Print this Article


දෙල්ගමුව රජමහ වෙහෙරයි ඓතිහාසික කුරහන් ගලයි

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සමඟ සබැඳෙන දළදා මාලිගා සහ විහාරස්ථානයන් ලාංකික බෞද්ධ සංස්කෘතිය ආලෝකවත් කරන ප්‍රදීපස්ථම්භයන් සේ ය.

අද අප පැමිණෙන්නේ එවන් වූ තවත් සුවිශේෂී පූජනීය ස්ථානයක් වෙතටය. එය දෙල්ගමුව රජ මහා විහාරස්ථානය වෙයි. මෙය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ග්‍රාමයේ ය. දන්තධාතූන් වහන්සේ සමඟ බැඳෙන නොයෙකුත් මෙවලම් අතර එක් කුරහන් ගලක් පූජා භාණ්ඩයක් බවට පත් වන්නේ මෙම ස්ථානයේදී ය.

ඉතිහාස කතන්දරය අනුව කුරුණෑගලින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කෝට්ටේ රාජධානිය වෙත වඩමවා එහි දළදා මාලිගයක් කරවන ලද්දේ පස්වන බුවනෙකබා රජතුමා (1375 – 1391) විසිනි. හතරවන ධර්මපරාක්‍රමබාහු (1489 – 1513 ) රාජ්‍ය සමයේ එක් අඳුරු දිනයක පෘතුගීසීහු ලක්බිමට ගොඩ බසිති. (1505 නොවැම්බර් 05 වැනි දා) 1509 දී සවැනි විජයබාහු කෝට්ටේ රජ වුවද සතුරන් විසින් ඔහු මරා දමනු ලබයි. මෙම ඛේදනීය තත්ත්වයෙන් පසුව ඔහුගේ පුතුන් තිදෙනා කෝට්ටේ රාජ්‍ය බෙදා ගනු ලබයි. මේ අනුව හත්වන බුවනෙකබාහුට (1521 – 1551) කෝට්ටේත් මායාදුන්නේට සීතාවකත් රයිගම් බණ්ඩාරට පස්වලල්ලේ කෝරළයේත් කිරුළු හිමි වූහ. හත්වන බුවනෙකබාහුට පුතකු නොසිටිය බැවින් ඔහුගේ මුණුපුරකු වූ වීදිය බණ්ඩාරගේ පුත් ධර්මපාල කුමරු පෘතුගීසි උපක්‍රම මැද – ඔවුන්ගේ ආරක්‍ෂාව යටතේ සිහසුන දැරීය. ඉතා දුර්වල රජවරයකු වශයෙන් හඳුනාගත හැකි ධර්මපාල පෘතුගීසීන්ගේ නූලේ නැටවෙන රූකඩයක් බවට පත් වී දොන් ජුවන් ධර්මපාල නමින් කතෝලික ආගම වැළඳ ගනිමින් බෞද්ධ නරපති භූමිකාවට කළු පැල්ලමක් එක් කරයි. මෙසේ දොන් ජුවන් නිසා කෝට්ටේ රාජධානියට උදාවන්නේ අභාග්‍යවත් කාලයකි. ඒ නිසා ජනතාවද දැඩි කලකිරීමට පත්වන අතර රජතුමාගේ හිතේෂීන් පවා ඔහුගෙන් ඈත්වීමට පටන් ගැනෙයි. මේ නිසාම කෝට්ටේ රාජධානිය තුළ බුදුදහමට ද උදාවන්නේ ශෝකී ඉරණමකි. මේ අනුව රාජ්‍යත්වයේ උදාර ප්‍රබල සංකේතය බවට පත්ව තිබූ දළදා වහන්සේ පෘතුගීසීන්ගේ මිසදුටු කුරිරු හස්තයට ගොදුරු වීමට තිබූ අවදානම වැඩි වෙයි.

බුදුදහම ස්ථාපිතව තිබූ රටේ කුරුසය මහා බලගතු සංකේතයක් බවට පත් වෙමින් දන්ත ධාතූන් වහන්සේ දවා පුළුස්සා දැමීමට මෙම කුරිරු පරදේශක්කාරයන් උගුසු ඇසින් හිවල් ප්‍රයෝග මත ඉව අල්ලමින් සිටියා විය හැකි ය. මේ වන විට දන්ත ධාතූන් වහන්සේගේ දියවඩන නිලමේ තනතුර දැරුවේ දන්ත කුමරුගේ පෙළළපතින් පැවත එන කීරවැල්ලේ හිරිපිටිය නිලමේ තුමා ය.

