Print this Article


වසර 2320ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 260ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව

වසර 2320ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 260ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව

බක් පුර පසළොස්වක පෝදා පත්‍රය හා සම්බන්ධයි

අනතුරුව විජය රාජසිංහ රජතෙමේ ශාසනික කටයුතු දියුණු කරලමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී වූ අතර, සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා වීමට නම් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේ ද උපදෙස් අනුව උපසම්පදාව ගෙනඒම සඳහා විදේශයකට දූතයන් යැවීය. නැව මුහුදේදී විනාශවීමත් සමඟම පිරිස ද විනාශයට පත්විය. දොරණෑගම මුහම්දිරම් රාළ නිලමේ පමණක් ඉතිරි විය.

දෙවන වතාවටත් දූත පිරිසක් යැවූ නමුත් ශ්‍රී විජයරාජසිංහ රජතුමාගේ අභාවය සිදුවූහෙයින් විල්බාගෙදර රාල ඇතුළු එම දූතපිරිස ආපසු පැමිණියහ. අනතුරුව රජකමටපත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගෙන් ආගම ධර්මය අසා මැනවින් දැන උගෙන සම්බුද්ධ ශාසනය චිරකාලයක් පවත්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නිසාම බව දැනගෙන සරණංකර හිමියන්ගේ උපදෙස් අනුව ලංකාවෙන් ගෙන ගිය උපසම්පදාව සියම්දේශයේ සුරක්‍ෂිතව තිබෙන හෙයින් සියම් දේශයට දූත පිරිසක් යැවීමට තීරණය කරන ලදී.

ඒ වන විට බුද්ධ වර්ෂ 1882 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1339 දී සූර්යවංශාරාම මහා ධර්මරාජ ලිදෙය්‍යරජ ලක්දිවින් සංඝරාජයාණන් වහන්සේ නමක් වැඩමවාගෙන සම්බුද්ධ ශාසනය දියුණු කළ ආකාරය සුඛෝදය නුවර තිබී දැනට බැංකොක් නුවර ගෙනවුත් තැන්පත් කොට ඇති ශිලා ලිපියක දැක්වේ.

සියම් රටේ සුඛෝදය නුවර රාජ්‍ය කල ලිදෙය්‍යරජ ශ.ව. 1283 දී පණ්ඩිත ඇමැතියෙකු ලක්දිවට එවා මහාසාමී සංඝරාජ හිමිනමක් ගෙන්වාගෙන ශාසනය වැඩිදියුණු කළ සැටි රජතුමා ද පැවිදි වූ අයුරුත් සඳහන් වේ. බුද්ධ වර්ෂ 1800 දී ලංකාවේ සිට සිංහල බුද්ධ ප්‍රතිමාවක් සිරිධම්ම රජු හා රෝච රජ සුඛෝදය නුවරට ද පසුව අයෝධ්‍යා පුරයේ ද, ජන්රාය පුරයේ ද, ඉන් පසු ජයසේන පුරයට ද ගෙනගොස් පල්ලංක දීපයේ දී ද ජන්රාය පුරයේ දී ද මෙම මහා බුද්ධ රූපය විහාරයේ තබා පුද පූජා පැවැත් වූ අතර, අවසානයේ දී නම්බිසි නුවර තුළ මහා චෛත්‍යයේ තබා පූජා පැවැත් වූ අයුරු සඳහන් වේ. ලංකාවෙන් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාවහන්සේ ද මේ අයුරින් වැඩවසන කල්හි සියම් රටේ නම්බිසි නුවර තිස්ස රාජ්‍ය කාලයේ දී බුද්ධ වර්ෂ 1967 දී මහා ධම්මගම්භීර, මහාමේධංකර, මහාඤාණමංගල, මහාසීලවංස, මහාසාරිපුත්ත, මහාරතනාකර, මහාබුද්ධසාගර ආදී තෙරවරුන් 25 නමක් ද නම්බිසි පුරයෙහි හා පහළ කාම්බෝජ රටෙහි විසූ මහාඤාණසිද්ධ ආදී ථෙරවරු 8 නමක් ද යන තෙතිස් නම සාකච්ඡා කරනුයේ ජීවමාන බුදුරදුන් ලක්දිව මාගේ ශාසනය පිහිටන්නේ යැයි ලක්දිවට වැඩිසේක. අපිත් ලක්දිවට ගොස් ශාසන උපසම්පදාව ගෙනවුත් අපේ රටේ රෝපණය කරන්නෙමුයි කතා කොට ඒකමතිකව ක්‍රමයෙන් ලක්දිවට ගොස් වනරතන මාහිමියන් කරා එළැඹ රාමඤ්ඤ රටෙන් පැමිණි 6 නමක් ද යන තිස්නව නමක් ලක්දිව පැවති අකුරු පිළිවෙළ ද වචන උච්චාරණය කරන සැටි ද, ස්වර නගා කීමද උගෙන උපසම්පදාව ඉල්ලූහ.

කැලණියේ යාපාපටුනේ ඔරු එකට ගළපා සෑදවූ මණ්ඩපයෙහි වනරතන මහා සාමීන් කම්මාචාර්ය කොට ධම්මචාරී නමැති ධර්මාචාර්යයන් උපාධ්‍යාය කොට විංසත්වර්ගික සංඝයා වෙතින් උපසම්පදාව ලබාගෙන සියම් රටට අවුත් නොයෙක් තන්හි උපසම්පදාව පිහිටවමින් සිංහල සංඝ නමින් ප්‍රසිද්ධ වූ එම නිකාය රත්තවන මහා විහාරය ආදී විහාර මුල්කොට තිස්ස රජුගේ රාජ්‍ය කාලයේ දී ඉමහත් ශාසනික නවෝදයක් ඇති කළ මෙම සිංහලවංශික භික්‍ෂූහු හැම නුවරවලින් උපසම්පදා පේක්‍ෂකයන් ගෙනවුත් නම්බිසි නුවරට අවුත් වාර්ෂිකව මේ බිලකබද්ධ සීමාවෙහි උපසම්පදාව සිදුකළ බව සඳහන් වේ.