Print this Article


ජීවිතය දිනන්නට

ජීවිතය දිනන්නට

අකාලික වූ බුද්ධ දර්ශනය මෙලොවත් පරලොවත් සැනසීමට මෙන් ම උතුම් නිවන් සුව ලබාගැනීමට උපනිශ්‍රය වන්නකි. “ධම්මමූලන් තිසම්පදං” - සියලු සැපයට යහපතට මුල්වනුයේ ධර්මයයි. එහෙයින් මෙම වටිනා ක්‍ෂණ සම්පත්තිය අනුගමනය කොට ජීවිතය සැපවත් කර ගැනීම, ජීවිතයේ සාඵල්‍යය ඇතිකර ගැනීම බොහෝ වැදගත් කරුණකි

අකාලික වූ බුද්ධ දර්ශනය මෙලොවත් පරලොවත් සැනසීමට මෙන් ම උතුම් නිවන් සුව ලබාගැනීමට උපනිශ්‍රය වන්නකි.

“ධම්මමූලන් තිසම්පදං” - සියලු සැපයට යහපතට මුල්වනුයේ ධර්මයයි.

එහෙයින් මෙම වටිනා ක්‍ෂණ සම්පත්තිය අනුගමනය කොට ජීවිතය සැපවත් කර ගැනීම ,ජීවිතයේ සාඵල්‍යය ඇතිකර ගැනීම බොහෝ වැදගත් කරුණකි.

ආරෝග්‍යමිච්ඡේ පරමඤ්ච ලාභං
සීලඤ්ච වුද්ධානුමතං සුතඤ්ච
ධම්මානුවත්තී ච අලීනතා ච
අත්‍ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙ’ති

ඉහත ගාථාව ජාතක පාලියේ අත්ථස්සද්වාර ජාතකයේ ඇතුළත් වන්නක් වන අතර අත්ථස්සද්වාර යන පදයේ තේරුම දියුණුවේ දොරටු යන්නයි. බුදුරදුන් සැවැත්නුවර වැඩ විසූ එක් කාලයක දී එක්තරා කටකාර එහෙත් නිර්මාණශීලි දරුවෙක් දියුණුවේ දොරටු පිළිබඳ සිය බමුණු පියාගෙන් විමසූ කල්හි ඔහු තම පුතුට නිවැරැදි පිළිතුරක් ලබාදිය යුතු බවට අදහස් කළ හෙයින්, පුත්‍රයා සමඟ බුදුන් වෙත ගියහ. හෙතෙම සිය ගැටලුව බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කර ඒ සඳහා නිසි පිළිතුරක් ලබාදෙන ලෙස අයැදුම් කළේය.

නිදාන කථාව

බමුණාගේ ගැටලුව අසා සිටි බුදුපියාණන් වහන්සේ මෙහි නිදාන කථාව මෙසේ වදාරා ඇත. “බමුණ, අදින් ආත්මභාව පන්සියයකට පෙර මෙම දරුවා මාගේ දරුවෙක් වශයෙන් විසූ කල්හි මෙම ප්‍රශ්නය මාගෙන්ද විමසුවේය. එදා ලබා දුන් පිළිතුර ම අදත් ලබාදෙමි, යනුවෙන් ප්‍රකාශ කරමින් ඉහත මාතෘකා කළ ගාථාව දෙසා වදාළ සේක.එම ගාථාවෙන් ප්‍රකාශිත අදහස අනුව දියුණුවට ප්‍රධාන කරුණු එසේ නැත්නම් ද්වාර හයකි. එනම්,

1. ආරෝග්‍ය - නිරෝගී බව, දියණු වන්නෙකුට තිබිය යුතු මුල් කාරණය නිරෝගි බවයි.
2. සීලං – සිල්වත් බව, සංවර බව
3. වුද්ධානුමතං – වැඩිහිටි බසට ඇහුම්කන් දීම
4. සුතං -බොහෝ ඇසු පිරූ තැන් ඇති බව
5. ධම්මානුවත්ත – ධර්මානුකූලව හැසිරීම
6. අලීනතා – කම්මැලි නොවීම

අත්‍ථදස්ස ද්වාරා පමුඛා – ඉහතින් දැක්වු දියුණුවට ඉවහල් වන ප්‍රධාන දොරටු හයයි.

