Print this Article


මිණිමුතු හර පරයන අමිල සමඟි දම

මිණිමුතු හර පරයන අමිල සමඟි දම

සමඟියට උපකාර වන වැදගත් කාරණාවක් වන්නේ අන්‍යයන්ට සවන්දීමයි. ඒ සඳහා අනුන්ගේ අදහස්, සිතුම් පැතුම් දැන හඳුනා ගැනීම වැදගත්. එහිදී ඔවුන්ට සවන් දීම අවශ්‍යයි. එය තම කටයුතු සාර්ථකව කාගේත් සිත්ගන්නා පරිදි කිරීමට උපකාර වනවා. අසමඟියට හේතු වන අනවශ්‍ය විවේචන,දෝෂාරෝපණ, අනෙකාගේ අඩුපාඩු දැකීම ඒ තුළින් මඟ හැරීමත් සිදුවනවා.

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
පරෙචන විජානන්ති
මයමෙත්‍ථ යමාමසෙ
යෙ ච තත්‍ථ විජානන්ති
තතො සම්මන්ති මෙධගා

සුපින්වතුනි,

අද බක් අමාවක පොහොය දිනයෙහි සමඟිය පිළිබඳ ඉතා වැදගත් කරණා කිහිපයක් කියා දෙන්නයි බලාපොරොත්තුව. ඒ සඳහා වූ දේශනයක් මා මාතෘකස්ථානයේ තබන්නට යෙදුණේ. මේ දේශනාව සිදු කළේ බුදුරදුන් කොසඹෑ නුවර ඝෝෂිත සිටුතුමා විසින් කරවන ලද ඝෝෂිතාරාමයේ වැඩ සිටින කාලෙකයි. ධර්මධර හා විනයධර භික්‍ෂූන් දෙනමක් අතර ඇති වූ මත ගැටුමක් දුර දිග යෑම නිසා ඒ දෙනමගේ සිසුන් අතරටත්, ඉන් අනතුරුව දායක පිරිස් අතරටත් මත ගැටුම දුරදිග ගියා. ධර්මධර හා විනයධර දෙනමටම බුදුරජාණන් වහන්සේ සමඟියේ පිහිටන ලෙස අවවාද කළත් දෙපිරිසම එයට අවනත නොවූ නිසා බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කළා .

රජයට හෝ ජනතාවට මෙම අසමඟිය සමථයකට ගෙන ඒම වෙනුවෙන් වෙන කිසිත් කළ නොහැකි වූ හෙයින් තත්ත්වය තවත් උග්‍ර අතට හැරුණා. බුද්ධිමත් දායක පිරිස් එකතු වී මේ අසමඟියට කළයුතු පිළියමක් ලෙස ගරුසත්කාර නොකර, දන්පැන් නොදී ඉඳීමට කථිකා කරගත්තා. ඇනුම්, බැණුම්,දෙඩුම් රහිතව කළ හැකි දඬුවම මෙය වුණා. කලහකාරි භික්‍ෂූ දෙපිරිසට තම තමන්ගේ වරද වැටහෙන්නට වුණා. සියලු දෙනාම අවවාද පිළිගෙන සමඟි වූවාසේම බුදුරජාණන් වහන්සේ ක්ෂමා කර ගත්තා.

අසමඟිය නිසා ගුණවතුන් පවා ගුණධර්ම වලින් පිරිහෙන බවයි මේ තුළින් පෙනෙන්නේ.සමඟි සම්පන්නව සිටීම ගුණධර්ම දියුණුවීමටත් උපකාර වෙනවා. රටක, සමාජයක,ආයතනයක දියුණුවට සමඟිය ඉතා වැදගත්.අසමඟිය මෙහි විරුද්ධ වචනයයි. එයට වඩාත් රුකුල්දෙන කරුණු තමයි ඔවුනොවුන්ගේ වැරැදි එකිනෙකා සමඟ ප්‍රකාශ කිරීම, පහත්කොට සිතා කීම, පහත්කොට සිතා කිරීම ආදිය. කෙනකුගේ අඩුපාඩුවක් දුටුවහොත් එය මෙත් සිතින් පි‍්‍රය වචනයෙන් ඔහුට කියා දීම වැදගත්. ඔහු එය පිළිනොගන්නේ නම් දෙවැනුව තෙවැනුව එය කීමට යෑම අසමඟියට හේතුවෙන්න පුළුවන්. බුද්ධිමත්ම ක්‍රමය වන්නේ,අන් අය ළඟ ඇති එම වැරැදි තමා තුළ තිබේදැයි නුවණින් බැලීමයි. එසේ බලා, තිබේනම්, මම ඔය සියලු වැරැදි වලින් මිදෙන්නෙමියි සිතීමයි. එය සමඟියට මෙන්ම තම අධ්‍යාත්මික ගුණ වගාවේ දියුණුවටත් උපකාර වෙනවා.