මේ අභාග්‍යවන්ත ව්‍යාකූලත්වය නිසාම හිත පෙළෙමින් කීරවැල්ලේ නිළමේතුමා නින්දට ගිය එක් රාත්‍රියක එතුමා සිහිනයක් දකියි. මහළු මිනිසකු පැමිණ නිලමේ තුමාට මෙසේ පැවැසීය.

කෝට්ටේ කළාලේ කිසිල්ලේ - දත මැදගන්න රාළේ

මෙහි මතු පිට අරුත සරලය. කෝට්ටේ කළාලේ කිහිලිගන්වා ගෙන දත මැදගන්න යන අදහසකි එහි ඇත්තේ. එහෙත් එහි ගැඹුරු අර්ථය බුද්ධිමත් නිළමේතුමා තේරුම් බේරුම් කර ගනියි. එහි නියම අරුත වන්නේ කෝට්ටේ රාජ්‍යයට කළ ආලයෙන් ඵලක් නොවන බවත් දන්ත ධාතූන් වහන්සේ ආරක්‍ෂාව වෙනුවෙන් රට මැදට රැගෙන යන ලෙසත් ය.

එවකට පැවැති දේශපාලන ආගමික පසුබිම නිසා දන්තධාතූන් වහන්සේට යම් අනතුරක් සිදුවේදෝයි ඉතා විමසිලිමත්ව සිටි නිළමේතුමා ඇත් දළෙන් කෘතිම දතක් සාදවනු ලබයි. එතුමා එම කෘතිම දත දළදා කරඬුවේ තැන්පත් කර නියම දන්තධාතූන් වහන්සේ තම පිහියේ කොපුව තුළ සඟවාගෙන රට මැදට පලායයි.

කැළඹිලිකාර පසුබිමක් යටතේ කීරවැල්ලේ නිලමේතුමා පැමිණෙන්නේ සීතාවක පුරවරයේ රජකම් කළ මායාදුන්නේ වෙතය. රජතුමාට දන්තධාතූන් වහන්සේ භාර කිරීමෙන් එතුමා මහත් සේ සතුටට පත් වන්නේ එය රාජ්‍යත්වය ස්ථාපිත කරන බලගතු මහා සංකේතය නිසා ය. කීරවැල්ලේ නිලමේතුමා ගත් මේ දූරදර්ශී ඤාණවන්ත ක්‍රියාව නොවන්නට නොයෙකුත් ව්‍යසනයන් මධ්‍යයේ වුව අදත් නිරුපද්‍රිතව විරාජමානව වැඩවසනා දන්තධාතූන් වහන්සේ අපට අහිමි වන්නට බොහෝ සේ ඉඩ තිබුණි. එසේ වූයේ නම් ලාංකේය සවර්ණමය වංශකතාවේ එක් පැතිකඩක් අඳුරු වළාපෙළින් වැසී යනු නියත ය.

මෙම සිද්ධියත් සමඟ දන්ත ධාතූන් වහන්සේ හා සබැඳෙන අභාග්‍යවත් කතා ප්‍රවෘත්තීන් මත මෙහි වූ බැරෑරුම්කම පිළිබඳව තවත් අපට සිතා බැලීමට ඉඟි සපයන සුළු ය. පෘතුගීසි ඉතිහාසකරුවන් වූ ක්වයිරෝස් සහ ගර්සන් ද කූඤ්ඤා පවසන්නේ පෘතුගීසීන් විසින් දන්තධාතූන් වහන්සේ විනාශ කළ බව ය. ඇස්.ජී. පෙරේරා නම් වූ පියතුමක් 1927 වසරේ දී පුවත් පතකට ලිපියක් සපයමින් පවසන්නේ ධර්මපාල ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමෙන් පසුව වීදිය බණ්ඩාර දළදාව රැගෙන යාපනයට ඵලාගිය බව ය. එසේම කොට්රින්ටන් පවසන්නේ පෘතුගීසීන් විසින් 1552 දී වීදිය බණ්ඩාර අල්ලාගෙන ඔහු ළඟ තිබූ දළදා වහන්සේ විනාශ කළ බවත් ය.