අපි දැන් එකින් එක කරුණු හොඳින් විමසා බලමු.

1. නිරෝගිබව
නිරෝගී බවෙහි ප්‍රභේද දෙකකි

(අ) කායික නිරෝගි බව
(ආ) මානසික නිරෝගී බව

පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය සලසා ගැනීමට කය, මනස ද්වයයම නිරෝගීව පැවැත්ම අතිශයින් වැදගත් ය.

(අ) කායික නිරෝගි බව

කායික නීරෝගීබව විනාශ වීම සඳහා බලපාන කරුණු දෙකකි. එනම් ආහාර හා පැවැත්මයි.මෙම අංශ දෙක නිසි ලෙස පවත්වා නොගැනීමෙන් කායික නිරෝගී බව,ශාරිරික ස්වස්ථතාව පිරිහේ. එනිසා අප අපගේ ආහාරය, පැවැත්ම සකස් කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැඩිසේ අවධානය යොමු කළ යුතු වේ.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මෙසේ විය.

කුම්භීලභයන්තිඛො භික්‍ඛවේ
ඔදරිකත්තස්සෙතං අධිවචනං

ඕදරික යන්නෙන් බඩජහරි කම, කෑදරකම අදහස්වේ. ආහාරයේ ගිජු කම කිඹුල්බයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති. පමණ නොදැන ආහාර ගැනීමෙන් නුසුදුසු ආහාර ගැනීමෙන් මිනිසා තම ජීවිතය විනාශ කර ගැනීම කිඹුලන් සිටින වතුරකට පනින්නා සේ භයංකර දෙයක් ලෙසින් පෙන්වා දී ඇත. මේ පිළිබඳව බුදුන් වහන්සේ ඉතා යහපත් ක්‍රම වේදයක් වදාරා ඇත.

ඉති පුරානඤ්ච වේදනං පටිහංඛාමි
නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි

පැරැණි වේදනා නැතිවීමටත් අලුත් වේදනා ඇතිනොවීමටත් ආහාර ගැනීමට අප වගබලා ගත යුතුවේ.

කුමක්ද? මේ පැරැණි වේදනාව,එනම් බඩගින්න අප ආහාර ගත යුත්තේ බඩගින්න නැතිකර ගැනීමටය.

කුමක්ද මේ නව වේදනාව උස්මුරුත්තාව අප ආහාර ගතයුත්තේ උස්මුරුත්තාවක් අපහසුවක් ඇති නොවන ආකාරයට ය.

ආහාර අඩුකම නිසාත් ආහාර වැඩිකම නිසාත් මිනිසා යළිත් ගමන් කරනුයේ වේදනාවටමය. ඒ නිසා ක්‍රමානකූලව ආහාර ගැනීමෙන් ශරීර ශක්තිය නොපිරිහෙන බව පැහැදිලිව දැක්විය හැකිය.

ශාසන ඉතිහාසයේ එක් අවස්ථාවක ධර්ම ශ්‍රවණයට පැමිණි කොසොල් රජු ඇඹරෙමින් සිටි බැව් දුටු බුදුරජාණන් වහන්සේ එයට කාරණා විමසූ කල්හි රජුගේ පිළිතුර වූයේ තමා පමණට වඩා ආහාර ගැනීම නිසා අපහසුවක් ඇති වී ඇති බවය.

මේ සඳහා ධර්මයේ ඉතා වටිනා ක්‍රමවේදයක් ඉදිරිපත් කෙරේ.

