Print this Article


දෘෂ්ටි මවාගෙන ඒවා ගැන සිහින මවනවා

දෘෂ්ටි මවාගෙන ඒවා ගැන සිහින මවනවා

අද තිබෙන බරපතළම මිථ්‍යා දෘෂ්ටිය තමයි කර්මය හා කර්මඵල විශ්වාස නොකිරීම. ඉස්සර බොහෝ බෞද්ධයන් සියල්ල කර්මයෙන් සිදුවනවා කියා කල්පනා කළා. පසුව පංච නියාම ධර්ම විචාරාත්මකව ඉදිරිපත් කිරීමෙන් ඒ මිථ්‍යා දෘෂ්ටිය ඉවත් කර ගත්තා. ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් ඇතිව ජීවත් විය යුතු බව බෞද්ධයන්ට ඒත්තු ගැන්වුවා. විශේෂයෙන්ම ‘අත්තසම්මා පනීධීච’ තමන්ගේ කුසලතාවන් වර්ධනය කර ගැනීම වැදගත් බව බෞද්ධ දේශනයයි

අපේ හිත්වල විවිධාකාරයේ සිතිවිලි පවතිනවා. සමහර ඒවා නිවැරැදියි. තවත් සමහර ඒවා වැරැදියි. එක එක දෘෂ්ටි මවාගෙන ඒවා ගැන සිහින මවන්න අප පුරුදු වෙලා . මේ දෘෂ්ටින් නිවැරැදි කර ගන්න, වැරැද්දක් තියෙනවා නම් බැහැර කර ගන්න ධර්ම ශ්‍රවණය විශාල පිටිවහලක් කරනවා.

අප දන්නවා බුදුරජාණන් වහන්සේ දස විධ මිථ්‍යා දෘෂ්ටින් අපට දේශනා කළා. ‘නත්ථි දිත්නං, නත්ථී මාතා ‘

නත්ථී පිතා.....” මේ ආදි ලෙසින් දෘෂ්ටින් දහයක් දේශනා කළා. ‘මවක් නැත.’ යනුවෙන් සිතීම කෙතරම් භයානකද? පියෙකු නැතැයි සිතීම කෙතරම් භයානකද? එවැනි දෘෂ්ටියක් ඇති අයකුගෙන් සමාජයට වන්නේ විපතක් මිස සැපතක් නොවෙයි. මව හෝ පියා මිය ගිය අවස්ථාවක එවන් සිතිවිල්ලක් ඇති කර ගැනීම මෙයින් අදහස් කරන්නේ නැහැ.

මව පියා මිය ගියත්, ඔවුන් මිය ගිය බවට සිතිවිලි ඇති කර නොගත යුතුවනවා. එසේ සිතීමෙන් අපෙන් සිදුවිය යුතු වගකීම් වත් පිළිවෙත් මඟ හැරීමට ඉඩ තිබෙනවා. තවත් වැඩිහිටියෙකුට තිබෙන ගරුත්වය අපෙන් ගිලිහී යන්නට පුළුවන්. වැඩිහිටි ගෞරවය කියන ගුණදහම අපෙන් ඈත්හැරීමට ඉඩ නොදිය යුතුයි.

එම නිසයි අප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව සිතන්නේ නැත්තේ, උන්වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරගෙන බුද්ධ පූජා පවත්වමින් ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවය අප දක්වනවා. අපගේ මවුපියන් වෙත වූවත් අප ඒ ආකාරයෙන් දිගටම සැලකිය යුතුවනවා.

‘මවක් නැත, පියෙක් නැත.’ යන වැරැදි දෘෂ්ටින්ගේ එල්ලෙනකොට අපට නංගි කෙනෙක් ඉන්න පුළුවන්ද? අක්කා කෙනෙක් ඉන්න පුළුවන්ද?

අයියා, මල්ලි, ඉන්න පුළුවන්ද? මවෙක් නැත. පියෙක් නැත යන්නෙහි වැඩිම භයානකත්වය අපට දකින්නට ලැබෙන්නේ සහෝදර සහෝදරියන් අතර ඥාතිත්වය නැති වී යන නිසයි.

