Print this Article


නියත මිථ්‍යා දෘෂ්ටිකයාට හිමි නිරය යි

නියත මිථ්‍යා දෘෂ්ටිකයාට හිමි නිරය යි

දිව්‍ය ලෝකය හිමි බෞද්ධයන්ට පමණද? යනුවෙන් බක් පුර පසළොස්වක පෝදා පළ වූ ලිපියේ ඉතිරි කොටස පහත පල වෙයි.

බෞද්ධයන් ලොව පහළ වුණේ තථාගතයන් වහන්සේ ලොව පහල වුණාට පස්සේ. මීට අවුරුදු 2601 ට කලින් දිව්‍ය ලෝක තිබුණා. උන්වහන්සේ මිනිස් ලොවට වැඩියේත් තුසිත දෙව් ලොවින්. එනිසා මරණින් පස්සේ දිව්‍ය ලෝකයේ යන්නේ බෞද්ධයන් විතරයි කියන දේ බුදු දහමට එකඟ නැහැ. අප දන්නවා එක් ගෙම්බෙක් තථාගතයන් වහන්සේ ගේ ධර්මය අහගෙන ඉඳල ගොවියකුගේ කෙවිටට අසුවෙලා මැරිලා ගිහින් නන්දූපක කියලා දිව්‍ය රාජ්‍යයෙක් වෙලා ඉපදුනා. ගෙම්බා බෞද්ධ නොවේ. මැරෙන මොහොතේ සිත ප්‍රසන්න සිතකින් සිටීමයි.

දිව්‍ය ලෝකවල උපදින්නේ බෞද්ධයන් පමණක් නොවන නිසා තමා ඒවායේ මිථ්‍ය දෘෂ්ටික දෙවිවරුන් ඉන්නේ. බාහිරක සම්මා දිට්ඨිකයා කියන්නේ බෞද්ධ ශාසනයෙන් පිට දස වස්තුක සම්මා දිට්ඨියෙන් යුක්තව හොඳ කරලා නරකින් වැළකිලා පින් සිදුකර ගන්නා කොටසක්. ඒ වගේම ශාසනික සම්මා දිට්ඨිකයාටත් තිබෙන්නේ මේ කියන ලෞකික සම්මා දිට්ඨීයට යි. එකම දස වස්තුක සම්මා දිට්ඨිය මේ දෙදෙනා ළඟම තිබෙන්නේ. ඔබ හොඳ කරලා නරකින් වැළකිලා සෑහීමකට පත් වෙනවා නම් බාහිරක සම්මා දිට්ඨිකය යි අතරයි වෙනසක් නැහැ. දෙදෙනාම එකයි. නමුත් බෞද්ධයන් ලෙස අපේ තිබෙන විශේෂත්වය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ලෞකික පැත්තේ පමණක් රැදී නො සිට ලෝකෝත්තර අවබෝධ කිරීමට උත්සාහ කිරීම.

සේක සම්මා දිට්ඨිකයා යනු අර්ය අෂ්ඨාංගික මාර්ගයේ හික්මෙන මාර්ගඵල ලාභී බවට පත්වෙන්න උත්සාහ කරන කෙනෙක්. අඩුම ගණනේ ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි හෝ සෝවාන් ඵලයට පත්වෙන්න ඕන. එවිටයි අපේ බෞද්ධකම ආර්ථවත් වෙන්නේ. එහෙම නැත්නම් දන් දෙමින්, සිල් රැකගෙන හිටියට ලෝභය, ද්වේෂය, මෝහය වැඩෙන කටයුතු කරනවා නම් ඒ බෞද්ධකමින් වැඩක් නැහැ. බෞද්ධවීමේ භාග්‍යය ප්‍රතිඵල ලබන්න නම් ශ්‍රද්ධානුසාරි ධම්මානුසාරිවත් වෙන්නට ඕන. මාර්ග අංග දියුණු කරන්න ඕන.

සේක සහ අසේක සම්මා දිට්ඨිකයින් දෙදෙනාගේ තුළම තිබෙන සම්මා දිට්ඨියට කියනවා “නියත සම්මා දිට්ඨිය” කියලා. ඒ අයගේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය යි. ඔවුන්ට තිබෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරැදි දැක්මක්. දුක කියලා දෙයක් තිබෙනවා. දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැති කළ විට දුක නැති වෙනවා. තණ්හාව නැතිකරන මාර්ගය තමා ආර්ය අෂ්ඨාංගික මාර්ගය . ඒ මාර්ගයේ ගමන් කළ විට දුක නැතිවෙන බව විශ්වාස කරනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය සරළව හඳුන්වනවානම් දුක්ඛ නිරෝධගාමිනිපටිපදා සේම තණ්හා නිරෝධගාමිණි පටිපදාව යි. තණ්හාව නැති වෙන ආකාරයට ඒ ප්‍රතිපදාව අනුගමනය කළොත් පමණයි දුක්ඛ නිරෝධය සිදුවන්නේ.

