලකින් පැමිණ පැවිදි වූ භික්‍ෂුවක් තමාට මහත් සම්පත් ඇතැයි සිතමින් අනුන් හෙළා දකීනම් එය ද අසද්පුරුෂ ගුණයකි. සම්පත්හි යථා ස්වභාව අවබෝධ කොටගෙන, අනුන්හෙළා නොදකිමින් වසන්නේ සද්පුරුෂයෙකි. තමාගේ ධන සම්පත් නිසා උඩඟු භාවයට පත්ව කටයුතු කරමින් සිටින සමාජයෙහි ඒ පිළිබඳ ඇලීමක් නැතිව යථාර්ථය අවබෝධ කොට වසන්නේ නම් හෙතෙම සද්පුරුෂයෙකි.

පෙර සසරෙහි දානාදි පුණ්‍ය කර්ම සිදුකිරීම හේතු කොටගෙන පරිවාර සම්පත්තියෙන් ද ප්‍රසිද්ධ වූ ඥාතීන්ගෙන් ද පුද්ගලයා යුක්ත වෙයි. එසේ වූ විට තමා වටා විශාල ඥාතිපිරිසක් වෙසේයැයි සිතමින් අනුන් හෙළා දකිමින් කටයුතු කෙරේ නම් ඒ අසද්පුරුෂ ලක්‍ෂණයකි. එසේ නොකරමින් නිහතමානීව කා සමඟත් සුහදශීලිව වසන්නේ සද්පුරුෂයෙකි.

ජීවත්වන කාල පරාසය තුළදී චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපස ලැබීමේ විවිධත්වයක් ඇත්තේ ය. එම සම්පත් ලැබීමේ වැඩි නැඹුරුතාව හේතුවෙන් ලාභී වරප්‍රසාද තමාට ඇතියැයි සිතා තමා උසස් ලෙස සලකන්නේ නම් ඒ අසද්පුරුෂ ලක්‍ෂණයකි. එසේ නොවී තම වස්තුව අන් අය හා බෙදා ගනිමින්, උපකාර කරමින් උඩඟු භාවයට පත් නොවී සිටින්නේ ද වරප්‍රසාද සම්පත් නිසාවෙන් ලෝභ, ද්වේෂ, මෝහ අඩු නොවන බව දැන අන් අය හෙළා නොදකිමින් කටයුතු කරන්නෝ ද සද්පුරුෂයෝ ය.

එමෙන්ම තමා බොහෝ ඇසූ පිරූ තැන් ඇතැයි සිතමින් අන් අය බොහෝ ඇසූ පිරූ තැන් නැතැයි හෙළා දකිමින් කටයුතු කරන්නේ අසද්පුරුෂ ගුණ ඇත්තෙකි. බොහෝ දැන උගත් බවින් යුක්ත වූ නිසා ලෝභ, ද්වේෂ, මෝහ අඩු නොවේ. බහුශ්‍රැත නොවූවත් ධර්මානුකූලව ප්‍රතිපත්ති පුරන්නේ නම් එයම උසස් බවට පත්වීමට හේතු වේ. මේ බැව් වටහාගනිමින් අනුන් පහත් කොට නොසිතන්නේ සද්පුරුෂයෙකි. එසේම තමන් විනයධරයකු යැයි සිතා අනුන් හෙළා නොදකී ද හෙතෙමේ ද සද්පුරුෂයෙකි. සමහර පුද්ගලයන්ගේ ධර්ම කථික හැකියාව ඉතා ඉහළ ය. ඒ අනුව ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත් වේ. මම වනාහි ධර්ම කථිකයෙක් වෙමි, අන් අය එසේ නොවෙතියි සිතමින් තමාගේ කථිකත්වය උසස් කොට සලකමින් අන් අය පහත්කොට සැලකීම අසද්පුරුෂ ධර්මයකි. ධර්ම කථික වුව ද කෙලෙස් අඩු නොවේ යැයි දැන තමා උසස් කොට නොසිතයි ද අනුන් පහත් කොට නොසිතන්නේ ද හෙතෙම සද්පුරුෂයෙකි.

එමෙන්ම යම් භික්‍ෂුවක් තමන් අරණ්‍යවාසී යැයි ද, පාංශුකූලිකයැයි ද පිණ්ඩපාතිකව වසන්නේයැයි ද ආදී ලෙස සිතමින් අනුන් පහත් කොට තමා උසස් කොට සිතන්නේ නම් හෙතෙම අසද්පුරුෂයෙකි. එසේ නොසිතා යථාර්ථය අවබෝධ කොටගෙන නිහතමානීව වසන්නෝ සද්පුරුෂ ගුණ ඇත්තෝ ය. මීට අමතරව තමන් ධ්‍යාන ලබා ඇතැයි සිතමින් කටයුතු කරන්නෝ ද වෙති. මේ ආදි වශයෙන් දක්වන ලද අසද්පුරුෂ ගුණයන්ගෙන් මිදී සද්පුරුෂ වූ ගුණ හඳුනා ගනිමින් තම ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව තුළින් පෙන්වා වදාළ සේක.

ඒ අනුව, එක් සද්පුරුෂයකු නිසාවෙන් මුළු ලොවක් අවදිවීමටත්, බැබළීමටත්, යහපතම උදාවීමටත්, ශක්‍යතාවක් ඇත්තේ ය. සද්පුරුෂ වූ ගුණ හඳුනා ගනිමින් ඒ ගුණ ඇති සද්පුරුෂයන් ඇසුරු කරමින් වාසය කරනුයේ ද තවත් සද්පුරුෂයකුමය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සිල්වතුන්ගේ ගුණ සුවඳ උඩු සුළඟට යන අතර එබඳු සද්පුරුෂයන්ගේ ගුණ සුවඳ මුළු ලොවම සුවඳවත් කරයි. සද්පුරුෂ ගුණ වූ දයාව, කරුණාව, අනුකම්පාව, මෛත්‍රීය ආදී මනුෂ්‍ය ගුණ ධර්ම වර්ධනය කර ගැනීමේ හැකියාව සෑම මනුෂ්‍යයකුම සතු වන්නේ ය. මෙලෙස සද්පුරුෂ ගුණ හඳුනා ගනිමින් සද්පුරුෂයකු වන්නට අදිටන් කරගන්නා සේම, සද්පුරුෂ ඇසුර නිරතුරුව යහපත් කොට සලකමු.