චත්තාරො පඤ්ච ආලොපෙ අභූත්වා, උදකං පිවෙ
අලං ඵාසුවිහාරාය පහීතන්තස්ස භික්‍ඛුනො

යමෙක් පධන් වීර්යය වඩන්නේ නම් ධර්මානුකූලව ජීවත් වන්නේ නම් අධ්‍යාපනය කරන්නේ නම් එම පුද්ගලයා විසින් බත් පිඬු හතරක් පහක් කෑමට ඉඩ තබාගෙන ආහාර ගැනීම නතර කළ යුතු බව හා ඒ අනුව ‘අලං ඵාසුවිහාරාය” පහසුවෙන් පැවැතිය හැකි බව ඉන් අදහස් වේ. ඒහෙයින් පමණ දැන ආහාර ගැනීම වඩා වැදගත් බව ප්‍රකාශ කරමි.

පැරැණි සංස්කෘත ශ්ලෝකයකට අනුව

ආචාර කුල මාක්‍ඛ්‍යාති
දේශමාක්‍ඛාතිභාෂණං
සම්භ්‍රමං ස්නේහ මාක්‍ඛ්‍යාති
ද්හ මාක්‍ඛාති භෝජනං

යමෙක් හැසිරෙන අයුරින් සිය කුලය, පවුල පිළිබඳ ස්වභාවය ප්‍රකාශ වේ.

යමෙක් කථාකරන විට යමෙක්ගේ ගම් පළාත කිව හැකි බවය. ඒ පිළිබඳව ඔබට අත්දැකීම් ඇතිවා නිසැකය. මාතර, නුවර, මුහුදුකරයේ,කොළඹ වැසියන් කථාකරන ආකාරය එකිනෙකට වෙනස් ය.

පුද්ගලයන් හැසිරෙන අයුරින්, ඔහුගේ ස්නේහය, ආදරය ප්‍රකාශ වේ.

දේහය යමෙක් ආහාර ගන්නා ආකාරය ප්‍රකාශ කරයි

(ආ) විහරණය –පැවැත්ම

තමතමන්ගේ ඉඳුරන් පවත්වන ආකාරය ඉතා වැදගත් වේ. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.

ගථෙ ඨිතෙ නිසින්නෙ
සුත්තෙ ජාගරිතෙ භාසිතෙ

තුණ්හීභාවෙ සම්පජානකාරි හොති

ගතෙ – යාම
ඨිතෙ – හිටගෙන සිටීම
නිසින්නෙ – වාඩි වී සිටීම
සුත්තෙ – නිදාගෙන
ජාගරිතෙ –නිදි මැරීම
භාසිතෙ – කතා කිරීම
තුණ්හීභාවෙ – නිශ්ශබ්දව සිටීම

සම්පජානකාරි හොති – තමන් කරන ක්‍රියාවට මනස යොදවා ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කර ඇත.

යමෙක් යන්ත්‍ර සූත්‍රවලින් රථවාහනවලින් අනතුරු සිදුකර ගන්නේ බොහෝවිට ඔහු තමන් කරන ක්‍රියාව පිළිබඳ මනස යොදවා ක්‍රියා කර නොමැති හෙයිනි. කායික නිරෝගීබව රැක ගැනීම උදෙසා ආහාර හා විහරණය වඩා වැදගත් වූ බව අප වටහා ගත්තා සේම අප විසින් තවදුරටත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ එසේ රැකගත් නිරෝගීකම අප කෙතෙක් කල් ජීවිතය තුළ පවත්වාගෙන යන්නේද යන බවයි.අපගේ ජීවිතය පවතින්නේ අවුරුදු සියයක්,අවුරුදු සියයට ටිකක් වැඩි හෝ අවුරුදු සියයට ටිකක් අඩුවෙනි. ඒ බව ධර්මයෙන් මෙසේ පැහැදිලි කෙරේ.

ඉතිරි කොටස මැයි 02 වන දා පත්‍රයේ පළ වේ