එසේම භාර්වේ නැමැත්තා හිස්ටි, ඔෆ් බර්මා ඉතිහාස කෘතියේ සඳහන් කරන්නේ 1560 දී දළදාව පෘතුගීසීන් විසින් අත්පත් කරගෙන ගෝවටගෙන ගොස් එහිදී ආර්ච් බිසොප්ගේ නියෝගය අනුව දළදා වහන්සේ කුඩු කර ගින්නෙන් අළු කරවා එම අළු ගඟේ පා කර හැරිය බවයි.

දුෂ්ඨ පෘතුගීසි පාලකයනගේ නින්දිත බව මෙම ප්‍රකාශ මඟින් හෙළිවන අතර අනෙක් පසින් හිරිපිටියේ නිළමේ තුමා වැනි උත්තම වීර වරයකුගේ දූරදර්ශී නුවණෙහි ප්‍රතිඵලය විසින් පෘතුගීසීන් මුළාවට පත් වූ බැවින් උත්තම දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව සැළසිනි.

කෙසේ හෝ මායාදුන්නේ රජතුමාගේ අතට පත්වන දළදා වහන්සේ රාජ සන්තකයේ තබා ගැනීමෙන් ආරක්‍ෂාකරගත නොහැකි බව ඒත්තු ගත් රජතුමා එවකට සබරගමු පළාතේ රාජකීය විහාරස්ථානය බවට පත්ව තිබූ දෙල්ගමු රජමහා විහාරය වෙත වැඩමවනු ලබයි. එවකට මෙහි විහාරාධිපතිත්වය උසුලන ලද්දේ ෂට් භාෂා පරමේශ්වර මහින්දාලංකාර නම් වූ මහා පඬිරුවනකි. උන්වහන්සේ හා රජතුමා අතර පැවැතියේ ද මනා මිත්‍රත්වයකි.

රජතුමා, කීරවැල්ලේ නිළමේතුමා සහ මහින්දාලංකාර මා හිමි, තිදෙනා එකතුව දන්තධාතූන් වහන්සේ දැඩිව ආරක්‍ෂා කිරීමට උපක්‍රමයක් යොදනු ලබයි.

ඒ වනවිටත් සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණත්වයට පත් ව තිබූ දෙල්ගමු රජමහා විහාරභූමියේ දළදා මැදුරක් සාදා එහි බුද්ධ ප්‍රතිමාවක් ද තනා එම ප්‍රතිමාව පසුපස යෝධ කුරහන් ගලක් තබා ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කළ බව වංශ කතාවන්හි සඳහන් වෙයි. මහා වංශයේ මෙම විහාරස්ථානය හඳුන්වන්නේ ‘ලබුජගාම’ වශයෙනි.

පුරාණයේ කුරහන් ගලින් කළේ කුරහන් මුං වැනි ධාන්‍ය වර්ග අඹරා පිටිකර ගැනීමය. ඊට අමතරව බුද්ධ ප්‍රතිමාදී පිළිම සෑදීමේ දී ඉතා සියුම් ලෙස වැලි ගල් අඹරා ගැනීමට කුරහන් ගල විහාරස්ථාන වලද භාවිතයට ගැනුනි. මේ නිසා විහාරස්ථාන කුරහන් ගලක් තිබෙනවා දැකීමෙන් සැකයක් ඉපදෙන්නට ඉඩක් නැත.

ඒ නිසාම වසර 43 ක් වැනි දිගු කාලයක් දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව සැලසූ ඒ ඓතිහාසික අජීවී වස්තුව වූ යෝධ කුරහන් ගල දල්ගමුව රජ මහා විහාරයේ දී අදත් දැකීමට පුළුවන. ඒ තරමට මෙම කුරහන් ගල පූජනීයත්වයට පත් වී ඇත.

මෙතැන දී ද රජතුමා ධාතූන් වහන්සේගේ භාරකාරත්වය මහින්දාලංකාර මා හිමියන්ට පැවරූ අතර දන්ත ධාතූන් වහන්සේගේ දියවඩන නිළමේ තනතුර භාර දෙන ලද්දේ හිරිපිටියේ කීරවැල්ල නිළමේතුමාට ය.