මවෙක් නැත කියන කල අම්මට ගරු කරයිද? අම්මාට ඒ නිවසේ බියක් නැතිව ඉන්න පුළුවන්ද? පියකුට කරදරයක් නොමැතිව ගෞරවනීය ලෙස ඉන්න පුළුවන් වෙයිද? මිථ්‍යා දෘෂ්ටි ලෙස අප ඒවා නම් කර ඇත්තේ එම නිසයි. ඇතැම් විට අපේ ඇතැම් තරුණ පිරිස කියනවා ‘මට නම් අම්මෙක් නෑ තාත්තෙක් නෑ කියලා මේ ප්‍රකාශ අතිශයින් භයානකයි.

දන්දීමේ පල විපාක මොනවාද? කියලා වැරැදි දෘෂ්ටියකට යන්න පුළුවන්. මෙවැනි වැරැදි දෘෂ්ටි තියෙනවනම් එම වැරැදි දෘෂ්ටි ඉවත්කර ගැනීමට ධර්ම ශ්‍රවණය කළ යුතුවනවා. ධර්ම දේශනා වගේම ධර්ම සාකච්ඡාවත් ඒ සඳහා උපයෝගී කර ගැනීමට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ‘කාලේන ධම්ම සාකච්ඡා ‘ කාලේන ධම්ම සවණං....ඒතං මංගල මුත්තමං’ යනුවෙන්. කාලයට ඔබින ලෙස ධර්මය ශ්‍රවණය කිරීම, ධර්මය සාකච්ඡා කිරීම මංගල කාරණා ලෙසින් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

සිත ඍජු කර ගැනීමේදී දෘෂ්ටිය නිවැරැදි කර ගත යුතු වනවා.

‘කාමේසු මිච්ඡාචාරා’ කාමයෙහි වරදවා හැසිරීමයි නිවැරැදි නොවන්නේ. ‘කාමේසු සම්මා චාරා..’ යන්න අනුගමනය කිරීමට බෞද්ධ ගිහියාට අයිතියක් තිබෙනවා.

ඇතැම් ගිහියන් අතර මෙවන් තවත් වැරැදි මතයන් තිබෙනවා. ‘ගොඩක් තියෙන තැනකින් ටිකක් ගත්තහම මොකද වෙන්නෙ, ගලායන දිය පහරකින් දිය දෝතක් ගත්තහම මක්ක වෙනවද? ‘සර්පයා දුටුවහම අත ඇරියොත් මෝඩයා ?

මේවා නිවැරැදි ලෙසින් අප වටහා ගත යුතු වනවා’සර්පයා දුටුවහම අත ඇරියොත් මෝඩයා’ යන්න ධර්ම දේශනා සඳහා යොදාගත් දහම් ගැට බව අප අවබෝධ කරගත යුතුවනවා. මෙතැනදී සර්පයා යන්නෙන් දක්වා ඇත්තේ කෙලෙස්වලටයි. කෙලෙස් සහමුලින්ම නැති කර දැමිය යුතු බවයි මෙයින් අදහස් කර ඇත්තේ.

අපේ මිථ්‍යා දෘෂ්ටි ඇත්තන් එය අල්ලාගෙන සර්පයින් දුටු තැන මරාදමන්නට පටන් අරන්, මෙවන් මිථ්‍යා දෘෂ්ටින් තව කොතෙකුත් අප අතර තිබෙනවා. අතීතයේ තිබූ මිථ්‍යා මතයන්හි එල්ලීගෙන ඇතැමුන් අදත් කල් ගෙවනවා. උදෑසන භික්ෂූන් වහන්සේ නමක් දැකීම නුසුදුසු බව ඇතැමුන් සිතනවා. බුද්ධ දේශනාව, කුමක්ද? ‘සමනානං ච දස්සනං...’ ශ්‍රමණයන් දැකීම මංගල කරුණක් බවයි.