මේ කියන නිවැරැදි දැක්ම ඇතිව කටයුතු කරන්නා ලෝකෝත්තර සම්මා දිට්ඨිකයා. ඔහු සෝවාන් වූ පුද්ගලයෙක්. පළමු වතාවට නිවන් දුටු කෙනා කියනවා. කොහොමද එයා නිවන් දකින්නේ. අන්ධකාර කලුවර කාමරයක තියෙනවා රන් පහනක්. කවුරුහරි කෙනෙක් මේ පහන හොයාගෙන එනවා. එකවරම විදුලිය කොටනවා. ඒ සමගම දකිනවා කාමරයේ රත්තරන් පහන තිබෙනවා. විදුලි එළිය ඉතාම ක්ෂණිකයි. ඒ ක්ෂණික එළියෙන් දැක්කට පස්සේ ඒ පහන හොයාගෙන වෙන කාමරවල යාමට ඔහුට අවශ්‍ය නැහැ. ඒ වගේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියට වටහාගත් පුද්ගලයා නිවන් දැකීම සඳහා වෙනත් දෘෂ්ඨි මතවාද කර පින්නා ගන්න ඕන නැහැ. එයාගේ සම්මා දිට්ඨිය ස්ථාවර ලෙස හඳුන්වන්නේ ඔහු එහි පිහිටා එය ප්‍රත්‍යක්ෂ කරගෙනයි ඉන්නේ.

නියත සම්මා දිට්ඨිකයා සේක අසෝක තත්ත්වයට පත්වෙන උත්තමයෝ. අනියත සම්මා දිට්ඨිකයෝ කියන්නේ පෘතග්ජන තත්ත්වයේ බාහිරව හා ශාසනික සම්මා දිට්ඨිකයෝ. ඊළඟට නියත සම්මා දිට්ඨිකයෙක් ඉන්නවා වගේම නියත මිත්‍යා දෘෂ්ඨිකයෙකුත් ඉන්නවා. නියත මිථ්‍ය දෘෂ්ටිකයා කියන්නේ දස වස්තුක සම්මා දිට්ඨියවත් පිළිගන්නේ නැති පුද්ගලයා යි. ඔහු කර්මඵල පිළිබඳ විශ්වාසයක් නැහැ. පව් කරමින් පින් නො කරමින් ජීවිතය තල්ලුකරගෙන ගිහින් විනාශකර ගන්න අවාසනාවන්ත අය. ඒ අය මරණින් පසුව යන්නේ අපායේ විතරම යි. ඒ වගේම නියත මිථ්‍යා දෘෂ්ටිකයෝ ශාසනය තුළත් ශාසනයෙන් බැහැරවත් ඉන්නවා. බෞද්ධ පවුලක ඉපදුනු පමණකින් බෞද්ධයෝ වෙන්නේ නැහැ. ඒ මාර්ගයට ප්‍රවේශ වෙන්න ඕන. එවිටයි බෞද්ධයෝ වෙන්නේ.