මායාදුන්නේ පියරජතුමා ඝාතනය කර රජ බවට පත්පන පළමුවන රාජසිංහ රජතුමා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයකු වූ අරිට්ට කී වෙන්ඩු පූසාරියාගේ උපක්‍රමයන්ට රැවටී භික්‍ෂූන් වහන්සේ ඝාතනය කරමින් කටයුතු කළ ද දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමට පෙළඹුනේ එය රාජ උරුමයේ මහා සංකේතය වන බැවිනි.

මේ අතර කොනප්පු බණ්ඩාර ගෝවට පැණ ගොස් දොන් ජුවන් නමින් කතෝලික වී පෘතුගීසි සේනාවත් සමඟ ලක්දිවට පැමිණ පළවන රාජසිංහ රජු හා සටන් වැදී එතුමා පරදවා උඩරට ජයගෙන පෘතුගීසි බලය මැඩලමින් කතෝලික ආගම හැරදමා නැවත බෞද්ධාගම වැළඳ ගනී. ඔහු පළමුවන විමලධර්ම වශයෙන් රාජාභිසේක ලබා 1593 වසරේ දී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩමවා ගැනීමට අවශ්‍ය කටයුතු සකසා ගනියි.

රජතුමා ඒ වෙනුවෙන් දෙමහල් මාලිගයක් ද කරවා දියවඩන තනතුරට පත් කරන ලද්දේ කීරවැල්ලේ නිලමේ තුමාවම ය. දළදා වහන්සේ රැගෙන යාම නිසා අභාවයට යන දෙල්ගමු, රජමහා විහාරය පරංගින් අතින් විනාශයට ද ලක්වෙන අතර ඔවුන් එතන බල කොටුවක් සාදා ගැනීමට තරම් සහාසික වෙයි.

පුරා සියවස් හතරක් පමණ නටබුන්ව පැවැති මෙම ඓතිහාසික උරුමයේ කටුකොහොල් හැර නැවත ගොඩනැඟෙන්නේ 19වන සියවසේ මුල් කාලයේ මෙහි වැඩම කළ කොළඹ සද්ධාතිස්ස නම් භික්‍ෂූන් වහන්සේ නිසාය. මෙවන් උවදුරු නිසා අපට එදා විහාරස්ථානයේ පැවැති ඓතිහාසික ස්වරූපය තත්ත්වාකාරයෙන් දැක ගැනීමට නො ලැබෙ යි. එහි පුරාණ නටබුන් ලෙස දැක ගැනීමට ලැබෙන්නේ වාහල්කඩක්, පැරැණි පිය ගැටපෙළ දෙකක්, ශෛලමය මලසුනක්, සහ පැරණි බෝ වෘක්‍ෂය සහ සල් ගසකි. ඒ සියල්ල පරදවන මිලක් නියම කළ නොහැකි ඓතිහාසික කුරහන් ගල තවමත් නෙක විපත් පරදවා අබිමානයෙන් නැගී සිටීම අප ලද භාග්‍යයකි.

ඉතා අනාරක්‍ෂිත අර්බුදකාරී යුගයක වසර 43 ක් පමණ දිගු කාලයක් තම ඇකයේ හොවා අතිපූජනීය ශ්‍රී දන්තධාතූන් වහන්සේ ආරක්‍ෂා කළ මේ පිවිතුරු කුරහන් ගලට වැඳ නමස්කාර කළාට පව් නැත.

එසේ දොහොත් මුදුනත තබන මොහොතක් මොහොතක් පාසා අපගේ වන්දනාමානයට පාත්‍ර වන්නේ මේ අචේතනික කුරහන්ගල පමණක් නොවේ. රජකම හෝ බලය අපේක්‍ෂා නොකරමින් පරම පවිත්‍ර චේතනාවෙන් නියම දන්තධාතූන් වහන්සේ අපට ආරක්‍ෂා කර දුන් කීරවැල්ලේ නිලමේතුමා වූ ඒ උතුම් මිනිසාටත් අරහත් ධජයේ උත්තුංග බව පසක් කළ මේධාලංකාර මහා නාහිමියන්ටත් සැදැහැති බෞද්ධ සිතෙන් නැඟෙන පුණ්‍යානුමෝදනාව හිමිවනු නියතමය.