Print this Article


          පිනට ඉඩ හසර නොදෙන

පිනට ඉඩ හසර නොදෙන අෂ්ට දුෂ්ටක්ෂණය

පින යනු සත්වයාට සැප ලබාදෙන අදෘෂ්‍යමාන බලවේගයකි. එය හොඳ චේතනා මුල් වී සිදුවන කායික මානසික දෙඅංශයේම සුවිශේෂී ක්‍රියාවලියකි. මිනිසකු වශයෙන් උපන් කල මිනිස් ජීවිතය පරිපූර්ණ වන්නේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යනාදියත් සමඟය. එම පංචවිධ සැප සම්පත් ලැබෙන්නේ පින් කිරීමෙන් බව බෞද්ධ ඉගැන්වීමයි. පින් යනුවෙන් අප සිදු කරන්නේ දස පුණ්‍යක්‍රියායි.

දානං සීලං ච භාවනා
පත්ති පත්තානුමෝදනා
වෙය්‍යාවච්චපචායන්ති
දේසනා සුචි දිට්ඨිජු

දස පුණ්‍යක්‍රියා අතර පළමුවැන්න ලෙස දානය දැක්වේ. එනම් තමා සතු දේ පරිත්‍යාග කිරීමයි. දෙවැන්න ශීලයයි. ශීලය යනු කය, වචනය, සංවර කර ගැනීමයි. තුන්වැන්න භාවනාවයි. එනම් සිත යහපත් අරමුණක තබා ගැනීමයි. සිව්වැනිව පුණ්‍ය ක්‍රියාවක් ලෙස පත්තිදාන යන්න දැක්වෙන අතර ඉන් අදහස් කෙරෙන්නේ තමා කරගත් පින් අනුන්ට අනුමෝදන් කිරීමයි. පත්තානුමෝදනා යනු අනුන් කළ පින් තමන් අනුමෝදන් වීමයි. එසේම ගේ දොර, පන්සල, පාසල යනාදි ආයතන, සංවිධාන තුළ කටයුතු කිරීමත් භික්‍ෂූන් වහන්සේ, මවුපියන්, වැඩිහිටියන් යනාදීන් වෙනුවෙන් වතාවත් සිද්ධ කිරීමත් ආදී වශයෙන් වූ යහකටයුතු වෙය්‍යාවච්ච ලෙස දැක්වේ. දස පුණ්‍යක්‍රියා අතරින් සත්වැන්න වනුයේ අපචායනයයි. එනම් පිදිය යුත්තන් පිදීමයි. අටවැන්න නම් ධම්ම දේශනා කිරීමයි. එනම් අනුන් යහමඟ යවන ධර්මය කියාදීම, දේශනා කිරීම ආදියයි. ධම්ම සවන යනු යහමඟ යෑමට අවශ්‍ය ධර්මය ශ්‍රවණය කිරීමයි. දසවනුව, පුණ්‍ය ක්‍රියාවක් වශයෙන් දැක්වෙන්නේ දිට්ඨිජු කම්මයි. එනම් වැරැදි දැක්මෙන් ඈත්ව නිවැරැදි දැක්මක් ඇතිකර ගැනීමයි.

මෙම දස වැදෑරුම් පුණ්‍ය ක්‍රියා සිදු කිරීමට හැකි වන්නේ සුදුසු කාලයක හා සුදුසු ආත්ම භාවයක උපත ලැබීමෙන් පමණි. නුසුදුසු කාල අට තුළ ඉපදීමෙන් හෝ අටමහා නරකයෙහි උපත ලැබීමෙන් හෝ පින් කිරීමට හැකියාවක් නැත. අපි පළමුවැනුව, පින් කිරීමට අවකාශයක් නොමැති කාල හඳුනාගනිමු. ඒ පිළිබඳ ලෝවැඩ සඟරාවේ මෙලෙස සඳහන් වේ.