සමාජය තුළ සම හා විසමතා කියා දෙකක් තිබෙනවා. අපට ගැළැපෙන අදහස්, හැඟීම්, වචන හා ක්‍රියාකාරකම් ඇති අය සම අය ලෙස දැක්විය හැකිය .ඒ වාගේම අපට නොගැළැපෙන අදහස්, හැඟීම්, වචන හා ක්‍රියාකාරකම් ඇති අයත් ඉන්නවා. ඒ අය විසමතා අය හැටියට දකින්න පුළුවන්. ඒ සමතා විසමතාවලට බලපාන ප්‍රධාන හේතුව වන්නේ සංසාරික පුරුද්ද විය හැකියි. මේ භවයේ පවුල් පරිසරයත් මෙයට බලපාන්න පුළුවනි.මේ කරුණුවලදි ඉවසීම හා ඔරොත්තු දෙන මානසිකත්වයකින් අප කටයුතු කරන්න ඕන. ඒ අනුව සමගිය රැකෙන බව විශේෂයෙන් සිහිපත් කිරීමට හැකියි.

සමඟියට උපකාර වන තව වැදගත් කාරණාවක් වන්නේ අන්‍යයන්ට සවන්දීමයි. අනුන්ගේ අදහස්, සිතුම් පැතුම් දැන ගැනීම හඳුනා ගැනීම වැදගත්. ඒ සඳහා උපකාර වන වැදගත්ම දේ ඔවුන්ට සවන් දීමයි. එය තම කටයුතු සාර්ථකව කාගේත් සිත්ගන්නා පරිදි කිරීමට උපකාර වනවා. අසමඟියට උදව් වන, අනවශ්‍ය විවේචන, දෝෂාරෝපණ අනෙකාගේ අඩුපාඩු දැකීම ඒ තුළින් මඟ හැරීමත් සිදුවනවා.ප්‍රශ්න ඇතිකර විසැදීමටත්, ප්‍රශ්න ඇතිවන පරිදි කටයුතු කිරීමටත් වඩා හොඳ දේ වන්නේ ප්‍රශ්න ඇති නොවන පරිදි කටයුතු කිරීමයි. අසමඟියට උපකාර වන ප්‍රශ්න ඇති කිරීමෙන් ඒවා විසැදීමට යන පිරිස් අතරත් ප්‍රශ්න නිර්මාණය වෙන්න ඉඩ තිබෙනවා.

ද්වේෂ අකුසලය, අසමඟිය තුළින් නිරතුරු උපදින අකුසලයක්. කොසඹෑ නුවර ධර්මධර විනයධර භික්‍ෂූ දෙපාර්ශවයට සමඟිය පිළිබඳ දේශනා කළ දේශනය ගැන දැන් විමසා බලමු.

‘පරේචන විජානන්ති මය මෙත්‍ථ යමාමසෙ’ මෙහි පද අර්ථ පිළිවෙළ මෙහෙමයි. “එත්ථ පරෙ මයං යමා මසෙ න ච විජානන්ති ‘ කලහයක්, යුද්ධයක් සිදුවන අවස්ථාවකදි දෙපිරිසක් මේ සඳහා ඉලක්ක වනවා. ඒ පිරිස ඉන් මිය යන බව හෝ ඒ හා සමාන දුකකට පත්ව විනාශ වන බවටත් ඒ දෙපිරිසම දන්නේ නැහැ. බුද්ධිමත් කිහිපදෙනෙක් මෙය තේරුම් ගන්නවා. ඒ අය ඉන් ඉවත්ව වඩාත් යහපත් වෙන්න උත්සාහ කරනවා.