අබෞද්ධ වූ සමහර මිනිසුන් තුළ දස වස්තුක සම්මා දිට්ඨිය තියෙනවා. ලෞකික සම්මා දිට්ඨියත් තියෙනවා. හොඳ මිනිසුන් ඒ ආගම්වල ඉන්නවා. ඒ අය මියගියාම අපායේ යන්නේ නැහැ. සුගති ස්ථානවල ඉපදෙනවා. එහෙම අය බෞද්ධ සමාජයෙන් ඉන්නවා. ඒ අයත් සුගතිගාමි වෙනවා. හැබැයි එහෙම හිටියට නිවන් අවබෝධ කරන්න බැහැ. නිවන් අවබෝධයට නම් ලෞකික තත්ත්වයෙන් මිදිලා ලෝකෝත්තර පැත්ත අනුගමනය කරන්නට ඕන එවිට සම්මා දිට්ඨිකයා නිතරම යෝනිසෝ මනසිකාරයෙන් මගේ මේ මාර්ග අංග දියුණු කිරීම තුළින් තණ්හාව නැතිවෙනවා ද කියා සොයනවා. මම යම් හොඳ දෙයක් කරන්නේ හොඳ නිසාද? එහෙම නැත්නම් හොඳ දේ කළ විට සතුටු වෙන්න පුළුවන් නිසා ද? ඒ වගේම මම මේ නරක දේ කරන එකෙන් වළකින්නේ ඒක නරක නිසාද? නැත්නම් නරක විපාක මට ලැබෙන නිසාද? කියා තමා විසින් විමසිය යුතුයි. අද සමාජයේ බොහෝ දෙනා හොඳ කරන්නේ, නරකින් වළකින්නේ “මම” කියන පුද්ගලයා පිනවන්නයි. මමත්වය සතුටු කරන්න. උදාහරණයක් ලෙස සිතන්න එක් දරුවෙක් එයාගේ අම්මට හොඳට සලකනවා. අම්මාගේ කැතකුණු අතගාලා පිරිසුදු කරලා කවල පොවල හොඳට රැකබලා ගන්නවා. මොහුගේ කැපවීම දුටු කෙනෙක් කියනවා ඔබට වෙන පින් ඕන නැහැ මේ පින්කම ඇති නිවන් දකින්න කියලා. එහෙම කළාට නිවන් දකින්න බැහැ. අම්මට තාත්තාට සලකන එක හොඳයි. ඒක බෞද්ධ අප විතරක් කරන දෙයක් නොවේ. අන්‍යාගමිකයෝ මව්පියන්ට සලකනවා. අපි එහෙම මව්පියන්ට සලකන්නේ ඇයි? මගේකම නිසා. ඒ වගේ වෙන මව්පියන්ට අප සලකන්නේ නැහැ. මමත්වය මෙයට මුල්වෙලා තිබෙන්නේ. මමත්වයෙන් තොරව එහෙම සලකනවානම් එතැන තිබෙන්නේ “මම” පදනම් කරගත් දෙයක්. පදනම කරගත් හොඳ දේ තුළින් නිවන් දකින්න බැහැ. මමත්වයෙන් තොර වෙන්න ඕන. තණ්හාවෙන් ඈත් වෙන්න ඕන.

ඊළඟට අපි නරකින් වළකිනවා. මම කියන කෙනා රැකගන්න. මට බණියි, දඬුවම් විඳින්න වෙයි,මගේ හිත මට දොස් කියයි, මැරිලා අපායේ යයි කියලා මමත්වය ඉදිරියට එනවා. මම රැක ගැනීම සඳහානම් එයා නරකින්න වළකින්නේ ඒක එයාගේ පැවැත්මට හොඳයි. නමුත් නැවැත්මට එය හරියන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය යෝනිසෝ මනිසකාරය යි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග හොඳට දියුණු කරමින් තමා කරන දේ තුළින් රාගය, ද්වේෂය, මෝහය නැති වෙනවා ද කියා විමසා බලමින් කෙලෙස් නැතිවෙන ආකාරයට කටයුතු කිරීම තමයි නිවන් මඟ කියන්නේ. මේ දේයි තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන අපට දේශනා කළේ. ලෞකික දේවල් පිළිබඳව අනෙක් ශාස්තෘවරුන් වදාළා. නමුත් බුදුරජාණන් වහන්සේ නමැති කල්‍යාණ මිත්‍රයා අපට ලෞකික දෙයින් නො නැවතී ඉන් එහා තිබෙන ලෝකෝත්තර පැත්ත කියා දුන්නා. උන්වහන්සේ ලෝකයේ පහළ වූයේ නැතිනම් නියත මිථ්‍යා දෘෂ්ටිකයෝ හැමදාම අපායේ. උන්වහන්සේ ලෝකයට පහළ වෙලා නියත මිථ්‍යා දෘෂ්ටිකයන්ට බණ කිව්වා. ඒ බණ අහලා හැමෝම මහණ වුණේ නැහැ. හැමෝම බෞද්ධ වුණෙත් නැහැ. නමුත් ඒ අසපු බණ සමහර අය තේරුම් අරගෙන තෙරුවන් සරණ ගියා. ඉන් පස්සේ ශාසනික සම්මා දිට්ඨිය ලබා ගත්තා. තථාගතයන් වහන්සේ නැවත මතක් කරනවා සසර දුකෙන් මිදෙන්න නම් තණ්හාව නැතිවෙන ආකාරයට ලෝකෝ්ත්තර අංග ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය වදාළා. ශාසනික සම්මා දිට්ඨිකයා ඉන්පස්සේ “සේක සම්මා දිට්ඨිකයා” බවට පත්වෙනවා. ඔහු ශ්‍රද්ධානුසාරි ධම්මානුසාරි බවට පත්වෙලා සෝවාන් ආදි ඵල ලබාගෙන මහ රහත් මාර්ගයට පිවිසෙනවා. බුදුරජාණන් වහන්සේ නැවත සිහිපත් කරනවා ඔතැන නොවේ අවසාන තැන. රහත්ඵලය උනන්දු කරනවා.