බෞද්ධ සාහිත්‍යයේ එන සුනඛ වැද්දාගේ කතාවේ මූල බීජ අප අතර තවමත් තිබෙනවා.ඇතැමුන් භික්ෂූන් වහන්සේ නමක් උදෑසන දැකීම අසුබ ලෙස සලකන්නේ එවැනි මිථ්‍යා දෘෂ්ටින් නිසයි.

අද තිබෙන බරපතළම මිථ්‍යා දෘෂ්ටිය තමයි කර්මය හා කර්මඵල විශ්වාස නොකිරීම. ඉස්සර බොහෝ බෞද්ධයන් සියල්ල කර්මයෙන් සිදුවනවා කියා කල්පනා කළා.පසුව පංච නියාම ධර්ම විචාරාත්මකව ඉදිරිපත් කිරීමෙන් ඒ මිථ්‍යා දෘෂ්ටිය ඉවත් කර ගත්තා.

ආත්ම ශක්තියක්,ආත්ම විශ්වාසයක් ඇතිව ජීවත් විය යුතු බව බෞද්ධයන්ට ඒත්තු ගැන්වුවා. විශේෂයෙන්ම ‘අත්තසම්මා පනීධීච’ තමන්ගේ කුසලතාවන් වර්ධනය කර ගැනීම වැදගත් බව බෞද්ධ දේශනයයි.

පරිසරයෙන් ලැබෙන දේ මෙන්ම පෙර පින් ඇති බවත් තමන්ගේ උත්සාහයෙන් යන සියල්ලම තමාගේම යහපතට හේතුවන බව බුද්ධ දේශනාවයි.

අද මිනිසා තමන්ට ඕනෑ විදියට කර්මය විග්‍රහ කරන්න පටන් අරගෙන

‘මම ලෙඩවුණේ මේ දැන් කරපු වරදට.’මෙවැනි වැරැදි මත නිසා අද ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා.

මිනිසාට නිදා ගැනීමට පවා වෙලාවක් නැහැ. රෑ එලිවනතුරු විද්‍යුත් නාලිකා වැඩසටහන් විකාශය කරනවා. ජනතාවට නිදා ගැනීමට වේලාවක් නැහැ. අපේ රටේ ජනතාව නිසි කාලසටහනකට හුරුවී නැහැ. කෑමට බීමට නිසි වේලාවක් නැහැ. විදෙස් රටවල්ගෙන බලන්න. රාත්‍රි ආහාර සඳහා වෙළෙඳසල් විවෘතව පවතින වේලාවක් තියෙනවා. අපේ රටේ එහෙම සංස්කෘතියක් නැහැ. නමුත් අපේ රටේ බොහෝ අය මේ කාලසටහන පැත්තකට දාලා ගෝලීයකරණය යන සංකල්පයක් අල්ලාගෙන, අපි රෝගීන් බවට පත් වෙලා.

නිසි කලට නිසි වේලාවට තම කාර්යයන් සිදු කිරීමට කටයුතු කළ යුතු වනවා. ඒ නිසා මේ දෘෂ්ටි ඍජුකර ගැනීමට කර්මය කර්ම ඵලය විශ්වාස කරන්න. අසනීපයක් වූ සැණින් සිතන්නේ කුමක්ද? ‘උඩහ ගෙදර අය හූනියන් කරලා’ ගෙදර නැකතෙ වැරැද්දක් නැත්නම් බහිරව පූජාවක් තියලා නැහැ’ මෙවැනි වැරැදි මතවලින් පිරිලා අප මිථ්‍යා දෘෂ්ටි පුරවාගෙන.

රැවැට්ටීමකට අප අසුවෙලා. ලක්ෂ ගණන් මුදල් දීල ‘ සීයලා’ පසු පස ගිය කාලයක් තිබ්බා. අද ඒ සීයල කෝ. බුදුරජාණන් වහන්සේගේ දහම පසෙක දමා අපට නිවැරැදි මාවතකට පැමිණෙන්න බැහැ. දිට්ඨිජුකම්ම යන ධර්මතාවය අපට වැදගත් වන්නේ නිවැරැදි දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කළහොත් පමණයි.