පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වූ නිකෙලෙස් රහතන් වහන්සේලා
දෙසිය හැටහතර
නමකගේත් රහත්
භික්ෂුණින් වහන්සේලා හැත්තෑ හතර නමකගේත් පරම විරාගී ධර්ම
චින්තාවන් ථේර ථේරී ගාථා වල සඳහන් වෙනවා.
උන්වහන්සේගේ නම්
ඇසීම පවා
සුන්දරයි අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයේ පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා
කරද්දී නිකෙලෙස් රහතන් වහන්සේලාගෙන්, නිකෙලෙස් රහත් මෙහෙණින්
වහන්සේලාගෙන් දඹදිව් තලය ශෝභාමත් වුණා. තථාගත හදමඬලේ උපන් ඒ ශ්‍රාවක
පුතුන්ගේ ශ්‍රාවිකා දියණියන්ගේ විමුක්ති සුවයේ අසිරිමත් බට කැටි වූ
සුන්දර උදානයන් ථේර ථේරී ගාථා නමින් ශ්‍රී සද්ධර්මයට එක් වී තිබෙනවා.
බුද්ධ ශාසනයේ සාරය වන අරහත් ඵල විමුක්තිය ලබා පිරිනිවන් පා වදාළ
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ මුනිවරුන්,
මුනිවරියන් ගැන අසිරිමත් තොරතුරු මේ ථේර ථේරී ගාථා ග්‍රන්ථය තුළින් අපට
මුණ ගැසෙනවා.
ඛුද්දක නිකායට අයත් මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලාගේ
නිකෙලෙස් චරිතාපදාන ජීවමාන අයුරින් අප ඉදිරියේ මැවී පෙනෙනවා. ඒ රහතන්
වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල අප ඉදිරියේ විදහා දැක්වෙනවා. “සංඝං සරණං
ගච්ඡාමි” යනුවෙන් අප සරණ යන ඒ ශ්‍රාවක සංඝ රත්නය ඉතා ශ්‍රේෂ්ඨ යි.
පිවිතුරු යි. පළවෙනි ධර්ම සංඝායනාව සිදුකළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
ප්‍රමුඛ රහතන් වහන්සේලා ථේර ථේරී ගාථා හඳුන්වා දී ඇත්තේ මේ අයුරිනි. ඒ
රහතන් වහන්සේලා සිත දියුණු කර ගත්තේ මේ ධර්මයෙන්ම යි. උන්වහන්සේලා තම
තමන් ගැන කියන මේ ගාථාවන් ඉතාමත් සුන්දරයි. නොයෙක් නම් වලින්
ගෝත්‍රවලින් උන්වහන්සේලා හඳුන්වනවා. නොයෙකුත් සමාපත්ති වලිනුත්
යුක්තයි. හැම දුකින්ම නිදහස් වූ ඒ රහතන් වහන්සේ සැබෑවටම ප්‍රඥාවන්ත යි.
කම්මැලි කමින් තොරයි. ඒ අමා නිවනට පත් වුණේ තමන් තුළ විදර්ශනා වඩලයි. ඒ
රහතන් වහන්සේලා ඒ ධර්මය ගැන නුවණින් සළකාගෙනම යි මේ ගාථාවන් වදාළේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වූ නිකෙලෙස් රහතන් වහන්සේලා
දෙසිය හැටහතර නමකගේත් රහත් භික්ෂුණින් වහන්සේලා හැත්තෑ හතර නමකගේත් පරම
විරාගී ධර්ම චින්තාවන් ථේර ථේරී ගාථා වල සඳහන් වෙනවා. උන්වහන්සේගේ නම්
ඇසීම පවා සුන්දරයි. රහතන් වහන්සේ නමක් ගැන ගුණ දැනගෙන සිත පහදවා ගන්නට
ලැබීම වාසනාවක්. මිනිස් ලොව ඉපිද උත්තරීතර මානුෂීය ගුණ සාක්ෂාත් කොට
අමා නිවන ස්පර්ශ කර ඒ රහතන් වහන්සේලාගේ චරිතාපදාන සියලු සුවඳින් අපමණ
වීර්යයෙන්, චිත්ත ධෛර්යයෙන්, සමාධිමත් බවින් අසිරිමත් ප්‍රඥාවෙන්
සමන්විත වෙනවා. ආශ්චර්යමත් සම්බුුදු ප්‍රඥා මහිමයේ අනුහසින් තම ප්‍රඥාව
පුබුදුවා ගත් ඒ නිකෙලෙස් රහතන් වහන්සේ ගැන බුදු සමිඳුන් වරක් මෙසේ
වදාළා.