යමකු යුද්ධයේදි එසේත් නැත්නම් කලහයකදී මිය යෑම හෝ ඊට සමාන දුකකට පත්වීම සිදුවන බව කල්තියාම තේරුම් ගන්නෙ නම්, ඒ හේතුවෙන් ඔවුන්ගේ කලහය, ගැටුම සන්සිඳෙන බවයි දේශනා කළේ. ‘යෙච තත්‍ථ විජානන්ති- තතො සම්මන්ති මෙධගා’ යනුවෙන්. ඒඅනුව යමක් කිරීමට, කීමට කලින් එහි නරක හෝ හොඳ ප්‍රතිඵල කල්තියා වටහා ගන්න හැකියාව තිබේ නම් කෙතරම් වටින්නේදැයි කල්පනා කිරීම වැදගත්.

අසමඟිය ඇතිවීමට ඊළඟට හේතුවන තව කාරණයක් තමයි අවිශ්වාසය. යමෙකු පිළිබඳ දිගින් දිගටම අවිශ්වාසයෙන් බැලීමට, කටයුතු කිරීමට යෑම නිසාත් මෙය ඇති විය හැකියි. තමන්ගේ කියන ඥාතීන් අතරත්, මිත්‍රයන් කෙරෙහිත් මේ අවිශ්වාසය ඇති වුවහොත් එය කලහ, ගැටුම් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙනවා.

වටිනා ගෙවල් යාන වාහන ඉඩකඩම්, ව්‍යාපාර හා දේපොළ වෙනුවෙන් පමණක් නොවෙයි,ඇතැම්විට නොවටිනා දේ අරභයාද මවුපිය දූ දරුවන් සහෝදර, සහෝදරියන් සහ නෑ හිතවතුන් අතර කලහ ඇති කර ගන්නා සමාජයක් අද දකින්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකාව වැනි උදේ සවස බණ අසන රටක පවා එබඳු තත්ත්වයක් ඇතිවීමට හේතුව, හීනාදි මුත්තික (කෙලෙස්වලට යටවුණූ) මනැසක් ඇති පුද්ගලයන් බහුල වීමයි. බණ ඇසුවත් ඒවා සිහි නුවණින් අසා මතක තබාගෙන ක්‍රියාත්මක කිරීම අඩුවීමත් එයට බලපානවා.

අසමඟියක් ඇති තැන ඊට සම්බන්ධ පාර්ශව දුර්වලවීම ස්වභාවිකයි. ඒ දුර්වල වීම ප්‍රයෝජනයට ගැනීමට සතුරු පිරිස හට අවස්ථාව පෑදීම සාමාන්‍ය තත්ත්වයක්. රටක්, ජාතියක්,ආගමක්,ආයතනයක්, සංවිධානයක් අසමඟි වුවහොත් තත්ත්වය හැම කෙනාටම බලපාන්න පුළුවන්. ඒ අනුව ඔවුන් විනාශයෙන් විනාශයටම යනවා මිස කිසිදිනක දියුණුවක් කරා යන්නේ නැහැ. අසමඟිය විනාශයට මිස පැවැත්මට නොවන බවයි තේරුම්ගත යුත්තේ.

අපගේ ශරීරයේ ඇති වාතය, පිත, සෙම සමව, සමඟිව තිබුණොත් අප නිරෝගියි. වා, පිත්,සෙම කෝප වුවහොත්, අසමඟි වුවහොත් රෝග තත්ත්වයන් ඇති වෙනවා. මරණය හා විනාශය කරා පැමිණීම නවත්වන්න බැහැ.

මේ විධියට බාහිර හා අභ්‍යන්තර උපමා වලින් අපට දත හැක්කේද අසමඟිය, කලහය, විනාශයට මිස පැවැත්මට නොවෙන බවයි.

මෙතෙක් වෙලා සිදුකළ ධර්ම දේශනාවෙන් ජනිත කුසල් දෙවියන්ටත්, මිය ගිය නෑ හිතවතුන්ටත් ඔබ අප සැමටත් අජරාමර නිවන් පිණිස වේවා යි ප්‍රාර්ථනා කරන්න.

තෙරුවන් සරණයි!