සියල් සසර දුක් දුරුකරැ නොයෙ කී
අසල් කරන මොක් සිරි සැප නිසැ කී
සියල් සතුනි පින් කරවයි මුනි කී
නොකල් අටකි පින්කම් කළ නොහැ කී

නොයෙක් සියලු සසර දුක් දුරුකර නිසැකවම නිවන් සිරි සැපත ළඟා කරන්නා වූ පින් සියල් සතුනි කරව’ යි බුදුන් වහන්සේ වදාළ සේක. එහෙත් පින්කම් කළ නොහැකි නොකල් අටකි. එම නොකල් අට එනම් අවකාශයක්, අවස්ථාවක් නොලැබෙන කාල අටට හසුවුවහොත් පින් කිරීමට නුපුළුවන.

යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලාගුණෙ බහූ
එවං ජාතෙන මච්චේන
කත්තබ්බං කුසලං බහුං

ධම්ම පදයේ පුප්ඵ වග්ගයෙහි දසවැනි ගාථාවෙන් දක්වා ඇත්තේ ‘මල් රැසකින් බොහෝ මල් දම් ගොතන්නේ යම් සේද, එසේමැ උපන් මිනිසා බොහෝ කුසල් කළ යුතුය’ යනුවෙනි. එසේ වුවද හැම කාලයකම හෝ හැමතැනකම ඉපදුණු පමණින් කුසල් කළ නොහැකිය. එම කාල සහ අවස්ථා මෙසේ දැක්විය හැකි ය.

1. නිරය (නරකයට වැටී සිටින කාලය)

2. තිරිසන් යෝනිය (තිරිසන්ව උපත ලබා සිටින කාලය)

3. ප්‍රේත විෂය (ප්‍රේතව සිටින කාලය)

4. දීර්ඝායුෂ ඇති දිව්‍ය නිකාය (සිත නැති කය පමණක් ඇති භවයට පැමිණ සිටින කාලය)

5. ප්‍රත්‍යන්ත ප්‍රදේශවල සිටින කාලය (බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොපැමිණෙන පසල් දනව්වක ඉපිද සිටින කාලය)

6. දුෂ්ප්‍රාඥයෙකු වීම (හොඳ, නරක තේරුම් ගත නොහැකි, මෝඩයකු වී සිටින කාලය)

7. මිත්‍යාදෘෂ්ටික වීම (මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය)

8. අබුද්ධෝත්පාද කාලයක් වීම (බුදු උපතක් නොමැති කාලය)

මේ ආදී වශයෙන් වන මෙම කාල අටෙන් කුමන කාලයක පහළ වුව ද ධර්මාවබෝධයක් ලබාගැනීම දුෂ්කර කාර්යයකි. බ්‍රහ්මචාරි ජීවිතයක් ගතකිරීමට සුදුසු පරිසරයක් උදා නොවීම මෙම කාලවල විශේෂත්වයයි. පින් කිරීමට නොහැකි යැයි බොහෝ දුරට සඳහන් වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට තරම් මානසික මට්ටමක්, එවන් පසුබිමක් නොමැතිකමයි. ඒ සඳහා අභ්‍යන්තර, බාහිර දෙඅංශයෙහිම හොඳ වටපිටාවක් ගොඩ නොනැඟෙනු ඇත. අෂ්ට දුෂ්ටක්ෂණ යනුවෙන් මෙම අවස්ථා සහ කාල අට හඳුන්වා ඇත. එයට හේතුව විදර්ශනා භාවනාමය වූ යම් පුණ්‍යකර්මයක් වේද එබඳු පුණ්‍යකර්මයක් සඳහා අවකාශ නොවන හෙයිනි.

පින්කිරීමට අවස්ථාවක් උදා නොවන මෙම නොකල් අටෙහි පළමුවැන්න ලෙස දැක්වූයේ නිරයට, එනම් නරකයට වැටී සිටින කාලයයි. නිරය සම්බන්ධයෙන්ද අට මහා නරකයක් හඳුන්වා ඇත. ඒවා පිළිබඳ විමසා දැනගැනීම තුළින් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තව තවත් අවබෝධ වනවාට කිසිදු සැකයක් නැත.