මහ පාර අයිනක, කැළි කසල හමන මඩ වගුරේ නෙළුමක් පිපෙනවා. ඒ පිපෙන නෙළුම
හරිම ලස්සනයි. අන්න ඒ වගේමයි කුණු කසල බඳු අදහස් වලින් පිරුණු අන්ධබාල
පුහුදුන් ජනතාව වාසය කරන මේ ලෝකය තුළම සම්මා සම්බුදුරජුන්ගේ්
ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාව සරණ කොට ගෙන අතිශයින්ම බබලයි. කයින් යහපත්
ක්‍රියා ඇති ඉතා යහපත් වචන කතා කරන යහපත් සිතිවිලි සිතන නිකෙලෙස්
මුනිවරයන්ගෙන් මේ පරිසරය පවා ලස්සන වෙනවා. පිවිතුරු මලක ඇති සුන්දරත්වය
වැනි නිකෙලෙස් සුන්දරත්වයකින් යුක්ත උන්වහන්සේලා සොබාදහමේ සුන්දරත්වය
මැනවන් ගැලපී යනවා. ‘ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳු ගැටයක හෝ යම්
තැනක රහතන් වහන්සේලා වැඩ සිටිත් නම් ඒ තැන පවා ලස්සනයි’ කියා වරක් බුදු
සමිඳුන් වදාළා. සීලය, සමාධිය, ප්‍රඥාව පරිපූර්ණත්වයට පත්කර ගෙන මනාව
ඉන්ද්‍රියන් දමනය කළ රහතන් වහන්සේලාගේ දැක්ම දෙවියන් පවා පි‍්‍රය කරන
බව තවත් වරෙක භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. දක්ෂ රියැදුරෙක් ඉතා
මැනවින් අශ්වයන් දමනය කරන්නාක් මෙන්, රහතන් වහන්සේ තම ඉඳුරන් දමනය කර
ගන්නේ. ඒ නිසාම පිරිපුන් සංසිඳීමකට පත්වෙනවා. මානය නැති කළ අකම්පිත
සිත් ඇති ඒ නිකෙලෙස් රහතුන්ගේ දැක්ම දෙවියන්ට පවා ඉතා පි‍්‍රයයි.
රහතන් වහන්සේ නමක් බවට පත් වන්නේ චතුරාර්ය සත්‍ය, සත්‍ය ඤාණ, කෘත්‍ය
ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ වීමෙනි. ඒ ආශ්චර්යවත්
පරිවර්ථනය පිළිබඳව රහතන් වහන්සේලා උදම් අනනුයේ මෙලෙසිනි. “ඉපදීම ගෙවී
ගියේය. බ්‍ර‍්‍රහ්මචාරී ජීවිතය ගතකොට අවසන් විය. නිවන පිණිස කළ යුතු දේ
සම්පූර්ණ කරන ලදී. නිවන් අවබෝධය පිණිස තවත් කළයුතු දෙයක් නැතැයි
දනිමි.” මෙසේ විමුක්ති සුවය ලද ඒ උත්තම රහතන් වහන්සේගේ සොඳුරු අදහස්
වලින් පිරුණු අමා රස වෑහෙන ථේර ථේරී ගාථා සැබැවින්ම අපගේ චිත්ත
සන්තානයන් සුවපත් කරයි. ථේර ගාථා ආරම්භ වන්නේ ‘සුභූති’ නම් රහතන්
වහන්සේගේ මේ පී‍්‍රතිමත් උදානයෙනි මම ඉන්නේ සෙවිලි කළ කුටියක යි. ඒ
කුටිය හරිම සනීපයි. සුළඟින් කරදරයක් නැහැ. වැහි වළාවෙහි දැන් ඕනෑ තරම්
වහින්න. මගේ සිතත් හොඳ සමාධියකින් යුක්තයි. කෙලෙස් වලිනුත් මා නිදහස්
වුණා. මං වසන්නේ බලවත් වීර්යයකින් යුක්තව යි. වැහි වළාවෙනි දැන් ඕනෑ
තරම් වහින්න. සාමාන්‍ය ලෝකයා වැසි වහිද්දී සිතන්නේ කාම සංකල්පනාවන් ය.
නො එසේනම් කරන්නේ කුසීත වී නිදා ගැනීම ය. නමුත් මුනිවරුන්ගේ ලෝකය ඊට
ඉඳුරාම වෙනස් ය. ධර්මයේ පිහිටි සිත් ඇති නිකෙලෙස් වූ උන්වහන්සේලා වැසි
වහිද්දී විමුක්ති සුව විඳීමින් වීර්යයෙන් යුතුව ධ්‍යානයේ ඇලී වාසය කරන
අයුරු ඉතා අසිරිමත්.
ඒ වගේම එහි සඳහන් වෙනවා වතුර ගෙන යන උදවියට තමන් කැමැති පරිදි වතුර
ගෙනියන්න පුළුවන්. හී වඩුවන්ටත් පුළුවනි කැමැති පරිදෙන් ඊ තල නමා
ගන්නට. මාගේ් කැමැත්ත පරිදි ලී දඬු නමා ගන්නට ලී වඩුවන්ට පුළුවනි. අන්න
ඒ ආකාරයෙන්ම තමන් කැමැති පරිදි දමනය කර ගන්නට සත්පුරුෂයන්ට පුළුවනි.