අටමහා නිරය අතුරෙන් පළමුවැන්න සංජීව නරකයයි. එහි උපන් සත්ත්වයන් යමපලුන් විසින් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපනු ලබද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සංජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙළූ රජවරු හා නිලධාරීහු ද දිළින්දන් පෙළූ පොහොසත්තු හා මැරයෝ ද සතුන් මරන්නෝ ද සංජීවයෙහි උපදිති. කාලසූත්‍ර නරකය දෙවැන්නයි. උපන් සත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර නරකයයි. මවුපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.

තෙවැන්න සංඝාත නරකයයි. මේ නරකයෙහි සත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චලව සිටිති. එසේ එරී සිටින නිරි සතුන් අඹරමින් අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින් පර්වතයෝ ඔබ මොබ පෙරැළෙති. ඒවාට යටවී සත්වයෝ සුණු විසුණු වෙත්. ඇත් අස් ගවාදී සතුන්ට වධ දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

අටමහා නරකයෙහි සතර වැන්න වනුයේ රෞරව නරකයයි. මේ නරකයෙහි සත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ වැළැපීම නිරතුරුව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යැයි කියනු ලැබේ.

ඉනික්බිතිව විස්තර කෙරෙනුයේ මහා රෞරව නරකයයි. අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමෙන් තවනු ලබන සත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද නිරි සතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාද ඒ නරකයට මහා රෞරව නරකය යැයි කියනු ලැබේ. තුනුරුවන් විෂයෙහි අයත් වූ වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝද එහි උපදිති.

තාප නරකය සය වැන්නයි. මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබුවෝ ද එහි උපත ලබති.

ප්‍රතාප නරකයෙහිද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්වයෝ පැසෙති. මහා තාපන යනු ද ඊටම නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යැයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

අට මහා නිරය අතුරින් අවසානයට විස්තර කරනු ලබන්නේ මහා අවීචි නරකයයි. මේ නරකයෙහි එක් බිත්තියකින් නැඟෙන ගින්න අනෙක් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැඟෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නඟින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්වයෝ නිතරම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි ද නිරි සත්වයෝ වෙසෙත්. ගිනි දැල්වලින් හා දුක්වලින් ද උපන් නිරි සතුන්ගෙන්ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පංචානන්තරීය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍රයට අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.

මෙම නරකයන් අටෙහි එක් එක් නරකයක් පාසා මහ දොර සතර සතර බැගින් වේ. ඒ එක් එක් දොරෙහි සතර සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයන්ද වේ. ඒ අනුව එක් මහ නරකයක් හාත්පස ඇති කුඩා නරක 16 කි. එවැනි නරක එකසිය විසි අටක් වේ. අට මහ නරකත් සමඟ ගත් කල 136ක් වශයෙන් සියල්ල පවතී. ලෝවැඩ සඟරාවෙහි ඒ බව මෙලෙස සඳහන් වේ.

සිතුවත් බිය කරවන අර තරයේ
වැටුනොත් එක්සිය සතිසක් නිරයේ
බලවත් දුක් විඳිනෙය කරදරයේ
මඳකුත් පිනකට නැත අවසරයේ

‘සිතූ පමණින් වුවත් දැඩි බිය උපදවන ගණනින් 136ක් වන නරකයෙහි වැටුණොත් කරදර වූ බලවත් දුක් විඳින්නේ ය. එහෙයින් එහි පින් කිරීමට මඳකුත් ඉඩක් නැත’ යනු එහි අදහසයි.

කරුණු එසේ හෙයින් මිනිසුන් වශයෙන් ඉපදුන කල, එම මිනිසත් බවෙහි වටිනාකම අවබෝධ කරගත යුතු සේම පින් කිරීමටද නොපැකිල විය යුතු ය. ‘දුල්ලභංච මනුස්සත්තං’ යනුවෙන් මේ මිනිසත් බව ලැබීම පවා දුර්ලභ කරුණක් වශයෙන් දක්වා ඇත්තේ ය. එබැවින් එසේ දුර්ලභව ලබාගත් මිනිසත් භවයෙන් උපරිම ඵල ලබමින් පින් දහම් කරගත යුතු ය. පින වුව ද සිදු කිරීමේදී විදර්ශනානුකූල පැත්තට හසුරුවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුක් නැතිකොට නිවන් දැකීමට අධිෂ්ඨාන කරගත යුතු ය.