අප්‍රමාදිව ධර්මයේ හැසිරීමට අසනීපය උපකාර කර ගත් අයුරු ‘උත්තිය රහත්
මුනිඳුන්’ මෙසේ වදාළා. මම ලෙඩවුණ ගමන් සිහි නුවණ ඉපදුණා. මම දැන් ලෙඩ
වෙලා ඉන්නේ. දැන් ඉතින් පමා නොවී ධර්මයේ හැසිිරීමට කාලය උදා වුණේ ධර්ම
දායාදය ලැබූ ඒ රහතන් වහන්සේලා තුළ තමන්ට යහපත උදා කළ ඒ ශ්‍රී සද්ධර්මය
කෙරෙහි පැවතියේ පුදුමාකාර ගෞරවාදරයකි. ‘කුමාපුත්ත රහත් මුනිඳුන්’ මෙසේ
වදාළා. ධර්මය ඇසීම කොයිතරම් හොඳ ද? අහපු ධර්මයට අනුව ජීවත්වීම ඊටත් වඩා
හොඳයි. හැම තිස්සේම තණ්හාවෙන් තොරව ජීවත්වෙන එක හරිම හොඳයි. අන්න ඒ
ධර්මයේ අර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි. ඒ ධර්මය ගෞරවයෙන්
පිළිගැනීම මොනතරම් හොඳ දෙයක්ද? උන්වහන්සේටයි කෙලෙස් නැති පුද්ගලයාගේ
මහණකම කියා කියන්නේ.
ගෞතම බුදු සසුනේ විමුක්ති සුව ලද ශ්‍රාවක පුතුන්ගේ ථේර ගාථා මෙන්ම
අරහත් තෙරිණියන්ගේ ථේරී ගාථාද අපගේ් සිත් සතන් නිවා සනසාලනවා.
භාග්‍යවතුන් වහන්සේ පහළවූයේ දඹදිව උපන් වනිතාවන් වසර දහස් ගණන් තිස්සේ
වේද සම්ප්‍රදාය නම් තියුණු වර පටින් බැඳ තබා තිබූ සමාජ පසුබිමකයි.
එනමුත් ඒ මහා කාරුණික බුදුන් වහන්සේගේ උත්තම උපකාරයෙන් කාන්තාවන්ට ද
අමා දොර විවර වුණා. අරහත් ධජය වූ කසාවත දරා අමා නිවන් සුව සාක්ෂාත්
කරන්නට බොහෝ ශ්‍රාවිකා දියණියන් ද පුණ්‍යවන්ත වුණා. ථේරී ගාථා ආරම්භ
වන්නේ රහත් තෙරණියක පැවසූ මේ පී‍්‍රති වාක්‍යයෙනි. ‘පින්වත් භික්ෂුණින්
වහන්ස, පාංශුකූ®ල වස්ත්‍රයෙන් මසාගත්ත සිවුරු පොරවා ගත්තාට පස්සේ හරිම
සැපසේ වාසය කරන්ට පුළුවන්. ඔබේ රාගයත් ප්‍රහාණය වෙලා සංසිඳිලා ගියේ
භාජනේක මැල්ලුමක් රොස් වුණා වගෙයි.
ඒ වගේම අපමණ සැප සම්පත් මැද ගතකළ කාමභෝගි ගිහි දිවිය යොවුන් වියේදීම
අත්හැර ශාක්‍ය දියණියන් වූ පසු ඒ පින්බර වනිතාවන් උත්සාහවත් වූයේ උතුම්
ගුණධර්ම දියුණු කර ගැනීමට යි. ‘තිස්සා’ නම් රහත් තෙරණිය මෙසේ වදාළා.
පින්වත් තිස්සා. සීල සමාධි ප්‍රඥාාවේ හික්මෙන්න. මේ දුර්ලභ අවස්ථාව
මඟහැර ගන්නට නම් එපා! සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙන්න. නිකෙලෙස්
කෙනෙක් හැටියට ලෝකයේ ජීවත් වෙන්න. ඒ වගේම ‘මෙත්තිකා’ නම් රහත් තෙරණිය
එසේ බලවත් අධිෂ්ඨානයකින් කෙලෙසුන් ප්‍රහාණය කළ අයුරු මෙසේ වදාළා.
‘පාත්තරය නවලා පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල්
පර්වතයේ මත වාඩිවුණා. එතනදී තමයි මගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණේ.
මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.
මේ ආකාරයෙන් සුන්දර ආධ්‍යාත්මික චමත්කාරයෙන් පිරුණු ථේර ථේරී ගාථා ලබන
සතියේ සිට චරිතාපදාන ලිපි පෙලක් වශයෙන් ඔබට කියවන්නට ලැබෙනවා. ඒ උත්තම
නිකෙලෙස් රහතන් වහන්සේලා හා රහත් තෙරණියන් ගැන සිත පහදවාගෙන තිසරණයේ
සනාතන රැකවරණය ලැබීමට ඔබට වාසනාව උදාවේවා!
සටහන - නයනා නිල්මිණි |